රජ්ජුරුවෝ බිමට ගේන ජනාධිපතිගේ දේශපාලන හීන!

347

නව වැනි පාර්ලිමේන්තුවේ තුන් වැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ වාද විවාද සංවාද තවමත් සිදුවෙයි. විපක්‍ෂ නායක සජිත්ට අනුව එය හරයාත්මක මෙන්ම අවධානයට ලක්විය යුතු ප්‍රකාශනයකි. එහෙත් ජවිපෙ නායක අනුර කුමාර එය හඳුන්වන්නේ රාජපක්‍ෂවාදී කඳවුරු වෙනුවෙන් එළිදැක්වුණු නූතන සමාජ දේශපාලනයට ආමන්ත්‍රණයක් නොමැති හිස් වචන ගොඩක් ලෙසය. මෙතෙක් මෙම පාර්ලිමේන්තුව අබියස මෙවැනිම අවස්ථාවල ඒ ඒ නිල නායකයන් විසින් දෙන ලද, කිසි දිනක ඉටු නොවූ පරණ පන්නයේම අදහස්වල දෝංකාරයක් එහි වූ බවද ඔහු සඳහන් කර ඇත. අනුර කුමාරගේ විවේචනයට සාධාරණ පදනමක් අපේ දේශපාලන ඉතිහාසය විසින් සපයා තිබෙන බව සැබෑය.

මෙතෙක් මෙරටේ බලය ලබාගැනීම සඳහා ජනතාවට ලබාදුන් බොහෝ ප්‍රතිපත්ති ප්‍රකාශන මෙන්ම බලයට පත්ව විවිධ අවස්ථාවලදී පාර්ලිමේන්තුව අමතා කරන ලද බොහෝ හරබර දෙසුම්වලින් ද කොපමණ ප්‍රමාණයක් ඉෂ්ට සිද්ධ වී තිබේද යන ප්‍රශ්නය අපට ද තිබේ. ඒවා සියල්ලක්ම බොහෝවිට වචන පමණි. හරබර අලංකාරොක්ති විනා ඒ කිසිවක් යථාර්ථයක් බවට පත්වූ අවස්ථා තිබේ ද? ෂේක්පියර්ගේ හැම්ලට් කීවාක් මෙන් වචන වචන පමණක් නම් එයින් වැඩක් තිබේ ද? වචන නැතත් රටට වුවමනා ක්‍රියාවය.

කෙසේ හෝ වේවා ජනාධිපති රනිල්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කළ හැකි වුවහොත් ඔහුගේ විවේචකයන් සියල්ලම නිහඬ කරවිය හැකි වන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම රනිල්ට ජනවරමක් නැතැයි කියන පිරිස්වලට ද මේ ප්‍රතිපත්ති මාලාව යථාර්ථයක් වුවහොත් අඩියක් නොව අඩි කීපයක්ම පස්සට ගැනීමට ද සිදුවනු ඇත. එනිසා මේ ප්‍රකාශනයේ අන්තර්ගතය තුළ සාධනීය හරයක් තිබෙන බව අපගේ ද පිළිගැනීමය.

රජ්ජුරුවෝ බිමට ගේන ජනාධිපතිගේ දේශපාලන හීන!

අද මෙ රටේ තිබෙන සමාජ දේශපාලනය අතිශය සංකීර්ණ එකක් පමණක් නොව ත්‍රාසය, කුතුහලය හා අවිනිශ්චිත ස්වරූපයෙන් ද ඇදී යන විකාර රූපී නාටකයක් වැන්න. හැටනව ලක්‍ෂයක ජනවරමක් ලැබ බලයට පත්වූ ගෝඨාභයට ජනාධිපති ධුරය ද හැර දමා රටින් ද පැන යෑමට සිදුවිය. මහ මැතිවරණයේදී තම පක්‍ෂයට එකම අසුනක් හෝ දිනාගත නොහැකි වූ රනිල් පාර්ලිමේන්තුවට පැමිණ පළමුව අගමැති වී දැන් ජනාධිපතිවරයා බවට ද පත්ව සිටියි. ඒ සඳහා ඔහුට පොහොට්ටුවේ බහුතර කැමැත්ත පවා හිමි විය. ඔහුගේ මෙම පත්වීම ව්‍යවස්ථානුකූලව සිදු වූවක් බවද සඳහන් කළ යුතුය. එනිසා ම ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටත සමාජ කේන්ද්‍රවල ද අවධානයට ලක්විය යුතුය. ජනාධිපති රනිල් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රටේ හැම ක්‍ෂේත්‍රයකම ගැටලු හා බිඳවැටීමට හේතු පිළිබඳව නොයෙක් ඇඟවීම් හා අනාවරණයන් ද සිදුකර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික නැතහොත් ප්‍රබල අවධානය යොමුව ඇත්තේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහිය. ‘අපි හැමෝම එකතුවී රට ගොඩනගමු. මේ අනතුරෙන් රට බේරා ගත හැක්කේ අප සියලුදෙනා ම එකට එකතු වී මේ අභියෝගයට මුහුණ දුන්නොත් පමණයි. බෙදී වෙන් වුණොත් පරිහානියට හා අසරණභාවයට පත් වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන් පමණක් නොව මුළු මහත් ජාතියමයි’ යනු ජනාධිපතිවරයාගේ අවධාරණය මෙන්ම ආයාචනය ද විය. එහෙත් මෙහි සඳහන් වන පරිදි මෙම පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයෝ අසරණයෝ වෙති’යි කිසිවෙක් පිළිනොගන්නා බවද සිහිපත් කළ යුතුය. අද තරුණයන්ගේ පමණක් නොව බහුතර ජනතාවගේ ද විරෝධය එල්ල වන්නේ එහි සිටින මහජන නියෝජිතයන් 224 දෙනාට ම බවද රහසක් නොවේ.

ජනාධිපති රනිල්ට මෙරටේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරකම් මැති ඇමැතිවරුන්ගේ චර්යාවන්, අභිලාෂයන් ආදිය පිළිබඳව අටුවා අවශ්‍ය නැත. දූෂණ, වංචා, නාස්තිය පිළිබඳව සාධක සහිතව හෙළිවූ මැති ඇමැතිවරුන්ට එරෙහිව හෝ ගන්නා ලද කිසිදු පියවරක් ගැන අපි නම් නොදනිමු. එය ජයවර්ධන යුගයේ සිට රාජපක්‍ෂ පාලන යුග දක්වා ම සිදුවූ නිහීන ක්‍රියාවලියකි. ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ බලතල අභිභවා යන විධායක ක්‍රමයක් විසින් මේ රට ම දූෂණයෙන් ගඳගසන නිරයක් බවට පත් කළ ආකාරය අද ජනතාව ද වටහාගෙන සිටිති. මෙරටේ දිගු කලක් ස්ථාපිතව තිබුණු මැතිවරණ ක්‍රමය හා සාධාරණ මැතිවරණ සම්ප්‍රදාය දැඩි ලෙස බිඳ විනාශ කිරීමේ වගකීමට මෙතෙක් බලය ලබාගත් හැම නායකයෙක්ම හැම පක්‍ෂයක්ම බැඳී සිටින බවද ජනාධිපති රනිල් පෙන්වා දී තිබේ. බොහෝ ජනාධිපතිවරණ වේදිකාවල ජනප්‍රිය පොරොන්දුවක් වූයේ ‘විධායක ක්‍රමය අහෝසි කරන බවය. එහෙත් බලයට පත්වීමෙන් පසු ඒ පොරොන්දුව සුළඟේ පාවී ගියේය. එපමණක් නොව රාජපක්‍ෂවරු තමන්ට වුවමනා පරිදි ව්‍යවස්ථාවට සංශෝධන පවා එක් කළහ.

රටක ජනාධිපතිවරයා ජනතාවට ඉහළින් වැජඹෙන රජ කෙනකු හෝ දෙවියකු විය යුතු නැති බවත් එනිසා ම ජනාධිපති ධජයක් වෙනත් විශේෂ ලාංඡන හෝ ගෞරව විශේෂණවලින් අමුතු පූජනීයත්වයක් ලබාදීම අනවශ්‍ය බවටත් ජනාධිපති රනිල් අද සිටින ස්ථාවරය පැසසිය යුත්තකි. එදා ජයවර්ධන විධායක ජනාධිපති ලෙස පත්වීමෙන් පසු තමන් රජ කෙනකු හා සමාන බව කීප වරක්ම ප්‍රකාශ කළ බව අපට මතකය. ‘උතුමාණන් වහන්සේ’ යන්න නොයොදා කිසිම නිවේදනයක් හෝ නොකළ ඔහුට ‘ඇත්ත’ පත්‍රයෙන් සරදම් කළ ආකාරය ද රහසක් නොවේ. ඒ රජ පිස්සුව වටේ සිටින දේශපාලන හෙංචයියන්ගේ වැඩක් වුවත් ප්‍රබුද්ධ නායකයන්ට එබඳු දේ ඉවසිය හැකිද? කුමක් හෝ හේතුවක් නිසා මහින්ද ජනාධිපතිවරයාට ද ‘මහාරජාණනි’ යනුවෙන් ප්‍රශස්ති ලියැවුණු බවද මෙහිලා සඳහන් කළ යුතුය. එපමණක් නොව ජනාධිපති භාර්යාවන් ආර්යාවන් බවට පත්වූ ආකාරය ද කවුරුත් දනිති.

මන්ත්‍රීකම – ඇමැතිකම පමණක් නොව ජනාධිපතිකම ද ආභරණයක් බවට පත්කරගත් දූෂිත, වංචනික, පාදඩ දේශපාලනයක පරමාදර්ශ සෙවීම විකාර වැඩකි. එසේ වුවද මේ දේශපාලනය තුළ පාණ්ඩිත්‍ය විෂය දැනුම, මානවදයාව වැනි යහගුණවලින් සපිරි චරිත ද දුබල බව හෝ එදා වූ බවද කිව යුතුය. රාජ්‍ය නායකයා රජුන්ට අන්දවන වන්දිභට්ටයන් බහුල යුගයක අපට සිහිපත් වන එක් දේශපාලන චරිතයක ආධ්‍යාත්මය මෙසේ විශද කළ හැකිය. ඒ 56යේ විප්ලවයේ නියමු බණ්ඩාරනායක අගමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකි.

“මා හිතන්නේ මාත් ඔබ වැනි කෙනෙකු හැටියටය. යම්කිසි දෛවෝපගත සිද්ධියකින් මට ඔබ අතර වැදගත් තැනක් හිමි වන්නේ නම්, ඒ ඔබේ ස්වාමියකු හැටියට නොව සේවකයකු හැටියට බව සිහි තබාගනු මැනවි.”

බණ්ඩාරනායක සතු වූ දේශපාලන විචක්ෂණභාවය, ප්‍රබුද්ධ හා විදග්ධ ගුණ කෙසේ වුවත් ඔහු තුළ වූ ඒ නිහතමානී ගුණය, සරල බවවත් අද අපේ නායකයන්ගෙන් කීදෙනකුට තිබේද? මහන්තත්ත්වය, අහංකාරකම ඉහවහා ගිය නායකයන්ට අද අත්ව තිබෙන ඉරණම ද රහසක් නොවේ. දේශපාලනය යනු ස්වාර්ථය පිටුදකින පරාර්ථය උදෙසා වූ යහපත් සේවයක්, භාරකාරත්වයක් බව වටහා නොගත් ව්‍යාජ ප්‍රභූ දේශපාලනයක් අද අප අබියස දැකගත හැකිය.

පාර්ලිමේන්තුවේ ගෞරවනීය ස්වරූපය අද මියගොසින්ය. ඒ ජනතා නියෝජනයම හෙළා දකින මහජන මතය පදනම් විරහිත යැයි කිව හැකිද? අද දවසේ දේශපාලනය දූෂණය, භීෂණය, වංචාව, නාස්තිය, අල්ලස අරක්ගත් චෞර වළල්ලක් බවට විවෘත චෝදනාවක් තිබේ. බාර් අයිතිකාරයන්, එතනෝල් අධිපතියන් සිටින, ජාවාරමුන්, කුඩ්ඩන්, පාතාලයන්, රකින දේශපාලන තිරයක රට හිරවී තිබේ. ඒ තිරයට අයත් නොවන මහත්මා දේශපාලන චරිත ස්වල්පයක් තිබිය හැකිය. එහෙත් 225ම ගෙදර යා යුතු යැයි උද්ඝෝෂණ කෙරෙන්නේ ඉහත දැක්වූ විරූපී දේශපාලන චිත්‍රයත්, දියවන්නාවෙන් එන දුර්ගන්ධයත් නිසාම ය. ගාලු මුවදොර අරගලයේ තේමාව වූයේ ද නිදහසින් පසු මෙරටේ ස්ථාපිත කරන ලද, අද වනවිට දූෂණය, වංචාව, අල්ලස, නාස්තිය ආදී සකල විධ දුර්ගුණයෙන් ජරපත් වූ දේශපාලන ක්‍රමය අහෝසි කළ යුතුය යන්නය. එහි කූට ප්‍රාප්තිය රාජපක්‍ෂ පාලනය වුවද එහි සමාරම්භය ජයවර්ධන යුගය (1977) තෙක් ඇදී යයි. විශේෂයෙන් ඔහුගේ විධායක ක්‍රමයත් සමග මෙරටේ විනාශය ද ශීඝ්‍රයෙන් සිදුවිය.

අද රට වැටී තිබෙන ආර්ථික ප්‍රපාතය පසුගිය දසක දෙක තුළ වඩාත් වර්ධනය වූයේ අධික ණය බර හා, ඒ ණය නිෂ්ඵල ව්‍යාපෘති සඳහා යෙදවීම නිසා බව අද එම ක්‍ෂේත්‍රයෙහි විද්වතුන්ගේ විවේචනයයි. අද උග්‍රවී තිබෙන ඉන්ධන අර්බුදය පිළිබඳව ඔවුන් නඟන ප්‍රශ්නයක් ද තිබේ. ඉන්ධන අලෙවි කරමින් අයිඕසී මිලියන ගණනින් ලාභ ලබද්දී ඒවා විකුණන තෙල් සංස්ථාව පාඩු ලබන්නේ කෙසේද? යනු ඒ ප්‍රශ්නයයි. මේ වනවිට ඛණිජ තෙල්, විදුලිබල ශක්ති වැනි ආයතනවල නිරුවත රටට ම හෙළිවී තිබේ. ඒවාට වගකිව යුතු මේ දූෂිත පාලකයෝය.

දේශපාලනයේදී බොහෝ විට නුසුදුසු, නූගත්, කිසිදු විචාර බුද්ධියක් නොමැති චරිතවලට ද මැති ඇමැති තනතුරු ලබාදෙන බව රහසක් නොවේ. එහෙත් රාජ්‍ය ආයතන මෙහෙයවීම සඳහා ප්‍රමාණිකයන් යෙදිය යුතුය. දේශපාලන පක්‍ෂපාතීත්වය මත මූල්‍ය ආයතන හා ප්‍රබල සංස්ථා මණ්ඩල සඳහා පත්වීම් කළ අය අද මේ ආර්ථික විනාශයේ වගකීම ද භාරගත යුතු වෙති. ගෝඨාභයගේ විශ්‍රාමික ජෙනරාල්ලා විසින් ද මේ පරිහානියට දෙන ලද සහාය සුළුපටු නැත. ආර්ථික කළමනාකරණය මෙන්ම පාරිපාලනය ද සංකීර්ණ ක්‍රියාදාමයන්ය. ඒවාට මිත්‍ර සමාගම්, නෑදෑයන් පත් කිරීම් සිදුවූ ආකාරය අද රට ම දනී. මහජනයා පෝලිම්වල කඹුරන්නේත්, සරුසාර කෙත්වතු මුඩු බිම් වූයේත් ඒ විෂම චක්‍රයට හසුවීම නිසාය. ජනාධිපති රනිල් ඒ ආර්ථිකය සඳහා විධිමත් සැලසුම් සකස් කරන බවට සහතික වී තිබේ. එහිදී දිළිඳු හා අවම ආර්ථික වරප්‍රසාද සහිත කණ්ඩායම් රැකගැනීම ද ඔහුගේ අපේක්‍ෂාවය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කේන්ද්‍රය ලෙස යෝජිත සර්ව පාක්‍ෂික ආණ්ඩු සංකල්පය හැඳින්විය හැකිය. මෙහිදී කිසියම් සාමූහික එකඟතාවක් සහිත ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කෙරෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂවල සක්‍රීය දායකත්වය ද හිමි විය යුතුය. එහෙත් මෙම සර්ව පාක්‍ෂික ආණ්ඩුවට තමන් සහභාගි නොවන බව ජවිපෙ දැනටමත් ප්‍රකාශ කර තිබේ. මෙහිලා ඔවුන් පෙන්වා දෙන එක් වැදගත් කරුණක් ද වේ. එනම් සර්ව පාක්‍ෂික ආණ්ඩුවේ කාල රාමුවය. ජනාධිපති රනිල් තමන්ට නිත්‍යානුකූව ක්‍රියා කළ හැකි වසර 3කට නොඅඩු සම්පූර්ණ කාලයම එම ධුරයෙහි සිටින්නෙහි නම් එබඳු සර්ව පාක්ෂිකයක් කුමට දැයි ජවිපෙ ප්‍රශ්න කරයි. ඔවුන් නඟන අනෙක් තර්කය නම් මේ මහජන වරමක් නැති පාර්ලිමේන්තුවට එබඳු දීර්ඝ කාලයක් බලයේ සිටීමට සදාචාර අයිතියක් ද නොවන බවය.

