යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය අරඹයි

19

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සිය ප්‍රමුඛතම සමාජ වගකීම් වැඩසටහන වන ‘සුවමඟ’ ඔස්සේ ජනසමාජයේ පිරිපුන් සුවසෙත ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරයි. සැමගේ ජීවිත සුරැකීම සහ පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වන සිය සන්නාම මෙහෙවරට අනුකූල වන පරිදි, සමාගම විසින් ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන දියවැඩියා ව්‍යාප්තිය පාලනයට දායකත්වය සපයමින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන සුවමඟ සමාජ සත්කාරක වැඩසටහන පසුගියදා දියත් කරනු ලැබිණි. මෙම පරිපූර්ණ වැඩසටහන සමස්ත වශයෙන් සැලසුම් කර ඇත්තේ දියවැඩියාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, වඩාත් සුවැති ජීවන රටාවන් ප්‍රචලිත කිරීම, කල් තියා දියවැඩියා තත්ත්වයන් හඳුනා ගැනීමට සහ අවදානම පාලනය කරගැනීමට සහාය දැක්වීම සහ ජනසමාජයේ සහභාගිත්වය යොමුකර ගැනීම යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් සහිතව වඩාත් සෞඛ්‍ය සම්පන්න තත්ත්වයන් හිමිකර ගැනීමට සැමට මඟපෙන්වීම සඳහාය.

මෙම වැඩසටහනෙහි අංගයක් ලෙස, සමාගම විසින් සිය ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ 2024 නොවැම්බර් 27 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකාවේ දියවැඩියා සංගමයේ සහභාගිත්වය සහිතව සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී දියත් කරනු ලැබිණි. සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය යනු, සෞඛ්‍ය වාර්තා සහ සෞඛ්‍ය අවදානම් පාලනය කරගැනීමට හා අවම කරගැනීමට සැමට ගැළපෙන සේ සුවිශේෂයෙන් සැකසූ මාර්ගෝපදේශ සමඟ සහතිකලත් සුවසේවා වෘත්තිකයින් විසින් මෙහෙයවනු ලබන දියවැඩියා තිරපරීක්ෂාවන් නොමිලේ පිරිනැමීම සඳහා සැලසුම් කළ, පූර්ණ පහසුකම් සහිත ජංගම රථයකි. නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ප්‍රදේශ දක්වා විවිධ ස්ථාන ආවරණය කරමින් ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීමට අපේක්ෂිත මෙම ජංගම තිරපරීක්ෂා ඒකකය මඟින් යූනියන් ඇෂුවරන්ස් පාරිභෝගිකයින් වන හෝ නොවන යන කරුණ නොසලකා සෑම වයස් කාණ්ඩයකටම අයත් විවිධ පිරිස්වලට නොමිලේ පරීක්ෂාවන් කරගැනීමේ හැකියාව ලබාදෙමින් පොදු මහජනතාවට සුවසේවාවන් පහසුවෙන් සලසා ගැනීමේ අවස්ථා ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත.

යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාව දියවැඩියාව සම්බන්ධ අර්බුදකාරී තත්වයකට මුහුණ දී සිටින අතර, ආසන්න වශයෙන් වැඩිහිටියන් දස දෙනෙකු අතරින් එක් අයෙක් මේ රෝග තත්ත්වයත් සමඟ ජීවත් වෙනවා වගේම හඳුනා නොගත් හෝ අවදානමට ලක්වූ තවත් බොහෝ පිරිසක් සිටිනවා. දියවැඩියාව පාලනයට සහ බරපතළ සංකූලතා කල්තියා හඳුනා ගැනීම සහ නිසි කලට ප්‍රතිකාර කිරීම අතිශයින්ම වැදගත්. සුවමඟ වැඩසටහන සහ ජංගම තිරපරීක්ෂා ඒකකය මඟින් සිය සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගනිමින් ජීවන රටාව සවිබල ගන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැමට අවස්ථාව සැලසෙනවා. ආර්ථික අභියෝග ජයගැනීමට අපේ රට තවමත් උත්සාහ දරමින් සිටින අවස්ථාවක ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් විශේෂයෙන්ම, වෛද්‍ය සේවාවන් ලබාගැනීමේ අවහිරතා සහිත පහසුකම් අඩු ප්‍රදේශද ඇතුළුව රට පුරා සැමට සුවසේවාවන් ලබාගැනීමේ පහසුව සැලසෙනවා.”

සමීර කන්නන්ගර


advertistmentadvertistment