යොහානි සහ ලාංකීය සන්නාමය

305

මෙකී නාමය ඇසූ පමණින්ම අපට හුරුපුරුදු දකුණු ආසියාවේ පමණක් නොව ලොව සමස්ත මහද්වීප 05 තුළම ජනප‍්‍රියත්වයට පත්වෙමින් ඇත. ඒ අන් කිසිවක් නිසා නොව ‘‘මැණිකේ මගේ හිතේ” ගීතය සඳහා අසල්වාසී ඉන්දියාව ප‍්‍රමුඛව බොහෝ රටවල වැසියා වශීවී ඇති නිසාය. ඇයගේම නිර්මාණ 04 ක් කර තිබුණද ඇය විසින්ම ප‍්‍රතිනිර්මාණය කරන ලද ගීත ධූරාවලිය අතුරින් මැණිකේ මගේ හිතේ ගීතය මේ වන විටත් මිලියන 100 කට වඩා ප‍්‍රමාණයක් නරඹා ලාංකීය කටහඬක් මෙතෙක් වාර්තා කළ වැඩිම ලෝක ජනාදරය විඳිමින් ඇත. වර්ෂ 2017 වන තෙක්ම බොහෝ දෙනා තිස්වසරක කොටිත‍්‍රස්තවාදීන්ට එරෙහි මානුෂීය අරගලයේදී (Human Battle) එහි අවසාන සටනේ 56 වන සේනාංකයට නායකත්වය දුන් මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා නමැති වීරෝදාර රණවිරුවෙකු පිළිබඳව දැන සිටියද, ඔහුට ඉතා සුවිශේෂී හඬ පෞරුෂයකින් සහ ගුණාංග ජාලාවකින් හෙබි දියණියක සිටින බවට කවුරුත් දැන සිටියේ නැත.

 එහෙත් එම සමයේ පටන් කළ යම් සංගීත මැදිහත්වීම් සහ නිර්මාණ හරහාම අද්විතීය අනාගතයක් හිමි තරුවක් බවට ලාංකීය රසිකයා (Sri Lankan Audience) මැයව  හඳුනාගන්නා ලදී. ඇය නමින් යොහානි ද සිල්වාය. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය දැනට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සහ ඔස්ටේ‍්‍රලියාවේ විශ්වවිද්‍යාලක උපාධිධාරිනියකි. එහෙත් එම සියලූ නිර්මාණ වලට වඩා සතීශන් විසින් කළ මුල් ගීතය නැවත වරක් ප‍්‍රතිනිර්මාණය කරමින් මැය කළ ‘‘මැණිකේ මගේ හිතේ” ගීතය නොසිතූ පරිදි කලාපීය උන්මාදයක් බවට පත්විය. මුලින්ම අමිතාබ් බච්චන් වැනි ඉන්දීය බොලිවුඞ් සුප‍්‍රකට වීරයන්ද, පසුව දකුණු ආසියාතික බොහොමයක් රටවල මෙන්ම මේ වන විට ඉතා විශ්මය දනවන ලෙස උතුරු ඇමෙරිකානු ප‍්‍රවණතාවකට පවා පරාවර්තනය වෙමින් ඇත. සරලව ම ගතහොත් “Why This Kolaveri˜””Fan˜” ආදී ලෝක ප‍්‍රචලිත නිර්මාණවල මෙන්ම භාෂාමය අනන්‍යතා අතික‍්‍රමණය කරමින් ගෝලීය ඉසව්වකට පැමිණ ඇත. එය ලාංකිකයන් ලෙස අපටත් කොන්දේසි විරහිතව සාඩම්බර විය හැකි කරුණකි. මන්ද එහි මුල් නිර්මාණයේ උරුමකරුවන් අප වන බැවිනි.

 නමුත් ඉතා ප‍්‍රශ්නගත ලෙස දැන් දැන් සිදුවෙමින් පවතින යථාර්ථය (Reality) නම් එදා අනගාරික ධර්මපාලතුමා කියුවාක් මෙන් ”සිංහලයාට කෙනෙහිලිකම් කරන්නේ සිංහලයෙක්මයි” යන්න සිදුවෙමින් ඇත. තවදුරටත් අර්ථ විවරණය කරන්නේ නම් 27 හැවිරිදි අතිදක්ෂ ලාංකීය අනාගතයක් වන මැයව උපන්ගෙයිම මරණයට පත් කිරීමට උත්සාහ දරමින් ඇත. එනම් කිසිදු ස්වදේශික තෙතමනයක් නොමැති බොහෝ දෙනා මෙය වෙනකෙකුගේ නිර්මාණයක්, මෙය යම් අප්පිරියාවක්, ඇයගේ පෙනුම පිරිමියෙක් වැනි ආදී වශයෙන් පහත් මට්ටමකට මඩප‍්‍රහාර එල්ල කරමින් ඇත. මේවා ඉතා දේශද්‍රෝහී මානසිකත්වයක් බව කිව යුතුය. අනෙක් අතට මෙවැනිම බුකි වාසීන් විසින් ඛේදනීය ඉරණමක් ඇති කළ පළමුවැන්නා ද යොහානි නොවේ. මීට වසර 04 කට පමණ පෙර ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස් වඩා විශිෂ්ට දක්ෂතා වෙත පැමිණෙද්දී ‘‘මීළඟ විරාට් කෝලි” ලෙස නම් කළ බුකි වාසීන්ම, ඔහුම යම් පසුබෑම්වලට ලක්වන පළමු අවස්ථාවේදීම ඔහුගේ සමස්ත ගමන්මගම විනාශ කරන ලදී.

 යොහානිට තවමත් එවැනි ඉරණමක් අත්වී නැතත් එවැනි ඉරණමක් අත්වන්නට ඉඩනෑර රටක් ලෙස ඇයට දිරි දීමට අවස්ථාව උදා වී ඇත. අනෙක් අතට මෙය පහත් බුකි වාසීන් එල්ල කරන චෝදනා මහත් ද්වේෂසහගත බව පෙනී යන්නේ පවතින ජාතික නීති ධාරාව යටතේ වුවද බලන විට 2003 අංක 36 දරන ජාතික බුද්ධිමය දේපළ පනත යටතේ මුල් නිර්මාණකරුගේ නිර්මාණය නිසි අවසරයක් සතුව ගෙන එය කිසිදු විකෘති කිරීමක් නොකොට ප‍්‍රතිනිර්මාණය කර ඇති නිසාය. ඒ අනුව සර්ව සම්පූර්ණ ආචාරධර්මීය ලෙස අප රටෙන් බිහිවුණු මෙම නිර්මාණය ජාත්‍යන්තරය සිපගනිද්දී සතුටු විය යුතු නොවේද? යන ප‍්‍රශ්නාර්ථය නැතුවාම නොවේ. විශේෂයෙන්ම මේ හරහා ජාතික චින්තනය පවා පටු ආකාරයෙන් අර්ථ දක්වන බටහිරවාදී බහුබූතයන් පවසන දෙය නම් ගීතය කුමක් වුවත් එය ලෝකයට විවර වී ඇති සමාජ වේදිකාව (Social Platform) විදේශික යමක් බවය. එය ඉතා විකාර පටු නිගමනයකි. එහිලා විශේෂයෙන්ම දත යුතු කාරණය නම් අද ලෝකයේ බොහෝ සංවෘත ආර්ථික මොඩලයක් ඇති රටවල පවා භාවිත කරන නව මාධ්‍ය යෙදවුම් බටහිර නිර්මාණ බවය.

 එහෙත් වඩා වැදගත් වන්නේ එම අවකාශය කුමක්ද? යන්න නොව හදවත් බැඳෙන ආකාරයෙන් කර ඇති එම අන්තර්ගතයේ ඵලදායීබවය. එය විශිෂ්ටම ආකාරයෙන් යොහානි කර ඇති අතරම ඒ නිසාම කිසි කලෙක නොවූ ආකාරයෙන් අපේ ගීතයක් ලොව හොඳම ගීත දර්ශකයේ 05 වන ස්ථානයට පැමිණ ඇත. වර්ෂ 1944 දී හිටපු ඇමෙරිකානු ජනපති ෆ‍්‍රෑන්ක්ලින් ඞී. රූස්වෙල්ට් බ්‍රෙන්ට්වුඞ් සමුළුවේදී ලොව බොහෝ රටවල රාජ්‍ය නායකයන් අමතා මෙතැන් සිට කලාපය සංවෘත ක‍්‍රමවේද අතහැර සමස්ත ලොවම එකිනෙකා බෙදාගන්නා විවෘත ගෝලීය ක‍්‍රියාදාමයකට යා යුතු බවට අදහස් පළ කළද එතැන් පටන් වසර 77 ක ඉතිහාසය තුළ සිදුව ඇත්තේ බටහිර සමාජවල දෑ අනෙක් රටවලට ව්‍යාප්ත වීමයි. එය එක් අතකින් ගෝලීය උපරි සමාජයේ  (Global Super Society) ආර්ථික උපාය මාර්ගයක් බව අප හොදින්ම දනිමු. එතෙක් අපගේ කියා යමක් යම්තාක් දුරකට හෝ ව්‍යාප්ත කරනු ලැබුවේ කලාපීය වශයෙන් හෝ අප ගාන්ධර්වායාණන් වන ඩබ්ලිව්. ඞී. අමරදේවයන් පමණි. ඒ නිසාම වර්ෂ 2001 දී පිලිපීනය මගින් පිරිනමන

 ‘‘මැග්සෙසේ” සම්මානය එතුමන්ට හිමිවිය.

 ඒ අනුව එම හිස්තැන පිරවීමට අදාළ හඬ පෞරුෂයක අවශ්‍යතාව ඔහු දැයෙන් සමුගෙන ගොස් 06 වසරක් ගෙවෙන මෙවැනි මොහොතක නොමඳව අද දැනෙමින් ඇත. ප‍්‍රාසාංගික

 කලාවන්ගේ තරු තරගාවලි තුළිනුත් කොපමණ දක්ෂයන් ක්ෂේත‍්‍රයට පැමිණියද ඇය යන එම උත්සාහවන්ත ගමන යෑමට ද බොහෝ අය සූදානම් නැත. එලෙස ගියත් ජාතික සන්නාමය
 (National Brand) ප‍්‍රමුඛව නිරූපණය කරන විශිෂ්ටයන් ද නැතුවම වූ කාලයකි. එවැනි පසුබිමක වුවද ජාත්‍යන්තරය හමුවේ ඇය දැනටමත් ලාංකීය සංකේතයකි. තවමත් ඇයට වයස 27 කි. එය එසේ වන විට දී හුස්ම හැර යන තෙක් ලාංකීය කලාව රැුගෙන යෑමෙහිලා ඇයට කළ හැකි කාර්යයක නිමක් පවා දැකිය නොහැකි තරම්ය. මේ මොහොත වන විටත් ජාත්‍යන්තර සංගීත ප‍්‍රසංග වලට පවා ආරාධනා ලැබීමෙන් එම ගමන යෑමට ඇය සූදානමින් සිටී. එහෙත් එය සාර්ථකව නොනැවතී යෑමට නම් රටක් ලෙස අපගේ සහයෝගය අවශ්‍යම වේ. එසේ නම් ජාත්‍යන්තර විප්ලවයකට අවශ්‍ය දිරිය ඇයගේ ගමන වෙනුවෙන් නොමසුරුව ලබාදීම අප යුතුකමක් කරගනිමු.

 එය ලාංකිකයන්ගේ ගමනක් ලෙසම සලකමු. ඇය නිසැකවම යුගයක් වෙනස් කරන්නියකි.

 සහන් ඇලෙක්සැන්ඩර්
 ජනමාධ්‍ය අධ්‍යනාංශය
 කොළඹ විශ්වවිද්‍යාලය
 ශ‍්‍රීපාලි මණ්ඩපය

advertistmentadvertistment
advertistmentadvertistment