රජරට විශ්ව විද්‍යාලයට වසර 28යි

167

ජනවාරි මස 31 වැනිදාට යෙදී ඇති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ 28 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් මෙම ජනවාරි 26 සහ 27 දෙදින මිහින්තලේ රජරට විශ්වවිද්‍යාල භූමියේ දී වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ජාතික විශ්වවිද්‍යාල 17 අතුරින් රජරට විශ්වවිද්‍යාලය මේ වන විට 6 වන ස්ථානයට දක්වා ඉදිරියට පැමිණ ඇත. ඒ වෙනුවෙන් කැපවූ සියලු අංශ ඇගයීමත් තවදුරටත් ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුවේ ඉහළට යෑම සඳහා ගුණාත්මක භාවය ඉහළ නැංවීමත් මෙම වැඩසටහන් මාලාවේ දිගුකාලීන අරමුණ වේ.

රජරට විශ්වවිද්‍යාලය නිල වශයෙන් ආරම්භ කරනු ලැබූවේ 1996 වසරේ ජනවාරි 31 වන දිනයි. මේ වන විට සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර, කළමනාකරණ, වෛද්‍ය, ව්‍යවහාරික විද්‍යා, කෘෂිකර්ම හා තාක්ෂණ යන පීඨ හයෙන් එය සමන්විත වේ. මේ දක්වා විසිර ගිය විශ්වවිද්‍යාලයීය ආදී විද්‍යාර්ථයින් පීඨ මට්ටමින් හා ප්‍රධාන මව් විධායකය ලෙස විධිමත් සංවිධානය ජාලයක් ලෙස ගොඩනැගී විශ්වවිද්‍යාලයේ පිළිගත් ආයතන අංශයක් වශයෙන් ක්‍රියාත්මක වේ. සංගමය අවස්ථා ගණනාවකදීම සංවත්සර දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ. 2021 වසරේ කොවිඩ් උවදුර වෙනුවෙන් සරසවිය වසා තිබිය දී පවා ආදිවිද්‍යාර්ථයෝ අනුරාධපුර පූජා භූමියට එක්ව සරසවියට සෙත්පතා ආගමික වතාවත් සිදුකළහ.

ආදි විද්‍යාර්ථයින්ගේ අන්‍යෝන්‍ය සුහදතාව සහජීවන හා සරසවියේ අභිවෘද්ධිය වෙනුවෙන් සංගමය ක්‍රියාත්මක වන අතර 2026 එළඹෙන ‘මුතු සංවත්සරය’ වෙනුවෙන් විශාල පිරිසක් ඒකරාශිව ඉහළ ප්‍රබෝධයක් ඇතිරීමට සැලසුම්කර තිබේ. දැනට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යෑම සඳහා විශ්වවිද්‍යාලය ලබා ඇති ප්‍රගතිය වෙනුවෙන් දායකවීම එහි අරමුණ වේ.

ආර්ථික අපහසුතා ඇති සරසවි සිසුන් වෙනුවෙන් සංගමය දිගුකලක් තිස්සේ ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙහි දී එම වැඩසටහන පුළුල් කිරීමට ද කටයුතු කෙරේ.

28 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම සැමරුම් උළෙලේ 27 වැනි දින සුහද හමුවක් හා විනෝද ක්‍රීඩා වැඩසටහන්වලින් යුක්ත වන අතර 26 වැනිදා වර්තමාන විද්‍යාර්ථයින් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශන හා අභිප්‍රේරණ වැඩසටහනක් සංවිධානය කර ඇත. උපකුලපතිනි මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම් වැඩසටහන් සඳහා සරසවි අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල ද එක්වනු ඇත. මේ වන විට දෙස් විදෙස් විවිධ අංශවල සිටින ලක්ෂයක් පමණ වන සාමාජිකන්ට ඊට සහභාගීවන ලෙස සංගමයේ සභාපති කමල් අජිත් වර්සවිතාන මහතා ඇරයුම් කරයි.

ආචාර්ය ප්‍රසාද් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment