යුගයක මහා කලාකරු ඇම්. සාර්ලිස් මාස්ටර්

605

සාර්ලිස් මාස්ටර් 20 වන සියවසේ මුල්ම භාගය වන විට සාර්ථකම වාණිජ චිත‍්‍ර ශිල්පියා බවට පත්ව සිටියේය. එම සාර්ථකත්වයට තරුණ වියේදීම එකල ලංකාවේ වැඩි අලෙවියක් තිබූ බෞද්ධ චිත‍්‍ර ඔහු අතින් නිම වීම, ප‍්‍රධාන පුවත්පත්වල චිත‍්‍ර ශිල්පියා වීම ආදී විවිධ කරුණු හේතු විය.

ආචාර්ය සූරක්කූලමේ පේමරතන හිමි පීටස්බර්ග් විශ්වවිද්‍යාලයේ තම ආචාර්ය උපාධි නිබන්ධනය ලෙස ඉදිරිපත් කළ Bringing the Buddha Closer: The Role
of Venerating the Buddha in the Modernization of Buddhism in Sri Lanka නම් ශාස්ත‍්‍රීය පර්යේෂණ ග‍්‍රන්ථය තුළ සාර්ලිස් නාමය සඳහන්ව තිබීම වැදගත් කොට සැලකිය යුතු කරුණකි. මෙම කෘතිය තුළ යටත් විජිත යුගයේදී ඇරඹි බෞද්ධ පුනරුදයේ සිට බුදුන් වහන්සේට දැඩි භක්තිය වර්ධනය කිරීමේ කාර්යභාරය සම්බන්ධව වූ පර්යේෂණාත්මක කරුණු දක්නට ලැබේ. එකල සිටි මහා යතිවරයන්, බුද්ධිමතුන්, දානපතියන් කළ ඒ කාර්යභාරය පමණක් නොව සාර්ලිස් විසින් ඉටු කළ කාර්යභාරය ද මෙම කෘතියේ දක්වයි. එකල බුද්ධ වන්දනා ග‍්‍රන්ථ ආදිය පමණක් නොව නිවස තුළ බුදු මැඳුරු ඇති කිරීම, එවාට අවශ්‍ය බෞද්ධ පින්තූරයන් හා කුඩා බුදු පිළිමයන් නිර්මාණය වීමද මෙම පුනරුදය තුළ ඇති විය.

යුගයක මහා කලාකරු ඇම්. සාර්ලිස් මාස්ටර්
සාර්ලිස් මාස්ටර් හා සාර්ලිස් මැතිනිය

ස්වදේශ මිත‍්‍රයා පුවත්පතේ පේදිරිස් වරුන් විසින් සාර්ලිස්ගේ චිත‍්‍ර ප‍්‍රවර්ධනයට අතිරේකයක් පළ කළ බවට මතයක් පැවතියද ආචාර්ය පේමරතන හිමියන් සඳහන් කරන්නේ විලියම් පේදිරිස් සමාගම 1923 දී බෞද්ධ සිතුවම් පෙළ ප‍්‍රවර්ධනයට ”බොදු සිතුවම් වර්ණ කාව්‍ය’’ නමින් පොත් පිංචක් කළ බවය. මෙම සිතුවම් නිවසක තබා ගැනීමේ ප‍්‍රයෝජන හා ප‍්‍රතිඵල කවියෙන් විස්තර කොට එහි ඇතුළත්ව තිබුණු බවත් එවා පියදාස සිරිසේන මහා ලේඛකයා විසින් ලියා ඇති බවත් උන්වහන්සේ සඳහන් කර ඇත. මෙම පොත් පිංච නිර්මාණය කොට තිබුණේ සාර්ලිස් විසින්ය.

ආචාර්ය පේමරතන හිමියන් සඳහන් කළ අනෙක් වැදගත් කරුණ වනුයේ 1930 ජනවාරි මස 8 වන දින සාර්ලිස් මාස්ටර් විසින්ම බුද්ධ රූපයන් සඳහා දැන්වීමක් ස්වදේශ මිත‍්‍රයා පුවත්පතේ පළ කිරීමය. ප‍්‍රතිපත්ති පූජා නම් ශීර්ෂයෙන් යුත් එම දැන්වීමේ වූයේ ශාස්ත‍්‍රානුකූලව නිම වූ බුද්ධ රූප ශාසන මාමක බැතිමතුන්ට මිලදීගත හැකි බවය. එහි සඳහන් වූයේ එම්. සාර්ලිස්, බුද්ධ මන්දිරය, කොළඹ යන ලිපිනයයි.

උන්වහන්සේගේ පර්යේෂණයෙදි සාර්ලිස් වැදගත් සාධකයක් වූයේ කුමක් නිසාද යන්න ලේඛකයා දැනට ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ අධිශිෂ්‍යත්වලාභියකු ලෙස පර්යේෂණ කටයුතුවල යෙදෙන ආචාර්ය සූරක්කුලමේ පේමරතන හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ පැවසුයේ සාර්ලිස් කළ මහා ශාසනික සේවය වනුයේ බෞද්ධයාගේ නිවස තුළට බුද්ධ රූපය පළමු වරට රැගෙන යෑමය. 1900 වන තුරුම බුද්ධ වන්දනා කළේ නිවසින් පිට තැනකය. එකල බුදු රුව නිවාස තුළ තබා නොගත්තේ විවිධ හේතු මත නිවස අපිරිසිදු තැනක් යයි සැලකූ හෙයිනි. නමුත් අනෙක් ආගම්වල පිරිස් නිවාස තුළ පූජාසන සදා ආගමික මෙහෙයන් කළේය. සාර්ලිස් බුදු රුවට පෙර සීවලි මහරහතුන් වහන්සේගේ සිතුවම නිවාස තුළට ගෙන ගියේය. එය කාටත් පෙනෙන තැනක එල්ලා තැබූ බෞද්ධයන් නිතරම දුටුවේ එම රුවය. මෙම පෙරලියෙන් සිදු වූයේ බුදු වහන්සේගේ රුවත්, බුදු පිළිමයත් සීවලි රහතුන් වහන්සේගේ ඡායාරූපයත් බොදු නිවසක් තුළ නැතිවම බැරි අංගයක් වීමය.

1924 ජුලි 24 වැනිදා ඉරිදා පුවත් පතක් ලෙස ඇරඹි ස්වදේශ මිත‍්‍රයා පුවත් පත මෙතෙක් පැවති පුවත් පත් වලට වඩා වෙනස් මඟක් ගත් එකකි. එකල ස්වදේශ මිත‍්‍රයා ආසියාවේ විශාලතම පුවත්පත විය. විවිධ විශේෂාංග වලින් යුත් ලිපි පාඨක සිත් ගැනීමට එහි චිත‍්‍ර ශිල්පි සාර්ලිස් මාස්ටර්ගේ දායකත්වය බලපෑවේය.

යුගයක මහා කලාකරු ඇම්. සාර්ලිස් මාස්ටර්
Buddhist Annual

Buddhist Annual of Ceylon නමින් ඉංග‍්‍රීසි භාෂාවෙන් පළ වූ මාස හතරකට වරක් නිකුත් වන සඟරාවක් 1920 දි ආරම්භ කරන ලදි. ලංකාවේ ඉංගී‍්‍රසි භාෂාව භාවිත කරන ලාංකිකයනටත් විදේශීය රටවල ජනතාවටත් බුදු දහමත් ජාතික ප‍්‍රබෝදයත් ඇති කිරීම අරමුණු කොට ප‍්‍රකාශයට පත් කරන ලද්දකි. මෙහි ලිපි පළ කළ අය අතර අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, ඕල්කට් ආදීන්ගේ ලිපි ඇතුළත් විය. කොළඹ ඩබ්ලිව්. ඊ. බැස්ටියන් සමාගම විසින් මෙම සඟරාව ප‍්‍රකාශයට පත් කරන ලදි. වර්ණ පිට කවරයකින් යුක්ත වූ මෙහි මුල්ම සඟරාවේ පිට කවරය නිර්මාණය කොට අඳින ලද්දේ සාර්ලිස් මාස්ටර් විසිනි. එහි වූයේ විහාරයක මකර තොරණක් තුළින් වෙහෙරක් පෙනෙන ලෙස වූ වර්ණ චිත‍්‍රයකි.

යුගයක මහා කලාකරු ඇම්. සාර්ලිස් මාස්ටර්
ශී‍්‍ර පාද කෘතිය

සාර්ලිස් මාස්ටර් චිත‍්‍ර විවිධ මාධ්‍යයන් සඳහා යොදා ගනු ලැබීය. එකල ජනප‍්‍රිය පොතක් වූ උම්මංග ජාතකයේ මුල් කවරය සිතුවම් කරමින් ඔහු ඇරඹි නව ගමන් මඟට උදාහරණ රාශියක් ඉතිහාසය තුළ දක්නට ඇත. පූජනීය ශී‍්‍ර පාද පුද බිමේ මහා මළුවට මුලින්ම විදුලි ආලෝකය ලබා දීම පිළිබඳව පිළිගත් මතය වනුයේ ලක්ෂපාන බලාගාරයේ වැඩ නිම වූ වහාම එයින් පළමු විදුලිය 1950 දී ශ‍්‍රී පාද පුද බිමට දුන් මතයය. එහෙත් මුලින්ම මහා මළුවට පළමු වරට විදුලිය ලබා දෙන්නේ 1934 දි පමණ කොළඹ ශී‍්‍ර සමන්තකූඨ විදුලි පහන් ආලෝක සහෝදර සමිතියේ මැදිහත් වීමෙනි. ශ‍්‍රී පාද වන්දනාවේ දී සිදූ වු සිද්ධි මාලාවක් හරහා ඇති වූ තීරණයක අවසාන ප‍්‍රතිඵලය වූයේ ඉතා දූෂ්කර අභ්‍යාසයකින් පසු මහා මළුවට විදුලි ආලෝකය ලබා දීමය. 1934 දී ශ‍්‍රී පාද මහා මළුවට ආලෝකය ලබා දීම ගැන විස්තර සහිත කෘතියක් ආචාර්ය කේ. ඇම්. විතාරණ විසින් රචිත Sri Pada Adma’s Peak – the Holy mountain of religious amity and miracles නමින් ලියා ඇත. ඉහත කී සමිතිය විදුලි ජනක යන්ත‍්‍රයක් ගැනීම සඳහා අරමුදලක් ඇරඹි අතර එයට අරමුදල් ලබා ගැනීමට සාර්ලිස් මාස්ටර්ගේ චිත‍්‍ර යොදා ගති. සාර්ලිස් මේ සඳහා චිත‍්‍ර තුනක් ඇඳ දුන් අතර එවා ලිතෝ මුද්‍රණයෙන් සකසා අලෙවි කොට ආදායමක් ලබා ගනු ලැබීය. එයින් එක් චිත‍්‍රයක දෙවියන් මලින් ශ‍්‍රී පාදය පුදන අයුරුත් මහා ගංගා ගලා බසින අයුරුත් සාර්ලිස් විසින් සිතුවම් කොට තිබුණි. මෙම චිත‍්‍රයන්ට ඉහළ ඉල්ලූමක් පැවතීය.

යුගයක මහා කලාකරු ඇම්. සාර්ලිස් මාස්ටර්

කුමාරතුංග මුනිදාස ළමා පරපුරේ අධ්‍යාපනය සේම යහපත් අනාගත දරු පරපුරක් බිහි කිරීමට තම ළමා ග‍්‍රන්ථ හරහා මහත් පරිශ‍්‍රමයත් ගත් ගත් වියතෙකි. 1930 ගණන්වල මුද්‍රිත ශිෂ්‍යා මාර්ගය හා පරමාදර්ෂ ළමයින්ගේ හැසිරීම උදාහරණ ලෙස දක්වා කළ ශිෂ්‍යාවතාර ආදි පොත් තුළිනුත් ළමයින්ගේ මනා හැසිරීම අදාළ පරමාදර්ෂි ක‍්‍රියාවන් පහසුවෙන් ළමා මනසට කුමාරතුංගයන් එක් කළේ චිත‍්‍ර භාවිතයෙනි. මෙම චිත‍්‍ර වැඩිම ප‍්‍රමාණයක් ඇඳ ඇත්තේ සාර්ලිස් මාස්ටර්ය. මෙම චිත‍්‍ර අධ්‍යයනය කරන ඕනෑම අයෙකුට සාර්ලිස්ගේ අනෙක් චිත‍්‍ර වලට වඩා වෙනස් භාවිතයක් මෙම චිත‍්‍ර සඳහා යොදාගෙන ඇත. මෙම චිත‍්‍ර කළු සුදු නිසා රේඛා ඉස්මතු වන ලෙස නිර්මානය කර ඇත. කුමරතුංගයන් ළමයින්ට කියා දුන් ඓතිහාසික සිද්ධිද විස්තර කිරීමටද සාර්ලිස්ගේ චිත‍්‍ර යොදා ගනු ලැබීය. සාර්ලිස් මාස්ටර්ගේ මෙම චිත‍්‍රයන් ගැන විස්තරයක් සමරණායක විපුලගුණ ඔහුගේ ”නොගිය මඟක් ගත් කුමාරතුංග මුනිදාස’’ නම් පොතෙහි සටහන් කර ඇත. සිරිමත් චරිතයේ විවිධ අවස්ථා සාර්ලිස්ගේ සිතුවම් වලින් නිරූපණය වීම හරහා පිරිපුන් ළමයකු ඇසුරු කිරීම කරන අයුරු දක්නට ලැබුණු බව දක්වයි. පළමු වරට ළමා චිත‍්‍රයන්ද සිතුවම් කළේ සාර්ලිස් මාස්ටර් යැයදි නිගමනයකට මේ අනුව එළඹීමට හැක.

සාර්ලිස් මාස්ටර් විසින් සිතුවම් කළ රාජ සභාවේ විරිදු ගායනයක යෙදෙන ශිල්පියෙකුගේ චිත‍්‍රයක් සුනිල් ආරියරත්න විරුද හා විරුදු කෘතියේ 297 වන පිටුවට ඇතුළත් කොට ඇත. මෙම චිත‍්‍රය තුළ රාජ සභාව තුළ රජුගේ ගුණ ගයන කවිකාරයන් අතර රබානක් ගෙන විරුදු ගායනයක් කරන අයෙකු දක්වා ඇත. එම චිත‍්‍රය පැහැදිලි ලෙසම දෙවන රාජසිංහ රජුගේ රාජ්‍ය සභාව එලෙසම නිරූපණය කිරීමක් වේ. ඉහළට එසවෙන විශාල පිහාටු තුනක් සමඟ වූ දෙවන රාජසිංහ රජුගේ ඔටුන්න මනරම්ව සාර්ලිස් සිතුවම් කොට ඇත.

අද මෙන්ම එදත් කිසියම් කථා වස්තුවක් සමඟ එයට අදාළව චිත‍්‍රයක් ඇතුළත් කිරීම දක්නට ලැබේ. එකලත් පත්මාවතී කථාව ලාංකික සමාජය තුළ වඩාත් ජනප‍්‍රිය මාතෘකාවක් විය. පත්මාවතී කථාවේ පත්මාවතීව සාර්ලිස් මාස්ටර් සිතුවම් කළේ 1920 Buddhist Annual of Ceylon සඟරාවටය. මේ අනුව පත්මාවතීගේ රූපය පළමු වරට සඟරාවකට හෝ පුවත්පතකට ඇන්දේ සාර්ලිස් මාස්ටර් යැයිද නිගමනය කළ හැක.

සාර්ලිස් මාස්ටර් 1925 ලංකීක සිනමාවේ නිෂ්පාදිත ප‍්‍රථම චිත‍්‍රපටය වූ රාජකීය වික‍්‍රමය චිත‍්‍රපටයේ කලා අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කිරීමෙන් ලාංකීක සිනමාවේ පළමු කලා අධ්‍යක්‍ෂ ලෙසද ඔහුගේ නාමය ඉතිහාසගත වේ. ප‍්‍රසිද්ධ දේශපාලනලයකු වූ ඇන්. ඇම්. පෙරේරා ප‍්‍රධාන චරිතය රඟපෑ මෙම චිත‍්‍රපටය ලංකාව තුළ ප‍්‍රදර්ශනය නොවූවද සම්පූර්ණයෙන්ම නිම වූ චිත‍්‍රපටයක් ලෙස සිංගප්පුරුවේ ප‍්‍රදර්ශනය කොට ඇත. ඓතිහාසික කථා වස්තුවක් වටා ගොඩ නැඟුනු මෙම චිත‍්‍රපටය විශාල පසුතලයන් තුළ නිෂ්පාදනය විය. ඒ සඳහා බම්බලපිටියේ ඩික්මන් පාර අසල විශාල රාජකීය මාවත් පුරාණ මාවත් පුරාණ ගෙවල් ආදි පසුතල නිර්මාණ කොට ඇත. රජ මාලිගා උයන් ආදි මහා පසුතල මරදානේ මවුලානා වත්තේ නිර්මාණය කොට රාජකීය වික‍්‍රමය චිත‍්‍රපටය රූ ගත කොට තිබුණි. සාර්ලිස් මාස්ටර් තම හොඳම ගෝලයා ජි. ඇස්. ප‍්‍රනාන්දු සහාය අධ්‍යක්‍ෂ ලෙස යොදා ගනු ලැබීය.

සාර්ලිස් වෘත්තිය මට්ටමේ ශීල්පීන් බිහි කිරීමත් චිත‍්‍ර හා මූර්ති ශිල්පය තරුණ පරපුර අතර ජනප‍්‍රිය කිරීමත් අරමුණු කොට ගෙන චිත‍්‍ර ශිල්පය හැදෑරීමට පාසලක් ආරම්භ කළේය. එය දෙමටගොඩ ඇල්බියන් මාවතේ ලංකා චිත‍්‍ර කර්ම විද්‍යාලය නමින් වූ චිත‍්‍ර පාසලය. මෙය ලංකාවේ බිහි වූ පළමු චිත‍්‍ර පාසල විය හැක. මෙයට අමතරව තැපැල් මාර්ගික අධ්‍යාපන පාඨමාලාවක් හරහාද චිත‍්‍ර ශිල්පය ඉගැන්වීය. නවනාරි කුංජරය, හංස පුට්ටුව, පංච නාරි ඝටය හා සප්ත නාරි පලැක්කිය ආදි චිත‍්‍රයන් තැපැල් මගින් ලබා දි ඒ ආශි‍්‍රතව චිත‍්‍ර ඇඳීම හුරු කළේය. ළමා පරපුරට නිවැරදිව සිංහල අක්ෂරයන් චිත‍්‍ර ආශ‍්‍රය කර ගෙන ලිවීම සඳහා අත හුරු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ සහිත සිංහල අක්ෂරමාලා නමැති කෘතිය සාර්ලිස් ප‍්‍රකාශනයට පත් කළ අතර එහි අයිතිය තම පුතු එම්. සුසිල් පේ‍්‍රමරත්නට පැවරිය. එසේම පසු කාලීනව ගල්කිස්සේ ශාන්ත රීටා පල්ලියට යාබදව ගල්කිස්සේ ශාන්ත රීටා පාරේ අංක 118 දරන ස්ථානයේ ශී‍්‍ර ලංකා චිත‍්‍ර කලායතනය පිහිටු වු අතර පසුව ගල්කිස්සේ ගාලූ පාරේ අංක 330ට ගෙන යන ලදි. මෙම ස්ථානයන් දෙකෙහිම ඔහුගේ නිවාස ද පිහිටියේය. ඒ අතරින් ශාන්ත රීටා පාරේ නිවසේ විශාල චිත‍්‍ර නිර්මාණය කරන චිත‍්‍රාගාරයක් පවත්වා ගෙන ගොස් ඇත.

සාර්ලිස් මාස්ටර් තම එකම පුතු සුසිල් පේ‍්‍රමරත්නයන් චිත‍්‍ර ශිල්පය ඉගැන්වීමට වඩා ගායකයකු කිරීමට කැමැත්තක් දැක්වූයේ ඔහුගේ ගායන කුසලතා හොඳින් වටහාගත් හෙයිනි. තම අසල්වැසි මිතුරෙකු වූ සී. ඒ. ෆොන්සේකගේ සරල ගී සඳහා සහාය ගායනයට තම පුතුට අවස්ථාව ලබා දුනි. මේ අතර සුසිල් සිරි අයියාගේ ළමා වැඩසටහන් වලටත් සහභාගි වූ අතර ඔහුගේ හැකියාව දූටු කාර්ගීල්ස් හි ගේබි‍්‍රයල් ගුණරත්න ග‍්‍රැමෆෝන් තැටියකට ගී ගැයීමට ආරාධනා කරයි. ගීත දෙකක් තැටියට නැගෙන අතර එකක් යුග ගීයක් අනෙක තනි ගීතයක් විය. යුග ගීතය බී. ඇස්. පෙරේරාගේ සංගීතයට වි.පි. ලීලාවති සමඟ ගැයූ වීණා ශිල්පාචාරි නම් ගීතයය. අනෙක සුසිල්ගේ පළමු ගීතය ලෙස සලකනු ලබන ශී‍්‍ර රඳනා මනහාරි නම් ගීතයය. මෙහි විශේෂත්වය සාර්ලිස් මාස්ටර් තමා ලියූ එකම ගීතය තම පුතු සුසිල්ට ලිවීමය. මෙය සඳහා සංගීතය මොහොමඞ් ගවුස් සැපයුයේ සාර්ලිස්ගේ ඉල්ලීම මතය. 1945 දී එච්. එම්. වී. අංක 44 දරන තැටිය යටතේ එම ගීත නිකුත් විය. සාර්ලිස් ලියූ එකම ගීතයේ පද කිපයක් මතකයට නැගීම ඔහුට කරන ගෞරවයකි.

ශී‍්‍ර රඳනා මනහාරි උදාරි
සුන්දර පොහොය දිනේ //
සඳ කාන්ති ප‍්‍රභා දී හද පිනවායේ//
උදා වී උදා වී සුනිලඹරේ
ශී‍්‍ර රඳනා…
සඳ කාන්තියෙනි නෑවී
ජල ධාර ගලා ඒවි සඳ කාන්තියෙනි නෑවී //
දර්ශනේ විලාසේ මනහර වේ
ආ ප‍්‍රබෝධ ප‍්‍රීති කෙරේ
ශී‍්‍ර රඳනා මනහාරි උදාර……

සාර්ලිස් සිය පුතු ගායකයකු පමණක් නොව චිත‍්‍ර ශිල්පියකුද කළේය. තම පුතු භාර දුන්නේ තම හොඳම ගෝලයා වූ ජී. ඇස්. ප‍්‍රනාන්දුටය. සුසිල්ව මහනුවර ධර්මරාජයට යැවූ පසුව මරදානේ ටෙක්නිකල් කොලීජියටද යවන ලදි. තම ගුරුන්ට ගුරු භක්තිය දැක්වීම තම දරුවාට පමණක් නොව තම ගෝලයනටද සාර්ලිස් දැඩි විනයකින් අවබෝධ කර දුනි. සුසිල් ගේ පුත් සාර්ලිස් මාස්ටර්ගේ මුනුබුරු නයනජිත් පේ‍්‍රමරත්න ලේඛකයාට ප‍්‍රකාශ කළේ ජී. ඇස්. මිය යන තුරුම සෑම සිංහල අවුරුදූ දිනකම සුසිල්ගේ නිවසේ ආහාර අනුභවය ඇරඹූ අතර සුසිල්ද තම ගුරුවරයාව බුලත් දී පඩුරු දුන් බවය.

සාර්ලිස් මාස්ටර් තම ජීවිතයේ අවසන් කාලය වන විට ඔහු ලංකාවේ සිටි ආර්ථිකමය වශයෙන් පොහොසත්ම කලාකරු විය. එකල සිනමාවේ හෝ වෙනත් කලා මාධ්‍යක සිටි කලාකරුවනට වඩා ආර්ථිකමය වශයෙන් ශක්තිමත්ව සිටියේය. ඔහු කොළඹට පැමිණ ස්ථාවර වූ පසු දෙමටගොඩ ජීවත් වූ අතර 1940 ගණන්වල ගල්කිස්සේ ශාන්ත රීටා පාරේ අංක 188 ස්ථානයට පදිංචියට පැමිණියේය. මෙම ස්ථානයේ ඔහුගේ විශාල චිත‍්‍රාගාරයක් විය. ගල්කිස්ස හා ඒ අවට පිරිස් පළමුව චිත‍්‍ර හැදෑරීමට පැමිණියේ මෙම ශාන්ත රීටා පාරේ නිවසටය. ගාමිණි ෆොන්සේකාද පළමුව සුසිල්ගෙන් චිත‍්‍ර ඉගැනීම කළේ මෙහිය.

1951 දි පමණ ගල්කිස්සේ ගාලූ පාරේ අංක 330 දරන ස්ථානයේ දෙමහල් නිවාස සදා එහි පදිංචියට සාර්ලිස් පැමිණියේය. දැනට ගල්කිස්ස හන්දියේ සිංගර් ප‍්‍රදර්ශනගාරයට අල්ලපු ඉඩමේ ඔහුගේ නිවස පිහිටා තිබුණේය. එකල ගල්කිස්සේ දෙමහල් නිවාස තිබුණේ කිප දෙනකුට පමණි. සාර්ලිස් තම ගල්කිස්සේ නිවසටද දැම්මේ තම පුතුට ලියූ ගීතයේ මුල් වචන වූ ‘සිරි රඳනා’ යන්නය. මෙම ගල්කිස්සේ වූ නිවාස දෙකම කිසියම් ලෙසක සැබෑ කලාගාරයක් විය. චිත‍්‍ර පමණක් නොව සංගීතය ද එහි විය. ගාමිණි ෆොන්සේකා වරක් ප‍්‍රකාශ කළේ තමන් චිත‍්‍ර පුහුණුවන විට එම නිවසේ තවත් පැත්තෙන් මියුරු කාන්තා කටහඬක් ඇසුනු බවය. ඔහු එහි ගොස් බලන විට දුටුවේ පසු කලෙක ප‍්‍රසිද්ධ ගායිකාවක වූ ලතා ගීත පුහුණුවන අයුරුය. එකල මොටර් රථයක් තිබුණේ ඉතාමත් සිමිත පිරිසකටය. සාර්ලිස්ට මයිනර් හා ඔස්ටින් වර්ගයේ මෝටර් රථ තිබූ අතර ඔහුට වැටුප් ගෙවූ රියැදුරන්ද සිටි බවත් ඔහු සතුව ඉඩම් දෙමටගොඩ ප‍්‍රදේශයේ වූ බවත් නයනජිත් පේ‍්‍රමරත්න ලේඛකයාට පැවසීය.

යුගයක මහා කලාකරුවා වූ ඇම්. සාර්ලිස් මාස්ටර් විශාල ගෝල පරපුරක් බිහි කර 1955 නොවැම්බර් මස 21 වන දින මෙලොව හැර ගියේය. වත්මන් පරපුර නැවත සාර්ලිස්ගේ චිත‍්‍රයන්හි පුනරුදයක් ඇති කළේය. වෙළෙඳ පොළ තුළ තවමත් සාර්ලිස්ගේ චිත‍්‍ර වලට ඉල්ලූමක් ඇත. ඒසේම මාර්ටින් වික‍්‍රමසිංහ කෞතුකාගාරය, කොළඹ ගංගාරාමය හා වෙනත් ස්ථානයන්හිදී ද චිත‍්‍රවල මුල්ම මුද්‍රණයන් අනාගත පරපුරට සංරක්ෂණය කිරීම පැසසිය යුතුය.

සාර්ලිස් හා එම මැතිනියගේ ඡායාරූපයේ අයිතිය නයනජිත් පේ‍්‍රමරත්න සතුය.

ලබන සතියේ සාර්ලිස් මාස්ටර්ගේ දිය සායම් පරපුර ආශි‍්‍රත ලේඛන

⋆ සිංහල සිනමාවේ ආරම්භක පසුබිම – එම්.ආර්.මෙන්ඩිස්

⋆ නොගිය මඟක් ගත් කුමාරතුංග මුනිදාස – සමරනායක විපුලගුණ

⋆ සුසිල් පේ‍්‍රමරත්න මහතා ගැයූ සුප‍්‍රකට හා අප‍්‍රකට ගුත්තිල ගී යුගලය – සරසවිය 2020 අපේ‍්‍රල් 09 ඉසුරු උදයංග කාරියවසම්

⋆ Susil Premaratne – Great Artist with Variety of Talents- T.K.Premadasa (ලේඛකයා – ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ විශ‍්‍රාමික විධායක නිලධාරියෙකි. [email protected])

පේ‍්‍රමදාස තෙලිකෝරල
කටුබැද්ද

advertistmentadvertistment
advertistmentadvertistment