යුගදනවිය නව වසරේ පුපුරා යාවිද?

116

තවදුරටත් ශීඝ‍්‍රයෙන් වර්ධනය වන දේශපාලන අස්ථාවරත්ව මධ්‍යයේ කැබිනට් මණ්ඩලය ‘මැණිකේ මගේ හිතේ‘ තමන්ගේ ආරයකට ගයා සමාජ මාධ්‍ය ජාලා දිනාගත් යොහානි ද සිල්වාට බත්තරමුල්ලෙන් ඉඩම් පර්චස් 9.6ක කොටසක් ප‍්‍රදානය කිරීමට ඒකමතික තීන්දුවක් ගැනීම ජනතා අවධානයට යොමුවිය. මාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම පෙන්වා දුන්නේ 1996 ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය ශ‍්‍රී ලංකාවට දිනා දුන් අර්ජුන රණතුංග නායකත්වය දුන් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ට එවකට රජය ඉඩම් ලබා දුන් ස්ථානයෙන්ම යොහානිටද ඉඩම් ප‍්‍රදානය කළ බවයි. රටේ අකර්මන්‍ය කර ඇති දහසක් ප‍්‍රශ්න අතරේ කැබිනට් මණ්ඩලයට මෙවැනි තීන්දු තීරණ ගැනීමට ඉස්පාසුවක් තිබේද? පොහොට්ටු රජය ජනතාවට දුන් ප‍්‍රධානම පොරොන්දුව වන ව්‍යවස්ථාව රටට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය නොවැම්බර් තුන්වන සතියේය. යෝජිත කෙටුම්පත මේ වසර අවසානයට පෙර එළි දැක්වීමට අවස්ථාවක් නැත. පාර්ලිමේන්තුව කල්දැමීම ඇතුළු රට අවුල් කර ඇති අනෙකුත් කරුණු කාරණා නිසා නව ව්‍යවස්ථාව තවත් ප‍්‍රමාද විය හැක. ඊට අවශ්‍ය තුනෙන් දෙක පවත්වාගෙන යෑමේ අර්බුදයට රජය මුහුණ දී ඇති බව අවධාරණය කළ යුතුය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය තුළ තවදුරටත් වර්ධනය වෙමින් පවතින අර්බුදය කැබිනට් සංශෝධනයක් මගින් සමනය කිරීමට හැකියාවක් ඇති බව බලයේ සිටින කණ්ඩායමේ කොටසක් පවසයි. වර්තමාන අර්බුදකාරී තත්ත්වය කැබිනට් ඇමැතිවරු ඇනීමෙන් පාලනය කර ගත හැකිද? අවසන් වරට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සංශෝධනය කළේ අගෝස්තු මස 16 වැනි දිනය. එම කැබිනට් සංශෝධනයන් රජය තුළ යම් යහපත් වෙනසක් ඇතිවුවාද ? එසේත් නැතිනම් එවකට පැවති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වූවාද?

ගෝලීය තර්ජනයක් වූ කොවිඞ් ව්‍යසනයට අමතරව වර්තමාන රජය තමන් විසින්ම නිර්මාණය කළ අර්බුද ගොන්නක පැටලී ඇත. රාජ්‍ය ඇමැති සහ වියත්මග නියෝජනය කරන ආචාර්ය නාලක ගොඩහේවා විසඳා ගත නොහැකි තත්ත්වයට පත් වී ඇති කෘෂි රසායනික – කාබනික පොහොර අර්බුදය රජයේ අදූරදර්ශී ක‍්‍රියාමාර්ගය හේතුවෙන් නිර්මාණය වූ බව පසුගියදා බියගමදී පැවති ජන හමුවකදී ප‍්‍රකාශ කළේය. ඒ එම අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලංකාව ඇනවුම් කළ නමුත් පසුව ප‍්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගයට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට හිඟමනට පත්වී ඇති රජය තීරණය කිරීමෙන් පසුවය.

වසර 30 කින් අවසන් කිරීමට බලාපොරොත්තු වූ මහවැලි ව්‍යාපෘතිය වසර 6 කින් නිම කිරීමත් සමග කෘෂි රසායනික පොහොර වලින් කාබනික ගොවිතැනට මාරුවීම සංසන්ධනය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ වසර 5 කින් ලබා ගැනීමට අවස්ථාව තිබූ සාර්ථකත්වය නැති කර ගැනීමට හේතු වූයේ අනවශ්‍ය හදිසියකින් කෘෂි රසායනික පොහොර ආනයනය තහනම් කරමින් ගැසට්ටුවක් නිකුත් කිරීම බවය.

එලෙසම අනවශ්‍ය හදිසියකින් ගත් තවත් අනුවන තීන්දුවක් හේතුවෙන් පොහොට්ටු රජය බරපතළ අර්බුදයක පැටලී ඇත. ඒ අන්කිසිවක් නොව ජාත්‍යන්තර ප‍්‍රශ්නයක් බවට පත්වී ඇති යුගදනවී ගිවිසුමට එරෙහිව රටේ ඉහළම උසාවියට ඉදිරිපත් වූ පෙත්සම් ගොන්නට පක්ෂව පොහොට්ටු රජය නියෝජනය කරන ඇමැතිවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල උසාවිට ඉදිරිපත් වීමයි.

කැබිනට් සංශෝධනයක් හරහා යුගදනවි අර්බුදය විසඳා ගැනීමට රජය සිතීම මුළාවකි. නිර්භීත තීරණයක් ගත් අමාත්‍යවරුන් තිදෙනා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් හෝ ඔවුන්ගේ අමාත්‍යධුර වෙනස් කිරීමෙන් තවදුරටත් තීව‍්‍ර වෙමින් පවතින අර්බුදය සමනය කළ නොහැක. යුගදනවි ගිවිසුමට පක්ෂ සහ විපක්ෂ දෙපාර්ශවයම අධිකරණයේ පිහිට පතා ඇත. ඇත්ත වශයෙන්ම යුගදනවි නඩු තීන්දුව මත රජයේ ඉරණම තීන්දු වනු ඇත.

රජයේ ඉරණම මෙන්ම යුගදනවි ගිවිසුමට එරෙහිව ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගත් කණ්ඩායම මේ අවස්ථාවේ පසු බැස්සොත් ජනතාව ඔවුන් සම්බන්ධයෙන්ද නිසි ප‍්‍රතිචාර දක්වනු ඇත. රජය පඹ ගාලක පැටලී ඇත.

යුගදනවි ගිවිසුමට විරුද්ධ වූ කණ්ඩායමද පිළිබඳව කීමට ඇත්තේ එයමය. ඔවුනුත් පඹ ගාලක පැටලී ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප‍්‍රමුඛ පංච – පුද්ගල විනුසුරු මඩුල්ලක් ඉදිරියේ දෙසැම්බර් 16 සහ 17 දින විභාගයට ගත් යුගදනවි පෙත්සම් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු කාරණා කොපමණ බරපතළද? ජයන්ත ජයසූරියට අමතරව එම විනිසුරු මඩුල්ලට අයත්වන්නේ බුවනෙක අළුවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙනිය මහත්වරුන්ය. යුගදනවි පෙත්සම් වැඩිදුර විභාගය දෙසැම්බර් 21 සහ 22 යන දෙදින ගැනීමට විනිසුරු මඩුල්ල කළ යෝජනාව ක‍්‍රියාත්මක නොවුයේ නීතිපතිවරයා කළ ඉල්ලීමක් නිසාය. එසේ වූවානම් වර්තමාන තත්ත්වය වඩාත් බරපතළ වීමට ඉඩ තිබිණි. පෙත්සම් විභාගය ජනවාරි 10, 2022 කල්තැබීම රජයට යම් සහනයක් දී ඇත.

නමුත් චීන පොහොර අර්බුදය උසාවියෙන් පිට විසඳාගත් ආකාරයට යුගදනවි ගැටලූව අවසන් කළ නොහැක. කවුරු කෙසේ කීවත් යුගදනවි අවුල දේශපාලන අර්බුදයක් පමණක් නොවේ. ඊට එහා ගිය සමස්ත රාජ්‍ය ක‍්‍රියාවලියම විමර්ශනයට ලක්වන අවස්ථාවකි.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පංච – පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග වන පෙත්සම් හරහා විමර්ශනයට ලක්වේ. මෙවැනි නඩු විභාගයක් මින් පෙර සිදුවී නැත. වාසු, විමල් සහ උදය කණ්ඩායම අමාත්‍යවරුන්ගේ සාමූහික වගකීමට පිටුපා පෙත්සම්කරුවන් වන කොළඹ අගරදගුරු බිෂොප් මැල්කම් කාර්දිනල් රංජිත්, පූජ්‍ය ඇල්ලේ ගුණවංස, සමගි ජන බලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර සිට ගැනීම තුළ සමස්ත කැබිනට් ක‍්‍රියාවලියම අභියෝගයට ලක්වී ඇත. දෙපාර්ශවයම සිටින්නේ අතිශය බැ?රුම් දේශපාලන සටන් භුමියකය. උසාවියේ තීන්දුව කුමක් වුවත් ඉතාමත් සූක්ෂම ලෙස ක‍්‍රියාත්මක කළ යුගදනිවි ගිවිසුම පොහොට්ටු රජයට පාරාවළල්ලක් වී ඇත.

යුගදනවි ගිවිසුමට එරෙහිව කඳවුරු බැඳගත් අමාත්‍ය කණ්ඩායමට එක්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන ප‍්‍රධාන පාර්ශ්වකරුවන ශ‍්‍රීලනිපයටද අවස්ථාව තිබිණි. එම පක්ෂයේ 14 දෙනෙකු වන මන්ත‍්‍රී කණ්ඩායමේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටී. ඒ නිමල් සිරිපාල සහ මහින්ද අමරවීරයි. යුගදනවි පාවාදීමට එරෙහිව ඔක්තෝබර් 29 දින පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ පැවැත්වූ පළමුවන මහජන සභාවට ශ‍්‍රීලනිපය නියෝජනය කරමින් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහභාගී විය. එවැනි තත්ත්වයක් තුළ ශ‍්‍රීලනිපය යුගදනවි ගිවිසුමට එරෙහිව උසාවියේද සිට ගනීවිදැයි යන සැකය පොහොට්ටු පක්ෂය තුළ ඇතිවන්නට ඇත. නමුත් ශ‍්‍රීලනිපය වඩාත් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කර ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් ශ‍්‍රීලනිප ක‍්‍රියාකලාපය ජනතාව තුළ කුකුසක් ඇති කර ඇත. නිමල් සිරිපාල හෝ මහින්ද අමරවීර වාසු – විමල් – උදය කණ්ඩායම සමඟ එකතුවී යුගදනවියට එරෙහිවීම පොහොට්ටු පක්ෂයට වඩාත් අහිතකර වීමට ඉඩ තිබිණි. ශ‍්‍රීලනිපය

යුගදනවියට එරෙහි සටනේ කොනකය. යුගදනවි
ගිවිසුම සම්බන්ධයෙන් නිර්භීත තීන්දුවක්
නොගැනීම ශ‍්‍රීලනිපයට අවාසිදායකය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන්ම පත් කළ ජනපති කොමිසමේ චෝදනාවට ලක්වී ඇති හිටපු ජනාධිපති සහ වර්තමාන ශ‍්‍රීලනිප නායක පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන යුගදනවි සටනේදී පක්ෂය උසාවි යෑම වැළැක්වූවාද ? නැතහොත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම එම තීන්දුව ගත්තාද ? කෙටියෙන් කිවහොත්, ශ‍්‍රීලනිපය යුගදනවියට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට පසුබට වූයේ ඇයි? යුගදනවි පාවාදීමට එරෙහිව අධිකරණයට යෑම හරහා ජනතාවට සමීප වීමට ශ‍්‍රීලනිපයට තිබූ අවස්ථාව පක්ෂ නායකත්වය අහිමි කර ගත්තාද ?

ඇත්ත වශයෙන්ම සිදුවිය යුතුව තිබුණේ යුගදනවි ගිවිසුමට එරෙහි රජය නියෝජනය කරන සියලූම පක්ෂ සහ අපේ ජන බල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ අධිකරණයට කරුණු කීමයි. නමුත් ඒ අවස්ථාව අපතේ යවා ඇත. කැබිනට් සමූහ වගකීම සම්බන්ධයෙන් පසු විපරමක් කිරීමට අවශ්‍ය. යුගදනවි ගැටුම තුළ අධිකරණය ඉදිරියේ මනෝහර සිල්වා, රොමේෂ් ද සිල්වා සහ සාලිය පිරිස් ඇතුළු ජනාධිපති නීතිඥවරුන් සහ අනෙකුත් නීතිඥවරුන් දෙසැම්බර් 16 සහ 17 දිනවල ඉදිරිපත් කළ කරුණු කාරණා ගැඹුරු විමසීමකට ලක් කළ යුතුය.

මෙහිදී වඩාත් අවධානයට ලක්වුයේ නව ව්‍යවස්ථාවක් සැකසීමේ ක‍්‍රියාවලියේ ප‍්‍රමුඛයින් වන රොමේෂ් ද සිල්වා (එම කණ්ඩායමේ සභාපති) සහ මනෝහර ද සිල්වා, පිළිවෙලින්, ලංකා විදුලි බල මණ්ඩලය සහ විදුලි සේවක සංගමය වෙනුවෙන් ඉදිරිපත් කළ ලිඛිත සහ වාචික කරුණුය. විශේෂයෙන්ම ඔවුන් දෙදෙනා ඉදිරිපත් කළ, ඉදිරියේදී ඉදිරිපත් කරන කරුණු කාරණා සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ නව ව්‍යවස්ථාව සැකසීමේ සමස්ත ක‍්‍රියාවලියටද අවධානය යොමු කිරීමෙනි. ලංකා විදුලි බල මණ්ඩලය යුගදනවි නඩුවේ වගඋත්තරකරුවෙකි. විදුලි සේවක සංගමය පෙත්සම්කරුවෙකි.

මනෝහර ද සිල්වා අධිකරණය ඉදිරියේ අවධාරණය කළ යුගදනවි තර්ජනය ජනතාව භීතියට පත් කළ කිව යුතුය. ඒ අභියෝගය ද්‍රවිඩ ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලාංකීය රාජ්‍යට එල්ල කළ අභියෝගයට එහා ගිය තත්ත්වයකි. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාගේ, ආණ්ඩුවේ හෝ ආණ්ඩුවේ කොටසක අවශ්‍යතාවය සපුරාලීමට නොවේ. යුතුකම නායක පොහොට්ටු ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග අවධාරණය කරන පරිදි යෝජිත නව ව්‍යවස්ථාව ද්‍රවිඩ ත‍්‍රස්තවාදය පරාජය කළ ශ‍්‍රී ලංකාවේ වර්තමාන භූමියේ තත්ත්වය පිළිබිඹු කළ යුතුය. විසිවැනි සංශෝධනය පොහොට්ටු පක්ෂය පොරොන්දු වූ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ලබා දීමට අසමත් වූ බව ජනතාවට අවධාරණය කරන්නේ යුගදනවි අර්බුදයයි. පොහොට්ටු පක්ෂය ගත් එම අදූරදර්ශී තීරණය හේතුවෙන් ආණ්ඩුවට කරගත් හානිය මැනිය නොහැක.

පෙත්සම්කාර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් , පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මෙහිදී අවධාරණය කළේ මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද යුගදනවියට එරෙහි අමාත්‍යවරුන් තිදෙනා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයට එම ගිවිසුමේ වගකීම පැවරෙන බවයි. යුගදනවි නඩුව හේතුවෙන් මහත් උජාරුවෙන් කථා කරන ශ‍්‍රී ලංකාවේ තරු පහේ ප‍්‍රජාතන්තවාදයේ සැබෑ මුහුණුවර අධිකරණය ඉදිරියේ විමර්ශනයට ලක්වීම ජනතාවගේ පැත්තෙන් ඉතාමත් සතුටුදායක තත්ත්වයකි. විශේෂයෙන්ම අවධාරණය කළ යුතු වන්නේ කැබිනට් මණ්ඩලයේ නායකත්වය ව්‍යවස්ථානුකුලව හිමිවන්නේ ජනාධිපතිවරයාට වන බැවින් අදාළ ගිවිසුම සම්බන්ධයෙන් නැගෙන චෝදනා ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි බවයි.

මෙහිදී නීතිපතිවරයාගේ ක‍්‍රියාකලාපය අවධානයට ලක්වීම වැළැක්විය නොහැක. මෑතකදී ගෑස් සිලින්ඩර අනතුරු හේතුවෙන් මහජනතාව පීඩාවට ලක්වීමට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ නීතිඥ නගානන්ද කොඩිතුවක්කු නීතිපතිවරයාගේ කාර්යභාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ආන්දෝලානාත්මක විරෝධය බැහැර කළ නොහැක. නීතිපතිවරයා පෙනී සිටිය යුත්තේ මහජනතාව වෙනුවෙන් මිස දූෂිත දේශපාලනඥයන් වෙනුවෙන් නොවන බව සිවිල් ක‍්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන කොඩිතුවක්කු අවධාරණය කළේය. මෙහිදී හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් රටේ ඉහළම උසාවිය දෙසැම්බර් ප‍්‍රකාශයට පත් කළ තීන්දුවද අතිශය වැදගත්ය.

යුගදනවි, හීලෑ අලි ඇතුන් නීති විරෝධීව ළඟ තබා ගැනීමට චෝදනාවට ලක්වූ පුද්ගලයින්ට නැවතත් එම දැවැන්තයින් ලබාදීම සම්බන්ධව අධිකරණය දුන් තීන්දුව මෙන්ම ගෑස් සිලින්ඩර් අනතුරු පිළිබඳව අභියාචනාධිකරණයේ නඩුවද අවධාරණය කරන්නේ ‘එක රටක් , එක නීතියක් ’ සැබෑ අවශ්‍යතාවය නොවේද? කැබිනට් මණ්ඩලය සාමූහික එකඟත්වයෙන් ක‍්‍රියා කළ යුත්තේ රටේ යහපතට නොවේද? කැබිනට් මණ්ඩලය එම කණ්ඩායමේ කොටසක විශ්වාසය කඩ කිරීම සාමූහික වගකීම තුළ සැඟවිය හැකිද? ජනවාරි මස 10 වන දින නැවත විභාගයට ගැනීමට නියමිත යුගදනවි පෙත්සම් විභාගය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂවලට තම පක්ෂවල ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නැවත හැරී බැලීමට බල කරනු ඇත.

කැබිනට් මණ්ඩලය ඕනෑම ක‍්‍රියාදාමයක් අනුමත කිරීමට ලාංඡනයක් පමණක් නම් හම්බන්තොට වරාය 99 – වසරකට චීනයට බදුදීම (2017), කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් මගින් බලාත්මක කිරීම (2020) සහ යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් 40 % ඇමෙරිකාවේ නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි (2021) විකිණීම ද කැබිනට් මණ්ඩලය හරහා කිරීමේ වරදක් නැත. සාලිය පිරිස් නීතිඥවරයා අවධාරණය කළේ වාසු – විමල් – උදය නියෝජනය කරන්නේ ගමේ මරණාධාර සමිතියක් නොව කැබිනට් මණ්ඩලය බවයි. කැබිනට් මණ්ඩලය මරණාධාර සමිතියක් නොවන බව සැබෑය. එලෙසෙම කැබිනට් මණ්ඩලය සිල්ලර කඩයක් ද විය නොහැක. කැබිනට් මණ්ඩලය ජනතාවට වගකිව යුතුය. වග විය යුතුය. රට පාවාදෙන ගිවිසුමක් කැබිනට් මණ්ඩලය සාමුහිකව හෝ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් කොටසක් අනුමත කිරීම විමසා බැලිය යුතු වන්නේ කාලයක් තුළ කුමන පක්ෂය බලයේ සිටියත් කැබිනට් මණ්ඩලය ක‍්‍රියා කර ඇති ආකාරය ද අවධානයට ලක් කරමිනි. යහපාලන කැබිනට් මණ්ඩලය හෝ එයින් කොටසක් 2015 ජිනීවා පාවාදීම කළ ආකාරය අදටත් පැහැදිලි නැත. දූෂිත කැබිනට් ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කාලයක් තිස්සේ කොපමණ චෝදනා තිබුණත් මෙආකාරයට අධිකරණය ඉදිරියේ කැබිනට් මණ්ඩලය නිරුවත් වී නැත.

කිසිදු පාර්ශවයකට යුගදනවියෙන් ලිස්සා යෑමට නොහැක. කෙටියෙන් කිවහොත් යුගදනවි ගිවිසුම හේතුවෙන් ගැටෙන පොහොට්ටු ආණ්ඩුවේ කණ්ඩායම් දෙක පොහොර ගැටලූව, එහා සම්බන්ධව නැගෙන මූල්‍ය චෝදනා, ගෑස් සිලින්ඩර් අනතුරු හේතුවෙන් ජනතාව මුහුණ දෙන තර්ජනය, උහුලා ගත නොහැකි ජීවන වියදම, කෙළවරක් නොමැති වැඩ වර්ජන, ඉතාමත් භයානක තත්ත්වයකට පත්වී ඇති මූල්‍ය සුරක්ෂිතභාවය, දේශපාලන ව්‍යාකූලත්වයට වගකිව යුතුය. මෙම කිසිදු පාර්ශවයකට තවදුරටත් මාධ්‍ය සංදර්ශන හරහා ජනතාව නොමඟ යැවිය නොහැක.

ජනාධිපති මාධ්‍ය අංශය සංවිධානය කළ මාධ්‍ය හමු දෙකකදී විදුලි බල මණ්ඩලයේ වත්මන් සභාපති එම්. සී. ෆර්ඩිනැන්ඩෝ සහ ලිට්‍රෝ සභාපති තෙශාර ජයසිංහ, පිළිවෙළින් යුගදනවි ගිවිසුම සහ ගෑස් සිලින්ඩර් අනතුරු සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශ පසුව නිෂ්ප‍්‍රභ විය. මෙය යහපත් තත්ත්වයක් නොවේ. කැබිනට් මණ්ඩලය රටේ ඉහළම උසාවිය නොමඟ යැවීමට උත්සහා කළ බවට එම කැබිනට් මණ්ඩලයේම කොටසක් අධිකරණයට යෑම අවධාරණය කරන සත්‍ය කෙතරම් භයානකද? යුගදනවි තීන්දුව කුමක් වුවත්, අධිකරණ ක‍්‍රියාවලිය හෙළිකරන සත්‍ය දූෂිත දේශපාලනයට මරු පහරක් වනු ඇත.

පාර්ලිමේන්තුව කල්දමා ප‍්‍රශ්න විසඳිය නොහැක. අර්බුද සැඟවිය නොහැක. නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන්නේ ජනවාරි 18 දිනය. යුගදනවි පෙත්සම් විභාගය ජනවාරි 10 දින නැවත ආරම්භ වේ. පොහොට්ටු ආණ්ඩුව මුහුණ දෙන අභියෝගය යුගදනවි ගැටුම කළමනාකරණය කර ගැනීමයි. ඊට අවස්ථාව සහ අවශ්‍ය පරිසරය, ජාත්‍යන්තර ණය පියවීමේ උභතෝකෝටික ප‍්‍රශ්නයට මුහුණ දී ඇති ආණ්ඩුවට තිබේද?

ශමින්ද්‍ර
ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment