යොවුන් දිවියේ රුචි අරුචිකම් රූපණය කරන සුමේධානන්දය

156

සුමේධානන්දය යමුනා මාලිනී පෙරේරා මහත්මියගේ නවතම යොවුන් නවකතාවයි. මේ නවකතාව අධ්‍යයනය කර විමර්ශනය කරන රසිකයකුට යමුනා මාලිනී නව යොවුන් වියේ දැරියන්ගේ මනස හැසිරෙන ආකාරය මනෝවිද්‍යාත්මක ලෙස ගැඹුරින් වටහාගෙන සිටින – තරුණ ගැහැණු ළමයින්ගේ මානසික යථාර්ථය විනිවිද දැකිය හැකි බුද්ධි පරිමණ්ඩලයකින් ප්‍රභාමත් වූ ලේඛිකාවක් බැව් පෙනේ. මේ නවකතාව ප්‍රතිනිර්මාණය කිරීමට පෙර ඇය මනෝවිද්‍යාව පිළිබඳ යම් අධ්‍යයනයක යෙදුණු බැව් මේ උපුටනයෙන් ප්‍රකට ය.

“ප්‍රකට මනෝවිද්‍යාඥයන්ගේ අදහස් උදහස් ඔස්සේ කිසියම් දැනුවත් භාවයක් ලබා ගැනීමට අදහස් කළේ අප හැමටම මේ නොදැනුවත් භාවය ඔස්සේ ඇතිවන්නා වූ නොසලකා හැරීමේ භයානකත්වය පෙන්වා දීමටය.

යොවුන් දිවියේ රුචි අරුචිකම් රූපණය කරන සුමේධානන්දය
යමුනා මාලිනි පෙරේරා

ළමා වියේ සිතුම් පැතුම් ඉතාම නිරවුල් ය. යෞවන වියේ සිතුම් පැතුම් ඉතාම නිදහස්ය, පැහැදිලිය. නමුත් එක් එක් දරුවාට අත්විඳින්නට ලැබෙන පෞද්ගලික ජීවන තත්ත්වයන් ඔස්සේ මේ තත්ත්වය වෙනස්වේ.”

මනෝවිද්‍යාත්මක පසුබිමක පිහිටා කතාවේ සිදුවීම් හා සංසිද්ධි නිරූපණය කිරීමට පෙළඹීම අගය කළ යුතු ය. මව්පියන් සමගියෙන් හා සාමයෙන් වෙසෙන පවුලක දරුවන් ඔවුන්ගේ ජීවිතය නිරතුරු නිරීක්ෂණය කර සිය ජීවිතය හැඩගස්වා ගැනීමට පෙළඹෙන අතරම ඔවුන් ආදර්ශයට ගනිමින් සිය ජීවන මග වෙනස්වන සමාජ හා ජීවන සිතුම් පැතුම්වලට අනුව මෙහෙයවීමට ද පෙළඹෙන බව මේ නවකතාවේ කේන්ද්‍රීය භූමිකාව වන දිලිනිගේ චරිත ක්‍රියාකාරිත්වයෙන් පෙනේ. නිවසේ දී ගැහැනු ළමයකුගේ චර්යාව මුළුමනින්ම නොවුණත් කිසියම් ප්‍රමාණයකට පාලනය කළ යුතුවේ. ඔවුන් ගෙදර මව්පිය පාලනයෙන් සම්පූර්ණයෙන් ම මුදාහැරීම නොමේරු හැඟීම් හා චිත්තාවේග නොමඟට යොමුවීමට තුඩු දිය හැකි ය. දිලිනිගේ පියා හා මව දෙමඟකට යොමු වෙමින් ඇය ඇයට නොහැඟෙන සේ පාලනය කළ අයුරින් ඒ බැව් පැහැදිලි වේ. ළමයා ගෙදර කොටු වූ පරිසරය ඇතුළත දැන කියා ගන්නා දෙයට වඩා වැඩි බොහෝ දැ උකහා ගන්නේ සමවියේ සගයන් සමඟ පවත්වන සබඳතාවලින් හා සමාජීය ඇසුරිනි. සමබර ළමා මනසක් ළමා ජීවිතය පල දැරීමට – බුද්ධි පරිමණ්ඩලය ප්‍රසාරණය වීමට – ප්‍රසාරණය කිරීමට තුඩු දෙයි.

අසිරිමත් නව යොවුන් තරුණ ගැහැනු ළමයින්ගේ ලෝකයක් නිර්මාණය කෙරෙන මේ නවකතාවේ කතා පුවත විටක සිරස් අතටත් තවත් විටක තිරස් අතටත් තවත් විටක තිරස් අතටත් නිරූපණය වන්නේ දිලිනි හා සේපාලිගේ චරිත ද්වය අතර ඇතිවන සොඳුරු සංඝටනයක ස්වරූපයෙනි. ආර්ථික දරිද්‍රතාවෙන් පෙළෙන පවුලක දරුවකුත්, ආදරය හා සෙනෙහස මෙන්ම සියලු සැප සම්පත්වලින් කිසිදු අඩුවක් නැති පවුලක දරුවකුත් අතර පැහැදිලි පරතරයක් විද්‍යමානවීම වැළැක්විය නොහැකි ය. ලේඛිකාව ඉම නොඉක්මවමින් ප්‍රකට වන අයුරින් මේ නවකතාවේ කතා පුවත විකාශනය කිරීමට පෙළඹෙයි. ආර්ථික පෞඪත්වයක් තිබෙන පවුලේ දරුවා වුව ද මානසික ගැටලුවලින් පෙළෙන පුද්ගලයකු බවට පත්විය හැකි ය. මව්පියන්ගේ ජීවන ක්‍රියාකාරකම් මෙන් ම පවුලට සම්බන්ධ වී සිටින ඇතැම් වැඩිහිටියන්ගේ චර්යාමය ද එයට අඩුවැඩි වශයෙන් බලපානු ලැබේ. කෑම බීම, ඇඳුම් පැළඳුම්, ගමන් පහසුකම් හා වෙනත් සුඛ විහරණ අවශ්‍යතා සැලසූ පමණින් දරුවන් තෘප්තිමත් ජීවිත ගත කරන්නේ යැයි පවසීමට නුපුළුවන. ඔවුන්ගේ මානසික සිතුම් පැතුම් පිළිබඳව මව්පිය වැඩිහිටියන්ගේ අවධානය යොමු විය. මේ නවකතාවේ දිලිනිගේ චරිතය හා ගැටෙන සේපාලි පවුලේ ආර්ථික පීඩනයට පමණක් නොව මව්පිය වැඩිහිටි ජීවන ඇවතුම් පැවතුම්වලින් ද බැට කන කිසිදු කායික හා මානසික නිදහසක් නොලද සිය ආත්ම ගරුත්වය රැකගැනීම සඳහා මෙන් ම ඉගෙනීමට අවකාශය ලබා ගැනීම සඳහා නිරන්තර ආත්මීය හා කායික අරගලයක යෙදුණු යොවුන් තරුණියකි. ඇයට ජීවිතය ගොඩනඟා ගැනීමට උපකාර වූයේ තෘප්තිමත් ජීවිතයක් ගත කළ පවුලක දැරියක වූ දිලිනි හඳුනා ගැනීමට ලැබීම නිසා ය. පාසලේ ඇගේ පන්තියේ පොහොසත් පවුල්වල ශිෂ්‍යාවන්, ඇගේ ඇඳුම පැළඳුම පෙනුම හා වෙනත් ක්‍රියාකාරකම් නිසා ඇය කොන් කිරීමට පෙළඹුන ද, දිලිනි ඇයට සමීප වී ආදර සෙනෙහස මෙන් ම, ඉගෙනීමට අවශ්‍ය උපකරණ හා උදවු උපකාර කිරීමට මෙන් ම සේපාලිගේ පුද්ගල ජීවන ගැටලුවලට සවන් දී ඒවා බෙදා හදා ගනිමින් ඇය මානසික වශයෙන් සංසුන් කිරීමට ද පෙළඹුණා ය. එසේම දිලිනි මව්පියන්ගේ ආදර සෙනෙහස පවා සේපාලිට ලබා දීමට තරම් ත්‍යාගශීලී වූවා ය. ලේඛිකාව යොවුන් නවකතාකරුවා ගේ සැබෑ අභිලාෂ කවරේ දැයි මැනවින් වටහාගෙන නවකතාවේ අන්තර්ගතයත්, කතා සන්දර්භයත් හසුරුවන අයුරු ලේඛිකාවගේ නිර්මාණාත්මක පරිචය අව්‍යාජ ලෙස ප්‍රකට කරනසුළුය. දිලිනි පරමාදර්ශී චරිතයක් ලෙස හැසිරවීම ලේඛිකාවගේ අභිලාෂය නොවුණත්, නිරායාසයෙන් ම එම චරිතය පරමාදර්ශී චරිතයක් බවට පත් වී ඇත.

පාසල, දරු දැරියන්ගේ මනස ශක්තිමත් කරන ඔවුන්ට ආදර සෙනෙහස දක්වන ගුරුවර ගුරුවරියන්ගෙන් හෙබි ආයතනයකි. ඇතැම් විට ගෙදරින් බැටකන දරුවන්ට, අනුකම්පාව, දයාව හා සෙනෙහස දක්වා ඔවුන්ට පිහිට වන්නේ ගුරුපියවරුන් හා ගුරුමෑණිවරුන් විසිනි. එහෙත් ඇතැම් ගුරුවරුන්ගෙන් එම සෙනෙහස හා ආදරය නොලැබෙන අවස්ථා එමට ය. දිලිනි ජයනන්දට ද ගෙදරින් ලැබෙන ආදර සෙනෙහසට බොහෝදුරට සමීප සෙනෙහසක් ගුරුමාතාවන්ගෙන් ලැබීම භාග්‍යයක් විය. විශේෂයෙන් ජයසිංහ මිස් ඇයට සමීප වී සිටි ගුරුවරියකි. ගෙදර මෙන් ම පාසල නව යොවුන් දරු දැරියන්ගේ මානසික හා කායික වර්ධනය අවබෝධ කරගෙන ක්‍රියාත්මක වීම භාග්‍යයකි.

දිලිනි, සේපාලි ඇතුළු පාසලේ උසස් පෙළ පන්තිවල සිසුවියන්ගේ චරිත සංඝටන ඇසුරින් ‘සුමේධානන්දය’ නවකතාවේ ප්‍රධාන පුවත් විකාශනය කිරීමට ලේඛිකාව නැඹුරුවීම අගය කළ යුතු ය. මේ සඳහා ලේඛිකාව උපයෝගී කරගත් නවකතා සන්දර්භමවය උපක්‍රමය වන්නේ සිංහරාජ වන අඩවියේ විනෝද සංචාරයයි.

මේ කතා පුවත විකාශනය කරන ආකාරය සිත්ගන්නාසුළුය. සිංහරාජ වනයේ සංචාරය කරන ඔවුන්ට සුමේධ නම් මඟපෙන්වන්නකු මුණගැසේ. ඔහු වනයේ අසිරිමත් බව ළගන්නාසුළු බස්වහරකින් පැහැදිලි කරයි. වනයේ විවිධ ගස් වර්ග, වන සතුන් ගැවසෙන තැන් වල සුන්දරත්වය ආදි බොහෝ කරුණු නිරාකූලවත්, ප්‍රසන්න ලෙසත් කියා දීමට පෙළඹෙයි. සුමේධ උපාධිධාරියකු බවත්, විශ්වවිද්‍යාලයේ දී මනෝවිද්‍යාව හැදැරූ බවත් ඔහුගේ පුස්තකාලයට ප්‍රවිෂ්ටවන දිලිනිට හා සේපාලිට දැකගත හැකි වේ. දිලිනිගේ රුවට සමාන සේයාරුවක් පුස්තකාලයේ එල්ලා තිබෙනු දැකීමෙන් ඇය කුතුහලාත්මක වේ. ජයසිංහ ගුරුතුමිය ද ඔවුන් සමග සිටීම වාසියක් වූයේ ඇය වඩාත් සමීප ලෙස සුමේධ සමග තොරතුරු හුවමාරු කර ගැනීමට පෙළඹීම නිසා ය. සුමේධ කාටවත් නොපෙනෙන පරිදි ඇයට දෙන රහස්‍ය පොත මගින් සුමේධ පිළිබඳ පුවත අනාවරණය කිරීමට ලේඛිකාව පෙළඹෙයි. එක් රාත්‍රියක දී මේ පොත කියවීමට පෙළඹෙන දිලිනි මගින් සමස්ත කතා පුවත විකාශනය වේ. මෙය කතා සන්දර්භමය ශිල්පීය උපක්‍රමයක් ලෙස ද සැලකීමට පුළුවන.

සුමේධානන්දය යෞවන රසිකයන්ගේ සිත්ගන්නාසුළු නවකතාවක් බවට පත්වීමට ලේඛිකාව විසින් භාවිත කෙරුණු සංකල්ප රූපාත්මක ගුණයෙන් පෝෂණය වී ඇති නිර්මාණාත්මක බස්වහර විශේෂයෙන් තුඩුදෙන බව පෙනේ. කවර ශානරයක නවකතාවක් වුව ද රසික හද ඇද බැඳ ගන්නාසුළු කෘතියක් බවට පත්වීමට භාෂාව හේතුකාරක වෙයි. මේ පිළිබඳ යථාවබෝධයකින් යුතුව තේමාත්මක ප්‍රබන්ධකරණයට උපකාරීවන බස්වහරකින් නවකතාව රචනා කර ඇත.

සමස්තයක් වශයෙන් ගත්විට සුමේධානන්දය වූ කලි නව යොවුන් වියේ පාසල් ශිෂ්‍යාවන්ගේ වැඩීගෙන එන ජීවන පෞරුෂත්වය මනෝවිද්‍යාත්මක ලෙස වටහාගෙන ඔවුන්ගේ ජීවන ශක්‍යතා මැනවින් පිළිබිඹුවන අයුරින් එම යොවුන් ජීවිතය මෙන් ම ඔවුන්ගේ රුචි අරුචිකම් රූපණය කරන වැඩිහිටියන්ගේ කාර්යභාරය කුමක් ද යනු පෙන්වා දෙන පඨන රුචිය වඩවන යොවුන් නවකතාවක් ලෙස අගය කළ හැකි නිර්මාණයකි.

● මහාචාර්ය – කුලතිලක කුමාරසිංහ

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment