Colombo Mono Drama Festival
ඒක පාත‍්‍ර නාට්‍ය උළෙල (Colombo Mono Drama Festival) නම් නාට්‍ය උළෙලක් පසුගිය 29 වෙනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී නිමාව දුටුවා. ශ‍්‍රී ලාංකේය පේ‍්‍රක්ෂකයනට ආගන්තුක අත්දැකීමක් වූ මේ මොනෝ ඩ‍්‍රාමා මොඩියුලය ගැන කතාබහකට අප උළෙලේ අධ්‍යක්ෂවරයා වූ ප‍්‍රවීණ නාට්‍යවේදී එම්. සෆීර් හමු වුණා.
මොකක්ද මේ ඒක පාත‍්‍ර නාට්‍ය උළෙල?
ඒක පාත‍්‍ර කියන්නේ වේදිකාවේ රඟන්නේ ගැහැනු හෝ පිරිමි එක් චරිතයක් පමණයි. මෙය ලෝකයේ ඉතාම ජනප‍්‍රිය නාට්‍ය ධාරාවක් වගේම සෑහෙන අත්හදා බැලීම් කළ හැකි හැඩයක්. එක් නළුවෙක් පමණක් රඟපාන නාට්‍ය කොන්දේසියක් ලෙස ලංකාවේ නාට්‍ය උළෙලවලට ඇතුළත් කරගන්නේ නැහැ. නමුත් මේ ඒක පාත‍්‍ර නාට්‍ය ලෝකයේ ලොකු ප‍්‍රවණතාවයක්. ඒකට හේතු ගොඩක් තිබෙනවා. චරිත ගොඩක් ඇති නාට්‍යයක් විදේශයකට රැගෙන යාමේදී ප‍්‍රශ්න ගොඩක් මතු වෙනවා. වියදම් හා ප‍්‍රවාහන ආදියෙන්. මේ වෙන කොට මොනෝ ඩ‍්‍රාමා කෙතරම් ජනප‍්‍රිය ද කියතොත් නාට්‍ය කලාව අවම ලෙස භාවිතා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි තමා ලෝකයේ විශාලම 3 වන මොනෝ ඩ‍්‍රාමා ෆෙස්ටිවල් එක කරන්නේ. අමෙරිකාව, ඉතාලිය, ජර්මනිය, කොසෝවා, ඊජිප්තුව, රුමේනියාව, ආමේනියාව ආදී බොහෝ රටවල මොනෝ ඩ‍්‍රාමා ජනප‍්‍රියයි.
අනෙක් කාරණය තමයි වසංගතයත් එක්ක අපට අමතක වෙලා තිබෙනවා ගන්ධබ්බ අවධියක සිටින ලංකාවෙ අවුරුදු 18-20 තරුණයින් පිරිසක් ඉන්නා බව. ගමෙන් පැමිණ නගරයේ ජීවත් වෙන මේ අය හුඟ දෙනෙක් දැඩි පීඩනයක ඉන්නේ. තව පිරිසක් ඉන්නවා කැම්පස් තේරිලා ඒවා පටන් ගන්නෙ නැති නිසා ඔහේ පාවෙන පිරිසක්. මේ අය නාට්‍ය ගැන ඇම්ම තියෙන පිරිසක්. ඉතින් මේ අය ඉලක්ක කොට යමක් කළොත් හොඳයි කියලා අපි හිතුවා.
මේ තරුණ නාට්‍යකරුවන් මේ උළෙල සඳහාම නිර්මාණය කළ නාට්‍යවල මංගල දර්ශන තමයි මේ වේදිකාගත වෙන්නේ. හුදු නාට්‍ය උළෙලකට එහා ගිය යටිපෙළක් මෙහි තිබෙනවා. මේ උළෙලට විවිධ අංගවලින් තරුණ තරුණියන් 100 ක් පමණ සහභාගි වෙනවා.
මෙම උළෙල කොළඹට පමණක් සීමා වූ එකක්ද?
අපොයි නැහැ. මේ උළෙල ලංකාවේ ප‍්‍රධාන පළාත් කිහිපයකවත් පැවැත්වීම මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. මෙයින් සම්මාන ලබන නාට්‍ය ලබන අවුරුද්දේ පවත්වන්නට බලාපොරොත්තු වන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලට එකතු කිරීමට. අනෙක තමයි මේ දිනන නාට්‍යකරුවන් සහභාගි කරගෙන ජාත්‍යන්තරයට යාහැකි මොනෝ ඩ‍්‍රාමා හදන එක.
ඔබ පර්යේෂණාත්මක නාට්‍යකරුවෙක්ද?
මේ උළෙලේ මුලින් වේදිකාගත වුණු ”ලව් ඇන්ඞ් ලොක්ඩවුන්” මගේ 50 වෙනි නාට්‍යය. බැලු බැල්මට මාව වෙන් වෙනවා පර්යේෂණාත්මක නාට්‍යකරුවෙක් ලෙස. නමුත් මට තේරෙන සත්‍යය නම් අමුතු පර්යේෂණ නොවෙයි මම කරන්නේ. සමහර ලංකාවෙ අය එහෙම දේ දැක නැති නිසා හිතනවා ඒවා පර්යේෂණ කියලා. මම හදන හැම නාට්‍යයක්ම එකිනෙකට වෙනස්. ”ලව් ඇන්ඞ් ලොක්ඩවුන්” මගේ 7 වන ජාත්‍යන්තර නිෂ්පාදනය. මා රංග වින්‍යාසය කළ සුජීව පතිරසේකර නිෂ්පාදනය කළ ”අන්ටච්ඞ්” නම් නාට්‍යය ඊජිප්තු නාට්‍ය උළෙලේ නාට්‍ය 302 කින් හොඳම නාට්‍යය බවට පත්වුණා. ලංකා ඉතිහාසයේ වේදිකා නාට්‍යයක් සඳහා ලැබූ ඉහළම සම්මානය ගත්තේ අපි.
ඔබේ නාට්‍ය පොදු පේ‍්‍රක්ෂකයාට හරි යන්නේ නෑ නේද?
ඔව්. පොදු පේ‍්‍රක්ෂකයාට නාට්‍ය හදන්න ඕනෙ කියලා එකක් නැහැ. මම නාට්‍ය කරන්නේ මේ මොහොතේ තියෙන දැනුමට හා පරිචයට. අපි හිතනවා අපි නාට්‍ය හැදුවාම මිනිස්සු වැල නොකැඞී බලයි කියලා. ඒවා ගොං සිහින. ඒක තමයි යථාර්ථය. නාට්‍ය හෝ චිත‍්‍රපට, පේ‍්‍රක්ෂකයාට කියා මා විශ්වාස කරන්නෙ නැහැ. අපි හැදුවාම ඒක හොඳයි නම් මිනිස්සු බලනවා. ඒක තමයි මම අදහන සංකල්පය. හැබැයි පර්යේෂණ නොකර ආරක්ෂිත මායිමේ සිට මොනව හරි නාට්‍යයක් හදනවා නම් මම හිතන්නෙ නැහැ ඒකෙන් නාට්‍ය කලාවට යහපතක් වෙනවා කියලා. ඒක මගේ පෞද්ගලික අදහස.
දැන් හැම කලා ක්ෂේත‍්‍රයකම පාහේ කඩා වැටීමක් තිබෙනවානේ. වේදිකා නාට්‍ය ක්ෂේත‍්‍රයේ මේ තත්ත්වය ගැන මොකක්ද ඔබේ අදහස?
කලා ක්ෂේත‍්‍රය පමණක් නොවෙයි මුළු පද්ධතියම කඩා වැටිලා තියෙන්නේ. ලංකාවෙ රංග ශාලා කීයක් තිබෙනවද, ඒවා වෙන් කරගන්නෙ කොහොමද, ඒවයෙ දුරකතන අංක, ලංකාවෙ කලාකරුවො කවුද, වර්ගීකරණ වශයෙන් කීයක් ඉන්නවද ආදී කිසිම තොරතුරක් සංස්කෘතික අමාත්‍යාංශ වෙබ්සයිට් එකේ නැහැ. සියල්ල මුල සිට සැදිය යුතුයි. ලංකා නාට්‍ය ඉතිහාසයේ ජාත්‍යන්තර සම්මානයක් ලබපු අපිට තවම කවුරුත් සුබ පතලාවත් නැහැ. යොහානි විතර ද රටට කීර්තියක් ගෙනාවෙ. අපි සියඹලා ගෙනල්ලම නැද්ද? සියල්ල මුල සිට හැදිය යුතුයි. ලංකාවෙ තියෙනවා නාට්‍ය අනු මණ්ඩලයක්. ඒ ගොල්ලන්ට මේසයක්වත් නැහැනෙ. අපේ ප‍්‍රශ්න කියන්න
ගියාම ඒ අය අඬනවා ඒගොල්ලන්ගෙ ප‍්‍රශ්න අපිට කියලා. ඉතිං නාට්‍යකරුවො ලෙස අපි උත්සාහ කරන්න ඕනෙ අපේ ප‍්‍රශ්න පැත්තක තියලා ඒ ගොල්ලන්ට කාර්යාලයක් හදලා මේසයක් පුටුවක් අරං දෙන්න.
නිමල් ෆ‍්‍රැන්සිස්