(30 වැනි ගුණ සමරුව නිමිත්තෙනි)
ශ්‍රී ලාංකික දේශපාලනයේ සුවහසක් මිනිසුන් දැක ඇත්තෙමු. එහෙත් යුගයක් වෙනස් කළ දේශපාලනඥයන් සිටිනුයේ අතළොස්සකි. ඒ අතරින් ජනතා ආකර්ෂණය දිනාගනිමින් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ ප්‍රමුඛතම දේශපාලනඥයෙකු ලෙස වාරිමාර්ග, ඉඩම්, ඉඩම් සංවර්ධන, විදුලිබල, මහාමාර්ග, මහවැලි සංවර්ධන හා වැවිලි කර්මාන්ත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ නම ඉතිහාසයට එක් වී තිබේ.
මේ ගතවන්නේ එවන් දූරදර්ශී දේශපාලනඥයන් අවැසිම මොහොතකි. මේ හිටපු අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා පිළිබඳ මතකාවර්ජනයකි.
1947 මාර්තු මස 21 වැනි දින උපත ලද ලයනල් ගාමිණී දිසානායක මහතා දේශපාලන වටපිටාවක් සහිත පවුලක හැදී වැඩුණු දරුවෙකු විය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකු වන එතුමන් එක්සත් රාජධානියේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ නීති අංශයෙන් උසස් අධ්‍යාපනය සපුරාලීමෙන් අනතුරුව අධිනීතිඥවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතයට අවතීර්ණ විය.
එතුමන් ජාතික දේශපාලනයට පිවිස ඍජු සහ අවංක අරමුණු ඔස්සේ සමස්ත පොදු ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ ජන නායකයකු ලෙස ජන හදවත් තුළ සදානුස්මරණීය සටහන් තැබූ චරිතයකි.
1977 වසර වන විට ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ විපක්ෂය විරෝධතා රැසක්ම දියත් කළ අතර පක්ෂයේ කෙමෙන් කෙමෙන් දිදුලන නායකයකු ලෙස නමක් දිනාගනිමින් තිබූ ගාමිණීද එහි ප්‍රමුඛයකු විය. 1977 දී මහ මැතිවරණයේ කටයුතු කිරීම සඳහා ආර්.ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් කමිටුවක් පත් වූ අතර ඊට සාමාජිකයන් 10ක් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්දයෙන් පත්කරගනු ලැබිණි. එහිදී වැඩිම ඡන්ද ලබාගත්තේ ගාමිණීය.
ගාමිණීට අමතරව ඒ.සී.එස්. හමීඩ්, කේ. දේවනායගම්, රොනී ද මැල්, ලලිත් ඇතුලත්මුදලි, ගාමණී ජයසූරිය, ඊ.එල්. සේනානායක, සිරිල් මැතිව් සහ ඊ.එල්.බී. හුරුල්ලේ යන මහත්වරුන් එම කමිටුවට තේරී පත්විය. 1977 මහ මැතිවරණය ගාමිණී දිසානායකට කිසිදු අභියෝගයක් නොවිණි. ඒ වන විට බහු ආසනයක් ලෙස නම් කොට තිබූ නුවරඑළිය – මස්කෙළිය අසුනින් පහසුවෙන්ම ජයගනිමින් ගාමිණී පාර්ලිමේන්තු ආවේ පක්ෂයේ ජාතික මැතිවරණ සංවිධාන වැඩට ද විශාල සවියක් වෙමිනි. මේ අතර 1977 එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ “නිවහල් ධාර්මිෂ්ට සමාජයක්” යන්නේ ප්‍රධාන සම්පාදකයකු ලෙස ගාමිණී කැපී පෙනුණි. 1977 මහ ඡන්දයේ එජාප ජයට ගාමිණී දිසානායකයන්ගේ දායකත්වය ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ මෙලෙසිනි.
“මේ ඡන්ද ව්‍යාපාරයේදී එක්සත් ජාතික පක්ෂයට ප්‍රධාන කථිකයන් තිදෙනෙක් සිටියහ. ජේ. ආර්. පළමුවැන්නාය. ඡන්ද ව්‍යාපාරයේ වඩාත්ම චතුර කථිකයා වූ ආර්. ප්‍රේමදාස දෙවැන්නාය. ප්‍රසන්න පෙනුමෙන් යුත් වූ බිණීමෙහි දක්ෂ, තරුණ ගාමිණී දිසානායක තුන්වැන්නාය. උඩ රැටියෙකුවීම නිසා ප්‍රාදේශීය වශයෙන් ජනතාවගේ සිත් ඇදගත හැකි වීම ඔහුට තිබූ අතිරේක වාසියකි. බණ්ඩාරනායක මහත්මිය සිය පක්ෂය තුළ උඩරට කොටස් නියෝජනය කළ අයුරෙන්ම ගාමිණී දිසානායකගේ “උඩරට” උණුසුමෙන්ද නිසි ප්‍රයෝජන ගනු ලැබීය. මේ තිදෙන වඩාත් විශාල රැස්වීම් අමතමින් රට වටා ගියහ. සාමාන්‍යයෙන් ජේ. ආර්. ප්‍රධාන කථිකයා විය. ඡන්ද ව්‍යාපාරය ඉදිරියට ඇදී යත්ම ගාමිණී දිසානායකද ඔහුට එක්විය.
සතියකට දෙකකට පසු ආර්. ප්‍රේමදාස ඔහුටම ආවේණික උද්‍යෝගයෙන් ඇතැම් ඡන්ද කොට්ඨාසවල රැස්වීම් අමතමින් ගිය අතර, ඉන් සතියකට දෙකකට පසු ජේ. ආර්. තනිව හෝ ගාමිණී දිසානායක කැටුව හෝ එම ස්ථානවලම රැස්වීම් අමතන්නට ගියේය. කෙසේ වුවද ප්‍රධාන කථිකයා වූයේ ජේ. ආර්. ය. ඔහුගේ දේශපාලන ජීවිතයේ ප්‍රථමවරට විශාලතම මෙන්ම, වඩාත්ම උද්‍යෝගීමත්
ජනකායක් ඇද ගැනීමට ඔහු සමත් වූයේය”. වසර දහස් ගණනක් අප රට ස්වයංපෝෂිත කරවූ කෘෂිකර්මාන්තය නඟාසිටුවීමටත්, ජල විදුලිය උත්පාදනය තුළින් රට තුළ නව කාර්මික ප්‍රබෝධයක් ඇති කරලීමටත් හැකි වූයේ ගාමිණී දිසානායකයන් නායකත්වය දුන් මහවැලි ව්‍යාපාරය හරහායි. කෘෂිකර්මාන්තයට හා විදුලි උත්පාදනයට පමණක් සීමා නොවූ මහවැලි ව්‍යාපාරය එම කලාපයන්හි ආගමික, සංස්කෘතික, අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා ආදී සෑම අංශයක්ම එකිනෙකට සමගාමීව සංවර්ධනය කිරීමට එතුමන් විදිමත් සැලැස්මක් සකස් කරන ලද්දකි. මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ජනතාව සංවර්ධන කටයුතු සඳහා නැඹුරු කරගැනීම සහ ඔවුන් තුළ සුභවාදී ආකල්ප ඇති කිරීම අරමුණු කරගත් වැඩසටහනකි. වසර 30 කට සැලසුම්ගත ව්‍යාපෘතියක් පස් අවුරුදු සැලැස්මකට අනුව ක්‍රියාත්මක කරන්නට ඔහුට හැකි වන්නේ එවැනි සැලසුම් සහගත ව්‍යාපෘතියක් බවට පත්කිරීම නිසාවෙනි.
අදටත් රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 60% පමණ සම්පූර්ණ කරනුයේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිකළ ජල විදුලි බලාගාරයන් මගිනි.
ගාමිණී දිසානායක මැතිතුමන් ශ්‍රී ලාංකික තරුණයාට මුහුණදීමට සිදුවන අනාගත ලෝක අභියෝග විනිවිද දැකීමට සමත් වූ තුන්කල් දුටු නායකයෙකි. ලෝක ශ්‍රම වෙළෙඳපොළට අලෙවි කළ හැකි අද්විතීය ශ්‍රමිකයෙක් බිහි කිරීමේදී ග්‍රාමීය උගත් තරුණයා මුහුණදුන් ප්‍රධානතම ගැටලුව එතුමන් මැනවින් දුටුවේය.
පාසල් වියේ සිටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය ඇති කිරීමේ වැදගත්කම සෑමවිටම පෙන්වාදුන් එතුමන් සිය මන්ත්‍රී වැටුප හා පෞද්ගලික මුදල් යොදවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ දූ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කිරීමට මහත් වෙහෙසක් දරා කටයුතු කළේය. නවීන්, වරුණි, මයන්ත යන තම දරුවන්ට පීතෘ සෙනෙහස උපරිමයෙන් එතුමන් දැක්වීය.
ගාමිණී දිසානායකයන් අප රටට බොහෝ දෑ දිනාදුන් චරිතයකි. අප මාතෘභූමිය දිනාදීමට තව බොහෝ දෑ ස්වකීය හදවතේ පිඹුරුපත් සැකසෙමින් තිබුණා වන්නට ඇත. එහෙත්, නිස්සාර වර්ගවාදී බෙදුම්වාදයේ ගොදුරක්වීම හේතුවෙන් අද වැනි දිනක 52 වැනි වියේදීම ඔහුගේ ජීවන ගමන හැර දමන්නට සිදුවිය. අතීතය සාක්ෂි දරන එවැනි සිදුවීම් තුළින් ජාතිවාදයේ හා ආගම් වාදයේ අඳුරු පැතිකඩ පිළිබිඹු කරන්නකි.
අතීතය ආදර්ශයට ගෙන ජාතීන් අතර එකමුතුව, සංහිඳියාව ඇති කිරීම එතුමන්ට කරනු ලබන ඉහළම ගෞරවයක් සේ අප දකිමු. එමෙන්ම වත්මන් දේශපාලන නායකයන් ද ගුණාත්මක දේශපාලනයක නිරත වෙමින් දූරදර්ශීව කටයුතු කරනු දැකීමට අප බලාපොරොත්තු තබාගෙන සිටින්නෙමු !
කරු ජයසූරිය
හිටපු කථානායක
සභාපති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය