රඟමඬලෙන් බැස දේශපාලන භූමිකාව තරණය කළ විජය කුමාරතුංග

331

අදට (16 දාට) යෙදෙන විජය කුමාරතුංග 16 වැනි ගුණසමරුව වෙනුවෙනි.

විජය කුමාරතුංග හෙවත් කෝවිලගේ විජය ඇන්ටනි කුමාරතුංගයන්ගේ ජන්මලාභය සිදුව ඇත්තේ 1945 ඔක්තෝබර් මස 09 වැනිදාය. බෙන්ජමින් කුමාරතුංග පියාණන්ට සහ බියටි්‍රස් කුමාරතුංග මෑණියන්ට දාව උපන් දරුවන් සිව්දෙනාගෙන් බාලයා විජය විය. කුඩා කලදීම තම පියාගේ හදිසි අභාවය නිසා මවගේ රැකවරණය යටතේ හැදුන, වැඩුන ඔහු තම මවට අසීමිතව ආදරය කළ පුතෙකු විය. පාසල් වියෙන් පසුව සම්මුඛ පරීක්‍ෂණයකට ඉදිරිපත් වී උප පොලිස් පරීක්‍ෂකයකු ලෙසට පොලිසියට තේරුණද එය අතහැර නළුකම තම ජීවිකාව ලෙසට ඔහු තෝරා ගත්තේය.

විජයගේ කලා දිවිය ඇරඹුණේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘සිතිජය’ ගීත නාටකයට තම රංගන දායකත්වය ලබා දෙමිනි. 1969 දී සුගතපාල සෙනරත්යාපා මහතාගේ ‘හන්තානේ කතාව’ තුළින් සිය ප්‍රථම සිනමා රංගනයට එක්විය. වසර ගණනාවක්ම අඛණ්ඩවම ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නළුවාට හිමි ‘සරසවිය’ සම්මානයෙන් පිදුම් ලද ඔහු ගැඹුරු කටහඬින් රසික ශ්‍රාවකයන් පිනවූ දක්‍ෂ සරල ගායකයකු ද විය.

රඟමඬලෙන් බැස දේශපාලන භූමිකාව තරණය කළ විජය කුමාරතුංග
විජය කුමාරතුංග එදා යාපනයේදී

සීදූව ප්‍රදේශයේ ලංකා සමසමාජ පක්‍ෂ සාමාජිකයකු ලෙසට දේශපාලනයට අත්පොත් තැබූ විජය කුමාරතුංගයන් 1974 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බැඳුන අතර 1977 ජුලි මස කටාන අසුනට ශ්‍රීලනිප අපේක්‍ෂකයකු ලෙසට තරග කර ඡන්ද 19738 ක් ලබා ගත්තද ජයගත නොහැකි විය. ශ්‍රී ලංකා දේශපාලනයේ කිරුළකට හිමිකම් කියූ අගමැති (දෙපළකගේ) යුවළකගේ දෙවැනි දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමග 1978 දී විවාහ වීමත් සමග විපක්‍ෂයේ කැපී පෙනෙන නායකයකු බවට ඔහු පත්විය. 1980 දී අනුර – මෛත්‍රී කණ්ඩායම ශ්‍රීලනිප මූලස්ථානය හිමිකරගත් අවස්ථාවේදී එයට එරෙහිව ඍජු ලෙසම මැදිහත්ව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පක්‍ෂ මූලස්ථානය නැවත හිමිකර දීමට විජය අභීතව ක්‍රියා කළේය.

ලොව ප්‍රථම අගමැතිනිය ලෙසට පිදුම් ලද ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට එරෙහිව ප්‍රබල සටනක යෙදුන ඔහු 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්‍ෂකයා ලෙසට ඉදිරිපත් වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ පෙරමුණ ගෙන කැපවී ක්‍රියා කළේය. එවකට පැවති ජේ. ආර්. ජයවර්ධන ජනපතිගේ රජය විසින් ඊනියා ‘නැක්සලයිට්’ කුමන්ත්‍රණයක් සිදුකළ බවට චෝදනා එල්ලකොට 1982.11.19 දින අත්අඩංගුවට ගෙන (විජය ඇතුළු පිරිසක්ව) බන්ධනාගාර ගතකරන ලද අතර පසුව ඒ කිසිදු චෝදනාවක් සනාථ කරගත නොහැකිව 1983.01.18 දින ඔවුන්ව යළි මුදාහළහ. එ.ජා.ප. අපේක්‍ෂක කමලවර්ණ ජයකොඩි හට ප්‍රබල අභියෝගයක් වෙමින් මහර අතුරු මැතිවරණයට තරග කළ විජයව ඝාතනය කිරීමට තැබූ වෙඩි පහරකින් ඔහුගේ සගයකුට දිවි අහිමි විය. පානදුර, රත්මලාන, කොච්චිකඩේ සහ මීගමුව පැවති දේශපාලන

රැස්වීම්වලදී ඔහුව ඝාතනය කිරීමට විරුද්ධවාදීන් එල්ල කළ බෝම්බ ප්‍රහාරයන් දැරූ උත්සාහයන් ව්‍යර්ථ විය. 1984 ජනවාරි මස 22 වන දින ශ්‍රී ලංකා මහජන පක්‍ෂය බිහිකිරීමට පුරෝගාමී වූ විජය කුමාරතුංගයන් මින්නේරිය අතුරු මැතිවරණයට ද තරග කළේය.

වවුනියාවෙන් එහා මුළු ප්‍රදේශයම කොටි ත්‍රස්තවාදීන්ගේ අණසකට යටත්ව පැවති යුගයක ජාතීන් අතර සාමය, සමගිය හා එකමුතුව වෙනුවෙන් තම ජීවිතයට එල්ලවූ තර්ජන හා අවදානමද නොතකා යාපනයට ගිය විජය යාපනය නල්ලූර් කෝවිල අසලදී එංගලුක්කු ඊළාම් ඕනම්’ (අපිට ඊළාම් ඕනා) කියමින් දමිළ තරුණ පිරිසක් කෑගසද්දී ඔවුන් දෙසට හැරුන විජය ‘ඊළාම් වානා – ඔට්රුමෙයි ඕනුව්’ (ඊළාම් එපා – එකමුතුවයි ඕනෑ) යනුවෙන් අභීතව හඬ නැගූ සැටි අපට අමතකව නැත. 83 කළු ජූලිය සමයේ රජයේ තිරස්චීන ක්‍රියාකලාපය පිළිබඳව අප්‍රසාදය පළ කළ ඔහු විදුලි සංදේශ කාර්යාලයේ, අලියා බීම සමාගමේ සහ පිටකොටුවේ කොටි ත්‍රස්තයන් විසින් සිදුකළ ම්ලේච්ඡ බෝම්බ පිපිරීම් නිසා අසරණ ජනතාව මස් වැදලි බවට පත් වී තිබූ අයුරු දැකීමෙන් බලවත් කළකිරීමකට පත්විය. ජනවාර්ගික අර්බුදයට සාධාරණ විසඳුම් ලබාදිය යුතුය යන මතයේ එල්බගෙන සිටි ඔහු කොටි ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවේ පසුවූ හමුදා නිලධාරීන් දෙදෙනකු යාපනයට ගොස් ත්‍රස්ත නායකයන් සමග සාකච්ඡා කර මුදාගෙන ඒමට සමත් විය. එවකට පැවති රජය විජයගේ දේශපාලන ගමනට විවිධ බාධා සිදුකරමින් ඔහුව මානසිකව හා ශාරීරිකව පීඩාවට පත්වන අයුරින් ක්‍රියා කළ ද (බන්ධනාගාරගත කර තැබුවද) ඒ කිසිවක් නොතකා ආත්මාර්ථයෙන් තොරව 1987 ඉන්දු – ලංකා ගිවිසුමට සහ පළාත් සභා යෝජනාවලට පක්‍ෂව ඔහු එළිපිටම නිර්භයව ක්‍රියා කළේ ජනවාර්ගික ගැවිජයටලුවට අවංකවම විසඳුමක් ලබාදීමට හැකිවෙතැයි යන අවංක විශ්වාසයෙනි.

“අපට අවශ්‍ය එකට ජීවත් වෙන්න මිස වෙන්වෙන්න නොවෙයි” සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් එකට එක්ව ජනතාවක් වී ඝාතන නැති රටක් ගොඩනගමු යනුවෙන් උතුරට (යාපනයට) ගිය විජය කුමාරතුංගයන් සෑම රැස්වීමවිකදීම හඬ නැගුවේ විජයගේ සිංහල කතා දෙමළ බසට නැගුවේ මහජන පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයකු වූ ඥානරත්නම් සහෝදරයාය. ඔහුද පසු කලෙක බෙදුම්වාදී කොටි ත්‍රස්තයන්ගේ බෝම්බයකට ගොදුරුවී මියගියේය.

විජය කුමාරතුංගයන්ගේ නායකත්වයෙන් සමාජවාදී එක්සත් පෙරමුණ 1988.02.11 ‘මැටි පහන’ ලකුණ යටතේ ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක් ලෙසට පිළිගෙන තිබුණි. එම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙසට 1988.02.21 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිව තිබූ මහජන නියෝජිත සම්මේලනයේදී විජය කුමාරතුංගයන්ගේ නම ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතව තිබිණි.

1988 පෙබරවාරි 16 වැනිදා කිරුළපන, (පොල්හේන්ගොඩ) තලකොටුව වත්තේ හේමපාල සහ පතිරණ යන දෙදෙනා සමග කතා කරමින් සිටියදී මීට තිස්පස් වසරකට පෙරදී (වසර 35 කට පෙර) ඒ අභීත මානව හිතවාදී කලාකරුවා, දේශපාලනඥයා සිත් පිත් නොමැති ම්ලේච්ඡ රුදුරු ඝාතකයකුගේ කුරිරු වෙඩි උන්ඩවලට ගොදුරු වී සදහටම සමුගත්තේය.

සිනමා දිවියෙන් උපයාගත් ධනය (අසරණ ජනී ජනයාගේ) ජීවිත වෙනුවෙන් කැපකරමින් තම වටිනා කාලය, ශ්‍රමය ජනතා හිතසුව පිණිස යොදවමින්, ජාතීන් අතර සමගිය සමාදානය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ මානව හිතවාදී දේශපාලනඥයාණනි, කලාකරුවාණනි, අව්‍යාජ ජනනායකයාණනි, උත්තුංග ජීවිත පූජාවෙන් සිදුකළ ඔබේ උදාරතර අමිල මෙහෙවර සදා අමරණීය වනු ඇත.

බී. එච්. රසික ප්‍රියංකර පෙරේරා

පොතුපිටිය – වාද්දුව

advertistmentadvertistment
advertistmentadvertistment