විපක්‍ෂ නායක සජිත් පවසන්නේ ද එබඳු සර්ව පාක්ෂික පාලනයක් යනු වරප්‍රසාද වරදාන බෙදා ගැනීමක් නොවිය යුතු බවය. ඔහුගේම වචනවලින් කිවහොත් එය ඇමැති කටු සූප්පු කිරීමේ ක්‍රමවේදයක් නොවිය යුතු බවය. ඇත්ත වශයෙන්ම අද රට මුහුණ දී තිබෙන සමාජ – ආර්ථික බිඳ වැටීමට යෝජනා කෙරෙන සර්ව පාක්‍ෂික පාලනයක් සඳහා ඇමැතිවරුන් 15කට අඩු සංඛ්‍යාවක් ප්‍රමාණවත් බව සමහරු දක්වති. තවත් යෝජනාවකින් කියැවෙන්නේ එම සංඛ්‍යාව 10ක් සෑහෙන බවය. කුමක් වුවත් ඒ ඒ පක්‍ෂවලින් බිලි බාගන්නා මන්ත්‍රීවරුන් එකතු කරගෙන සර්ව පාක්‍ෂික පාලනයක් ගොඩනැඟිය නොහැකි වන බව පමණක් පෙන්වා දිය යුතුය. එසේම දැන් සිටින කැබිනට් මණ්ඩලය ගැන ද දැඩි විවේචන තිබෙන පසුබිමක එයට අලුතින් තවත් එකතු කිරීම ද ප්‍රශ්නකාරී දෙයක් වනු ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය ද මේ ඇමැතිවරුන් පත්කිරීමේ පීඩනයට හසුවූ අයෙකි. ඔහු වරක් සඳහන් කළේ හැම කෙනෙක්ම කැබිනට් ඇමතිවරුන් වීමට දරන ප්‍රයත්නයන් ගැනය. එය ගෝඨාභය පමණක් නොව හැම ජනාධිපතිවරයකුටම මුහුණ දීමට සිදුවන අභියෝගයකි. එයට හේතුව ඇමති ධුරය යනු මහා නිධානයක් බවට පත්කර ගත හැකි තනතුරකි. මෙරටේ සිටි ඇමැතිවරුන් සෑහෙන පිරිසකට දූෂණ චෝදනා ද විය. ගෝඨාභය පාලනයේදී එබඳු දූෂිත චෝදනාවන්ට ලක්වූ සියල්ලන්ටම කිසියම් තාක්‍ෂණික හේතුවක් නිසා නඩුවලින් නිදහස් වීමට හැකි වූ ආකාරය රට ම දනී. එහෙත් ජනතා මුදල් ගසා කෑ කොමිස්, වෙනත් ප්‍රතිලාභ හිමි වූ ඇමැතිවරුන් ගැන තිබෙන කතා බොහෝය. හිටපු මුදල් ඇමැතිවරයකු වූ බැසිල්ට ඒ වෙනුවෙන් පටබැඳුනු නම් ද තිබේ.

ජනාධිපති රනිල්ගේ අගනා මෙන්ම අද රට ම බලා සිටින යෝජනාවක් ලෙස අල්ලස් හා දූෂණ මැඬලීමේ ජාතික ප්‍රතිපත්තිය හැඳින්විය යුතුය. මේ රට අගාධයකට ඇද ගෙන යෑමේ ප්‍රමුඛ හේතුව අල්ලස් දූෂණය, වංචාව හා නාස්තිය, හා කොමිස් කට්ටි ගනුදෙනුව ද දැක්විය හැක. එයට අදාළ දූෂිත නිලධාරි වළල්ලක් ද වේ. අද විගණන ක්‍රියාදාමයක් නැත. එය හොරුන්ට දී තිබෙන රක්‍ෂණයකි. හිටපු විගණකාධිපතිවරයකු වූ ගාමිණි විජේසිංහ විසින් වරක් අවධාරණය කරන ලද්දේ දේශපාලනඥයන්ගේ වරප්‍රසාද අහෝසි කළ යුතු බවය. රටක පාර්ලිමේන්තුව දෙස බලා එරටේ ස්වභාවය වටහා ගත හැකිය යන මාර්ටින් ලුතර් කිංගේ ප්‍රකාශය ද ඔහු උපුටා දක්වා ඇත. දේශපාලන බලලෝභීත්වය නිසා සමස්ත රට ම කඩාවැටී තිබෙන බවද ඔහුගේ චෝදනාවය. එනිසා ජනාධිපති රනිල් මේ සම්බන්ධයෙන් ද විධිමත් හා සක්‍රීය සැලැස්මක් රටට ඉදිරිපත් කළ යුතුය.

අවසන් වශයෙන් ජනාධිපති රනිල් ගාලු මුවදොර අරගලය සම්බන්ධයෙන් දක්වන සාධනීය ප්‍රතිචාරයට ඔහුගේම අභ්‍යන්තරයෙන් නැඟෙන ප්‍රතිවිරෝධයක් ඇති බවට නැඟෙන විවේචන පිළිබඳව ද අවධානය යොමු විය යුතුය. ත්‍රස්තවාදය ලෙස අරගලකරුවන් වර්ග කිරීම කිසිවකුට අනුමත කළ නොහැක. ත්‍රස්තවාදය යනු ප්‍රචණ්ඩත්වය හා සාහසිකත්වය මත පදනම් වූවකි. එහෙත් ගාලු මුවදොර අරගලය එලෙස හැඳින්විය හැකිද? මෙම අරගලයට ප්‍රථම ප්‍රහාරය එල්ලවීම පිළිබඳ හිටපු අගමැති මහින්ද ඇතුළු ඇමැතිවරුන් කීපදෙනකුගේ නම් සඳහන්වේ. එසේම ඒ ප්‍රහාරකයන් නිදැල්ලේ සිටියදී අරගලකරුවන් දඩයම් කරන බවට නැඟෙන චෝදනාව ද බරපතළය. රනිල්ට මෙරටේ ජනාධිපති ධුරය හිමි වූයේ අරගලකරුවන්ගේ ජයග්‍රාහී පියවරෙහි අනපේක්‍ෂිත ඵලයක් ලෙසය. ඔවුන් විසින් ගෝඨාභය නෙරපන ලද්දේ රනිල් එතැනට රැගෙන ඒමට නොවන බව ජනාධිපතිවරයාට අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඔහු ගාලු මුවදොර අරගල භූමිය මෙන්ම ඒ අරගලකරුවන්ද නො ඉවසන්නෙක් විය යුතු නැත. සාමාකමී අරගලකරුවන් රැකීමට වෙනම කාර්යාංශයක් යෝජනා කරන ඔහුට එම අරගලය දෙස යථාර්ථවාදී හා මානුෂික දෘෂ්ටියකින් බැලීමට බාධාවක් නැත. එසේම සාමකාමී අරගලයට ප්‍රචණ්ඩත්වය මුසු කළ කිසිවකුට අභය දානය දිය යුතු යැයි ද අපට කිව නොහැක. කුමක් වුවත් ජනාධිපති රනිල් සවිඥානිකව ඉදිරිපත් කළ අභිනව රාජ්‍ය ප්‍රතිපත්ති මාලාව නමැති කිරි මුට්ටියට අවිඥානිකව ගොම බින්දුවක් මුසු කර නොගත යුතු බව ද අපගේ අවධාරණය වේ.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment