යොවුන් කවිය ශානරයක් ලෙස ව්‍යාප්ත විය යුතුයි

202

බටහිර සාහිත්‍යයේ  ”Poems for youth”. නොහොත්  ”youth Poems”’  නමින් ප‍්‍රබල සාහිත්‍ය ශානරයක් දැකගත හැක. ඒ අනුව මෙතෙක් කලක් බටහිර රටවලට පමණක් සීමා වූ යොවුන් කවිය මෙරටට හඳුන්වාදීමේ ආරම්භයක් ලෙස ඔහු විසින් ස්මාර්ට් කූමියාගේ වලාකුළු සවාරිය යොවුන් කාව්‍ය සංග‍්‍රහය පාඨකයන් අතට පත්කොට ඇත. ඔහු නමින් නුවන් කුමාර කටුගම්පලය. පහත පළවන්නේ එම සාහිත්‍යයීක උත්සාහය පිළිබඳව ඔහුත් සමඟ සිදුකළ කතාබහක් ය.

යොවුන් කවිය ශානරයක් ලෙස ව්‍යාප්ත විය යුතුයි


සිංහල යොවුන් කාව්‍ය සාහිත්‍යයක අවශ්‍යතාව පිළිබඳ ඔබ තුළ උනන්දුවක් ඇතිවෙන්න ගත්තෙ කොහොමද?

 ඉබේමයි. මං යොවුන් කවියක් ගැන සිහිනයක් දැක්කා. එදා ඉඳන් දන්නා හඳුනන නවක සහ ප‍්‍රවීණ කිවිවරුන්, සාහිත්‍යකරුවන් සහ කලාකරුවන් රැසකගෙන් විමසුවා, ‘ලංකාවෙ යොවුන් කවි පොතක් පළ වෙලා තියෙනව ද?’ කියලා. මට එවැන්නක ආකෘතිකමය සහ අන්තර්ගතමය පූර්වාදර්ශයක්, නිදර්ශනයක් සපයා ගන්න හිතාගෙන. ඒත් මට වගේම ඔවුන්ටත් මීට කළින් එවැන්නක් සිංහල සාහිත්‍ය තුළ හමු වී තිබුණේ නෑ.

 මව් කුසේ පටන් මරණය තෙක්ම කවියෙන් රසවත් වුණු අතීතයක් තියෙන ජාතියක් අපි. ඒ වුණාට වත්මන් යොවුන් වියට කවියෙන් ඈත් වෙන්න නම් ඕනෑ තරම් පාරවල් කපලා දීලා තියෙනවා. නමුත් අද දවසට ගැළපෙන විධියට ඔවුන්ටම විශේෂිත කවියක් හඳුන්වා දෙන්න අපිට බැරි වෙලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික ග‍්‍රන්ථ සමීක්ෂණ උපදේශක මණ්ඩලය, පාසල් පුස්තකාල සංවර්ධන ඒකකය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන ආයතනය (NILIS) එකතු වෙලා අඛණ්ඩව වසර දහයකට ආසන්න කාලයක් වාර්ෂිකව සංවිධාන කරපු ළමා සහ යොවුන් සාහිත්‍ය පිළිබඳ ලේඛක ලේඛිකාවන් දැනුම්වත් කිරීමේ පාඨමාලාවට සහභාගී වෙන්න මට ඉඩ ලැබුණා. එතැනදි ඒ උනන්දුවට හොඳින් දිය, පොහොර, හිරුඑළිය, වාතාස‍්‍රය ලැබිලා අතු, ඉති, දළු, මල් වැඩිලා පසුගිය අවුරුද්දෙ ‘ස්මාර්ට් කූඹියාගේ වලාකුළු සවාරිය’ නමින් ඵල දැරුවා.

 එම උනන්දුව කෘතියක් බවට පත් කොට මෙරට යෞවනය අතට පත් කරන්න ඔබ විසින් තීරණය කරන්නේ යොවුන් සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ න්‍යායික සහ ප‍්‍රායෝගික පුහුණුවක් ලද අයකු ලෙස ද? එසේත් නැත්නම් කුඩා අවධියේ පටන් කවියත් සමග සමීප ඇසුරක් පවත්වන ලද නිර්මාණකරුවෙක් ලෙස ද?

 යොවුන් සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ න්‍යායික සහ ප‍්‍රායෝගික පුහුණුවක් ලද, කුඩා අවධියේ පටන් කවියත් සමග සමීප ඇසුරක් පවත්වන නිර්මාණකරුවෙක් ලෙස.

 ‘ස්මාර්ට් කූඹියාගේ වලාකුළු සවාරිය’ හරහා ඔබ උත්සාහ ගන්නේ යෞවනයට කවියක් නොමැති

 ගැටලූවට විසඳුමක් හොයන්නද? එසේත් නැත්නම් මේ කෘතිය ඒ සඳහා ආරම්භයක් ද?

 මේ කෘතිය හරහා මා අරමුණු කීපයක් වෙත ප‍්‍රවිෂ්ට වන්නට උත්සාහවන්ත වනවා. හඳුනා ගත් පවත්නා ගැටලූවට මෙම කෘතිය පමණක් තනිව ගත් කල විසඳුමක් වෙතැයි මා කිසිසේත් විශ්වාස කරන්නේ නෑ. එහි විසඳුම තව දුර විය හැකියි. අනික එය සාමූහික කටයුත්තක්. ඊට විසඳුම තියෙන්නෙ ලේඛක ප‍්‍රජාවත්, පොත් ප‍්‍රකාශක ප‍්‍රජාවත්, යොවුන් පාඨක ප‍්‍රජාවත්, විචාරක ප‍්‍රජාවත්, අධ්‍යාපනය හා සංස්කෘතිය භාර රාජ්‍ය ආයතනත්, සාහිත්‍ය උළෙල සහ ඒවායේ ඇගයීම් මණ්ඩලත්, ගුරු දෙගුරු ප‍්‍රජාවත් අතේ. මා සිදු කළේ මෙතෙක් අපට හඳුනා ගත නොහැකි වූ මේ සාහිත්‍ය රික්තය හඳුනා ගෙන ඊට කිසියම් නිදර්ශනයක්, ආදර්ශයක් පෙන්වා දී වත්මන් කවි කිවිඳියන්ටත්, මා ඉහතින් සඳහන් කළ පාර්ශ්වයන්ටත් මෙම වයස් කාණ්ඩයේ දරුවන් වෙනුවෙන් කවි ලියනු පිණිස කාරුණික ආරාධනාවක් කිරීමයි. ළමා වියත්, තරුණ හෝ වැඩිහිටි වියත් අතර යොවුන් කවි පාළමක අවශ්‍යතාව දැකලා ඒ හිදැස සම්පූර්ණ කරන්නට (Bridge the Gap) තැනිය හැකි පාලමට අවශ්‍ය මූලික අඩිතාලමක් දැමීමයි. ඒ කියන්නේ පැහැදිලිවම මේක ආරම්භයක්.

 යොවුන් සාහිත්‍ය තුළ කවිය නොතිබුණා නම් අද ඉන්න තරුණ කවියන්, කිවිඳියන් මේ තරම් ප‍්‍රබල ලෙස ඔවුන්ගේ නිර්මාණ සමාජගත කරන්නේ කොහොම ද?

 අපේ සාහිත්‍ය තුළ යොවුන් කවි තිබෙනවා. අපේ ප‍්‍රවීණ කවි කිවිඳියන්ගේ පොත්වල යොවුන් කවි හමුවනවා. අපේ ජන කවියෙ යොවුන් කවි තිබෙනවා. ඒ වගේම ඔබ කී පරිදි අද ඉන්න තරුණ කවියන්, කිවිඳියන් ඉතා ප‍්‍රබල ලෙස ඔවුන්ගේ නිර්මාණ සමාජගත කරන බවත් ඇත්ත. ඒක එහෙම වුණත්, එසේ වන්නේ යොවුන් සාහිත්‍ය තුළ කවිය තිබීම නිසා ද? දේශීය සහ විදේශීය කාව්‍ය සාහිත්‍ය ශී‍්‍ර ලාංකේය කවීන් විසින් හැදෑරීමේ සහ පරිශීලනය කිරීමේ මහඟු ප‍්‍රතිඵලයක් නිසා ද? එසේත් නැතිනම් ඊට බලපෑ වෙනත් කාරණයක් තිබෙනවාද? යන්න වෙනම සොයා බැලිය යුතු කරුණක්.

 මගේ ප‍්‍රකාශනය එය නොවෙයි. යොවුන් කවිය ශානරයක් ලෙස අරුත් ගැන්වී පුළුල්ව සිංහල සාහිත්‍ය තුළ ව්‍යාප්ත විය යුතු බවයි.

 මෙතෙක් කලක් යෞවනේ පිණිසම අනන්‍ය වූ කවියක් නොතිබීම ඔබ දකින්නේ ඓතිහාසික වරදක් ලෙස ද?

 ඒකට වරදක් නොකියා අපි අතපසු වීමක් කියමු.

 කෘතියට ඇතුළත් පූර්විකාවේ සඳහන් වන පරිදි තමන්ට ම කවියක් නොමැතිව අතරමං වන යෞවනයෙක් තමයි අද දකින්නට ලැබෙන්නේ. ඒ ඔබේ අදහස. හොඳයි, යොවුන් සාහිත්‍ය ගත්තොත් පොදුවේ ඔය කියන ශානරය ඇතුලේ යෞවනය කොතෙක් දුරට රැුදී ඉන්නවාද?

 ඒ පිළිබඳ පුරෝකථනයක්, ප‍්‍රමාණකරණයක් හෝ කාල නිර්ණයක් කිරීම අපහසුයි. මන්ද මෙය තවම අපේ රටේ සමාජගත නොවුණු මෙවලමක්. ඒක තීරණය වන්නේ මේ ශානරය කොතෙක් දුරට, කොයි තරම් කාලයකින්, ඉලක්ක ගත කණ්ඩායම අතර ව්‍යාප්ත වන්නේ ද? ප‍්‍රචලිත වන්නේ ද? යන්න මතයි. ඒකත් තීරණය වෙන්නේ මං පෙර කී පාර්ශ්ව රැුස මේ කෙරෙහි දක්වන සහභාගීත්වය සහ දායකත්වය මතයි.

 ඒ කොහොම වුණත් මං හිතනවා අවම වශයෙන් යොවුන් නවකතාව හා සමාන හෝ ඊටත් වඩා වැඩි බලපෑමක් ඒ කෙරෙහි ඇති කරන්නට බලයක් යොවුන් කවියට තියෙනවා කියලා.

 මොක ද? මට විශ්වාසයි මෙහි එන කවි සියල්ලේම පාහේ යෞවනයට ඍජුවම අදාළ වන අත්දැකීමක් තියෙනවා. යොවුන් කාල රාමුව තුළට වැටෙන කාරණාවක් ප‍්‍රස්තූත වනවා. අත්දැකීම ළමා හෝ යොවුන් වුණාට ප‍්‍රඥ සම්පන්නව අර්ථකතනය කළ විට සමස්ත සමාජයටම ආදේශ කළ හැකි ගුණයකුත් පවතිනවා.

 අනෙක් කාරණය පූර්විකාවේ සඳහන් වන පරිදි තමන්ට ම කවියක් නොමැතිව අතරමං වන යෞවනයා තරුණ වියට එළඹීමෙන් පසු කවියෙන් ඈත් වෙතැයි දොස් නගන ඉතිහාසයකට උරුමකම් කියන අපි, එවැනි අනාගතයකට උරුමකම් නොකියමු කියා මා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ප‍්‍රාර්ථනා කරනවා. යෝජනා කරනවා.

 ඔබ ගත් උත්සාහය පිළිබඳ ලැබෙන ප‍්‍රතිචාර ගැන තෘප්තිමත් ද?

 ඔව්. දැනට ඉහටත් උඩින්. යොවුන් දරුවන්ට නැවුම් අත්දැකීමක් ලබා දීමට හැකි වීම නිසා ඉමහත් සතුටක් දැනෙනවා.

 සංවාදය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment