යොහානි ගීතය සොයා ගැනීම…!

476

යොහානි ද සිල්වාගේ මැණිකේ මගේ හිතේ පසු ගැයුම අද ඉන්දියාව ඇතුළු ලෝකය පුරා උන්මාදයක් වෙලා. කෝටි ගණනක් ජනතාව ඒ සිංදුවට වශී වෙලා. අද ලෝකයේ ජනප‍්‍රිය ම ගීත 10 අතර මේ ගීතය තියෙනවා.

යොහානිගේ නිල යූටියුබ් ගිණුමෙන් විතරක් මාස තුනක් ඇතුළත මේ සිංදුව මිලියන 119ක නැත්නම් කෝටි 12ක විතර නැරඹුම් වාර ගණනක් වාර්තා වෙනවා. ඉන්දියාවේ ස්ටාර් තරග වේදිකා පමණක් නෙමෙයි ඇමරිකාවේ පදික වේදිකාවත් මේ ගීතය ආක‍්‍රමණය කරලා. එදා බොලිවුඞ් තරු ලංකා වෙදිකාවේ ගැයුවට අද යොහානි බොලිවුඞ් වේදිකාවේ ගයනවා.

යොහානි ගීතය සොයා ගැනීම...!

නමුත් අපේ නිල ගීත ව්චාරක ගුරුකුල අද මේ ගීතය ගැන විචාර දෙන්න ඉදිරියට එන්නේ නෑ. ඒ ගැන රූපවාහිනි සංවාද නෑ. ප‍්‍රශස්ති වැනුම් නෑ. සමහරු කියනවා ඒ කුහකමට කියලා. ඇත්තට ම හේතුව ඒක ද? මම නම් හිතන්නේ ඒ කතාව වැරදියි.

යොහානිගේ නැගීමත් එක්ක ම මෙතෙක් කල් ලංකාවේ අටුවන් බැහැල තිබ්බ ඊනියා ගීත විචාරයේ මළගම සනිටුහන් වුණා. ඒක තමයි ඇත්තට ම වුණේ. මේක මෙහෙම කිව්වම තේරුම් ගන්න අමාරු බව මම දන්නවා. ඒ නිසා මම ඒක ටිකක් පැහැදිලි කරන්නම්.

ගීතය එහෙම නැත්නම් සිංදුව කියන්නේ සංගීත ප‍්‍රකාශන මාදිලියක් මිස භාෂා – සාහිත්‍ය ප‍්‍රකාශන මාදිලියක් නෙමෙයි. සිංදුව තමයි වඩාත් ජනප‍්‍රිය නැත්නම් චූල සංගීත මාදිලිය. එහි ආත්මය රිද්මයයි. භාෂාවේ සුකොමල වචන ඒ රිද්මය තීව‍්‍ර කරනු මුවහත් කරනු පමණයි.

අවාසනාවට මේ රටේ කවදාවත් ගීත විචාරයක් බිහි වුණේ නෑ. සිද්ධ වුණේ කවියට නැත්නම් පැදියට එතෙක් පැවැති ජනප‍්‍රියතාව ගීතය දිනා ගැනීමත් සමග පද්‍ය විචාරකයන් ගීත විචාරකයන් බවට පත්වීම විතරයි.

මේ පිරිසට කවි විචාරයට උවමනා භාෂා සාහිත්‍ය දැනුම මිස ගීත විචාරකයන් වෙන්න උවමනා සංගීත ඥානය සහ කුසලතාව තිබ්බේ නෑ. ඔවුන් කළේ සිංදුව ගැන පද්‍ය විචාර ලිවීම. උපමා, රූපක, භාෂාලංකාර වැනි පද්‍ය විචාර මිනුම් දඬුවලින් ගීතයට විවරණ සැපයීම. හරියට රාත්තල්වලින් දුර මනිනවා වගේ. මේවා ඇත්තටම ගීත විචාර නෙමෙයි, අංශභාග ගී පදවැල් විචාර.

මේ අංශභාග ගී පද විචාරයේ යම් අඩුවක් හැඟුණ නිසාදෝ ඊඊක්‍ සිංහල සේවයට ගී මිණිආර කළ මහාචාර්ය සුචරිත ගම්ලත් එහි අගට විශාරද ජයන්ත අරවින්දගේ සංගීත විවරණයක් එකතු කළත් සිදුවිය යුතුව තිබුණේ එහි අනික් පැත්ත. එනම් ජයන්ත අරවින්දගේ ගීත විචාරය අගට අවශ්‍ය නම් ගම්ලත්ගේ සාහිත්‍ය විචාරය එකතු කිරීම. ඇත්තට ම ඒකත් උවමනා නෑ.

මේ විකෘති විචාර සම්ප‍්‍රදාය නිසා සිංහල ගීතය භාෂා සාහිත්‍යය පල්ලේ කේඩෑරි වුණා විතරයි. ප‍්‍රබුද්ධ පීචං වාදවලින් සිංහල ගීතය තවත් දුර්වල කළා. ගීතයක රසිකයා රස විඳින්නේ සංගීතය. එහි කර්ණ රසායන වචන පෙළ ඒ සඳහා උදව් කරනවා. එහි සාහිත්‍ය හොයන එක සාහිත්‍ය දැනුම ලබාගත් සුළු පිරිසක් පසුව කරන වැඩක්. නමුත් සිංහල සිංදුව මේ සුළු පිරිසගේ ආධිපත්‍ය යටතේ ඇටකුණා වුණා.

ඒ විචාර අණසකින් මිදුණු සිංහල සිංදුව යොහානිලා අතේ ලෝකය ජයගන්න මට්ටමට යනවා. අපේ රටේ සමස්ත ජනහගනය කෝටි 2කට මදක් වැඩි වුණත් ඒ අතරින් සිංහල 74%ක් විතරයි. නමුත් කෝටි 12කට ආසන්න පිරිසක් යොහානිගේ යූටියුබ් චැනලයෙන් පමණක් මේ ගීතය විඳල තියෙනවා. ඉන් ඔබ්බේ මේ ගීතය රස විඳින පිරිස තවත් කෝටි ගණනක් විය හැකියි. මේ පිරසෙන් 10%ක්වත් සිංහල දන්නවා කියල හිතන්න අමාරුයි. ඒ අය විඳින්නේ මේ ගීතය. වචන නෙමෙයි, සංගීතය. හරියට අපි නොදන්න භාෂාවලින් ගැයෙන හින්දි, දෙමළ, ඉංගිරිසි ආදී ගීත විඳිනවා වගේ. පහුගිය කාලේ ජනප‍්‍රිය වුණ නගු නගූ ගීතය වගේ.

ඒ වගේ ම මේ ගීතයේ පදවැලේ කන්කලූ සුකොමල පද මාලාවක් මිස සාහිත්‍යමය අගයක් නෑ. ගායකයකුට ලියූ පද යොහානි ගැයීමත් සමග එහි පැවැති වාචික අරුත් පවා අහිමි වෙනවා. ඒ අනුව යොහානිගේ ගීතය ලෝකය වැළඳ ගත්තේ එහි සංගීතය, රිද්මය නිසා කියන එක සනාථ වී ඉවරයි. ඒක තමයි ගීතයේ ස්වභාවය.

යොහානිගේ නැඟීම සිංහල සංගීතයට කරන විශාලතම සේවය තමයි සිංහල ගීතයේ අත්පා බැඳ දමා තිබූ ඊනියා ගීත විචාරක විලංගු කඩා විසිකර දැමීම. දැන් සිංහල සංගීතයට දලූ මුල් ලා නැගෙන්න හොඳ බිමක් හැදිලා තියෙනවා.

සෙසු ගීත නිර්මාණකරුවොත් සාහිත්‍ය විචාර විලංගුව පැත්තකට විසිකරල, නියම ගීතය සොයා පාදා ගැනීමට පෙරට ආ යුතුයි. සාහිත්‍ය විචාරකයන් වගේ ම කවීන් ගීතයෙන් ඈත්කර නියම ගීත විචාරය වගේ ම ගී පද රචකයාගේ කාර්යත් අවබෝධ කරගත යුතුයි. යොහානිගෙන් ආලෝකය ලැබ අප නැවත සිංහල ගීතය සොයා ගතහොත් අපට නැවත ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට නිර්මාණ ලෝකයට දායාද කරන්න පුළුවන්.

නාමල් උඩලමත්ත

advertistmentadvertistment