යුතුකම් ඉටුකළ විරුවන් වෙනුවෙන් වැඩි වැඩියෙන් ඇගයුම්, අභිමන්… ඉතිහාසයේ මුල්වරට අයවැයෙන් රු.මිලියන 750 ක්

205

රු. 750ක ශිෂ්‍යත්වය 1500 දක්වා ඉහළට

2009 වසරේදී මැයි මස 19 වන දින එල්. ටී. ටී.ඊ. නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ පනසුන් සිරුර නන්දිකඩාල් කලපුවෙන් හමුවීමත් සමග තිස් වසරකට ආසන්න කාලයක් පුරා මෙරට පැවැති එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය නිමාවට පත්විය. එතැන් සිට රට තුළ ත‍්‍රස්තවාදී යුද්ධයක් නැත. මේ වනවිට එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය නිමාවට පත්කොට වසර 10කට අධික කාලයක් ඉක්ම ගොස් ඇත. කාලයාගේ ඇවෑමෙන් බොහෝ දෙනෙකුගේ මතකයෙන් පවා එම අඳුරු බිහිසුණු යුගය මෑකී යමින් ඇත. ඒ කෙසේ වෙතත් යළි යළිත් මෙනෙහි කළ යුතු සහ ගෞරව කළ යුතු මතකයන්ද යුද්ධය විසින් ශේෂකොට තිබෙන බව සිහිපත් කළ යුතුමය. ඒ අතරින් මවුබිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් මෙන්ම සතුරු ප‍්‍රහාර ඉදිරියේ ඇස්, ඉස්, මස් පරිත්‍යාගයෙන් සටන්කොට ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කළ යුතුය. ඔවුන්ගේ කැපකිරීම් නොවන්නට නිදහස යනු තවදුරටත් සිහිනයක්මය.

ශ‍්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කරනු පිණිස ජීවිත පුදකළ අතුරුදන්වූ හා ආබාධිත රනවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මානසික හා සාමාජීය ස්ථාවරභාවයක් ඇතිකිරීම මෙන්ම සේවයේ නියුතු රණවිරුවන් සහ එම පවුල්වල මානසික ප‍්‍රබෝධය පිණිස රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක දැවැන්තම සංවිධානයක් ආරම්භ වන්නේ රණවිරු සුබසාධනය පිණිසය. ඒ අනුව 1999 අංක 54 දරණ රණවිරු සේවා අධිකාරි පනත ම`ගින් 2000 වර්ෂයේදී ආරම්භ කරන රණවිරු සේවා අධිකාරියට මේවනවිට වසර 20ක් සම්පූර්ණවී අවසන්ය. ගතවූ වසර 20ක කාලය තුළ එමගින් රණවිරුවන් පිණිස සුවිසල් මෙහෙවරක් සිදුකොට අවසන්ය. එම නොනවතින මෙහෙවර මේ වනවිටද ක‍්‍රියාත්මකය. සටහන්කොට තැබිය යුතු වැදගත්ම කරුණ නම් මේ වන විට රණවිරු සේවා අධිකාරිය විසින් අන්කවරදාකටත් වඩා වැඩි වේගයකින් සහ විධිමත් ආකාරයෙන් තම මෙහෙවර සිදුකරමින් තිබෙන බවය.

ඒ පිළිබඳව අසා දැනගැනීමේ අටියෙන් රණවිරු සේවා අධිකාරියේ වත්මන් සභාපති මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) නන්දන සේනාධීර මහතා සමඟ අප කළ කතා බහකදී මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) නන්දන සේනාධීර මහතා අවධාරණය කර සිටියේ රටේ ඒකීයභාවය පිණිස ජීවිත පූජාකළ එමෙන්ම ආබාධයට ලක්වූ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිණිස කළ හැකි සෑම යුතුකමක්ම නොපිරිහෙළා ඉටුකිරීම අධිකාරියේ වගකීමක් වන බවත් එය නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීම සභාපතිවරයාගේ මූලික අරමුණ වන බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) නන්දන සේනාධීර මහතා,

අද රාජ්‍ය නායකයා බවට පත්වෙලා ඉන්න අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා කලක් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව තියෝජනය කළ කීර්තිමත් නිලධාරියෙක්. ඒ වගේම ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න මහතා ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කළ කීර්තිමත් නිලධාරියෙක්. ඔවුන් හොඳින්ම දන්නවා රාජ්‍ය ආරක්ෂක අංශ සාමාජිකයන් කියන්නෙ කවුද කියලා. ඒ වගේම ආරක්ෂක අංශ නිලධාරීන් සෙසු නිලයන් විසින් යුද්ධයේදී කරන ලද කැපකිරීම් පිළිබඳව ජනාධිපතිතුමාට ඒ වගේම ආරක්ෂක ලේකම්තුමාට අත්දැකීම් තියෙනවා. අපේ රට කියන්නෙ වසර 30කට ආසන්න කාලයක් යුද්ධයක් පැවැති භූමියක්. උතුරු – නැගෙනහිර ක‍්‍රියාත්මක වූ ත‍්‍රස්තවාදය නැති කරන්න ඒ වගේම උතුරු නැගෙනහිර ජීවත්වූ සිවිල් ජනතාව කොටි ත‍්‍රස්තවාදයෙන් මුදා ගන්න ති‍්‍රවිධ හමුදාව ප‍්‍රධාන අපේ ආරක්ෂක අංශ විශාල කැපකිරීමක් සිද්ධ කළ වසර 30ක් ලෙස ඒ කාලය හඳුන්වන්න පුළුවන්. මේ කාල වකවානුව ඇතුළෙ අපේ රටේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසිදහසකට අධික ප‍්‍රමාණයක් ත‍්‍රස්තවාදීන් අතින් මරණයට පත්වෙනවා. තමන් ළඟ ඉන්න සහෝදර සෙබළා මැරිලා වැටෙනකොට අනිත් පිරිස ඉදිරියට යනවා. එඩිතරව සතුරට මුහුණ දෙනවා. සතුරු බලමුළු විනාශ කරනවා. එහෙමයි යුද්ධය ඉස්සරහට ගියේ. ඒකෙ ප‍්‍රතිඵලයක් විදියට තමයි අද අපි විඳින මේ නිදහස ළඟාකර ගත්තෙ. එතනදී මියගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ට අමතරව විශාල පිරිසක් ආබාධිත බවට පත්වෙනවා. තවත් පිරිසක් පිළිබඳව කිසිම තොරතුරක් නැතිව යනවා. මෙන්න මේ ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඒ වගේම යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගෙ දෙමාපියන්ට, දරුවන්ට බිරින්දෑවරුන්ට හොඳින් ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කිරීම තමයි අපේ මූලික අරමුණ බවට පත්වෙන්නෙ.

මෙතනදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි අධිකාරියේ සභාපතිවරයා වශයෙන් මා විසින් ආරක්ෂක ලේකම්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 750ක මුදලක් වෙන්කිරීම.

අතිගරු ජනාධිපතිතුමා ඒ පිළිබඳව විශේෂ අවධානය යොමුකරලා අයවැය හරහා එම මුදල ලබාදීම රණවිරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ ගෞරවයක් කියලා මේ වෙලාවෙ සඳහන් කර සිටිනවා.’’

එහි ප‍්‍රතිඵලයක් ලෙස පහත සඳහන් ව්‍යාපෘති ඉතාමත් සාර්ථක අයුරින් මේවනවිට ක‍්‍රියාත්මක වන්නේ ය.

  • ආබාධිත රණවිරුවන් සඳහා උපකරණ ලබාදීම

මේ සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් මෙම වසර සඳහා වෙන්කොට ඇති මුදල රුපියල් මිලියන 150 ක්ය. එම මුදලින් කෘති‍්‍රම පාද 253 ක් රෝද පුටු 499 ක් යාන්ති‍්‍රක යතුරුපැදි 18 ක් ඇතුළු අත්වාරු ශ‍්‍රවණාධාර උපකරණ ඇතුළු ආබාධිත රණවිරුවන්ගේ එදිනෙදා කටයුතු පහසුවෙන් සිදු කර ගැනීම පිණිස ආබාධිත උපකරණ පරිත්‍යාග කිරීමට නියමිතය. ආබාධිත රණවිරුවන් විසින් කරන ලද ඉල්ලීම් 6511 ක් පිණිස මෙම මිලදී ගැනීම් සිදු කිරීමට නියමිතය. පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ එම මිලදී ගැනීම් යම් ප‍්‍රමාදයකට ලක්ව ඇතත් රණවිරු අධිකාරියේ අපේක්ෂාව බවට පත්ව ඇත්තේ වසර අවසන් වීමට පෙර එම කටයුත්ත සම්පූර්ණ කිරීමය.

  • විරු සහන නිවාස ණය යෝජනා ක‍්‍රමය
යුතුකම් ඉටුකළ විරුවන් වෙනුවෙන් වැඩි වැඩියෙන් ඇගයුම්, අභිමන්… ඉතිහාසයේ මුල්වරට අයවැයෙන් රු.මිලියන 750 ක්

මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 10 ක උපරිමයක් දක්වා අවම පොලියක් යටතේ නිවාස ඉදිකිරීම පිණිස ණය මුදල් නිකුත් කිරීම සිදු කරනු ඇත. ඒ සඳහා මෙම වර්ෂයට පමණක් රුපියල් මිලියන 250 ක මුදලක් වෙන් කර ඇත. පසුගිය වසර තෙක් රුපියල් ලක්ෂ පහක උපරිමයට යටත්ව ලබාදී තිබෙන මෙම ණය ආධාරය මෙම වර්ෂය තුළ රුපියල් ලක්ෂ දහයක් දක්වා ඉහළ නංවා තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයක් වී ඇත. මෙම වර්ෂය සඳහා පමණක් මේ වනවිට රණවිරුවන් 257 දෙනෙකු ණය අයැදුම් කර තිබෙන අතර එම පිරිස අතරින් 216 දෙනෙකුට පමණ මේ වනවිටත් එම ණය මුදල් ලබාදීම පිණිස රණවිරු සේවා අධිකාරිය විසින් කටයුතු කර ඇත. ඉතිරි පිරිසට මෙම වසර අවසන් වීමට පෙර එම ණය මුදල් නිකුත් කිරීමට ද රණවිරු සේවා අධිකාරිය විසින් දැනටමත් කටයුතු කරමින් ඇත.

මේ අතර සනීපාරක්ෂක ආධාර යටතේ රුපියල් ලක්ෂයකට යටත්ව ආබාධිත රණවිරුවන් පිණිස මුදල් ආධාර ලබා දීමක් ද රණවිරු සේවා අධිකාරිය යටතේ කි‍්‍රයාත්මකය. ඒ පිළිබඳව රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) නන්දන සේනාධීර මහතාගෙන් ඒ පිළිබඳව ද අප විසින් විමසීමක් සිදු කළහ.

‘‘මේකත් මුදල් ආධාරයක් ලෙස ප‍්‍රදානය කරන දෙයක්. මොකද ආබාධිත රණවිරුවන්ගෙන් කොටසක් ගත්තොත් ඒ අයගෙ කකුල් නෑ. තව පිරිසක් අන්ධභාවයට පත්වෙලා. තවත් කොටසකගෙ කන් ඇහෙන්නෙ නෑ. යුද්ධය වෙලාවෙ ඔය වගේ විවිධ ආබාධයන්ට ලක්වූ විශාල පිරිසක් යුද හමුදාව තුළත් අනිකුත් ආරක්ෂක අංශ තුළත් ඉන්නවා. මෙන්න මේ අයගෙ එදිනෙදා කටයුතු පහසු කරන්න තමයි මේ මුදල් ආධාරය ඒ අය වෙත ලබා දෙන්නෙ. උදාහරණයක් ගත්තොත් රෝද පුටුවක් පාව්චිච් කරන රණවිරුවෙක් කියමු. ඔහුට තමන්ගේ සනීපාරක්ෂක කටයුතු කර ගන්න යෑමේදී බාත්රූම් එකට පවා යන්න වෙන්නෙ රෝද පුටුවෙන්. ඔහුට සාමාන්‍ය පුද්ගලයෙක් මෙන් හැසිරෙන්න බෑ. මෙන්ම මේ අයගේ සනීපාරක්ෂක පහසුකම් වඩාත් හොඳින් පවත්වා ගෙන යෑම පිණිස අවශ්‍ය අලූත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂයක් දක්වා උපරිමයකට යටත්ව ලබාදෙන මුදල් ආධාරයක් ප‍්‍රදානය කිරීමක් තමයි මේ හරහා සිද්ධ වෙන්නෙ. ආබාධිත රණවිරුවන් විසින් ඉල්ලීමක් කළ පසුව අපේ වෙනම කමිටුවක් විසින් අදාළ ස්ථානයට

ගිහින් ඒ ඉල්ලීමේ ඇත්ත, නැත්ත පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව තමයි මේ මුදල් ප‍්‍රදානය කරන්නේ. මේ වර්ෂය සඳහා එවැනි ඉල්ලිම් 115 ක් පමණ රණවිරු සේවා අධිකාරිය වෙත යොමු කරලා තිබෙනවා. ඒ පිරිස අතරින් මේ වනවිට අනූහය දෙනෙකුට පමණ එම මුදල් ආධාරය ලබා දෙන්න දැනටමත් කටයුතු කරල තිබෙනවා.’’

රණවිරු සේවා අධිකාරිය විසින් ආබාධිත රණවිරුවන් සහ තිස් වසරක යුද්ධය තුළ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් පිණිස සිදු කරන උදාර මෙහෙවර එතෙකින් නිමාවට පත් වන්නේ නැත. ‘‘රණවිරු දිරිය’’ නමින් තවත් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මකය. ආබාධිත රණවිරුවන් රටේ සංවර්ධනය පිණිස දායක කර ගැනීම එහි මූලික අරමුණ බවට පත්ව ඇත. ඒ අනුව රු. 1000000.00 දක්වා ණය මුදලක් ඔවුන් වෙත ලබා දෙන අතර ඒ සඳහා අයකරනු ලබන්නේ 5% ක සහන ණය පොලියක්ය. ‘‘රණවිරු දිරිය’’ හරහා මේ වනවිට ආබාධිත රණවිරුවන් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රතිලාභ ලබා තිබෙන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මෙරට ආර්ථික සංවර්ධනය පිණිස දැවැන්ත මෙහෙවරක් සිදු කරමින් ඇත.

මීට අමතරව ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ යැපැන්නන් පිණිස කුසලතා ප‍්‍රවර්ධන ණය යෝජනාක‍්‍රමයක් ‘‘විරු සුමිතුරු’’ නිවාස ව්‍යාපෘතියක් රණවිරු ගම්මාන 500ට වැඩි සංඛ්‍යාවක් මුල් කරගනිමින් එම ස්ථානවල යටිතල පහසුකම් දියුණු කිරීමේ වැඩසටහන් රාශියක් ද ඉතාමත් සාර්ථකව මේ වනවිට ද කි‍්‍රයාත්මකය. මෙවැනි පසුබිමක් තුළ ආබාධයන්ට ලක්වූ රණවිරුවන් උදෙසා වෛද්‍ය ආධාර ලබාදීම යටතේ හදිසි සැත්කම් පිණිස රුපියල් ලක්ෂ පහකට යටත්ව මුදල් ආධාර පිරිනැමීමක් ද සිදු කරනු ඇත. මෙම වර්ෂය සඳහා පමණක් ඒ සඳහා රුපියල් ලක්ෂ 40 ක් වෙන් කොට ඇත.

  • අධ්‍යාපන ශිෂ්‍යත්ව

මේ වනවිට රණවිරු සේවා අධිකාරිය මගින් අධ්‍යාපන ශිෂ්‍යත්ව 17000 ක් පමණ පිරිනමා ඇත. කාණ්ඩ තුනක් යටතේ පිරිනමනු ලබන මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයේදී 6-11 ශ්‍රේණි අධ්‍යාපනය ලබන දුවා දරුවන් පිණිස මාසිකව රු. 500.00 මුදලක් ද උසස් පෙළ අධ්‍යාපනය හදාරන පිණිස වෙනුවෙන් රු. 1500.00 ක මුදලක් ද උසස් අධ්‍යාපනය ලබන දුවා දරුවන් පිණිස මාසිකව රු. 3000.00 ක මුදලක් ද වෙන්කොට ඇත. මෙම වසර තුළ පමණක් දුවා දරුවන් 2198 දෙනෙක් සඳහා මෙම ශිෂ්‍යත්වය පිරිනමා ඇත. උසස් පෙළ අධ්‍යාපනය ලබන දුවා දරුවන් පිණිස පසුගිය වසර දක්වා මාසිකව වෙන්කරන ලද රු. 750 ක මුදල වෙනුවට මෙම වර්ෂයේ සිට රු. 1500.00 ක් පිරිනැමීමට කටයුතු කර තිබීම මෙම ශිෂ්‍යත්ව ක‍්‍රමයේ දකින්නට ලැබෙන තවත් විශේෂත්වයක්ය.

සඳහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ ඉහත සඳහන් ප‍්‍රතිලාභ අන් කවරදාවත් වඩා විධිමත් සහ කඩිනම්ව ප‍්‍රතිලාභීන් වෙත ලබාදීම පිණිස මේ වනවිට රණවිරු සේවා අධිකාරිය තුළ ශක්තිමත් යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මකව පැවතීමය. කොළඹ පිහිටි ප‍්‍රධාන කාර්යාලයට අමතරව ඒ සඳහා රට පුරා දිස්ති‍්‍රක් නිලධාරීන් විසිපස් දෙනෙක් කි‍්‍රයාත්මකය. ඊට අමතරව රට පුරා සංසද 254ක් ස්ථාපිතය. රණවිරු අධිකාරියේ මැදිහත් වීමකින් තොරව කි‍්‍රයාත්මක එම සංසද හරහා මාසිකව මුණගැසෙන රණවිරුවන් ඒ හරහා ඔවුනොවුන්ගේ සුබසාධක කටයුතු ආදිය ද සිදු කර ගනිමින් ඇත. කලක් රට රැක ගැනීම පිණිස අභිනව පෙරමුණ ගත් ‘‘විරුවන්ගේ’’ අභිමානය රකිනු වස් ඇති කරනු ලබන රණවිරු සේවා අධිකාරිය විසින් ඉහත සඳහන් සුබසාධන කටයුතුවලට අමතරව තවත් සේවාවන් රැසක් ඉටු කරමින් ඇත. ඒ අතරින් වෘත්තීය පුහුණු පාඨමාලා, මාපිය කැපකරු ශිෂ්‍යත්වය, හදිසි ආපදා ආධාර ලබාදීම ආදී සුබසාධක කටයුතු ප‍්‍රධාන තැනක් ගෙන ඇත.

ඊට අමතරව මෙම වසරේ සිට රණවිරු සේවා අධිකාරියේ සාමාජිකත්වය දරන රණවිරු පවුල් සඳහා මරණයකදී රු. 10000.00 ක මුදලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ද කි‍්‍රයාත්මක කර ඇත.

මේසා විසල් සේවාවන් රැසක් සපයන රණවිරු අධිකාරියේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව එහි සභාපති මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) නන්දන සේනාධීර මහතාගෙන් අප විසින් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කර සිටියේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ‘‘සෞභාග්‍යයේ දැක්ම’’ තුළින් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 750 ක මුදලක් අධිකාරිය පිණිස වෙන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කිරීම ආබාධිත හා මියගිය රණවිරුවන් උදෙසා ගත් වැදගත්ම තීරණයක් බවත් ඒ හරහා වාර්ෂිකව සිදු කරන සුබසාධක කටයුතු පිණිස දැවැන්ත ශක්තියක් හිමි වූ බවත්ය.

වත්මන් රාජ්‍ය නායකයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්තරා කාලයක එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීම පිණිස යුද බිමට බට අභීත රණවිරුවෙක්ය. ආරකෂ්ක ලේකම් ජෙනරාල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න මහතා අවසන් සටන විජයග‍්‍රහණයෙන් කෙළවර කිරීම පිණිස කරන ලද මෙහෙවර ඉමහත්ය. රණවිරු සේවා අධිකාරියේ වත්මන් සභාපති මේජර් ජෙනරාල් (විශාමික) නන්දන සේනාධීර මහතාද කීර්තිමත් යුද ඉතිහාසයක් සහිත රණවිරුවෙක්ය. රණවිරු අධිකාරියේ ගමන් මග පිළිබඳවත් අධිකාරිය විසින් රණවිරුවන් පිණිස සිදුකරන මෙහෙවර පිළිබඳවත් ඔවුන්ගේ නිරන්තර අවධානය යොමුවී ඇත්තේ රණවිරුවන් යනු කවුරුන්ද යන්න පිළිබඳව රටේ රාජ්‍ය නායකයාත් ආරක්‍ෂක ලේකම්වරයා සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා සතුව මනා අවබෝධයක් පැවතීම හේතුවෙන්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment