“යුවාන් වැන්ග්” නැවේ ලංකා ගමන දිල්ලි ආණ්ඩුවේ විමසිල්ල

326

චීනයේ ‘සබ්මැරීන්’ දේශපාලනය ගැන වැඩි අවධානයක් යොමුවුණේ 2014 වසරේ අගභාගයේදීය. චීන සබ්මැරීන් යාත්‍රා දෙකක් 2014 ඔක්තෝබර් 31 වෙනි දින කොළඹ වරායට ළඟා වූ අතර එමගින් ඉන්දු- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා කෙරෙහි  ඇති කළ හැකි බලපෑම සම්බන්ධයෙන් බරපතළ කතාබහක් ඇති විය.

මේ යාත්‍රා කොළඹට පැමිණීම ගැන ඉන්දීය ආණ්ඩුව කොහෙත්ම කැමති වූයේ නැත. එය දිල්ලි ආණ්ඩුවේ බ්‍රාහ්මණවංශිකයන්ගේ ඇස් රතුකරන්නක් විය. චැන්ග්චෙන් – දෙක නම් චීන සබ්මැරීනය නම් තවත් සබ්මැරීනයක් ද සමඟ  එම වසරේ ඔක්තෝබර් 31 වෙනිදා කොළඹ වරායට සේන්දු වූ අතර නොවැම්බර් පස් වෙනි දින  කොළඹින් පිටත්ව ගොස් තිබිණි.
 

 චීනය හා ශ්‍රී ලංකාව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිවීම සිදු වූයේ 1957 පටන්ය. ඒ, 56 විප්ලවයත් සමඟ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමත් සමඟය. ඉන් පසුව ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව ඔස්සේ දෙරට අතර, පළමු ගිවිසුමට අත්සන් තැබීම 1962දී සිදු විය. එවක් පටන් ගතවූ දශක 6ක කාලසීමාව තුළ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ගිවිසුම් බොහොමයකට අත්සන් තැබී ඇත. 1962  ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ චීන සංචාරයත් සමඟය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ප්‍රමුඛව දෙරට අතර මිත්‍රත්වයේ සංකේත වශයෙන් ලැබුණු තිළිණ ගණනාවකි. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නැංවීම ද ඇතුළු සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් චීනය දිගින් දිගටම විශාල ලෙස ආධාර ලබා දී තිබේ. පසුගිය ජනවාරියේ චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය. එසේ පැමිණියේ ශ්‍රී ලංකා – චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 65 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම්වලවලට සහභාගිවීම සඳහාය. චීන අමාත්‍යවරයා සමඟ විසි දෙනකුට ආසන්න නියෝජිත පිරිසක් ද මෙරටට පැමිණ තිබිණි.

 චීන ලංකා සබඳතා ලෙස අපේ ලොකුම අසල්වැසියා බලා සිටියේ කනස්සල්ලෙන් බව රහසක් නොවේ. චීනයේ ‘සබ්මැරීන්’ දේශපාලනය ගැන වැඩි අවධානයක් යොමුවුණේ 2014 වසරේ අගභාගයේදීය. චීන සබ්මැරීන් යාත්‍රා දෙකක් 2014 ඔක්තෝබර් 31 වෙනි දින කොළඹ වරායට ළඟා වූ අතර එමගින් ඉන්දු- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා කෙරෙහි ඇති කළ හැකි බලපෑම සම්බන්ධයෙන් බරපතළ කතාබහක් ඇති විය. මේ යාත්‍රා කොළඹට පැමිණීම ගැන ඉන්දීය ආණ්ඩුව කොහෙත්ම කැමති වූයේ නැත. එය දිල්ලි ආණ්ඩුවේ බ්‍රාහ්මණවංශිකයන්ගේ ඇස් රතුකරන්නක් විය. චැන්ග්චෙන් – දෙක (Changchen-2) නම් චීන සබ්මැරීනය චැන්  ග්ෂින්ග්ඩාඕ (Changxingdao) නම් තවත් සබ්මැරීනයක් ද සමඟ එම වසරේ ඔක්තෝබර් 31 වෙනිදා කොළඹ වරායට සේන්දු වූ අතර නොවැම්බර් පස් වෙනි දින කොළඹින් පිටත්ව ගොස් තිබිණි. ඉන්ධන ලබා ගැනීම සහ කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා ගැනීම සංචාරයේ අරමුණ හැටියට ප්‍රකාශයට පත් කෙරුණු අතර ශ්‍රී ලංකා නාවික හමුදාව කියා සිටියේ ලංකාවට පැමිණීම සඳහා ඉන්දියාවේ අනුමැතිය අනවශ්‍ය බවයි. චීන සබ්මැරීන් ශ්‍රී ලංකාවට ළඟා වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය ගැන විමසීමක් කළ විට ආරක්ෂක තොරතුරු පිළිබඳ ජේන් වීක්ලි බි්‍රතාන්‍ය සඟරාවේ වාර්තාකරු රාහුල් බේඩි බීබීසියට පවසා තිබුණේ මේ පිළිබඳව ඉන්දියානු බලධාරීන් ඒ ගැන කනස්සල්ල පළ කරන බවයි. ඇත්තෙන්ම 2015 ජනවාරි වෙනසට මේ ‘සබ්මැරීන්’ ගමනද බෙහෙවින් බලපෑවේය. දේදුනු සන්ධානය සඳහා ඉන්දියාවේ නොමසුරු ආධාරය ලැබුණේ චීන බලයට එරෙහිවය. 2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයට එක් හේතුවක් ලෙස ඇතැම් විශ්ලේෂකයන් දැක්වූයේ චීන වරාය නගර ව්‍යාපෘතියයි.

 ශ්‍රී ලංකා මුහුදේ හැංගි-මුත්තන් කළ චීන පොහොර නැව සිංගප්පූරුවට ගියේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේය. මේ පොහොර නැව ගැන ඉන්දියාව උන්නදු වූයේ නම් නැත. නමුත් එය රාජපක්ෂ ආණ්ඩුවේ ජනප්‍රියතාවය බිඳ වැටෙන්නට එක හේතුවක් විය. හිපෝ ස්පිරිට් නම් මේ නැව දින 70 ක් පුරා ශ්‍රී ලංකා මුහුදේ හැංගි-මුත්තන් කරමින් සිට ලංකා මුහුදෙන් ඉවත්ව ගියේය. මෙය ශ්‍රී ලංකා චීන සබඳතාවලටද බරපතළ පහරක් විය. මෙරට රාජ්‍ය බැංකුවක් මාස කිහිපයක් අසාධු ලේඛන ගත කළේද මේ අවුල නිසාය. තමන්ට සිදුවූ පාඩුව වෙනුවෙන් චීන බයෝටෙක් සමාගම බේරුම්කරණ විනිශ්ය සභාව හරහා ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා තිබූ අතර ලංකා ආණ්ඩුවට එය ගෙවා දමන්නට සිදුවිය.

 මේ ඉතිහාසය නොව දැන් කතා කළ යුත්තේ යුවාන් වැන්ග් 5 පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රාව ලබන අගෝස්තු 11 වැනිදා හම්බන්තොට වරාය වෙත පැමිණීම ගැන ඉන්දියාව වඩා විමසිල්ලෙන් පසුවීම පිළිබඳවයි. මෙම නෞකාව පුරා සතියක් හම්බන්තොට නවතා තබන අතර ඒ පිළිබඳව දිල්ලිය කලබල වී තිබේ. දැනටමත් කොළඹ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට මේ ගමන පිළිබඳව වාචික විරෝධතාවක් ඉදිරිපත් කර ඇති බව දැන ගන්නට ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි මාධ්‍ය අමතමින් චීන යාත්‍රාවේ ලංකා ගමන ගැන මෙලෙස පවසා තිබිණි. “ඉන්දියාවේ ආරක්ෂාව සහ ආර්ථික අවශ්‍යතා කෙරෙහි බලපාන ඕනෑම කරුණක් පිළිබඳව තම රජය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන අතර ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනී,”

 වික්‍රමසිංහ නව ජනපතිවරයා මේ අර්බුදය සම්බන්ධව කවර ක්‍රියාමාර්ගයක් ගනීද යන්න පැහැදිලි නැතත් රැවුලත් කැඳත් දෙකම බේරා ගෙන කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ. ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය සමඟ සටන් කරන විට, ඉන්දියාව මේ වසරේ පමණක් ඩොලර් බිලියන 4 කට ආසන්න ආධාර ලබා දී ඇත. චීනය මේ අර්බුදකාරී අවස්ථාවේ ඉන්දියාව තරම් ආධාර ලබා දුන්නේ නැත. නමුත් ඉදිරියේදී ආධාර ලබා දීමට ඉදිරිපත්ව ඇති බව ප්‍රකාශ වී තිබේ. මේ අතර යුවාන් වැන්ග් නැවේ ලංකා ගමන පිළිබඳව ඉන්දීය ආරක්ෂක විශ්ලේෂක නිතින් ඒ ගෝඛලේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ 2014 සිදුවූ දෙය නැවත සිදු වන්නේද යනුවෙනි. ඒ අප ඉහතින් සඳහන් කළ කොළඹ වරායට චීන හමුදාවේ සබ්මැරීන දෙකක් පැමිණීමයි. 2017 දී හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 99කට බදු දුන් විට වැඩියෙන්ම කලබලයට පත්වූයේ ඉන්දියාව හා ඇමෙරිකාවයි. ඩොලර් බිලියන 1.5 ක් වටිනා වරාය චීන හමුදා කඳවුරක් බවට පත්විය හැකි බවට එක්සත් ජනපද සහ ඉන්දියානු නිලධාරීන් කනස්සල්ලට පත්ව සිටිති. නැවේ පැමිණීම නිසා ඔවුන් වඩා විමසිල්ලෙන් පසුවෙයි.

 නිදහසින් පසු ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ මූලධර්මය මට්ටමින් මුල්බැසගත් ආකල්පයක් වන්නේ “අසල්වැසියාට මුල්තැන”  (Neighborhood First) යන්නයි. අගමැති නේරුගේ ශක්තිමත් ආරම්භයේ පටන් බලයට පත් සෑම ඉන්දීය ආණ්ඩුවක් විසින්ම අනුගමනය කරනු ලබන එම “මූලධර්මය” නොකියන සත්‍යය නම්, දකුණු ආසියානු කලාපයේ මුල්තැන ඉන්දියාවට දියයුතු අතර ඔවුන්ගේ අභිලාෂය පරිදි “කුඩා සහෝදරයන්” ක්‍රියාකළ යුතු බවය. පසුගිය මාස කිහිපයේ ඉන්දියාව අපට ඩීසල් හා පෙට්‍රල් නැව් එව්වේද අසල්වැසියාට මුල්තැන ලබා දෙමිනි. නමුත් ඉන්දියාවේ මේවා ක්‍රියාත්මක කරන්නේ යටි අරමුණු  රැසක් සිත්හි තබාගෙනය. එය ලංකාව පිළිබඳ බ්‍රාහ්මණ න්‍යාය ක්‍රියාත්මක කිරීමයි.

 ශ්‍රී ලංකාව ගිලගෙන ඇති වත්මන් ආර්ථික අර්බුදයට චීනය විසින් ලබාදී ඇති ‘විනිවිදභාවයකින් තොර ණය’ හේතුවී ඇතැයි අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධානි සමන්තා පවර් පවසා තිබුණේ  පසුගිය සතියේ නවදිල්ලි නුවර පැවති සමුළුවකදීය. සමන්තා පවර් සිය දේශනයේදී ප්‍රකාශ කර තිබුණේ සැක සහිත ගනුදෙනු හරහා චීනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සම්පාදනය කර ඇති බවයි. පසුගිය දශක දෙක තුළ චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා බවට පත්වූ අතර, අනෙකුත් ණය දෙන්නන්ට වඩා වැඩි පොලී අනුපාත යටතේ බොහෝ විට විනිවිද නොපෙනෙන ණය ගනුදෙනු ලබාදෙමින්, බොහෝ විට සැක සහිත ප්‍රායෝගික භාවිතයක් සහිත ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් ලබාදී ඇත” යැයි සමන්තා පවර් එහිදී සඳහන් කර ඇත. මෙම ප්‍රකාශ කෙලින්ම බීජිං ආණ්ඩුව වෙත එල්ල කරනු ලැබූ පහරකි. එයින්ම ලංකාවේ අර්බුදය පිළිබඳව ඇමෙරිකාව වඩා උන්නදුවෙන් පසුවන බවත් හෙළිවෙයි. මෙරට ඇමෙරිකානු තානාපතිනිය දිනපතාම රජයේ නියෝජිතයන් හමුවී ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහන් කරන්නේ ද එනිසාය. සමන්තා පවර් මහත්මියගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සාඕ ලිජියෑන් පවසා ඇත්තේ චීන ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වේගවත් සහ උසස් මට්ටමකට පැමිණ ඇති බවයි. චීන – ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගිතාව, ශ්‍රී ලංකාව විසින් සෑම විටම මෙහෙයවනු ලැබුවේ, විද්‍යාත්මක සහ සැලසුම් සහගතව බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා අවධාරණය කර ඇත. එසේම චීන ආයෝජන හරහා කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීම් සිදුවී නැති බවද හෙතෙම පවසා තිබිණි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පෙන්වා දී තිබුණේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අවශ්‍යතාවය අනුව ණය ලබා දුන්නේ, අඩු පොලියට සහ දිගුකාලීනව කල් පිරීමේ පදනම යටතේ බවයි. මේ සියල්ල හරහා චීනය ට එරෙහි ඉන්දීය ඇමෙරිකානු හවුලේ මතය පැහැදිලි වේ. ලංකා දූපත බල අරගලයේ පොර පිටියකි. අරගල බිමට ද ආධාර පැමිණියේ මේ නොයෙකුත් පාර්ශ්වවලිනි. ඒවා ඉදිරියේදී හෙළිවනු ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment