යුකේ‍්‍රනය ගිනිගන්නා විට දික්වන ලංකාවේ තෙල් පෝලිම

170

වේගයෙන් ඉහළ යන උද්ධමනය හා සැපයුම් දාමවල ගැටලූ නිසා ලොව පුරා බඩුමිල ඉහළ යන මෙසමයේ, ලෝකයෙන්ම ජීවත්වීමට වඩාත්ම අධික මුදලක් වැය වෙන නගරය ලෙස ඊශ‍්‍රායලයේ ටෙල් අවිව් නම්කර තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.

 ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් නම් පර්යේෂණ ආයතනයෙන් සිදුකර ලද සමීක්ෂණයකට අනුව 2020 වසරේ ‘මිල අධික නගර’ ලැයිස්තුවේ පස්වන ස්ථානයේ සිටි ටෙල් අවිව් මේ වන විට මෙතෙක් පළමු ස්ථානයේ සිටි පැරීසිය සිංගප්පූරුව සමග සමදෙවැනි ස්ථානයට තල්ලූකර දමා ප‍්‍රථම ස්ථානයට පැමිණ ඇත. යුද්ධයෙන් විනාශ වූ සිරියාවේ ඩමස්කස් නගරය ලෝකයේ ජීවත්වීමට ‘ලාබම නගරය‘ යන ස්ථානයේ තවමත් රැුඳී සිටියි. The Hunger Project නම් පුණ්‍යායතනය පවසන පරිදි ලොව පුරා වෙසෙන මිලියන 690ක ජනකායක් සාගින්නෙන් පෙළෙන අතර, එයින් 60% ක්ම කාන්තාවන්ය. එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් තවත් මිලියන 850ක් දරිද්‍රතාවෙන් පෙළීමේ අවදානමක් පවතින බව අනතුරු අ`ගවා තිබිණි. නමුත් වර්තමානයේ ලංකාව මෙන්ම ලෝකයම බරපතළ ජීවන වියදම් අර්බුදයකට ලක්ව තිබෙන්නේ ප‍්‍රධාන වශයෙන්ම රුසියානු යුකේ‍්‍රන ගැටුමත් සමගය. ඇස් උඩයන තරමට තෙල් ගෑස් මිල ඉහළ යන්නේ එනිසාය. ලොව දෙවැනියට තෙල් නිපදවන්නේ රුසියාවයි. රුසියාවට සම්බාධක පනවන විට බොරතෙල් මිල ඉහළ යන්නේ ඇස් රතුකරගෙනය. කිව් නගරයට ෂෙල් වැටෙන විට පන්නිපිටිය මොරකැටියේ තෙල් පෝලිමද දික්වේ. ආණ්ඩුවට බනිමින් හෝ පෝලිමේ සිටිය යුතුය. නමුත් කවුරු ආණ්ඩු කරත් මේ අවුලෙන් ලෙහෙසියෙන් ගැලවිය නොහැක. බොරුවට වොයිස් කට් දීමෙන් මේ අවුලෙන් ගැලවිය නොහැක. යුකේ‍්‍රන ගැටුම නිසා එංගලන්ත වැසියෝ වසර පනහකට පසුව බරපතළ ජීවන වියදම් අවුලකට මුහුණදී සිටිති. ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ 1973 පසු ලොව ඛනිජ තෙල් සැපයුමේ විශාලතම සැපයුම් කම්පනය දැන් දකින්නට හැකි බවයි. රුසියානු ආක‍්‍රමණයට පෙර සිටම ගෝලීය තෙල් වෙළෙඳපොළ දැඩි විය. නමුත් පුටින්ගේ යුද්ධය සහ රුසියානු බොරතෙල් සැපයුම සහ බලශක්ති මිල මත එහි ප‍්‍රතිවිපාක, 1973 අරාබි තෙල් සම්බාධක හා සැසඳිය හැකි විශාල සැපයුම් කම්පනයකට වෙළෙඳපොළ තල්ලූ කර තිබේ.

 රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ තම රට බලශක්ති සැපයුම් සම්බන්ධයෙන් ගිවිසුම්ගත බැඳීම් අඛණ්ඩව ඉටු කරන බවයි. එසේම, යුරෝපීය සංගමය රුසියානු තෙල් සඳහා තහනමක් පැනවීම නොකිරීමෙන් මිල පීඩනයට ලක් විය. රුසියාව යුරෝපයේ රටවලට දිනකට බොරතෙල් බැරල් මිලියන 3ක් පමණ නැව්ගත කරයි. පෙබරවාරි 24 සිට තෙල් මිල 30% ට වඩා ඉහළ ගොස් ඇති අතර, පසුගිය සතියේ එක් අවස්ථාවකදී බැරලයක් ඩොලර් 139 (පවුම් 105) දක්වා ඉහළ ගියේය. එහෙත් පසුගිය බදාදා එක් අවස්ථාවකදී තෙල් මිල ඩොලර් 106 ක් දක්වා නැවත පහත වැටී ඇති නමුත් බ‍්‍රහස්පතින්දා උදෑසන වන විට එය ඩොලර් 116 ක් පමණ විය. මේ අවුල තෙලෙන් යැපෙන ලංකා ආණ්ඩුව තවත් උණුකරන බව කිව යුතුය. නමුත් තෙල් මිල ඉහළ දැමීම හැර වෙන විකල්පයක් නොමැත. මේ අවස්ථාවේ අයිස්ක‍්‍රීම් වෙළඳාමේ යෙදිය නොහැකි නිසා ආණ්ඩුව උපරිමයෙන් බැනුම් අසයි. නමුත් මෙය ලංකාව පමණක් නොව ලෝකයම මුහුණ දී ඇති බරපතළ ගැටලූවකි. තෙල් පෝලිමේ සිටියදී ආණ්ඩුවට බැන වැදීමෙන් රටේ ප‍්‍රශ්න නිමවෙන්නේ නැත. මේ අවුලට මුහුණදීමෙන් හැර පලා යෑමට කිසිවෙකුට නොහැකිය. පසුගිය කාලපරිච්ෙඡ්දය තුළදී ලංකාවට ආනයනය කරන ලද ප‍්‍රධාන බොර තෙල් වර්ග දෙකක් තිබේ. එහිදී ඉරානයෙන් ආනයනය කරන ඉරානියන් ලයිට් හා ඕමානයෙන් ආනයනය කරන ඕමාන් ලයිට් වර්ග දෙක ආනයනය කර තිබෙන අතර, ඉරානයට පැනවූ සම්බාධක හේතුවෙන් ඩුබායි රටේ නිෂ්පාදනය කරන Merban නමැති වර්ගය  සිංගප්පූරුවෙන් ආනයනය කර තිබේ. පසුගිය වසර 10ක කාලය තුළ දී ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල සලකා බැලීමේදී 2011, 2012, 2013 යන වර්ෂවල බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 94 සිට 97 දක්වා පරාසයක වැඩි වී තිබේ. 2015 සිට 2017 දක්වා කාලය තුළ දී එය ඇ. ඩො. 48 සිට 50 දක්වා පරාසයක ද, 2018 සිට 2019 දක්වා කාලය තුළ ඇ. ඩො. 56 සිට 65 දක්වා ද, 2021 වන විට සාමාන්‍යය ඇ. ඩො. 61 දක්වා ද වූ අගයක පවතී.

 පසුගිය වසර 15ක කාලය සැසඳීමේ දී බොර තෙල් බැරලයක මිල අඩුවෙන්ම වාර්තා වන්නේ 2020 වර්ෂයේදීය. ඒ ඇ. ඩො. 39.68ක් වශයෙනි. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හමුවේ අප වැනි කුඩා රටකට ඉන්ධන මිල ස්ථාවරව පවත්වා ගැනීම දුෂ්කර කාර්යයකි. එනිසාම මේ අර්බුදය නොවැළැක්විය හැක. පුටින් ජනපතිවරයාට කියා යුකේ‍්‍රන ආක‍්‍රමණය නැවැත්විය හැකි ජගතෙක් සිටීනම් තෙල් මිල හෙට අඩුවනු ඇත.

 පාන් කියා ගන්නට නොහැකි ලෙස පාන් මිලද ඉහළ ගොස් ඇත. දැන් පාන් ගෙඩියක මිල රුපියල් 110 ඉක්මවා ගොස් ඇත. යුකේ‍්‍රන ආක‍්‍රමනයද තිරිඟු පිටි මිල ඉහළ යෑමට කෙළින්ම බලපෑමක් ඇති කර තිබේ. මන්ද ලෝකයේ තිරිඟු අපනයනයෙන් සියයට 30 ක්, ඉරිඟු සියයට 19 ක් සහ ආහාර සැකසුම් සඳහා භාවිත කරන සූරියකාන්ත තෙල්වලින් සියයට 80 ක් යුකේ‍්‍රනය සහ රුසියාව විසින් නිපදවයි. රුසියානු සහ යුකේ‍්‍රන අස්වැන්නෙන් වැඩි ප‍්‍රමාණයක් යන්නේ යේමනය සහ ලිබියාව වැනි දුප්පත්, අස්ථාවර රටවලට බව ඇසෝසියේටඞ් ප්‍රෙස් වාර්තා කර තිබිණි. යුක්රේනය ‘යුරෝපයේ පාන් කූඩය’ ලෙස සියවස් ගණනාවක් පුරා ප‍්‍රකට සිටින්නේ, උතුරු අප‍්‍රිකාවේ සහ මැදපෙරදිග සිට අග්නිදිග ආසියාව දක්වා රටවලට ධාන්‍ය සපයන ප‍්‍රධාන සැපයුම්කරුවෙකු ලෙස යි.” ලෙබනනය යුකේ‍්‍රන තිරිඟු ටොන් 700,000ක් ආනයනය කරනවා – එය ඔවුන්ගේ සැපයුමෙන් 50%ට සමාන යි,” එක්සත් ජනපදයේ බ්‍රේක්තෲ ආයතනයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ පර්යේෂණ විශ්ලේෂකයෙකු වන ඇලෙක්ස් ස්මිත් ප‍්‍රකාශ කර තිබිණි.

 ‘සියල්ල ඉහළ යමින් පවතී’: ජීවන වියදම් අහස උසට නැඟීම නිසා නවසීලන්ත වැසියන් වේදනාකාරී කැපකිරීම් කරති යනුවෙන් ගාර්ඩියන් පුවත්පතේ සඳහන්ව තිබිණි. බොහෝදෙනා මහත් උජාරුවෙන් කියන නවසීලන්තයේ කතාව මෙසේය. තෙල් මිල නැග්ගාට උපන් රටට සාප කිරීමෙන් පලක් නැත. එසේ සාප කරන්නෝ එම සාපයට බිලිවෙති. රටට නම් හානියක් නොවේ. ඉහතින් කියූ ගාර්ඩියන් පුවතේ මෙලෙස සඳහන්ව තිබිණි. ‘‘ ඕක්ලන්ඞ්හි වැන්දඹුවෙක් තම නිවස විකුණා ජීවත් වීමට මාර්ගයක් සොයයි. වකාටානේහි ශිෂ්‍යයෙක් තම කාමරයට කුලිය ගෙවිය නොහැකි නිසා තම දෙමාපියන් සමඟ නැවත පදිංචියට යයි. වෙලින්ටන්හි මුල් ළමාවියේ ගුරුවරියක් බිල්පත් ගෙවීමට මුදල් ඉතිරි කිරීමට ආහාර වෙනුවෙන් මුදල් වැය නොකර සිටී.” මේ අල්ලපු රටේ කතාවකි.

 ‘‘මම හිතන්නේ ඔස්ටේ‍්‍රලියානුවන් දන්නවා මේ මොහොතේ පෙට‍්‍රල් මිල ඉහළ යෑම යුරෝපයේ යුද්ධය නිසා බව ඉදිරියේදී යම් සහන දෙන්න අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඔස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා තිබුණේ තෙල් මිල නිසා එරට වැසියන් නොරිස්සුම්ව සිටින නිසාය. ජීවන වියදම් පීඩනය වැඩිවීමත් සමඟ ඔස්ටේ‍්‍රලියාවේ විරැකියා අනුපාතය 4% දක්වා ළඟා විය හැකි බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

 මේ අර්බුදය හමුවේ රටේ අලූතින් ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. එසේම වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියද තාවකාලිකව නවත්වන ලෙස රජයට නිර්දේශ කර තිබේ. රටේ පවතින මූල්‍යමය තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර ඇතැයි එම බැංකු ආරංචි මාර්ග කියයි. රටේ රුපියල් ප‍්‍රමාණයේද බරපතළ පහත වැටීමක් පවතින හෙයින් මෙවැනි ක‍්‍රියාමාර්ගවලට අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව පෙන්වා දෙන ශ‍්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව නතර කිරීමෙන් රටේ ආර්ථිකයට ලොකු ගැටලූවක් ඇති නොවනු ඇතැයිද සඳහන් කරයි. මේ සම්බන්ධව රජයේ ප‍්‍රතිචාරය කවරක්ද යන්න පැහැදිලි නැත. කවරක් නමුත් මේ අර්බුදකාරී වකවානුවේ පටි තද කරගැනීමට ශ‍්‍රී ලාංකිකයන්ට පමණක් නොව සමස්ත ලෝවැසියන්ටම සිදුව ඇත. සිරියාවෙන් දහසය දහසක් බළකායක් යුකේ‍්‍රනයට එරෙහිව සටන් වැදීමට එන බව කියවේ. ඒ අනුව මේ ගැටුම අද හෙට අවසන්වන බවක් නම් දක්නට නොමැත. එවිට සිදුවන්නේ කුමක්ද ලංකාවේ තෙල් පෝලිම දික්වීම පමණි.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment