ජාවාරම්කරු හා බිරිඳ පලා යති
මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬලීමේ යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (22දා) බෙම්මුල්ල පොලිස් බල ප්‍රදේශයේ කොරස ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවකු සතුව තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන වාහන 10ක් පොලිස් භාරයට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
සිව් මහල් සුපිරි නිවාසයක් සැකකරුට අයත්ව ඇති අතර මීට පෙරද මෙහි සිව්වන මහලේ මහා පරිමාණ කසිප්පු ජාවාරමක් කරගෙන යෑමේදී පොලිසිය විසින් එම ජාවාරම වටලා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
වැටලීමේදී නීති විරෝධීව උපයාගත් බවට සැක කරන බස් රථ 02 ක්, කුඩා ලොරි රථ 02 ක්, යතුරුපැදි 05ක් සහ ත්‍රිරෝද රථ 01 ක් පොලිස් භාරයට ගැනුණි.
මීට අමතරව සැකකරුගේ සිව් මහල් නිවස සෝදිසි කිරීමේදී ඉඩම් 10ක් උගස් ගත් බවට වූ ලියකියවිලි සහ ලක්ෂ 140කට ඉඩමක් මිලදී ගත් බවට වූ ඔප්පුවක් ද පොලිසිය විසින් සොයා ගැනුණි.
වැටලීම හමුවේ සැකකරු සහ ඔහුගේ බිරිඳ පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී ම කුඩු ජාවාරම් කිරීම සම්බන්ධව අදාළ සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වූ බවත් සැකකරුගේ සිව් මහල් නිවසේ සිව්වන මහලේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ජාවාරමක් ද මීට පෙර අවස්ථාවකදී වටලනු ලැබූ බවත් වේයන්ගොඩ පොලිසිය පවසයි.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත බස්නාහිර පළාත (උතුර) ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා සහ ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (1) නාලක සේනානායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් තාරක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම මෙහෙයුම සිදු කළහ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව පොලිසිය සඳහන් කරයි.
වේයන්ගොඩ – ඉන්දික තුෂාර