යුද සොමිය!

1693

රුසියාව විසින් යුක්රේනයට පහරදීමේ සිද්ධිය පැය 48 කින් පමණ නිමාවට පත්වනු ඇතැයි අපි මුලදී සිතුවෙමු. යුක්රේනයේ කොටසක්ව තිබූ ක‍්‍රිමියාව නැවත වරක් තම රටට ඈඳා ගැනීමේදී රුසියාව ගත් ආක‍්‍රමණික ක‍්‍රියාමාර්ගය බෙහෙවින් කෙටිකාලීනය. එහෙත් යුක්රේන ආක‍්‍රමණය මේ වන විට දෙවැනි සතියට ද එළඹි තිබේ. මෙහි ඇති ලොකුම අවුල වන්නේ පුතින් තරමට ම හයියක් යුක්රේන් ජනාධිපති තුළ ද තිබීම ය. ඔහු ජීවිතය පටන් ගත්තේ විකට නළුවකු ලෙස ය. ඔහු දේශපාලන විකටයකු වනු ඇතැයි පුතින් අපේක්‍ෂා කරන්නට ඇත. එහෙත් යුක්රේන ජනාධිපති පිළිබඳ කතන්දරය අවසන් වනු ඇත්තේ ඔහු යුද වීරයකු බවට පත්කරනු ලැබීමෙන් නම් එතැනදී පුතින්ට සිදුවන අවාසිය ඉතා විශාල ය. පුතින් මේ යුද්ධයෙන් පැරදුණහොත් ස්ථිර වශයෙන් ම ඔහුට රාජ්‍ය බලයෙන් ඉවත් වීමට සිදුවේ. ඔහුගේ තැන ගැනීම සඳහා සුදුසුකම්ලත් රුසියානු දේශපාලනඥයන් 5 දෙනකු මේ වන විටත්, බටහිර ලෝකය මගින් පෙළගස්වනු ලැබ ඇත. මේ යුද්ධයේදී යුක්රේනයට ආධාර කිරීමට කිසිදු රටක් ඉදිරිපත් නොවෙතැයි මුල සිටම පුතින් කල්පනා කළේය. එහෙත් ආධාර එන්නට පටන් ගත්තේ ටික ටික ය. මේ වන විට ජර්මනිය විසින් යුක්රේනයට යුද අවි තොගයක් යවනු ලැබ ඇත.

ඒ අතර යුරෝපයේ තවත් රටවල් ගණනාවක් ම යුක්රේනයට ආධාර දීමේ සූදානමක් පවතී. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තමාට කිසිදු උදව්වක් නොකළ බව කියමින් යුක්රේන ජනපති හතර අතේ බැණ වදී. එහෙත් යුක්රේන ජනපති කියන ඉක්මනින් යුද්ධවලට බැසීමට ඇමරිකාවට නොහැක. ඔවුන් විසින් මුලින්ම කරනු ලැබිය යුත්තේ තුන්වැනි ලෝක යුද්ධය වළක්වා ගැනීම ය. ඊළඟට න්‍යෂ්ටික යුද්ධයක් හට ගැනීම මඟහැර ගැනීම ය. ලෝකය සතුව න්‍යෂ්ටික අවි දහහතර දාහක් තිබේ. එයින් හත්දාහක්ම තිබෙන්නේ පුතින්ගේ ඇඳ යට ය. මේ හත්දාහ ප‍්‍රකාශිත න්‍යෂ්ටික අවි ප‍්‍රමාණයක් පමණි. අප‍්‍රකාශිත න්‍යෂ්ටික අවි ප‍්‍රමාණය මෙය මෙන් තුන් හතර ගුණයක් වීමට ඉඩ තිබේ. මේවා පුපුරන්නට පටන් ගත්තොත් ලෝක විනාශයක් සිදුවේ. රුසියාවට පක්‍ෂපාත රටවල් බොහොමයක් අත සැඟවුණු න්‍යෂ්ටික අවි ඇත. උදාහරණයක් වශයෙන් ඉරානය, ඉරාකය, සිරියාව වැනි රටවල් සමග ප‍්‍රතිපත්තිමය බැඳීමක් රුසියාවට තිබේ. චීනය සමග රුසියාවට ගිවිසුම් ඇත. උතුරු කොරියාව යනු බටහිරට විරෝධී ඕනෑම යකෙකු සමග එකතුවීමට කැමති බලවේගයකි. එහි සිටින නායක තරුණයා හෙවත් කිම් ජොන් උන් ආකාශ වෙඩි අහසට යවනවාක් මෙන් න්‍යෂ්ටික මිසයිල පත්තු කිරීමට කැමැති ය.

යම් හෙයකින් න්‍යෂ්ටික යුද්ධයක් හට ගත්තොත් න්‍යෂ්ටික මිසයිල පොළොවට ළඟා වීමට පෙර ම අහසේදී කුඩුපට්ටම් කර දැමීමේ හැකියාව ඇමරිකාවට මෙන්ම රුසියාවට ද තිබේ. මෙවිට අහසේදී පුපුරා යන න්‍යෂ්ටික මිසයිලවලින් විහිදෙන අන්තරායකාරී විකිරණ භුක්ති විඳීමට සමස්ත ලෝකයටම සිදුවේ. බොහෝ දුරට මීළඟ න්‍යෂ්ටික යුද්ධය පටන් ගන්නවා ඇත්තේ උතුරු කොරියාව විය හැකිය. කෙසේ හෝ වේවා යුක්රේන ජනාධිපති අමුතුම ජාතියේ භාණ්ඩයකි. මොලටොව් කොක්ටේල් නමැති ගෙදරම හදා ගන්නා සරල පෙට‍්‍රල් බෝම්බ වර්ගයක් මගින් පහර දී රුසියානු යුද්ධ ටැංකි විනාශ කිරීමේ පාඨමාලාවක් ඔහු විසින් මේ දිනවල පවත්වාගෙන යනු ලැබේ. මේ පාඨමාලාව අනුගමනය කළ යුක්රේන වැසියන් රුසියානු යුද ටැංකිවලට පහර දෙන ආකාරය අන්තර්ජාලයේ දැක ගන්නට ඇත.

දැන් අප විසින් යළි යළිත් තක්සේරු කර බැලිය යුත්තේ මේ මළ හත්ඉලව් යුද්ධයෙන් අපට සිදුවන්නේ කුමක්ද යන්නය. මේ වන විට යුද්ධයෙන් කෙසේ වෙතත් අනෙක් හැම පැත්තෙන් ම සිද්ධ වීමට තිබෙන බොහෝ දේවල් අපට සිදු වී හමාරය. රටේ තෙල් නැත. ගෑස් නැත. බැසිල් රාජපක්‍ෂ කියන පරිදි අත්‍යවශ්‍ය බඩු හිඟයක් නැතත්, අප දන්නා පරිදි බඩු ගැනීමට මිනිසුන් අත සල්ලි නැත. අද කිරිපිටි තිබෙන කඬේ හෙට රාක්ක හිස් ය. සමහර විට පාන්පිටි නැත. යුක්රේන යුද්ධය නිසා ඉදිරියේදී පාන්පිටි විශාල හිඟයක් හට ගැනීමට ඉඩ තිබේ. ලෝකයේ තිරිඟු නිෂ්පාදකයන් අතරින් ප‍්‍රමුඛයකු ලෙස යුක්රේනය හඳුනාගනු ලැබ ඇත. දැනට තිබෙන යුද්ධය නිසා යුක්රේනයෙන් භාණ්ඩ පිටරටට යවන සියලු මාර්ග වැසී තිබේ. මේ නිසා ළඟදීම මේ රටේ බේකරිවලට ලොකු ප‍්‍රශ්නයක් වීමට ඉඩ තිබේ. ජනාධිපතිතුමා කියන්නේ මේ රටේ දැනට තිබෙන අර්බුදයට තමන් හෝ ආණ්ඩුව වගකිව යුතු නැති බව ය. එසේ නම් මේ අර්බුදයට මාලදිවයින් ආණ්ඩුව හෝ ඉන්දියන් ආණ්ඩුව වගකිව යුතු යැයි කෙනෙක් කල්පනා කරනවා ඇත. එහෙත් ඒ කිසිදු රටක් මෙයට සම්බන්ධ නැති අතර 1948 න් පසු බලයට පත් වූ සියලුම ආණ්ඩු (පොහොට්ටු ආණ්ඩුව ද ඇතුළුව) දැනට තිබෙන අර්බුදයට වගකිව යුතුය. සියලුම දෙනා බලයට එන්නේ ‘රට නගමු’ යන තේමාව සහිතව ය.

එහෙත් පළමු හය මාසයේදීම තේමාව මාරු වී ‘රට කමු’ තේමාව ඉදිරියට එයි. ගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් අතර වැඩි වෙනසක් නැත. සිදු වී නැත්තේ මහ බැංකුව යළිත් වරක් කැඩීම පමණි. කලින් ආණ්ඩුවත් ඊට පෙර තිබූ ආණ්ඩු අතරත් වෙනසක් නැත. ඒ ආණ්ඩු දෙක අතර සිදු වී ඇත්තේ එක් ආණ්ඩුවක් වර්ගවාදී යුද්ධය ජය ගැනීමත්, අනෙක් ආණ්ඩුවට ජය ගැනීම සඳහා වර්ගවාදී යුද්ධයක් නොතිබීමත් පමණි. ශ‍්‍රී ලංකාව වැටී තිබෙන මේ ළිඳෙන් ගොඩ ගන්නේ කෙසේද යන්න සමස්ත ජනයාගේ ප‍්‍රශ්නය වේ. එහෙත් දේශපාලනඥයන් වැඩිදෙනාගේ ප‍්‍රශ්නය වන්නේ රට පමණක් නොව එය වැටී තිබෙන ළිඳ ද කාට හරි විකුණා කීයක් හරි හොයා ගන්නේ කෙසේද යන්නයි.

advertistmentadvertistment
advertistmentadvertistment