යූරියා නැතත් කුඹුරට නයිටි‍්‍රජන් ….. – පොහොරක් නොවන ජීවඅඟුරු පොහොරක් කරන හැටි…

653

බතලගොඩින් අනාවරණයක්…

 ජීවඅඟුරු පිළිබඳව දැනට සති කීපයකට උඩදී පේරාදෙණිය සරසවියේ මහාචාර්ය සමන් ධර්මකීර්ති විසින් විස්තරාත්මක ලිපියක් මෙම තීරයට සපයා තිබුණි. එහි මනාව පැහැදිලි කර තිබුණේ පහසුවෙන් දිරා නොයන ශාක අවශේෂයන් අසම්පූර්ණව දහනය කරවමින් ජීවඅඟුරු හෙවත් බයෝචා නමැති ද්‍රව්‍යය සාදාගන්නා අන්දමත්, එය පසට එකතුකිරීම නිසා ශාක විසින් ලබාගන්නා ප‍්‍රතිලාභයන් පිළිබඳවත්ය. ජීවඅඟුරු යනු පොහොරක් නොවූවත් එය වනාහී පසේ ජලය, පෝෂක යනාදිය රඳා ගනිමින් ගොවිතැනට උදවු කරන පාංශු සත්කාරකයක් බව අපට මෙතෙක් ලැබී තිබෙන අවබෝධයයි. කාබනික ගොවිතැනක් වෙතට දේශීය කෘෂිකර්මාන්තය පරිවර්තනය කිරීමේදී ගොවීනට මෙන්ම කෘෂිකර්ම පර්යේෂකයින්ට ද ලොකු අභියෝගයකට මුහුණදීමට සිදුවී තිබේ. මෙතෙක් කලක් රසායනික පොහොර යොදමින් වගාව පවත්වාගෙන ගියද, එවන් වේගවත් හා තීව‍්‍ර වගා රටාවක් කාබනික පොහොර හරහා ක‍්‍රියාත්මක කරවීම මෙම අභියෝගයයි. කොම්පෝස්ට් ඇතුළු කාබනික පොහොර ලෙස භාවිතා කෙරෙන බොහොමයක් ද්‍රව්‍යයන්හි නයිට‍්‍රජන් වැනි ශාක වර්ධනයට බෙහෙවින් අවශ්‍ය මූලද්‍රව්‍යයන් ඉතා සීමිතව අන්තර්ගතව තිබීම නිසා අභියෝගයේ බරපතලකම සුළුපටු නොවේ. නයිට‍්‍රජන් පදාර්ථය දියරයක් ලෙස ආනයනය කර කාබනික පොහොරවලට ඒවා දමා බලගන්වා, වගාබිමට යෙදීමට මේ වනවිට යෝජනා වී ඇත්තේ ද, මේ තත්ත්වය නිසිලෙසින් බලධාරීන්ට පවා අවබෝධ වී ඇති බැවිනි.

යූරියා නැතත් කුඹුරට නයිටි‍්‍රජන් .....  - පොහොරක් නොවන ජීවඅඟුරු පොහොරක් කරන හැටි...

”ඒක සාධාරණ යෝජනාවක් බව ඇත්ත. එහෙත් මෙලෙස දමන දේ මාස දෙක තුනක් වැනි ගොයමේ ජීවිත කාලය පුරාවටම කුඹුරේ රැුඳී තිබෙමින් හෙමිහිට නිදහස් වේවිද? බොහොම පහසුවෙන් මෙලෙස දමන දියර ජලයේ දියවෙලා සේදී යනවා. එහෙම නැත්නම් වියෝජනයෙන් වායුගෝලයට එකතුවෙනවා.”

 මෙසේ පවසා සිටින්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප‍්‍රධාන කෘෂි විද්‍යාඥ (ශෂ්‍ය විද්‍යා)  ඞී. එන්. සිරිසේන මහතායි. දශකයක පමණ කාලයක් තිස්සේ බතලගොඩ පර්යේෂණ ක්ෂේත‍්‍රයන්හි අඛණ්ඩව කාබනික ගොවිතැන හා බැඳුනු වී වගාව පිළිබඳව පර්යේෂණ පවත්වා ඇති තමා මුහුණදෙන අලූත්ම අභියෝගය මෙය බව පවසමින් හෙතෙම අප හා සංවාදයට එකතු වුණි. වැඩෙන පැලෑටි ඉල්ලා සිටින්නේ තම දේහ වර්ධනයට අවශ්‍ය පෝෂකවල අඛණ්ඩ සැපයුමක් මිස කිසියම් නිශ්චිත පොහොර වර්ගයක් නොවේ. මිනිසා විසින් කරනු ලබන වාණිජ ගොවිතැනකදී වගාබිම් පද්ධතිය සතුව තිබූ සම්පත් කොටසක් අස්වැන්න ලෙසින් කඩිමුඩියේ පිටතට ගන්නා නිසා ඊළඟ කන්නය පුරා වුවද වැඩසටහන බිඳ නොවැටී පවත්වාගෙන යන්නට නම් භූමියට කෙරෙන පෝෂක සැපයුම අඛණ්ඩව කරගෙන යා යුතුය. මෙය මෙතෙක් සිදුකෙරුවේ ශාකවලට උරාගැනීමට පහසු අකාබනික පෝෂක පසට දැමීමෙනි. කාබනික පොහොර බොහොමයක් තුළ මෙම පෝෂක පවතින්නේ හනිකට ජලයේ දිය නොවන ද්‍රව්‍ය හැටියටය. එබැවින් එක්කෝ කාබනික පොහොර සතු පෝෂක කඩිනමින් නිදහස් කිරීමේ ක‍්‍රමවේදයක් සොයාගත යුතුය. නැතහොත් සත්කාරක දියරයක් වශයෙන් එකතු කරන බාහිර ද්‍රව්‍යයක් වගාබිමෙන් සෝදායෑමට නොදී එහි රඳවාගැනීම යම් ක‍්‍රමයකට තහවුරු කළ යුතුය. ජීවඅඟුරු වෙත විද්වත් අවධානය යොමුවන්නේ මෙවැනි පසුබිමකදීය.

යූරියා නැතත් කුඹුරට නයිටි‍්‍රජන් .....  - පොහොරක් නොවන ජීවඅඟුරු පොහොරක් කරන හැටි...
යූරියා නැතත් කුඹුරට නයිටි‍්‍රජන් .....  - පොහොරක් නොවන ජීවඅඟුරු පොහොරක් කරන හැටි...

ජීව අඟුරු යොදාගන්නේ නම්, ලියද්ද තුළ සිදුවෙන මෙම පෝෂක සෝදාපාළුව නතර කරන්නට යම් තරමකට හැකියාවක් ඇති බවට මූලික පර්යේෂණ හරහා මේ වනවිටත් අවබෝධ වී තිබේ. දහයියාවලින් කරදහයියා නමැති ද්‍රව්‍යය නිපදවන ක‍්‍රමවේදය මෙරට වී ගොවීන්ට අලූත් අත්දැකීමක් නොවේ. ඒ ක‍්‍රමය මඳක් එහාමෙහා කිරීමෙන් දහයියාවලින් ජීවඅඟුරු ද සෑදිය හැකිය. බඩඉරිඟු වහලූ වැනි පහසුවෙන් නොදිරන ශාක අවශේෂයක් වුවත් මේ සඳහා භාවිතා කළ හැකිවේ. ඇසට නොපෙනෙන ඉතාමත් කුඩා සිදුරු සහිත අනුක සැලැස්මක් ජීවඅඟුරුවලට තිබේ. මේ සැලැස්ම පෙනෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වැනි ඉතා සංකීර්ණ උපකරණ මගින් පමණි. එම සිදුරු ඒ තරමටම කුඩාය. කෙසේ වෙතත් මෙම කුහර නොහොත් සිදුරු තුළ ජලය, පෝෂක ආදිය රඳාගැනීමේ හැකියාවක් ජීවඅඟුරුවලට තිබෙන නිසා බතලගොඩ පර්යේෂකයින් අත්හදා බලා ඇත්තේ එය කෙතරම් සාර්ථකව වී වගාවේ පොහොර යෙදීම හා බද්ධ කළ හැකිද යන්නයි. සිරිසේන මහතා යෝජනා කරන්නේ පිටතින් යොදනා අතිරේක සාරවත්කාරකයක් වේ නම් එය, ජීව අඟුරු හා මිශ‍්‍ර කර, පොහොරක් බවට ජීවඅඟුරු පරිවර්තනය කිරීමටයි.

 

This image has an empty alt attribute; its file name is Aguru3.jpg

බතලගොඩ පර්යේෂණායතනයේ ප‍්‍රධාන කෘෂි විද්‍යාඥ (පාංශු විද්‍යා) ආචාර්ය උපුල් කුමාරි රත්නායක මහත්මිය පොහොරක් වශයෙන් ජීවඅඟුරුවල හැසිරීම සිදුවෙන ආකාරය පැහැදිලි කෙරුවේ එලෙසිනි. ඇය පවසනා පරිදි ජීව අඟුරු කිලෝග‍්‍රෑම් එකකට බාහිර සාරවත්කාරක ලීටර් දෙකක ප‍්‍රමාණයක් පහසුවෙන් රඳවා ගත හැකිවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයක ද තිබෙන්නේ කාබනික ද්‍රව්‍ය වශයෙන් කුඹුරු හෙක්ටයාරයකට කරදහයියා කිලෝග‍්‍රෑම් 625 ක් දමන ලෙසටය. එම නිර්දේශයම ජීවඅඟුරුවලට අනුගමනය කරන්නේ නම් ලියැද්දට එකතුවෙන නයිට‍්‍රජන් ප‍්‍රමාණය ඉතා ඉහළ අගයන් ගනී. ආනයනික පෝෂක දියරයක් පමණක් නොව ස්වභාවිකව ලබාගත හැකි නම් කාබනික ද්‍රව්‍යයන්ගෙන්ම මෙම නයිට‍්‍රජන් අවශ්‍යතාව සපුරා ගැනීමට ද හැකියාව තිබේ. උදාහරණයක් වශයෙන් ගවපාලනය වැඩිපුර සිදුකෙරෙන පළාතක නම් නයිට‍්‍රජන් ප‍්‍රභවයක් ලෙස ගවමූත‍්‍ර වුවද ලබාගෙන මේ සඳහා භාවිතා කළ හැකිවේ. ගවමූත‍්‍ර ලීටර් දෙකක් ජීව අඟුරු කිලෝග‍්‍රෑමයක් සඳහා යෙදිය හැකිවනු ඇත. එතරම් අවශ්‍ය නැතිනම් ගවමූත‍්‍ර ලීටරයක් ගෙන එය ලීටර් දෙකක් දක්වා තනුක කර ජීවඅඟුරු කිලෝවකට යෙදිය හැකිය.

 අප පැමිණ සිටින්නේ පරිසයට සුවදායක ලෙස අවම රසායනික ද්‍රව්‍ය භාවිතයකින් කෙරෙන ගොවිතැනක් වෙතට රටම යොමු වී ඇති මංසන්ධියකටයි. බෝගයේ පෝෂණ සත්කාරය කාබනික සංයෝග ඇසුරෙන් කරන්නට යෑමේදී විවිධ පිළිවෙත් අලූතින් අනුගමනය කරන්නට ද වගාකරුට සිදුවේවි.

”බාහිරින් අපි දමන සාරවත්කාරක දියර ජීවඅඟුරු තුළ තිබෙන ක්ෂුද්‍ර අවකාශ තුළට රිංගනවා. ඉන්පසු යම් කාලයක් එතන නවතිනවා. ජීව අඟුරු කුඹුරට දැමූවිට මේ පෝෂක එක පාරටම සේදිලා යන්නෙත් නෑ.

යූරියා නැතත් කුඹුරට නයිටි‍්‍රජන් .....  - පොහොරක් නොවන ජීවඅඟුරු පොහොරක් කරන හැටි...

ගොයමේ ජීවිත කාලය පුරාවටම කුඹුරේ රැුඳී තිබෙමින් ටිකින් ටික පරිසරයට නිදහස් කරමින් ගොයමට අවශ්‍ය පෝෂණය අඛණ්ඩව ලබා දෙනවා. මෙසේ බලගැන්වූ ජීවඅඟුරු දමන්නට පුළුවන් වෙන්නේ මූලික පොහොර වශයෙන් වී වපුරන අවස්ථාවේදී පමණක් නෙවෙයි, පසු අවස්ථාවලදීත් මතුපිට පොහොරක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්.”

බාහිර සාරවත්කාරකවලින් පණපෙවූ ජීව අඟුරු පොහොර, කාබනික මාවත ඔස්සේ ගොවිතැන සුසර කරමින් සිටිනා ගොවියාට මහත් අස්වැසිල්ලක් වනු ඇත්තේ ඒ නිසාය.

 සනත් එම්. බණ්ඩාර
 [email protected]

advertistmentadvertistment
advertistmentadvertistment