යොවුන්පුරයට කෝටි 8ක් වැඩිපුර වැය කරලා

108

* කෝප් කමිටුවේදී හෙළි වෙයි

ජාතික තරුණ සේවා සභාව විසින් 2018 සහ 2019 වර්ෂවල කි‍්‍රයාත්මක කරන ලද යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තුගත පිරිවැයට අමතරව රුපියල් අටකෝටි පන්ලක්ෂ හැට දහස් නවසිය දාහතරක් වැය කර ඇතැයි කෝප් කමිටුවේදී අනාවරණය විය.

එම වර්ෂවල පැවැත්වූ යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තුගත පිරිවැය එකතුව රුපියල් මිලියන 350 ක් වුවද, එය ඉක්මවා ඉහත මුදල වැය කර තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී අනාවරණය වී ඇත. 2019 වසරේ වැඩසටහනට අවශ්‍ය ගබඩා 02 ක් කුලී පදනම මත ලබා ගැනීමේදී වූ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට පරිබාහිරව, ඇණවුම් කළ දින ප‍්‍රමාණය ඉක්මවා භාවිත කළ බව සඳහන් කරමින් රුපියල් විසි දෙලක්ෂ විසි හත්දහස් හාරසියයක් වැඩිපුර ගෙවා තිබුණි.

එමෙන්ම 2016 වර්ෂයේ පවත්වන ලද යොවුන්පුර ජාතික වැඩසටහනට සභභාගි වූ තරුණ තරුණියන් වෙත බෙදා හැරීම සඳහා තාක්ෂණික කමිටු නිර්දේශයකින් තොරව වැඩසටහන පැවැත්වූ දිනට පසුව ටී ෂර්ට් 1773 ක් සඳහා රුපියල් 1,932,500 ක් ගෙවා තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.

සමීක්ෂණ මණ්ඩල වාර්තාව අනුව 2017 වර්ෂය තුළ මුද්‍රණය කරන ලද පිරිවැය රුපියල් 1,822,400 ක් වූ තොරතුරු පත‍්‍රිකා 268,000 ක් ඉවත් කිරීමට නිර්දේශ කර තිබූ බවද මෙම කාරක සභා රැුස්වීමේදී අනාවරණය විය.

ජාතික තරුණ සේවා සභාවේ සියයට 98 කට වැඩි කොටස් හිමිකාරිත්වයක් සහිතව ශ‍්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 1981 වසරේදී ආරම්භ කර තිබුණද ඒකාබද්ධ මූල්‍ය ප‍්‍රකාශන පිළියෙල කර නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී හෙළි විය.

එමෙන්ම ජාතික තරුණ සේවා සභාව විසින් 2018, 2019 හා 2020 වර්ෂවල මිලියන 417 ක් වටිනා කාර්යයන් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම තුළින් සිදු කර ගෙන තිබුණි.

ජාතික තරුණ සේවා සභාව විසින් ආරම්භ කිරීමට නියමිත සිස්කෝ පරිගණක ජාලගත පාඨමාලාව ආරම්භ කිරීම සඳහා මූලික පහසුකම් සපුරා ගැනීමටත් පෙර, 2021 ජූලි 29 දින රුපියල් 15,708,178 ක් වැය කර උපකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාව එම ආයතනයේ නිලධාරින්ගෙන් ප‍්‍රශ්න කළේය.

ශ‍්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 2017 වසරේ සිට සංයුක්ත සැලැස්මක් සකසා නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර එම සමාගම ක‍්‍රියාකාරි සැලැස්මක් පිළියෙල නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාව ප‍්‍රශ්න කළේය.

ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ප‍්‍රමාදයක් පවතින බව පැවසූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා, 2015 වසරේ සිට ශ‍්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද ප‍්‍රශ්න කළේය. එම සියලූ වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් මාතර නිල්වලා යොවුන් උද්‍යානය ඉදිකිරීමට තීරණය කර තිබුණද ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නොතිබීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය විසින් අදාළ ඉඩම් හිමිකරුවන්ට වන්දි හා පොලිය වශයෙන් එකතුව රුපියල් 142,810,543 ක්ද, 2014 දෙසැම්බර් 31 වැනි දින වන විට ජාතික තරුණ සේවා සභාව උපදේශක ගාස්තු වශයෙන් රුපියල් 7,657,349 ක් ද ගෙවා තිබීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡුා විය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් වන මධුර විතානගේ, පේ‍්‍රම්නාත් සී. දොලවත්ත යන මහත්වරු සහ නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

 

advertistmentadvertistment
advertistmentadvertistment