යුග පුරුෂයකුගේ කතාවක්

533

වරක් ආරියරත්න ඉන්දියාවේ සර්වෝදය ව්‍යාපාරයේ නායක විනෝබාහාවේතුමා හමු වන්නට ගියේ ය.

ආරියරත්න වහා එතුමා සමග කතා කරන්නට සූදානම් වූ නමුත් හැඩි දැඩි පුරුෂයෙක් එයට අවසර නො දී ඔහු එ තැනින් කැඳවා ගෙන ගියේ ය. ‘දැන් ආයේ විනෝබාහාවේතුමා භාවනාවට සම වදිනවා, එයින් පස්සේ කතා කරන්නට පුළුවන්,

යුග පුරුෂයකුගේ කතාවක්

අර පුරුෂයා ආරියරත්න අමතා කීය. එහෙත් ආරියරත්න ඔහු මග හැර වෙනත් දොරකින් ඇතුළු වී විනෝබාහාවේ තුමා ළඟට පැමිණ දණ ගසා වැඳ එකත් පස් ව සිටියේ ය. ආචාර්ය විනෝබාහාවේ ආරියරත්න ගේ හදවත විනිවිදව යන අන්දමේ තියුණු බැල්මක් හෙළී ය.

‘ඔබ සිංහල බෞද්ධයෙක් නේ ද?’

‘එසේ ය.’

‘ඔබ රටේ හිනිදු, මුස්ලිම්, දෙමළ වැනි තවත් ජාතීන් ජීවත් වෙනවා නේ ද?’

‘එසේ ය.’

‘රටේ දේශපාලන පක්‍ෂ විසි ගණනක් තියෙනවා නේ ද?’

‘එසේ ය.’

මේ සියල්ල විනෝබාහාවේ තුමා ඇසුවේ ඇයි? එතුමා ඇසූ මේ සියල්ල ම සත්‍ය නොවේ ද? අපේ රටේ පවත්නා අප්‍රමාණ වූ දේශපාලන පක්‍ෂ විසින් මිනිසා ගේ අධ්‍යාත්මය විනාශ කර නැද්ද? ආරියරත්න යටි හිතින් හිතත්නට විය.

යුග පුරුෂයකුගේ කතාවක්

‘මේ සියල්ල… ලංකාව බින්දුවටම සමාන වෙනවා. එහෙත් එක බින්දුවකින් බෙදුවම ලැබෙන උත්තරය මොකක් ද?’

‘අනන්තය’

‘ඔබ හරි’ ඔබ හරි තමන් ගේ රට දියුණු කරනවා නම් දියුණු කරන්නට අනන්ත ක්‍රම තිබෙන බව තේරුම් ගන්න. කෝ ඔබ ළඟ ධම්මපදයක් තියෙනව ද?’

ආරියරත්නට හීන් දාඩිය දැම්මේ ය.

‘දැනට මගෙ අතේ ධම්මපදය පොත නෑ.

ඒ වුණාට මුළු ධම්මපදය පොත ම මට කට පාඩමින් කියන්නට පුළුවන්.’

‘නෑ නෑ. එහෙම කියන්නට එපා. ඒක වැරදියි. තමා නියම බෞද්ධයෙක් නම් ධම්ම පදය නිතරම අතේ තියෙන්න ඕනෑ. තේරුණා ද? ඔබේ රටේ තියෙන ඔක්කොම ප්‍රශ්නවලට උත්තර ධම්ම පදයේ තියෙනවා.

නිහඬ විප්ලවයේ ආරම්භය

ඒ. ටී. ආරියරත්න නාලන්දාවේ සිය ගුරු වෘත්තීය ජීවිතය පටන් ගත් පසු වෙනත් මිනිසුන් මෙන් ඔහේ තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන නිකම් සිටියේ නැත. නාලන්දා විද්‍යාලයීය සමාජ සේවා සංගමය ඉදිරියේ නොදියුණු ගම් දියුණු කිරීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ ය. වැඩට බසින්නට යැයි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

යුග පුරුෂයකුගේ කතාවක්

ගත්කරුවකුගේ ඇසින්
ලාල් ප්‍රේමනාත් ද මැල්

මේ වැඩපිළිවෙළ හාපුරා දියත් කරන ලද්දේ 1958 දෙසැම්බර් මාසයේ මුල් සතියේ දී ය. නාලන්දාවේ ශිෂ්‍යයන් පමණක් නොව කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ ශිෂ්‍යයන් සියයක් පමණ ද මහරගම ගුරු විද්‍යාලයේ පුහුණු වන සිසුන් පිරිසක් ද මේ ශ්‍රමදාන කඳවුරට සහභාගි වෙමින් සමස්ත සහෝදරත්වයකට මුල පිරූහ.

ශ්‍රමදාන ව්‍යාපාරය මගින් දියුණු කිරීම සඳහා තෝරා ගත් පළමු වැනි ගම්මානය කනතොළුව නම් ගමයි. මෙහි පදිංචි ව සිටියේ සාමාන්‍ය සමාජයෙන් කොන් කරනු ලැබූ රොඩී නමින් හඳුන්වන මිනිස් පිරිසකි. සම්මත ඉහළ කුලවතුන් විසින් කොන් කරන ලද කුලහීන යැයි කියන මිනිසුන් අතර පැවති ජාති භේදය ද මොන තරම් විෂම තත්ත්වයක පැවතියේ දැයි හියු නෙවිල් කරන ලද පර්යේෂණයකින් පැහැදිලි වෙයි. හියු නෙවිල් ප්‍රකාශ කරන අන්දමට මේ රොඩී මිනිසුන්ගේ නායකයා හඳුන්වන ලද්දේ හුලවාලියා යන නමිනි. එදා ඒ ඔවුන්ගේ කුඩා සමාජය පිළිබඳ යම්කිසි තීරණයක් ගත්තා නම් ඒ ගත්තේ හුලවාලියා විසිනි. හුලවාලියා මන්ත්‍ර බලයෙන් ද විජ්ජා බලයෙන් ද අනෙක් සියල්ලන් අභිභවා සිටියේ ය.

කොළඹ සිට ගිය ‘මහත්වරු’ රොඩී ගම්මානයට වැදී ඔවුන් සමග එකට කමින්, බොමින්, ඔවුන්ගේ ගෙවල්වල නිදා ගනිමින් පාරවල් හදා, ළිං කපා දී, ගෙවල් හදා දී, වැසිකිළි හදා මේ කරන විප්ලවය අවට ගම්වල සිටි ඊනියා කුලවතුනට අපූරු විස්මය දනවන සිද්ධියෙක් වූයේ ය.

තමන් විසින් තිබහට වතුර පොදක් නොදුන්, දණෙන් පහළට හෝ ඉණේ ඉහළට වස්ත්‍රයක් අඳින්නට නොදුන් පිරිස සමග ‘කොළඹින් ගිය මහත්වරු’ එකට කන බොන සැටි, එකට වැඩ කරන සැටි ඊනියා කුලවතුන් බලාගෙන සිටියේ ලෝකයේ ඇති පුදුම හතට තවත් එකක් එකතු වූ අන්දමට ය.

රොඩී කුලයේ ළමයිනට පාසල් යෑමට මොන යම් හෝ අවස්ථාවක් අතීතයේ දී ලබා දී නොතිබිණි. එහෙත් ආරියරත්න 1958 දෙසැම්බර් මාසයේ ඇති කළ මේ නිහඬ විප්ලවයෙන් පසු කනතොළුවේ ළමයිනට පාසල් යෑමට අවස්ථාවක් ලැබිණ.

එදා කනතොළුවේ ආරම්භ කළ ශ්‍රමදාන කඳවුරට 300ක් 400ක් අතර ගණනක් සහභාගි වූහ. ඔවුන් වෙත නිකුත් කර තිබුණේ අතින් ලියනු ලැබූ වැඩසටහනෙකි.

‘කනතොළුවෙ පැවැත් වූ ප්‍රාරම්භ කඳවුරේදී පවා අප මෙවැනි කඳවුරක් පවත්වන්නෙ ඇයි?’ යන කාරණය පැහැදිලි කරමින් ආරියරත්න ඒ පිරිසට කරුණු කීය.

සර්වෝදය ව්‍යාපාරයේ ආරම්භක යුගයේ දී ආරියරත්නට මරුවා සමග පවා සටන් කරන්නට සිදු විය. තමා කිසිවකුට වරදක් නොකොට, කිසිම දාක තමාව ඇසින් නොදුටු බෞද්ධ නායකයන් තමාට විරුද්ධව අවි ඔසවා ගෙන යුද්ධයට සැරසී සිටින්නේ ඇයි ද? යනු ආරියරත්න නිවි හැනහිල්ලේ කල්පනා කරන්නට විය. චොප්පේ අතින් ඔහු නොමැරී බේරුණේ අනූනවයයි තුන්කාලෙනි. තමාට වරදක් කරන්නට කිසිවකුට නොහැකි බව ආරියරත්නට විශ්වාස ය. ඔහු සර්වෝදය ව්‍යාපාරය පටන් ගත්තේ හුදු අවංක චේතනාවෙනි. දිළිඳු කුලහීන රටවැසියන් ආත්ම ගෞරවයක් ඇති මිනිසුන් හැටියට ස්ව ශක්තියෙන් නඟාසිටුවීම ඔහුගේ එකම අරමුණ විය. බුදුන් වහන්සේ වදාළ ධර්මය ඔහුට හැම විටම මාර්ගය පෙන් වී ය. ඔහු බුදුන් වදාළ ධර්මය පෙරමුණේ තබාගෙන ගිය අතර ඒ ධර්මය විසින්ම ඔහු ආරක්‍ෂා කරනු ලැබී ය.

කොතයි, කෙතයි, වැවයි

අහස උසට නැඟුණු ස්වර්ණමාලී මහා වෛත්‍යරාජයා වැනි මහ වෙහර විහාර ඉදිකැරුණේත්, මහා සාගරය හා සමග තරග කරන්නට යෝධ වැව වැනි මහා වරි කර්මාන්ත ඉදිකැරුණේත් අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණුව පැවැති වකවානුවේ දී ය. වචනයේ පරිසමාප්ථාර්ථයෙන් ම සම්‍යක් කර්මාන්තයෙක් විය. රටේ දහ අතේ ඉදි වී තිබෙන සර්වෝදය ගොවිපළවල් මගින් මේ සම්‍යක් කර්මාන්තය නඟාසිටුවීමට ගන්නා යෝධ උත්සාහය දැක මම මවිත වීමි.

සම්මා ආජීවය නම් වූ නිවැරදි ජීවන මාර්ගයට ද ඔවුන් පිවිස ඇත. මිනිසුන්ගේ සහජ කුසලතාවන් වඩා වර්ධනය කර ගන්නට අවශ්‍ය පහසුකම් සලසා ජාතියට යෝග්‍ය තාක්ෂණයක් දියුණු පවුණු කිරීමට සර්වෝදය ගෙන ඇත්තේ දූරදර්ශි පියවරෙකි. ඔවුන්ගේ හස්ත කර්මාන්ත හා ගෘහ කර්මාන්ත බොහොමයක් මම පරෙස්සමින් පරීක්‍ෂා කොට බැලීමි. ඒවා නිර්මාණයෙන් මෙන්ම තත්ත්වයෙන් ද ඉතා උසස් ය.

පෞරුෂෝදය, කුටුම්බෝදය, ග්‍රාමෝදය, නගරෝදය, දේශෝදය, විශ්වෝදය යනාදී වශයෙන් පස් වැදෑරුම් උදාවන් සඳහා වෙහෙසෙන සර්වෝදය ව්‍යාපාරය බෞද්ධ දර්ශනයෙහි පිහිටා බෞද්ධ භික්ෂුන් වහන්සේ හා පන්සල මුල් තැන තබා මේ ගෙනයන සත් මාර්ගගාමී ව්‍යාපාරය ජාතික ව්‍යාපාරයක් හැටියට අපේම ව්‍යාපාරයක් හැටියට ඕනෑම පුද්ගලයකුට අගය කරන්නට සිදු වේ.

බුදු දහමේ කියැවෙන සම්මාන සංකල්පය හෙවත් නිවැරදි කල්පනාව සර්වෝදය ව්‍යාපාරයේ ආකල්පය බව මම අසා ඇත්තෙමි. ඔවුන්ගේ සේවය රටට ය. නැත්නම් ලොවට ය. ඒ ඇත්ත වශයෙන්ම නිවැරදි සංකල්පයෙකි. සම්මා සංකල්පය සම්මා ආජීව සමාජයක් බවට ක්‍රියාත්මක කිරීමට ඔවුහු වෙහෙසෙති.

බෞද්ධ වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රජා සංවර්ධනය උදෙසා ක්‍රියා කිරීමට ගරු මහා සංඝරත්නයට පුහුණුවක් ලබා දීම සඳහා සර්වෝදය මගින් පැල්මඬුල්ලේ පාතකඩ ආරම්භ කොට තිබෙන ප්‍රජා නායකත්ව භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ අරමුණ හා සේවය ගැන පරීක්‍ෂා කොට බැලීම සඳහා මම දින දෙකක්ම එහි නැවතී සිටියෙමි.

අතිගරු හේන්පිටගෙදර ඥානසීහ හිමි මෙය භාරව කටයුතු කළහ. ගම් රැකගැනීමත්, ඒවා දියුණු කිරීමත් එදා කළේ භික්ෂූන් වහන්සේ බව සර්වෝදය නායක ආරියරත්න ප්‍රසිද්ධියේම කියනු මම අසා සිටියෙමි.

සර්වෝදය නායක ඒ. ටී. ආරියරත්න මහතා ගෙන් මෙසේ අසන්නට ලැබුණි, ‘අප කරන්නේ අපට බෞද්ධ දර්ශනයෙන් උරුම කොට දී තිබෙන සම්මා ආජීව ජීවන දර්ශනය නැවත මතක් කර දීමයි, මේ දර්ශනය මුළු ජාතියම ප්‍රාණවත් කොට ක්‍රියාවට නැංවීමෙකි, සර්වෝදය ව්‍යාපාරයෙන් කෙරෙන්නේ මුලින්ම අපට අවශ්‍ය මේ රට ධර්ම ද්වීපයක් හා

ධාන්‍යාගාරයක් කිරීමට සුදුසු පිරිසක්. පූර්ණ පෞරුෂෝදය යනු ඒ පිරිස හැදීමට ගන්නා මඟයි. ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව සහ ධර්මදීප-ධාන්‍යාගාර අධිෂ්ඨානය යන මානසික ව්‍යායාමයනට ලොකු කුඩා හැම කෙනකුම යොමු කරන්නට ඕනෑ. එතකොටයි අප ජීවත්වන, අප හිතන චිත්තාභ්‍යවකාශය හොඳ චිත්තාවන්ගෙන් පිරෙන්නේ. කුලය, ජාතිය, පන්තිය, ආගම යන පටු භේදයන්ගෙන් තොරව විශාල මිනිස් පවුලක් වශයෙන් හිතන්නට අප පුරුදු වෙන්නට ඕනෑ. හැම දෙනාගේම උදාව සර්වජන උදාව සඳහා වෙහෙසෙන්නට හැම කෙනකුම පෙලැඹැවිය යුතුව ඇත.

ආරියරත්න මහතා සමග තව දුරටත් කතා කරන විට ශ්‍රමදානය පමණක් නොව බුද්ධි දානය, ධර්ම දානය, ශිල්ප දානය, වෛi දානය, ඉඩම් දානය, ධන දානය ආදී වශයෙන් දාන රාශියක් දැනටමත් සර්වෝදය ව්‍යාපාරය මගින් රට පුරා දියත් කොට තිබෙන බව දැන ගන්නට ලැබිණ.

1971 ත්‍රස්තවාදී කැරැල්ල අවස්ථාවේ ආරියරත්න සිර අඩස්සියේ තැබීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වූ පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාට අවශ්‍ය විය. ඔහු නොමඟ යවන ලද්දේ එවකට සිටි ආරියරත්නට ඊර්ෂ්‍යා කළ සිවිල් නිලධාරියකු විසිනි. කැබිනට් ඇමැතිවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නායකයන් කැරැල්ල ගැන යෙදිය යුතු පිළියම් ගැන සාකච්ඡා කරද්දී යට කී ඇමැතිවරයාගේ අදහස් එළිදරව් විය. මේ අවස්ථාවේ සියල්ලටම කලින් කතා කළේ පොලිස් ඉන්ස්පැක්ටර් ජෙනරාල් ස්ටැන්ලි සේනානායක මහතා ය. ‘හැම ගමකම සර්වfාද්ය ව්‍යාපාරය තියෙනව නම් අපට පොලිසියට රාජකාරි හිටින්නේ නෑ. සර්වෝදය දියුණු කළොත් ලංකාවට පොලිස් සේවයක් අවශ්‍ය වෙයි කියල මම හිතන්නෙ නෑ’ හේ කීය. සර්වෝදය මොන තරම් සාමකාමී ව්‍යාපාරයක් ද යනු ඔහු ඉතාම කෙටියෙන් විස්තර කළේය.

නිහඬ විප්ලවය තවත් ඉදිරියට යයි.

කනතොළුව රොඩී ගම්මානය පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් සර්වෝද ශ්‍රමදාන ව්‍යාපාරය ගෙනගිය වැඩපිළිවෙළ මුළු රටේම සාකච්ඡාවට භාජනය විය. රටේ අගමැති වෙනුවෙන් ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එයට සුබ පැතීමේ පණිවිඩය ගෙන කනතොළුව ශ්‍රමදාන කඳවුරට පැමිණියාය. බෞද්ධ ජන නායක පී. ද ඇස්. කුලරත්න මහතා කනතොළුවට පැමිණ සියැසින්ම ශ්‍රමදාන කඳවුර දැක සුබ පැතී ය. පොලිස්පති ඔස්මන් ද සිල්වා මහතා හා අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහ නායක හිමිපාණෝ ද පැමිණ සුබ පතා වැඩිසේක. ආධුනික සිවිල් සේවකයකු වූ ඕල්කට් ගුණසේකර මහතා හෙට්ටිපොල තානායමේ ලැගුම් ගෙන සිටිමින් කඳවුරේ වැඩට පැමිණියේය.

ඒ මේ සියලු සිද්ධීන් නිසා අවට ගම්වල සිටි ‘කුලවතුන්’ ප්‍රසිද්ධියේ පෙන්වූ විරෝධතාව තරමක් මඟ හැරිණ.

ශ්‍රමදාන ව්‍යාපාරයේ පළමු වැනි පියවර සාර්ථක වීමෙන් පසු ආරියරත්න ගැඹුරට කල්පනා කරන්නට විය. 1958 වර්ෂය ජාති භේද කෝලාහලවලින් රට කැලඹී ගිය අවුරුද්දෙක් විය. රටක දියුණුවට කුල භේදය මෙන්ම ජාති භේදය ද බලවත් හානියක් හෙයින් වහාම එයට ප්‍රතිකර්මයක් යෙදිය යුතු යැයි හේ කල්පනා කළේ ය. දේශපාලන පක්‍ෂ ක්‍රමය විසින් කරන්නේ මෙබඳු විෂම භේද වැපිරීම විනා ඒවා සමථයකට පත් කිරීම නොවන බව ද පැහැදිලි ය.

ආරියරත්න කිසිදාක ප්‍රසිද්ධිය සොයා නොගියේය. කීර්ති ප්‍රශංසා, ගරු බුහුමන් කිසිදාක කිසිවකුගෙන් බලාපොරොත්තු නොවීය. එහෙත් ප්‍රසිද්ධිය ඔහු සොයාගෙන ආවේය. කීර්ති ප්‍රශංසා ඔහු සොයා ලුහු බඳින්නට විය.

ප්‍රජා සංවර්ධනය සම්බන්ධයෙන් ලෝකයට කරන ලද ඒ සා විශාල සේවයට ගෞරව කිරීම් වස් 1969 අගෝස්තු 31දා පිලිපීනයේදී රුමන් මැග්සයිසයි ත්‍යාගය ඔහුට පිරිනමන ලද්දේය. මේ ප්‍රදානය කරන ලද්දේ ජනතා සේවයේ යෙදී සිටියදී මියගිය ජනාධිපති රුමන් මැග්සයිසයි සිහිපත් කරනු පිණිසය.

මේ ත්‍යාගය පිරිනමනු ලබන්නේ සමාජයට විශිෂ්ට සේවයක් කළ පුද්ගලයන්ට හෙයින් මේ වාසනාව ලැබී ඇත්තේ, මුළු ලෝකයෙන්ම කිහිප දෙනකුට පමණි. ත්‍යාගයේ වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයක් පමණ විය. ආරියරත්න තමාට ලැබුණු සම්පූර්ණ මුදලම සර්වෝදය ව්‍යාපාරයට පරිත්‍යාග කළේය.

එදා එක් සංවර්ධන අධ්‍යාපන ආයතනයක් – මොරටුවේ මෙත්මැඳුරේ ආරම්භ කිරීමට ආයෝජනය කළ මේ පරිත්‍යාගය නිසා එවැනි ආයතන හාරසියයක් පමණ රට පුරා ඇරඹීමට එම ආදර්ශය මුල පිරීය.

මැග්සයිසයි ත්‍යාගය ලබා ගැනීමට පිලිපීනයට ගිය අවස්ථාවේ එහි රැස්ව සිටි ලෝකයේ නා නා රටවල සම්භාවනීය පුද්ගලයන් ඉදිරියේ ආරියරත්න සර්වෝදය ව්‍යාපාරය යනු කිමෙක්දැයි ඉතාම කෙටියෙන් පැහැදිලි කරමින් ව්‍යක්ත කතාවක් කළේය. මේ කතාව ඇසූ ලෝකයේ නා නා රටවලින් පැමිණි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් රාශියක් ආරියරත්නට ඒ ඒ රටවලට පැමිණෙන ලෙස ආරාධනය කළහ. මේ අනුව ඔහු බැල්ජියම, නෙදර්ලන්තය, ස්වීඩනය, ජර්මනිය, ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය වැනි රටවලට ගොස් සර්වෝදය හා අත්වැල් බැඳගත් දර්ශනය විස්තර කරමින් දේශනා පැවැත්විය.

එදා මෙදා තුළ ආරියරත්නගේ මූලික අදහස වූයේ මිනිසා තුළ සැඟවී පවත්නා යහපත් ගුණධර්ම ඉස්මතු කොට ගෙන ඒවා මිනිස් සමාජයේ යහපතට යෙදවීමයි. මේ ව්‍යාපාරය කරණකොටගෙන අපේ ගම් තුළ දැනටම සෑහෙන පෙරළියක් ඇති වී තිබේ. 1971 නොමඟ ගිය තරුණයන්ගේ කැරැල්ලට සහභාගි වූයේ සර්වෝදය ව්‍යාපාරයට සම්බන්ධ නොවූ ගම්මාන බව ස්ථිර වශයෙන්ම සොයාගෙන තිබේ.

කුල වශයෙන් මිනිසුන් කොන් කිරීමට සර්වෝදය විරුද්ධවෙයි. වර්ණ භේදය අනුව මිනිසුන් කොන් කිරීමට සර්වෝදය විරුද්ධය. ගෝත්‍ර වශයෙන් නොසලකා හැරීම

ගැන සර්වෝදය විරුද්ධය. ජාති වශයෙන් මිනිසුන් වෙන්කිරීමට සර්වෝදය විරුද්ධය. මිනිසුන් මිනිසුන් වශයෙන් එක් වී, සමගි වී, එකට බැඳී අනාගතයට මුහුණ දිය යුතු බව සර්වෝදයේ මුඛ්‍ය පරමාර්ථයන්ගෙන් එකකි. පැරණි සිංහල රජදරුවන්ගේ කාලය මෙන් සමගි සම්පන්නව යෝධ බල ශක්තියෙන් යුක්තව නැඟීසිටීමට සර්වෝදය ජනතාවට ආරාධනය කරයි. එදා මිනිසුන් තුළ පැවති යෝධ බල ශක්තිය ගැන සර්වෝදය මගින් උගන්වන්නේ ඒ නිසාය.

සර්වෝදයට ලොකු කුඩා සෑම මිනිසෙක්ම එක සේ වැදගත්ය. දැන් රජවරුන් නැති හෙයින්, හැම මිනිහෙක්ම රජකු මෙන් ආත්ම ශක්තියෙන්, ආත්ම ධෛර්යයෙන් නඟාසිටුවීම සර්වෝදයේ අරමුණයි. මිනිස් පරපුර එකම සමගි බැම්මකින් බැඳ තැබුවහොත් මිහිපිට නොකළ හැකි දෙයක් නැතැයි ආරියරත්න විශ්වාස කරයි.

දැන් රටේ අනාගතය රඳා පවත්නේ පොඩි මිනිසුන් අතේය. පොඩි මිනිසුන්ට ධනය නෑ. අවි ආයුධ නෑ. යුද්ධ සේනා නෑ. එහෙම නම් ඔවුන් අනාගතය ජය ගන්නේ කොහොමදැයි සැකයක් පැනනඟින්නට ඉඩ තිබේ. ආරියරත්න මෙතැනදී ඉදිරියට එයි. අවශ්‍ය මඟ පෙන්වයි.

‘අප කාටත් මෛත්‍රී කරන්නට පුළුවන්. මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම මෛත්‍රී කරන්නට පුළුවන්. හැම කෙනකුටම කරුණාවන්ත වෙන්න පුළුවන්’ ඒ ආරියරත්නගේ හඬයි. එය මගේ කන් පසාරු කරගෙන යයි. ඔහු මුළු ලොව පුරාම කරනම් ගසමින් මෙය කීවිට ඒ රටවල මිනිසුන්, සාමය කැමැති, සාමදානය කැමැති, නිවිහැනහිල්ලේ ජීවත්වන්නට කැමැති, මිනිසුන් ඔහුගේ හඬට කන් දීම පුදුමයක්ද?

● සකස්කළේ සචිත්‍ර ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment