යුද මෙහෙයුමේදී සටන් කළේ ත්‍රස්තවාදීන් සමඟ මිස දෙමළ ජනතාවට එරෙහිව නොවෙයි – ශ්‍රීලපොපෙ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ දඹුල්ලේදී කියයි

35

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති යුද්ධය අවසන් කිරීමේ මෙහෙයුමේදී සටන් කළේ ත්‍රස්තවාදීන් සමඟ මිස දෙමළ ජනතාවට එරෙහිව නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ත්‍රස්තවාදය මේ රටින් අවසන් කරන්න හැකියාව ලැබුණු බව පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටට ද්‍රෝහී වුණු කණ්ඩායමක් නොවන බවද හැමදාම මේ රටට ආදරය කරන දේශපාලන බලවේගයක් බවද පෙන්වා දෙයි.

රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ දඹුල්ල නගරයේදී 15දා පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන ජනහමුව අමතමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රට ගොඩනඟපු දේශපාලන බලවේගයක්. ඒ වගේම රටට වැඩකරපු කණ්ඩායමක්. දඹුල්ලට වගේම සමස්ත රටටම සංවර්ධනයක් ගෙනාවා නම් ඒ ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ. අපිට එදා සැලැස්මක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා එදා අධිවේගී මාර්ග හදලා උතුරත් දකුණත් යා කරමින් මේ රටේ මාර්ග සංවර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ඒ වගේම අපිට එදා දැක්මක් තිබුණා. අපිට අවශ්‍යව තිබුණා එදා අධිවේගී මාර්ග ස්ථාපිත කරමින් මහනුවර කන්ද උඩරට දක්වා මාර්ග සංවර්ධනය කරන්න. අනෙක් පැත්තෙන් අධිවේගී මාර්ගය දඹුල්ලට ගේන්න. අවාසනාවකට යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු මෙම අධිවේගී මාර්ගය ස්ථාපිත කිරීමට අවශ්‍ය කාරණා හෝ අධිවේගී මාර්ග පිළිබඳව අවබෝධයක් තිබුණේ නෑ.

ඇතැම් දේශපාලඥයෝ හිතුවේ මේ අධිවේගී මාර්ග ස්ථාපිත කරන්නේ ඇඹුල් තියල් ගෙනියන්න කියලා. මහා මාර්ග කාපට් කරන්නේ කොන්ක්‍රීට් කරන්නේ කන්නද කියලා අහපු දේශපාලඥයෝත් හිටියා. නමුත් අද මම සතුටු වෙනවා. ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බැලූ විට මෙම අධිවේගී මාර්ග පද්ධතිය සහ එයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සඳහන් කර තිබෙනවා. මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. අද ඒ අය මේක යථාර්ථවාදීව දැකීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා.

එක් පැත්තකින් අධිවේගී මාර්ග සම්බන්ධ වනවිට තාක්ෂණය බද්ධ කරගත් කර්මාන්ත දඹුල්ලේ ගොඩනැගෙන විට දඹුල්ලේ දෙමාපියන්ගේ දරුවන්ට ඉහළ වැටුපක් ලබාගත හැකි රැකියාවලට යොමු කරන්න අවශ්‍ය වෙනවා. අපිට දැක්මක් සහ සැලැස්මක් තිබෙනවා. අධිවේගී මාර්ග පද්ධතිය තුළ මේ රට යා කළ යුතුයි කියන ස්ථාවරයේ අපි පැහැදිලිවම ඉන්නවා. ඒ වගේම ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම තුළ ගමේ පාර හදන්න ඕන කියන තැන අපි ඉන්නවා. අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගන්නවා වගේම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ඊළඟ පරම්පරාවට ලබාදිය යුතුයි කියන තැන අපි ඉන්නවා. වවන්න පුළුවන් හැම බිම් අඟලකම වගා කරන්න ඕන කියන ස්ථාවරය අපි ඉන්නවා. අපි පිටින් ගෙනල්ලා කන්න දෙන්න උත්සාහ කරන ආණ්ඩුවක් නොවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ ගොවියා, කම්කරුවා, ධීවරයා විශ්වාස කරන දේශපාලන බලවේගයක්. ඒ වගේම අපි දේශීයත්වය අගය කරනවා. අපි අපේ සංස්කෘතිය අගය කරනවා. මේ මහපොළොවේ යථාර්ථය පිළිබඳව අවබෝධයෙන් ජීවත් වෙනවා. අපි අපේ සංස්කෘතිය ආරක්ෂා කරන ගමන් බෞද්ධ සංස්කෘතියෙන් ගොඩනැගුණු මේ මාතෘභූමිය ආරක්ෂා කරන ගමන් අනෙක් සංස්කෘතීන්ද ආරක්ෂා කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. තවත් පැත්තකින් අනාගතයේ දකින ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න අවශ්‍ය පැහැදිලි දැක්මක් සහ වැඩපිළිවෙළක් සමඟ කටයුතු කරනවා. අපේ වයස්වල තරුණ තරුණයන්ගේ අවශ්‍යතා පිළිබඳව අපි දන්නවා. මෙම තරුණ තරුණියන්ගේ හෙට දවසේ අවශ්‍යතා පිළිබඳවද අවබෝධයක් තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment