යොවුන් කවිය ප්‍රචලිත කිරීම යහපත් දරු පරපුරක ආරම්භය යි !

84

කවිය යනු පාඨකයාගේ පරිකල්පනය හෝ හැඟීම් උද්දීපනය කරන්නට සමත් සාහිත්‍ය ශානරයකි. නැතහොත්, කලාත්මක ලිවීමකි. කවියා මෙය කරන්නේ භාෂාවේ අරුත, ශබ්දය සහ රිද්මය පරිස්සමින් තෝරාගෙන සකස් කිරීමෙනි. ළදරු ගීත වැනි සමහර කවි බෙහෙවින් ම සරල ය, බොළඳ ය.. තවත් සමහර කවි ජීවිතය පිළිබඳ යම් සත්‍යයක් ප්‍රකාශ කිරීමට උත්සාහ දරයි.

 මේ ආකාරයට කාව්‍ය බොහෝ ආකාරවලින් සහ ශෛලීන්ගෙන් දිස්වේ. මෙය නිවැරදිව නිර්වචනය කිරීම පහසු නොවේ. වෙනත් ආකාරයේ ලිවීම්වලට වඩා කවියක ඇති වෙනස වන්නේ ඒවායේ පවත්නා ව්‍යුහයයි.

 මුලින් ම මව්කුස සිටිය දී ත්, ඉන්පසුව මව් තුරුළේ දී ත් මුලින් ම කවිරස විඳින්නට පටන්ගන්නා දරුවෝ ඉන්පසු විශේෂයෙන් ම පෙර පාසලේ දී ත්, අනතුරුව පාසලේ දී ත් එම කාව්‍ය රසාස්වාදය වැඩි වර්ධනය කර ගනිති. එසේ ම, පරිසරය පිළිබඳ සෞන්දර්යය ද, ගුණදහම් හා සිරිත් විරිත් පිළිබඳව ඉගෙනුම ද දරුවා කවියෙන් ම උකහා ගනී.

 එසේ වැඩි වර්ධනය වන එම රසවින්දනය නිතැතින් ම දරුවා අංකුර නිර්මාණකරුවකු බවට ද පත්කරයි. ගස්-වැල්, ඇළ-දොළ, ඉර-හඳ, කුරුල්ලන්, සමනලයන් ගැන තම සිතේ උපදින චමත්කාරය ඔහු පුංචි පුංචි කවි බවට පෙරළයි. දරුවාගේ මේ හපන්කම වැඩිහිටියන්ගේ නිසි අවධානයට ලක්වුවහොත්, දරුවාගේ ප්‍රතිභාව වැඩී වර්ධනය කරන්නට එය හේතු වෙයි. නොඑසේ නම්, ඉබේ ම එය මොට වී යයි.

 අපේ සමාජයේ වැඩිවශයෙන් සිදුවන්නේ මෙයින් දෙවැන්න ය. එනිසා, සිතේ පහළවන හැඟීම් මුදා හැරීමට දරුවාට ඇති අවස්ථාව අහිමි වී යයි. ඔහු වයසින් වැඩෙන්නට වැඩෙන්නට මෙම තත්ත්වය තව තවත් දරුණු වෙයි. කවියක්, කෙටිකතාවක් ලියන කියවන එක, ගීතයක් අසන විඳින එක ඉගෙනීම් කටයුතුවලට මහත් බාධාවක් යැයි සිතන මව්පියෝ දරුවාගේ මානසික සුවය පිළිබඳව බිඳක්වත් නොසිතති. එමගින් ඔවුහු දරුවාගේ ළමා කාලයත්, යොවුන්වියත් යන දෙකම ඔවුන්ගෙන් උදුරා ගනිති.

 අප මෙතරම් දීර්ඝ පූර්විකාවක් සටහන් කළේ ළමා සහ යොවුන් දරුවන්ගේ මානසික ප්‍රගමනයට හේතුවන අපට ආගන්තුක කාව්‍ය ශානරයක් වන ‘යොවුන් කවිය’ පිළිබඳව පළමුවරට අප සමාජය අවදි කළ ප්‍රවීණ කවියකු සහ ගීත රචකයකු වන නුවන් කුමාර කටුගම්පලගේ ‘ස්මාර්ට් කූඹියාගේ වලාකුළු සවාරිය’ යොවුන් කවි සරණිය කියවීමෙන් ලද ප්‍රහර්ශය නිසා ය.

 ‘බිංදුව-එකතු වන්න පටන් ගන්න’ ළමා සාහිත්‍ය කෘතියත්, ‘ගායෙන් මා මුදවලා’ ගී පද සරණියත්, ‘දත වැටිලා’ කාව්‍ය සංග්‍රහයත් මීට පෙර පළකර ඇති නුවන් ඔහුගේ මෙම යොවුන් කවි සරණිය මගින් යොවුන් දරු දැරියනට සිය සිතුම් පැතුම් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් තිබිය යුතු බව අපට පෙන්වා දෙයි. එසේ ම, ඒ සඳහා තවමත් වැඩි අවධානයක් යොමු වී නොමැති ‘යොවුන් කවිය’ පිළිබඳව ලේඛක, පාඨක, විචාරක සියල්ලන්ගේ ඇල්ම බැල්ම වැඩි වැඩියෙන් යොමුවිය යුතු බව අවධාරණය කරයි.

 ‘යොවුන් කවිය’ අපට ආගන්තුක සාහිත්‍ය ශානරයක් වුව ද, එය බොහෝ රටවලට නම් ආගන්තුක එකක් නොවේ. එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි පිහිටි බිලාරිකා නගරය මූලස්ථානය කරගත් ‘ඊදඅිැ්එි’ නම් සංවිධානය යොවුන් සාහිත්‍යය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලොව රටවල් 138ක් පුරා විහිදුණු සංවිධානයකි. එය යොවුන් කවිය ඇතුළු විවිධ අංශ අරභයා ලොව පුරා වෙසෙන යොවුන් ලේඛකයන් වෙනුවෙන් වැඩමුළු, සම්මන්ත්‍රණ සහ වාර්ෂික තරගාවලි පවත්වයි.

 මෙවන් සංවිධාන බොහෝ ගණනක් ලොව පුරා පිහිටා ඇති අතර, ඒ සියල්ල ගැන විස්තර කිරීම මෙහි අරමුණ නොවේ. අන්තර්ජාලය ඇසුරින් ඒ පිළිබඳව බොහෝ තොරතුරු සොයාගත හැකි හෙයින්, දියුණු සමාජයක ප්‍රවර්ධනය කළයුතු ම සාහිත්‍යාංගයක් වන යොවුන් කවිය පිළිබඳව අවධානය යොමුකරමින් නිර්මිත නුවන් කුමාර කටුගම්පලගේ ‘ස්මාර්ට් කූඹියාගේ වලාකුළු සවාරිය’ යොවුන් කවි සරණිය දෙසට අපි අපේ නෙත සිත යොමුකරමු.

 මෙම කවි සරණියේ 24 වන පිටුවේ එන ‘නියුරෝන‘ නම් කව අපේ සිසු දරුවනට පාසලේ දී ගුරුවරුන්ගෙනුත්, නිවසේ දී මව්පියන්ගෙනුත් එල්ලවන පීඩනය මැනවින් කියාපාන්නකි. එසේ ම, එවන් දඬුවම්වලින් පීඩනයට පත්වන දරුවන්ගේ මොළයට දිවෙන නියුරෝන ගුරු දෙගුරුන්ගේ එක් ආදරණීය සිපගැනීමකින් ප්‍රමෝදයට පත්වන අයුරු කටුගම්පල කවියා ව්‍යාංගාර්ථවත් ලෙසින් ප්‍රතිනිර්මාණය කරන්නේ මෙසේ ය.

 ‘මොළ කුසුමේ අසංඛ්‍ය නියුරෝන’
 ප්‍රහර්ශයේ මඟුල් ගෙයින් මළගෙදරට ගේන
 කටු මැටි ගුටි පාර දිගේ ඉඳහිට හරිදාන
 තොත්තුවකින් මඟුලට යළි දුවනව නියුරෝන‘

 එහි ඊළඟ පිටුවේ එන ‘බිංදුවා‘ නම් නිර්මාණය වටිනාකමක් නැතැයි අප සිතන බොහෝ දේවල අප නොදන්නා වටිනාකමක් සැඟව ඇති බව දරුවනට සරලව පහදා දෙන දාර්ශනික අදහසක් ඇති තවත් අපූරු කවියකි. එහි එක් කවියක් මෙසේ ය.

 ‘කිසි ම වටිනාකමක් නොමැතිව
 තනිව හැසිරෙන බිංදුවා
 නවයෙ ඉඳලා නහුත සයුරට
 සංඛ්‍යා ගඟ දිගු කළා‘

 දකින දකින දේ උත්සාහ කර බලන්නට ළමුන් තුළ පවත්නා නොතිත් ආශාවට හරස්වීම අපේ රටේ බොහෝ මව්පියන්ට ආවේණික ලක්ෂණයක් බවට පත්ව ඇත. කිසියම් ක්‍රියාකාරකමක යෙදී එයින් ජීවිතයට යමක් ඉගෙනගන්නට ළමයාට ඇති අවස්ථාව එමගින් ඇහිරී යන බව ඔවුහු මොහොතකටවත් නොසිතති. මෙහි 30 වැනි පිටුවේ සඳහන් ‘බෑ බෑ එපා කියනවා’ නම් කව එම පසුගාමී චින්තනය ගැන ය.

 අපේ සමස්ත අධ්‍යාපන ක්‍රමය ම ප්‍රශ්න කරන එක කෙටි කවක් 31 වැනි පිටුවේ දී අපට මුණගැසේ. කවියා එය නම්කර තිබෙන්නේ ‘නැති පාඩම‘ යනුවෙනි. බලන්න ! ඔහු මේ කවෙන් පළකරන අදහස

 අමොනතරම් ඇත්තක් ද ?
 ‘අතීතය ගැන කියන ඉතිහාස පාඩමයි
 අනෙක් ඔක්කොම විෂය අනාගතයට දුවයි
 වර්තමානයට එක පාඩමක් නැති හැඩයි
 පැනනගින ගැටලුවල උපත එතැනම තියෙ යි‘

 වැඩිහිටියන් විසින් නිපදවන ලද ජංගම දුරකථනය පාලනයකින් තොරව නිසියාකාරව පරිහරණය නොකිරීම නිසා වර්තමානයේ යොවුන් පරපුරේ පමණක් නොව, ළමා ලෝකයට ද සිදුකර ඇති හානිය සුළුපටු නොවේ. එම කාලීන ගැටලුව විෂය කරගනිමින් 34 වැනි පිටුවේ පළව ඇති ‘තාත්තා ෆෝන් එක හැංගූ පසු මා ලියූ ලියවිල්ල‘ සහ 35 වැනි පිටුවේ පළව ඇති ‘මගේ ලියවිල්ලට තාත්තා ලියූ පිළිතුරු ලියවිල්ල‘ නම් කවි දෙක ඒ පිළිබඳව අපට බොහෝ දේ කියාදෙයි.

 ඉන් පළමු කව දරුවාගේ ය. දරුවාට ජංගම දුරකථනය භාවිත කිරීමට ඇති අයිතිය ඔහු එහි දෙවන කවෙන් මෙසේ ප්‍රශ්න කරයි.

 “වරදින්නට හැක හරියන්නට හැක
 සියයට සියයක් හරි කවුරුත් නැත
 ඔබ නොවුනත් ඔබ පරපුර නිපදුව
 සුහුරු අපට නැත්නම් වෙන කාට ද?‘

 දෙවැන්න තාත්තාගේ කවිය යි. මේ සම්බන්ධයෙන් මව්පියන්ට ඇති වගකීම ඔහු එහි අවසන් කවියෙන් මෙසේ පෙන්නා දෙයි.

 ‘සෙවණැල්ලක් වී එන්නෙමු ! ඉන්නෙමු !
 ඉර හඳ තරු සේ උඩින් එබෙන්නෙමු !
 වැරදි අතට හැරුණොත් නුඹ නම් රිය
 නළා පිඹිමු ! හරවමු ! නිවැරදියට’

 කසළ කළමනාකරණය පිළිබඳව දේශන රැසකින් කියාදෙන පණිවුඩයක් පේළි කිහිපයක එක කවියකින් සරලව කියන්නට නුවන් කුමාර කටුගම්පොල කවියා සමත්ව ඇති අවස්ථාවක් ඔහුගේ මෙම කවිසරණියේ 47 වැනි පිටුවේ දී අපට හමුවේ. ‘එක වැඩයි වැඩ දෙකයි’ යනුවෙන් නම්කර ඇති එම අපූරු කවිය මෙසේ ය.

 ‘ඕං
 නිලමැස්සො ගියා
 මී මැස්සො ආවා
 මං
 නිල මැස්සො පැන්නුවේ නැහැ
 මී මැස්සො ගෙන්නුවේ නැහැ
 මං
 වත්තෙ තිබුණු කුණු
 පොහොර වළට දාලා වහලා තිබ්බා
 වළේ තිබුණු පොහොර
 ගොඩ අරන් ගස් මුලට දැම්මා‘

 දරිද්‍රතාවෙන් පෙළෙන මව්වරුන් තමන් විඳින දුක් වේදනා දරුවනට නොදී තනිව විඳ දරා ගැනීම අප බොහෝවිට දැක ඇති දෙයකි. එවැන්නක් ඉතාමත් සංවේදී ලෙස කවිකළ අවස්ථාවක් 52 වැනි පිටුවේ එන ‘අම්මා ඇවිත්‘ කවිය අපට සමීප කරයි. බලන්න ! එහි අවසන් කවිය මොනතරම් සංවේදී එකක් ද?.

 ‘පාඩම් පොතෙන්
 ණය පොත වසන්
 හිනැහෙන මුවින්
 පැටියෝ කියත්‘

 අප ජීවත්වන්නේ කිසිදු හිරිකිතයකින් තොරව එළවළු, පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍යවලට වසවිස එක්කරන සමාජයක ය. එසේ ම, ලෙඩදුක්වලට අහුරු පිටින් බෙහෙත් ගිලදමන සමාජයක ය. මෙහි 65 වැනි පිටුවේ සඳහන් ‘චූටි නංගියාගේ අදහස‘ නම් උත්ප්‍රාසවත් කවියෙන් එය ළමයෙකුගේ ඇසින් අපේ කවියා දකින්නේ මෙසේ ය.

 ‘බෙහෙත් ගහනා එක
 කොච්චර හොඳ ද ?
 එළවළුවලට පලතුරුවලට
 ලෙඩ හැදුණා ම දොස්තරලාට
 ගෙවලත් බෙහෙත් ගන්නව නේ ද?

 එළවළු සමඟ පලතුරු වැඩිය
 ආහාරයට එක්කර ගනිමු !
 ලෙඩදුක් ගොඩක් අඩුකර ගන්න
 වැඩිපුර බෙහෙත් සිරුරට ගනිමු !

 දරුවන්ගේ මානසික තත්ත්වය තමන්ගේ ම කරගනිමින් වත්මන් යොවුන් දරු දැරියනට බෙහෙවින් අදාළ නවීන ප්‍රස්තුත රැසක් ඔස්සේ ඔවුන්ගේ ජීවිතය ප්‍රශ්න කරන නුවන්, මෙවන් යොවුන් කවි මගින්වත් ඔවුන්ගේ ජීවිත තුළ කැකෑරෙන පීඩා, දුක්ඛ දෝමනස්සතා, රුචි අරුචිකම් මෙන් ම, අවශ්‍යතා ද එළියට ගතයුතු යැයි වැඩිහිටි අපට පෙන්නා දෙයි. ඒ සඳහා ඔහු යෝජනා කරන්නේ යොවුන් කවිය යි.

 ආර්ථික අතින් පමණක් නොව, ආකල්ප, සිරිත් විරිත් හා ආචාර ධර්ම අතින් ද දියුණු වෙනත් රටවල මෙන්, අප රටේ ද දරුවන් අතර යොවුන් කවිය ප්‍රචලිත කරන්නට අපට හැකිනම්, නුවන් කුමාර කටුගම්පල කවියා සිය ‘ස්මාර්ට් කූඹියාගේ වලාකුළු සවාරිය‘ යොවුන් කවි සරණියෙන් ඒ සඳහා ගත් පුරෝගාමී උත්සාහය මල්ඵල ගැන්වී යහපත් දරු පරපුරක් මෙන් ම, කෘතහස්ත ලේඛක පිරිසක් ද අනාගතයේ බිහිකර ගැනීම අපට අපහසු නොවනු ඇත.

● අනුර බී. සෙනෙවිරත්න
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment