යුක්තිය උදෙසා නීතිය නැවු තානාපතිවරයා

300

* නීති විරෝධී කූඨ ලේඛණ ව්‍යාපාරයක්
* ජාතික සමාජවාදය නමින් වර්ණ ගන්වා තිබුණු නාසිවාදය
* ‘දිගු පිහි රාත‍්‍රිය‘ නොහොත් නොවැම්බර් සංහාරය ලෙස ඉතිහාසගත ම්ලේච්ඡ ක‍්‍රියාන්විතය

යුරෝපයේ සිටි යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට ජර්මනියේ නාසි පාලනය විසින් දියත් කරන ලද අමානුෂික ක‍්‍රියාන්විතය හැඳින්වෙන්නේ Holocaust යන නාමයෙනි. එය දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට පෙර සිටම විවිධ ආකෘති වලට අනුව ජර්මනිය තුළ ක‍්‍රියාත්මක විය. ගම්මාන වලට පැන කපා කොටා දැමීමෙන් හා වෙඩි තැබීමෙන් සිදුකරන ලද යුදෙව් සංහාරය පසුව වහල් කඳවුරු හා වධ කඳවුරු තුළින් දියත් කිරීමට සැලසුම් කෙරිණි. නාසි හමුදාව විසින් අල්ලා ගන්නා ලද රටවල්වල ජීවත් වූ යුදෙව් ජනතාව අවුට්ස්විස්ක්, බර්ගන්-බෙල්සෙන් වැනි වධ කඳවුරු වලට රැුගෙන එන ලදි. නාසීන් විසින් අත්පත් කරගත් ප‍්‍රදේශ මෙවැනි වද කඳවුරු 15,000 ක් පමණ පිහිටුවා තිබූ බව වාර්තා වෙයි. මෙම කඳවුරු තුළදී වැඩ කිරීමට ශක්තියක් නොමැති කාන්තාවන් හා ළමයින් තෝරාගෙන ඝාතනය කරන ලද අතර ඉතිරි පිරිසට මිය යන තුරු වැඩ කිරීමට සිදුවිය. යුදෙව්වන් ඝාතනය කළේ විශාල ගෑස් කාමරවල සිර කර පිටත කිසිවෙකුට නොදැනෙන ලෙසය. යුදෙව් ප‍්‍රශ්ණය සඳහා ‘අවසාන විසඳුම’ ලෙස දෙවන ලෝක යුද සමයේ එනම් වර්ෂ 1941 සිට 1945 දක්වා කාලය තුළ ක‍්‍රියාත්මක වූ සමූල ඝාතන ක‍්‍රියාවලිය තුළින් මරා දැමුණු යුදෙව්වන්ගේ ප‍්‍රමාණය මිලියන හයක් බව වාර්තා වී ඇත. එය එවකට යුරෝපයේ ජීවත් වූ යුදෙව් ජාතිකයන්ගෙන් තුනෙන් දෙකක ප‍්‍රමාණයකි.

පසුගිය සහශ‍්‍රයක කාලය තුළ මනුෂ්‍ය වර්ගයකට එරෙහිව යමෙකු විසින් මුදාහරින ලද ම්ලේඡුත්වයේ උච්චතම අවස්ථාව ලෙස මෙම Holocaust ක‍්‍රියාන්විතය සැලකිය හැකිය. යුදෙව්වන්ගේ ගැලැවීම සිදුවූයේ යුද්ධයෙන් මිත‍්‍ර පාර්ශ්වය ලැබූ ජයග‍්‍රහණය නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ නමුත් මෙවැනි ඛේදජනක යුගයක උඩුගං බලා පිහිනමින් වින්දිත ජන කොටස වෙනුවෙන් ඉදිරිපත් වූ සංවේදී මිනිසුන් පිළිබඳව ඉතිහාසයේ විටින් විට ලියවී ඇත. ඔවුන් සැබැවින්ම මිහිපිට සිටි ජීවමාන ගැලැවුම්කරුවන්ය.

මෙවැනි ගලවා ගැනීමේ මෙහෙයුමකට නායකත්වය දුන් ජෝස් අතුරෝ කස්තෙජානෝ නම් අපරාධකරුවෙකු පිළිබඳව අහම්බෙන් අසන්නට ලැබුණි. මෙය යුද්ධයක් අතරතුර සිදුවූ විශාලතම ගලවාගැනීමේ මෙහෙයුමක් වුවත් කස්තෙජානෝ නාමය කාලයේ වැලිතලාවෙන් වැසීගොස් තිබුණි. නීතිමය අර්ථයෙන් අපරාධකරුවෙකු ලෙස හැඳින්විය හැකි වුවත් ඔහු විසින් සිදු කරන ලද අපරාධය කූට ලේඛන සැකසීමයි. වෙනත් ආකාරකින් කිවහොත් ව්‍යාජ ගමන් බලපත‍්‍ර සැකසීමයි.

යුක්තිය උදෙසා නීතිය නැවු තානාපතිවරයා

මෙම නීති විරෝධී කූට ලේඛන ව්‍යාපාරයේ මහා මොළකරුවා වූ ජෝස් අතුරෝ කස්තෙජානෝ යනු සාමාන්‍ය පුද්ගලයෙකු නොවේ. ඔහු තානාපතිවරයෙකි. ඔහු එවකට ස්විට්සර්ලන්තයේ, සැල්වදෝර කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. මෙලෙස සකසන ලද ව්‍යාජ ගමන් බලපත් නිසා දස දහස් ගණනකට ජීවිත බේරා ගැනීමට හැකි විය. මෙම අනීතික මානුෂීය මෙහෙයුමට මූලාරම්භය සැපයුණේ ඔහු හා රුමේනියානු ව්‍යාපාරිකයෙකු අතර තිබූ දැඩි මිත‍්‍රත්වයයි.

1893 වර්ෂයේ එල් සැල්වදෝරයේදී උපන් කස්තෙජානෝගේ පියා එරට හමුදා ජෙනරාල්වරයෙකි. ඒ නිසාම ඔහුට වයස අවුරුදු දහසයේදී එරට කීර්තිමත් හමුදා හමුදා පාසලකට ඇතුළු වීමට හැකියාව ලැබුණි. දශක දෙකක් පමණ වූ තම හමුදා ජීවිතයේදී සැල්වදොර යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානියා බවට පත්වීමටත් ඔහුට හැකි විය. නමුත් සැල්වදෝර රජය කස්තෙජානෝගේ හමුදා සේවය නිමා කරමින් ඔහුව යුරෝපයේ රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියෙකු ලෙස පත්කර යැවීය. ඔහුගේ ජනතාවාදී සෘජු ප‍්‍රතිපත්ති ජනාධිපතිවරයාට එතරම් දිරවා ගියේ නැත.

සැල්වදෝරයේ එවකට ජනාධිපතිවරයා වූයේ මැක්සිමිලියානෝ මාටිනස්ය. හමුදා කුමන්ත‍්‍රණයකින් බලයට පත්වූ මාටිනස්ගේ රජය විසින් විරුද්ධවාදීන් ඝාතනය කරමින්, ජනතාව භීතියට පත්කරමින් ගෙන යන ලද පාලනය කස්තෙජානෝගේ දැඩි විවේචනයට ලක්විය. ඔහු මාටිනස්ගේ රෙජීමය හැඳින්වූයේ ෆැසිස්ට්වාදී ආණ්ඩුවක් ලෙසය.

කස්තෙජානෝව ඝාතනය කරනු ඇතැයි ඔහුගේ හිතෛෂින් බිය විය. නමුත් ජනාධිපතිවරයා විසින් ඔහුව මහා බි‍්‍රතාන්‍යයේ තානාපති නිලධාරියෙකු ලෙස පත්කර යවන ලදි. බි‍්‍රතාන්‍යයේ සේවයෙන් පසුව 1938 දී ඔහුට ජර්මනියේ වැඩභාර ගැනීමට සිදුවිය. ඒ වන විට එහි ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලනය ආරම්භ වී තිබුණි. ළඟ ළඟම එන ලෝක යුද්ධයක පෙරනිමිති පහළ වෙමින් තිබුණි. ජාතික සමාජවාදය නමින් වර්ණ ගන්වා තිබුණු නාසිවාදයේ මෙතෙක් නුදුටු ඇත්ත කස්තෙජානෝට එහිදී තම දෑසින්ම දක්නට හැකි විය. නාසි හමුදාව පමණක් නොව සමාන්‍ය ජර්මානු ජාතිකයෝ පවා යුදෙව්වන්ට එරෙහි භීෂණයේ පාර්ශ්වකරුවන් වී සිටියහ. එක් රාත‍්‍රියක ඔහු දුටුවේ ජර්මානුවන් සමූහ වශයෙන් රොක් වී වීදි දිගේ දුවමින් යුදෙව්වන්ට අයත් නිවාස, පල්ලි හා ව්‍යාපාරික ස්ථාන ගිනිබත් කරන ආකාරයයි. එම කලබගෑනියේදී යුදෙව්වන් බොහෝ පිරිසක් ඝාතනය විය.

‘දිගු පිහි රාත‍්‍රිය‘ නොහොත් නොවැම්බර් සංහාරය ලෙස ඉතිහාසයේ සඳහන් වන්නේ මේ ම්ලේච්ඡු ක‍්‍රියාන්විතයයි. යුදෙව්වන් යනු ඉතාම සට කපට පහත් ජාතියක් බවටත්, ඔවුන් පිරිසිදු ජර්මානු ආර්යයන්ගේ සම්පත් සූරාකන බවටත් වූ සිතුවිල්ලක් නාසි පක්ෂය විසින් ජර්මානු ජන මනස තුළ රෝපණය කර තිබුණි. මේ මහා විනාශය දුටු කස්තෙජානෝ බොහෝ සෙයින් කම්පාවට හා කලකිරීමට පත්විය. යුරෝපයෙන් පලා යෑමට උත්සාහ කරන යුදෙව්වන්ට සැල්වදෝරයේ වීසා ලබා දෙන ලෙස ඉල්ලමින් ඔහු තම විදේශ ඇමැතිවරයාට ලිපියක් යැවීය.

ඒ වන විටත් තිස්දහසක් පමණ වූ යුදෙව්වන් ප‍්‍රමාණයක් වධකාගාර වෙත යවා තිබුණි. කෙසේ නමුත් කස්තෙජානෝගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප විය. සැල්වදෝර රජයේ ප‍්‍රබලයන් සිතුවේ තමන්ට ජර්මනිය සමඟ ඇති හොඳහිත කස්තෙජානෝ ගේ පණ්ඩිතකම් නිසා බිඳී යනු ඇති බවයි. ඒ නිසා රජය ඔහුව හෙමින් සීරුවේ ස්විට්සර්ලන්තයට මාරු කර යැවීය.

මුලින් සඳහන් කළ ව්‍යාපාරික මිතුරා ඔහුට හමුවන්නේ ස්විට්සර්ලන්තයේදී ය. ජෝර්ජි මැන්ඩල් නම් වූ මෙම ව්‍යාපාරිකයා රුමේනියානු යුදෙව්වෙකි. ඒ වන විට රුමේනියාව පැවතුණේ හිට්ලර්ගේ අණසක යටතේය. රුමේනියානු යුදෙව්වන් හිට්ලර්ගේ වධ කඳවුරුවල ගාල් කෙරෙද්දී කෙසේ හෝ මැන්ඩල් තම පවුල සමඟ ස්විට්සර්ලන්තයට පලා විත් තිබුණි. ස්විට්සර්ලන්තය යුද්ධයේදී මධ්‍යස්ථ රටක් ලෙස පැවති මුත් එහි දැඩි සරණාගත නීති (Refugee Law) ක‍්‍රියාත්මක විය. ඒ නිසා මැන්ඩල් පවුල නැවතත් නාසින්ගේ මකර කටට පිටුවහල් කිරීමේ අවදානමක් පැවතුණි.

මේ අතර මැන්ඩල් හා කස්තෙජානෝ අතර දැඩි මිත‍්‍රත්ත්වයක් ඇති වී තිබුණි. කස්තෙජානෝ තම මිතුරාව බේරා ගැනීමට සැලසුමක් සකස් කළේය. සරණාගතයන්ට වීසා ලබා දීමට අවසර ඉල්ලා ඔහු දෙවන වරටත් සැල්වදෝර රජයට ලියා යැවීය. එවරත් ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප විය.

නමුත් එවර යම් විශේෂිත යමක් සිදුවෙමින් පැවතුණි. කස්තෙජානෝ නීතිය තමන්ගේ අතට ගත්තේය. ඔහු තානාපතිවරයෙකු ලෙස තමන්ට ඇති බලතල පාවිච්චි කරමින් මැන්ඩල්ව සැල්වදෝර පුරවැසියකු ලෙස ලියාපදිංචි කළේය. ඔහුට ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් ද සාදා දුන්නේය. ජෝර්ජි මැන්ඩල්ගේ නම ස්පාඤ්ඤ ක‍්‍රමයට ජෝර්ජ් මන්තෙලෝ ලෙස වෙනස් විය. එහෙත් මැන්ඩල්ගේ ආරක්ෂාව සියයට සියයක් තහවුරු කිරීමට එය ප‍්‍රමාණයත් නොවීය.

කස්තෙජානෝ තවත් තීරණාත්මක පියවරක් ඉදිරියට තැබුවේය. ඔහු තම මිතුරාව ස්විට්සර්ලන්තයේ පිහිටි සැල්වදෝර කොන්සල් කාර්යාලයේ පළමු ලේකම් ලෙස පත් කළේ ඉදිරියට පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සිත දැඩි කර ගනිමිනි. ඔහු එසේ ‘බෙල්ල ගහලා යන වැඩක්‘ සිදුකළේ තමාගේ කාර්ය මණ්ඩලය තුළ එවැනි තනතුරක් නොමැති පසුබිමක් යටතේය.

ඉන් පසුව කොන්සල් කස්තෙජානෝ හා ඊනියා පළමු ලේකම්වරයාගේ අවධානය යොමුවූයේ පෝරකයට රැගෙන යෑමට නියමිත අනෙකුත් යුදෙව්වන් ද බේරා ගත හැකි මඟක් සෙවීමටය. මිතුරන් දෙදෙනා එක්ව ඉතිහාසය නමැති පොතෙන් ඉරා දමා ඇති මානුෂීය ක‍්‍රියාන්විතය ආරම්භ කළේය. මැන්ඩල්ට සෑදූ ආකාරයේ ව්‍යාජ ගමන් බලපත් තවත් දහස් ගණනක් සැකසෙන්නට විය. ඒවා යුරෝපයේ නාසි ආධිපත්‍යය යටතේ පැවති රුමේනියාව, හංගේරියාව, ප‍්‍රංශය, නෙදර්ලන්තය වැනි ප‍්‍රදේශවල යුදෙව් නියෝජිතයන් වෙත යවන රහසිගත යාන්ත‍්‍රණයක් ද සැකසී තිබුණි.

මැන්ඩෙල් විසින් මේ මානුෂීය මිනිස් ජාවාරමට සහාය ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ සරසවි සිසුන්ව බඳවා ගන්නා ලදි. ලහි ලහියේ ලියකියවිලි සැකසෙන්නට ගත්තේ ජිනීවා හි සැල්වදෝර කොන්සල් කාර්යාලය තුළමය. ඒවා ලබා ගැනීමට වාසනාව ලැබුණත් බොහෝ යුදෙව්වන්ට සැල්වදෝරයට පා තැබීමට වාසනාව හිමි වූයේ නැත. නමුත් තම යුදෙව් ජන්මය සඟවා ගැනීමට එම ලියවිලි ඔවුන්ට උපකාරී විය. ලොව ඈත කෙළවරක පිහිටි ලතින් ඇමෙරිකානු රාජ්‍යයක නමක් සහිත තනි කඩදාසි කැබැල්ලක් හේතුවෙන් අපේක්ෂාවේ සිසිල් සෙවනැල්ලක් ඔවුන් ඉදිරිපිට පතිත වී තිබුණි. මරණයට සූදානම්ව සිටි බොහෝ දෙනා ජීවිතය උදෙසා බලාපොරොත්තු දල්වා ගත්හ.

1945 අප්‍රෙල් මස 23 වෙනිදා සෝවියට් රතු හමුදාවෝ බර්ලිනයට ඇතුළු වූහ. දෙවන ලෝක යුද්ධය නිමාවිය. නාසි ඝාතකාගාර තුළ නිරාහාරව සිටිමින් ඇවිදින ඇටසැකිලි මෙන් වැහැරී ගිය යුදෙව්වන් බොහෝ පිරිසකට ජීවත් වීමට වාසනාව ලැබුණි. ඔවුන්ගේ ගැලවුම්කරුවන් වූයේ මිත‍්‍ර හමුදා සෙබළුන්ය.

ලෝකය වෙනස් විය. යුද ගැටුම්වලින් තොර වඩාත් යහපත් ලෝකයක් වෙනුවෙන් ආයතන බිහිවිය. ඉතිහාසය අලූතෙන් ලියවෙන්නට විය. යුද්ධය කතාන්දර පොත් වලට පෙරළී යුද සාහිත්‍යයක් පවා බිහිවිය. බොහෝ වීරයන් ගැන ලියවුණි. ඔවුන් ඉතිහාස ගතවිය.

එහෙත් කොන්සල් කස්තෙජානෝ හෝ ව්‍යාපාරික මැන්ඩල් පිළිබඳව එසේ කවි ගී ලියවුණේ නැත. ඔහු මේ සියල්ල සිදුකළේ තමා මෙන්ම තම දරු පවුල ද විශාල අවදානමකට ලක් කරමිනි. මිනිස්කම් ගිලිහී ගිය ඉතිහාසයේ එක්තරා අඳුරු පරිච්ෙඡ්දයක බිහිවූ මෙතෙක් හෙළි නොවුනු වීරයන් තවත් බොහෝ සිටින්නට ඇත.

වර්ෂ 1992 දී ජෝර්ජි මැන්ඩල් මිය ගියේය. ඊට පෙර ඔහුගේ ක‍්‍රියාව ඇගැයීමට ලක් වී තිබුණි. කස්තෙජානෝ මියගියේ ඊටත් බොහෝ කලකට පෙර එනම් වර්ෂ 1977 දීය. නමුත් මරණයෙන් පසුව වුවත් ඔහුව වීරයෙකු ලෙස කිසිවෙකුගේ අවධානයට ලක් වූයේ නැත.

යුද්ධයෙන් පසුව තම මවු රටට නැවත පැමිණි කස්තෙජානෝ අප‍්‍රසිද්ධව ජීවත් විය. ඔහු කිසිවිටෙක තමන් වීර ක‍්‍රියාවක් කළ බව පවසන්නට උත්සාහ කළේ ද නැත. ඔහු විස්වාස කළේ තමාගේ තත්ත්වයේ සිටි ඕනෑම කෙනෙකු විසින් කරන ලබන දෙයක් තමා විසින් ද කළ බවයි. එය මිනිසකු වශයෙන් තමන්ට අදාළ අනිවාර්ය හා සාමාන්‍ය වගකීමක් ලෙස ඔහු සිතන්නට ඇත.

”මිතුරෙකු අනතුරේ වැටී සිටින විට ඔහුට පිහිට නොවෙන්නේ කෙසේද? ඒ ගැන දැන සිටි අයට ඔහු සරල ලෙස පිළිතුරු දුන්නේය.

අතළොස්සක් පමණක් දැනගෙන සිටි කොන්සල් කස්තෙජානෝගේ මානුෂීය ක‍්‍රියාන්විතයේ දිග පළල එළියට පැමිණියේ ඔහුගේ මරණයෙනුත් බොහෝ කලකට පසුවය. ඒ ඔහුගේ දරුවන්ට හමු වූ ගමන් මල්ලක් නිසාවෙනි. එහි තිබී කස්තෙජානෝගේ අත්සන සහිත සැල්වදොර ගමන් බලපත් රාශියක් හමුවිය. ඊට අමතරව වර්ෂ 2005 දී ජිනීවාහි පැරණි ගොඩනැඟිල්ලක් තුළ දූවිලි සහිත බිම්මහලක තිබී සැල්වදෝර මුද්‍රාව යෙදූ සහතික දහසකට ආසන්න සංඛ්‍යාවක් සොයා ගෙන තිබුණි.

කස්තෙජානෝ හා මැන්ඩල් යන දෙමිතුරන්ගේ ‘හොර පාස්පෝට් ජාවාරම’ නිසා ජීවත් වීමට වාසනාව ලද්දවුන්ගේ සංඛ්‍යාව හතළිස් දහසක් හෝ ඊට වැඩි බව පැවසෙයි. වර්ෂ 2010 දී ඊශ‍්‍රායල රජය විසින් නාසිවාදයෙන් යුදෙව්වන් මුදා ගැනීමට දායක වූ යුදෙව් නොවන පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් කස්තෙජානෝව පුදනු ලැබීය.

කොන්සල් කස්තෙජානෝ පිළිබඳව බොහෝ තොරතුරු හෙළිකරන ලද කියුබාවේ හා එල් සැල්වදෝරයේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ඒ. එල්. රත්නපාල මහතාට විශේෂ ස්තුතිය පුදකරමි.

* ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment