යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව යෝජනා ක්‍රියාත්මක කරන්න පෙර පුළුල් අදහස් විමසීමක් කරන්න – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

70

යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට තම දැඩි වරුද්ධත්වය පළකරන බවත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කණ යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර පුළුල් වශයෙන් අදහස් විමසීම් කරන ලෙස විශ්ව විද්‍යාල ආචාරවරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.

එහි පහත කරුණු ද අවධාරණය කර තිබේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපෘතිය සමග මෙම ප්‍රතිසංස්කරණ යෝජනා බැඳී පවතින බව අප පෙන්වා දෙන්නේ කෝපයෙන් යුතුවය. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වෙන් කරන අරමුදල් කප්පාදු කරන අතරේ සියලු විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමද රජය සිදුකරයි. බදු ගෙවන ජනතාවගේ මුදල් අපතේ හරිමින් විරෝධතා ව්‍යාපාරවල නිමග්න වන බව පැවසෙන විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡායාරූප මාධ්‍ය පුරා සැරිසරයි. ඉහළ මට්ටමේ දේශපාලකයන්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් සේවා නියුක්තියට නුසුදුසු බව චෝදනා කරන්නේ ඔවුන් අවශෝෂණය කරගැනීම සඳහා ප්‍රමාණවත් රැකියා වෙළෙඳපළක් නොමැති බව කිසිදු සඳහනක් නොකොටය. මේ ආඛ්‍යාන නිසා මෙම ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පමණක් නොව ගතහැකි එකම ක්‍රියාමාර්ගය බවටද මතයක් සමාජයේ සමහර කොටස් අතර මුල්බැස ගනිමින් පවතී. එහෙත් මෙවැනි ප්‍රතිසංස්කරණ නිසා ඇමෙරිකාව හා එක්සත් රාජධානිය වැනි රටවල උසස් අධ්‍යාපනයට සිදුව ඇති හානිය අරබයා ඇති සාක්ෂි පිළිබඳ එහිදී සාකච්ඡා නොවේ.

මෙහි නවතම යෝජිත ප්‍රතිසංස්කරණ වන්නේ ළඟදීම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි. මෙය කිසිදු ආකාරයක අදහස් විමසීමකින් තොරව අදහස් සඳහා විවෘත ආරාධනයක් පමණක් නිකුත් කරන ලදුව ආරම්භ කළ ක්‍රියාවලියකි. මෙමගින් ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනයේ සිදුකිරීමට නියමිත වෙනස්කම් තුළින් මෙරට ජනතාවගේ හදවත්වලට සමීප නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ පදනම තර්ජනයට ලක්කරයි. යෝජිත ප්‍රතිසංස්කරණවලින් පාසල් අධ්‍යාපනය සම්බන්ධ බොහෝ වෙනස්කම්ද යෝජනා කොට තිබුණත්, මෙම ප්‍රකාශයේ අරමුණ වන්නේ තෘතීයික අධ්‍යාපනය අරබයා යෝජනා කරන වෙනස්කම්වලට අවධානය යොමු කිරීමයි.

මෙම යෝජනාවලට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපනය කෙරෙනු ඇත. ඒ ඔස්සේ රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සියල්ල එක් අධිකාරියක් යටතට ගෙන එනු ඇති අතර ඒ තුළ පෞද්ගලික අංශයට සැලකිය යුතු බලයක් හිමිවනු ඇත. මේ ප්‍රතිපත්ති රාමුව තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන පද්ධතිය පුළුල් කිරීම සඳහා කිසිදු කැපවීමක් දක්නට නොලැබේ. එහෙත් පෞද්ගලික අංශයට වෙන්කෙරෙන අරමුදල් සහ ලබාදෙන සහන පිළිබඳව එහි පැහැදිලිව දක්වා තිබේ. දැනටමත් හිඟ තත්ත්වයේ පවතින රාජ්‍ය අංශයේ සම්පත් ලාභය මූලික කරගත් පෞද්ගලික තෘතීයික අධ්‍යාපනයට හැරවීමේ ක්‍රමයකි මෙය. ඇත්තෙන්ම මෙම ප්‍රතිපත්ති රාමුවේ මූලිකම අරමුණ “ රාජ්‍ය නොවන හවුල්කරුවන්ගේ සහභාගිත්වයෙන් විශේෂයෙන්ම පොදු – පෞද්ගලික හවුල්කාරීත්වයන් තුළින්” (පිටුව 28) උසස් අධ්‍යාපනයෙහි ලා පෞද්ගලික අංශයේ භූමිකාව ප්‍රසාරණය කිරීමයි.

ප්‍රතිපත්ති රාමුවෙහි යෝජනා කොට ඇති අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රමය රජයේ විශ්වවිද්‍යාලවල වත්මනෙහි පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම පෙරළා දැමීමකි. ඊට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා අරමුදල් තුන් ආකාරයකින් සම්පාදනය වනු ඇත.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සම්බන්ධයෙන් හැරෙන්නට, මෙම ප්‍රතිපත්ති රාමුව තුළ සමාජ විෂමතා ආමන්ත්‍රණය කිරීමේ ක්‍රමවේදයක් දක්වා නොමැත. අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම සිසුන්ගේ වගකීමක් බවට පත්වූ විට ඒ සඳහා රජයේ දායකත්වය එන්න එන්නටම අඩුවනු ඇත. ඉහළ යන අධ්‍යාපන වියදම්වල තේරුම වන්නේ කාලයක් යනවිට ධනවත් පවුල්වලින් පැමිණෙන සිසුන් අධ්‍යාපනයට වැඩි ප්‍රවේශයක් ලබාගනු ඇති බවයි. ඒ තුළින් පවතින සමාජ අසමානතා තවදුරටත් තීව්‍ර වේ.

advertistmentadvertistment
advertistmentadvertistment