යුකේ‍්‍රන රුසියානු අර්බුදයේ ඇතුල් පැත්ත

1900

පසුගිය පෙබරවාරි 24 වැනි බ‍්‍රහස්පතින්දා අලූයම, රුසියානු හමුදා යුක්රේන භූමියට ඇතුළුවීමෙන් ඇරඹුණු යුද්ධය, මෙම ලිපිය ලියන මොහොත වන විටත් නිමවී නැත්තේය. මේ දිනවල බටහිර මාධ්‍ය හරහා ලැබෙන තොරතුරු සහ රුසියානු මාධ්‍යවලින් ලැබෙන දත්ත, සංඛ්‍යාලේඛන අතර විශාල පරස්පරයක් පවතින්නේය. යුද්ධයේදී සත්‍යය මියයෑම සාමාන්‍ය ප‍්‍රවණතාවයක් වන හෙයින් මෙය පුදුමයට කරුණක් නොවන්නේය. කෙසේ වුවද, මේ වන විට දෙපාර්ශ්වයටම බරපතල හානි සිදුව තිබෙන අතර, කුඩා ළමුන්ද ඇතුළුව අහිංසක සිවිල් වැසියන් විශාල ප‍්‍රමාණයක් මියයෑම අතිශය කනගාටුදායක ය. යුද්ධයේ මුල් දින දෙක තුළ රුසියානු හමුදා පහසුවෙන් ඉදිරියට ඇදුණද, කීව් අගනුවරදී දැඩි ප‍්‍රතිරෝධයක් එල්ල කිරීමට යුක්රේනියානුවන් සමත් වූ බවක් දැනගන්නට ඇත්තේය. කෙසේ වුවද, මේ වන විට යුක්රේන-බෙලරුස් දේශ සීමාවේදී සාම සාකච්ඡුා පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟවීම සැනසිලිදායක ආරංචියක් වන්නේය.

මොනම හේතුවක් නිසා හෝ යුද්ධයකට එළඹීම අනුමත කළ නොහැකිය. මොනම හේතුවක් නිසා හෝ මිනිසුන් මරාදැමීම අනුමත කළ නොහැකිය. ඒ අනුව බලනා විට, රුසියාව විසින් අරඹන ලද මෙම යුද්ධය කිසිසේත්ම අනුමත කළ නොහැකිය. එහෙත්, මෙම අර්බුදයේ සැබෑ පසුබිම හරිහැටි නොදැන ඇතැමුන් නගනා සමහර තර්ක හාස්‍යජනකය. මෙම අර්බුදය මෙතරම් ඔඩු දුවන්නට ඉඩ නොදී විසඳාගත හැකිව තිබුණු බව ඇතැමුන්ට නොපෙනීම කනගාටුදායක ය. රාජ්‍යතාන්ත‍්‍රික අත්දැකීම් අඩු, දේශපාලනයේ නවකයකු වන යුක්රේන ජනාධිපතිවරයා මෙම අර්බුදය කළමනාකරණය කළ ආකාරය කොතෙක් දුරට නිවැරදිද යන ප‍්‍රශ්නය මෙහිලා මතුවන්නේය. එපමණක් නොව, ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් හිතාමතාම යුක්රේනය උගුලක පැටලූවේද යන කරුණද සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකිය. එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් සුපුරුදු පරිදි, සිය දේශපාලන ක‍්‍රීඩාවේ පොරපිටියක් බවට යුක්රේනය පත්කර ගත්තේද යන කරුණ ද බැහැර කළ නොහැකිය.

යුකේ‍්‍රන රුසියානු අර්බුදයේ ඇතුල් පැත්ත

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු නොදනිතත්, යුක්රේන-රුසියානු සබඳතාවලට වසර දහසකට වැඩි ඉතිහාසයක් ඇත්තේය. වර්තමානයේ පවතින රුසියාව, යුක්රේනය, බෙලරුස් යන රාජ්‍යයන් තුනේම මූලාරම්භය සිදුවන්නේ, ක‍්‍රි.ව. දහවැනි සියවසේ බිහි වූ ”කීව්ස්කයා රුස්” නමැති රාජ්‍යයෙනි. මෙහි කීව්ස්කයා යන්නෙන් අදහස් කෙරෙන්නේ, එකී ඓතිහාසික රාජ්‍යයේ අග නගරය වූයේ වර්තමාන යුක්රේනයේ අගනුවර වන කීව් නුවර බවයි. රුස් යන්නෙන් අදහස් කෙරෙන්නේ මෙම රාජ්‍යයේ රුස්සන් වාසය කළ බවයි. වෙනත් වචනවලින් කියතොත්, රුසියානු, යුක්රේනියානු සහ බෙලරුසියානු යනු එකම මූලයකින් පැවත එන ජාතීන් තෙවර්ගයක් වන්නේය. ඔවුන්ගේ සංස්කෘතීන් හා භාෂාවන්වල බොහෝ සමානකම් ඇත්තේය. 1982-1993 කාලය තුළ (වසර එකොළහක්), අප එවකට සෝවියට් සමූහාණ්ඩු සංගමයේ, මොස්කව් නුවර ලූමුම්බා මිත‍්‍රත්ව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, රුසියානුවෝ, යුක්රේනියානුවෝ සහ බෙලරුසියානුවෝ බොහෝ දෙනෙක් අපේ මිතුරෝ වූහ. ඔවුනතර ඇති සුවිසල් සමානකම් අපි පැහැදිලිව ම දුටුවෙමු.

13 වැනි සියවසේදී, මොංගෝල අධිරාජ්‍යයේ වර්ධනයත් සමග, කීව්ස්කයා රුස් රාජ්‍යයද මොංගෝල ආක‍්‍රමණයට ලක් වූයේය. අනතුරුව, 16 සියවසේදී පෝලන්ත-ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය පිහිටුවා ගැනීමෙන් පසුව, යුක්රේන භූමිය පෝලන්ත ආධිපත්‍යයට නතු වූයේය. මේ අවධියේ, යුක්රේනයේ නැගෙනහිර ප‍්‍රදේශය ද ඇතුළුව, ශක්තිමත් සාර් අධිරාජ්‍යයක් ගොඩ නැගුණේය. දක්‍ෂ රණශූරයින් ලෙස ප‍්‍රසිද්ධියක් උසුලන කොසෑක්වරු පෝලන්ත-ලිතුවේනියානු පාලනයට එරෙහිව සටන් වැදුණු අතර, ඔවුනට අවශ්‍ය වූයේ රුසියානු සාර් අධිරාජ්‍යය හා ඒකාබද්ධ වීමටය. 17 වැනි සියවසේ සිට, යුක්රේනය කෙමෙන් රුසියානු සාර් අධිරාජ්‍යයට නතුවන්නට පටන් ගත් අතර, 18 වැනි සියවසේ පෝලන්තය මුළුමනින් වෙන්ව යෑමත් සමග එම ක‍්‍රියාදාමය අවසන් වූයේය. ඉන් අනතුරුව, යුක්රේනය ”රුසියානුකරණයට” ලක්වූයේ යැයි කීම අතිශයෝක්තියක් නොවන්නේය. පාසල්වල ඉගැන්වීම් තනිකරම රුසියානු භාෂාවට පමණක් සීමා වූ අතර, යුක්රේන භාෂාවට විවිධ තහංචි ද පැණවුණේය. රුසියානු, යුක්රේනියානු සහ බෙලරුසියානු යන තෙවර්ගයම එකම ජනවර්ගයක් හැටියට සැලකුණු අතර, යුක්රේනියානුවන් සහ බෙලරුසියානුවන් ”කුඩා රුසියානුවන්” :ඛසඑඑකැ ඍමිිස්බි* ලෙස සලකනු ලැබුවේය.

1917 ඔක්තෝබර් විප්ලවය වනතෙක් මෙම තත්ත්වය පැවති අතර, විප්ලවයෙන් පසුව යුක්රේනය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. එහෙත්, යුක්රේනයට ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිය හැකි වූයේ වසර පහක් තරම් වූ සුළු කාලයක් පමණය. 1922 දී, යුක්රේනය හා රුසියාව එක්ව සෝවියට් සමූහාණ්ඩු සංගමය පිහිටුවනු ලැබීය. පසුකාලීනව, තවත් රටවල් 13ක් සෝවියට් සංගමයට එකතු වූ අතර, සමූහාණ්ඩු 15කින් සමන්විත වූ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ දෙවැනියට විශාල සමූහාණ්ඩුව වූයේ යුක්රේනයයි. සෝවියට් පාලන සමයේදී ද, යුක්රේනය තුළ ”රුසියානුකරණය” දිගින් දිගටම සිදු වූ නමුත්, යුක්රේනයට විශේෂ සැලකිල්ලක් ද දක්වනු ලැබීය. ජෝෂප් ස්ටාලින්ගෙන් පසුව සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ නායකත්‍වයට පත්වූ තිදෙනෙක් ම යුක්රේනයට කිට්ටු සබඳතා ඇති අය වීම විශේෂත්‍වයකි. 1953-64 කාලය තුළ සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ නිකිතා කෘෂෙව්, සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ යුක්රේන සමූහාණ්ඩු කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්වරයා හැටියටය. 1964 ඔක්තෝබරයේ සිට 1982 නොවැම්බර් දක්වා වසර 18ක කාලයක් සෝවියට් දේශය පාලනය කළ ලියොනිද් බ්‍රෙෂ්නෙව් මහතා යුක්රේන ජාතිකයෙකි. සෝවියට් සංගමයේ අවසාන රාජ්‍ය නායකයා වූ මිහායිල් ගොර්බචොව් මහතාගේ මව යුක්රේන ජාතික කාන්තාවක් වූ අතර, ඔහු සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ යුක්රේනයේය. සෝවියට් පාලනය තුළ යුක්රේන සමූහාණ්ඩුව සුවිසල් ආර්ථික දියුණුවක් ලැබූ අතර, න්‍යෂ්ටික බලවතකු බවට ද පත්වූයේය.

යුක්රේන-රුසියානු සබඳතාවල ඉතිහාසය වසර දහසකට වඩා වැඩි ඈතකට දිව යන බව මේ අනුව පැහැදිලි විය යුතුය. එහෙත්, 1991 දෙසැම්බරයේ සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳවැටීමෙන් පසුව මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට පටන් ගත්තේය. නව නිදහස් යුක්රේනය වේගයෙන් බටහිර දෙසට ඇදීයන්නට පටන් ගත් අතර, යුක්රේනයේ මෙම නව ප‍්‍රවණතාවය රුසියාවේ අමනාපයට හේතු වූයේය. වසර ගණනාවක් තිස්සේ, විශේෂයෙන් සෝවියට් පාලන සමය තුළ, යුක්රේනය හා රුසියාව අතර පැවති දැඩි සබඳතා බිඳී යන විට, විවිධ අර්බුද මතුවන්නට පටන් ගත්තේය. සමාජාර්ථික මෙන්ම දේශපාලන අර්බුද ද මතුවන්නට පටන් ගත්තේය.

යුක්රේන-රුසියානු දේශසීමාව කිලෝ මීටර් 2295ක් පමණ දිගය. යුක්රේන වැසියන්ගෙන් 17%ක් රුසියානුවන් වන අතර, යුක්රේනයේ නැගෙනහිර හා දකුණු පළාත්වල ඇතැම් ප‍්‍රදේශයන්හි බහුතරය රුසියානුවෝ වෙති. දැනට මතභේදයට ලක්ව ඇති ක‍්‍රිමියා අර්ධද්වීපයේ මිලියන 2.4ක් පමණ වන ජනගහනයෙන් 65%ක්ම රුසියානුවෝ වෙති. 2014දී, රුසියාව විසින් එම ප‍්‍රදේශය බලෙන් අත්පත් කරගත් බවට චෝදනා එල්ල වුවද, එවැන්නක් සිදුවූයේ ජනමත විචාරණයක ප‍්‍රතිඵලයක් ලෙසය. එමෙන්ම, 1954දී, සෝවියට් පාලන කාලය තුළ, ක‍්‍රිමියාව තෑගි ඔප්පුවකින් යුක්රේනයට පවරන ලද බව අද බොහෝ දෙනෙකුට අමතකය. එවකට සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ නිකිතා කෘෂෙව්ගේ යුක්රේන ලැදියාව නිසා එසේ කරන ලද බව කියැවෙන්නේය. එමෙන්ම, පසුගිය පෙබරවාරි 21 දා, ස්වාධීන රාජ්‍ය ලෙස රුසියාව විසින් ඒකපාර්ශ්විකව පිළිගනු ලැබූ ලූහාන්ස්ක් හා ෙදානියෙත්ස්ක් ප‍්‍රදේශවල බහුතරය රුසියානුවෝ වෙති. යුක්රේනයේ වෙසෙන රුසියානුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම තමන්ගේ වගකීමක් යැයි රුසියාව අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය. දැන් වසර ගණනාවක් තිස්සේ, යුක්රේන රජය විසින් එම ප‍්‍රදේශවල වෙසෙන ජනතාවට අඩන්තේට්ටම් කරනා බවට රුසියාව නගන චෝදනාව ද මුළුමනින්ම බැහැර කළ නොහැකිය. යුක්රේන ප‍්‍රාථමික පාසල්වල යුක්රේන බසින් පමණක් ඉගැන්වීමට, 2014දී ගනු ලැබූ තීරණය රුසියාවේත් හංගේරියාවේත් දැඩි ෙදාා්ෂදර්ශනයට ලක්වූයේය.

යුක්රේන-රුසියානු සබඳතා වඩාත් අර්බුදකාරී තත්ත්වයකට පත්වන්නට පටන් ගත්තේ, මිලිටරි සහයෝගිතා ගිවිසුමකින් බැඳී සිටින නේටෝ සංවිධානයේ සාමාජිකත්‍වය ලබා ගැනීමට යුක්රේනය ඉදිරිපත්වීමෙන් පසුවය. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව, 1949දී, ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බි‍්‍රතාන්‍යය, කැනඩාව, ප‍්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් එකතු වී නේටෝ සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ සෝවියට් සංගමයෙන් එල්ල වෙතැයි අපේක්‍ෂා කළ තර්ජනවලට මුහුණ දීම සඳහාය. එහෙත්, 1991දී, සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳවැටීමෙන් පසුව, නේටෝ සංවිධානය විසුරුවා හැරීමක් සිදු නොවීය. ඒ වෙනුවට සිදු වූයේ, නේටෝ සංවිධානය තව තවත් ප‍්‍රසාරණය වීමය. පැරණි සමාජවාදී රටවල් ලෙස සැලකුණු නැගෙනහිර යුරෝපීය රටවල් හැමෙකක්ම පාහේ දැන් නේටෝ සංවිධානයේ සාමාජිකයෝ වෙති. එපමණක් නොව, පැරණි සෝවියට් සමූහාණ්ඩු සංගමය යටතේ පැවති රටවල් කිහිපයක්ම දැන් නේටෝ සංවිධානයේ සාමාජිකයෝ වෙති. මෙම පසුබිම තුළ, නේටෝ සංවිධානය තවදුරටත් නැගෙනහිර දෙසට ව්‍යාප්තවීම රුසියාව රුස්සන්නේ නැත. නේටෝ සංවිධානයේ ප‍්‍රසාරණය රුසියාව දකින්නේ තම රටේ ආරක්‍ෂාවට එල්ල වන තර්ජනයක් ලෙසටය.

යුකේ‍්‍රන රුසියානු අර්බුදයේ ඇතුල් පැත්ත

මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති

advertistmentadvertistment
advertistmentadvertistment