කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් ඇමරිකාවේ නිව් පෝට්ටේරස් එනර්ජි සමාගමට පවරා දීමට රජය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ (21 ද) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, ඇමරිකාවේ නිව් පෝට්ටේරස් එනර්ජි සමාගම සහ කොළඹ වෙස්ට් කෝස්ට් පවර් පුද්ගලික සමාගම, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
එම විදුලි බලාගාරයට ද්‍රව වායු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ඇමරිකානු සමාගමට ලබාදීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇති පෙත්සම්කාර මන්තී‍්‍රවරයා පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු ඒ සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරනා ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මේ අතර එකී ගිවිසුම් අත්සන් කිරීම වළක්වන ලෙස හා ගිවිසුම් අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමිපාණන් ඇතුළු පිරිසක් ද ඊයේ (21 දා) අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළහ.
එකී ගිවිසුම් අත්සන් කිරීමෙන් ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල වීමේ ඉඩකඩ ඇති බවත් නීතිඥ දිනේෂ් ද සිල්වා මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සමෙන් බෙංගමුවේ නාලක හිමිපාණන්, වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර හා නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව යන පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
යුගදනවි විදුලි බලාගාර ගිවිසුම බලරහිත කරන ලෙසට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ජාතික හිමිකම් සංවිධානය අභියාචනාධිකරණයට ඊයේ (21දා) පෙත්සමක් ඉදිරිපත් කළේය.
එම පෙත්සමේ පෙත්සම්කරුවන් වන ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, වෛi වසන්ත බණ්ඩාර හා නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන් පෙත්සම භාරදීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි අයුරු.
ඒ. ජේ. ඒ. අබේනායක
ඡායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