රජු මුවා පසුපස;  මුවා රජු පසුපස

969

මෙයට අවුරුදු 2258 කට පෙර එනම් ක්‍රිස්තු පූර්ව 236 පුර පසළොස්වක් පොහෝ දවසක ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගේ පැවිදි පුත්‍රයා වූ මිහිඳු හිමියෝ බෞද්ධ දූත කණ්ඩායමක්ද සමග ශ්‍රී ලංකාවේ මිහින්තලයට වැඩම කළහ. සාමාන්‍ය අදහසට අනුව ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදෙනු ලබන්නේ මිහිඳු මහ රහතන්වහන්සේ විසිනි. එහෙත් මෙරටට බුද්ධාගම එන විටත් මේ රටේ තැන තැන බුදු දහම අදහන සුළුතරයක් ජීවත් වූහ. මේ සුළුතර පිරිස ඉන්දියාවට ගොස් වෙළෙඳ භාණ්ඩ මෙහි ගෙනවුත් අලෙවි කළ සංචාරක වෙළෙන්දෝ වූහ. ඔවුන් ඉන්දියාවට ගොස් එතැනින් ඝාන්ධාර දේශයට ද ගියහ. එකල ගාන්ධාරය යනු බෞද්ධ භූමියකි. මෙහි හැම තැනම විහාරාරාම ද භාවනානුයෝගී බෞද්ධ භික්ෂුහු ද වැඩ වාසය කළහ. උන්වහන්සේලාගේ බණ ඇසූ ඇතැම් සිංහල වෙළෙන්දෝ බුදු දහම කෙරේ පැහැදී එම සමය වැළඳගෙන මෙහි පැමිණියහ. එකල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආගමක් වූයේ ශිව දේව ඇදහිල්ලය. මේ නිසා එකල මේ රටේ විසූ රජ දරුවන් වැඩිදෙනා ශිව භක්තිකයෝ වූහ. මේ අතර මිහින්තලයට වැඩම කළ මිහිඳු මහ රහතන්වහන්සේ විසින් දෙවන පෑතිස් රජු බුදු දහම ඇදහීමට පොළඹවා ගත් හැටි නූතන රට වැසියෝ වැඩිදෙනා දනිති. එහෙත් මේ ගැන කිසිත් නොදන්නා නව යොවුන් පරම්පරාවක් ද සිටින බව අප මතක තබාගත යුතුය. මිහින්තලයේදී දේවානම්පියතිස්ස මුවා පසුපස ගියේද නොඑසේ නම් මුවා දේවානම්පියතිස්ස පසුපස ගියේද යන්න පවා මේ දරුවෝ නොදනිති. මෙය අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කාරණයක් බව අපි නොකියමු. මෙහිදී වැදගත් වන්නේ මුවා හෝ දේවානම්පියතිස්ස රජු කා පස්සේ ගියාද යන්න නොව බුදු දහමේ ආලෝකය නිල වශයෙන්ම මෙරටට උදාවීම පිළිබඳ පණිවුඩය පොසොන් පොහෝ දිනය සමග බැඳී පැවතීමය. බුදු දහම යනු රැඩිකල් හෙවත් පටිසෝතඝාමි සමයකි. සුජාතා මහ උපාසිකාවගෙන් කිරිපිඬු දානය පිළිගත් බුදුරජාණන්වහන්සේ හිස් තලිය ගඟ දිය මත තබා තමා බුද්ධත්වයට පත්වීම ස්ථිර නම් එම තලිය උඩුගම් බලා ගමන් කරනු ඇතැයි ප්‍රර්ථනා කළහ. තලිය උඩුගම් බලා ගියේය. පටිසෝතඝාමය යනු උඩුගම් බලා යෑමකි. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද  රැඩිකල් ආගම බලකිරීම් සහ බන්ධනවලින් තොර බුද්ධිමත් දර්ශනයකි. ඒ දර්ශනය නිල වශයෙන් මෙරටට පැමිණි දිනය හා ඒ හා බැඳුණු පුවත් දැනගැනීම මේ රටේ නව යොවුන් පරම්පරාවට දේශීය සංස්කෘතිය ගැන කියා දීමකි. ශිෂ්ටාචාරය හා සංස්කෘතිය එකට බැඳේ. සංස්කෘතිය පෝෂණය වූ තරමට ශිෂ්ටාචාරය ද පෝෂණය වේ.

 මිහින්තලාව මත වැඩ සිටි මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජු අමතා කළ ධර්ම දේශනාවේ සඳහන් පහත වගන්තිය ඉතා වැදගත්ය. “මහ රජ ඔබ මේ රටේ පාලකයා සහ පරිපාලකයා මිස අයිතිකරු නොවේ. මහ පොලවේ ජීවත්වන හෝ අහසේ සහ ජලයේ ජීවත්වන හෝ කිසිදු ප්‍රාණියකුගේ ජීවිතය පැහැර ගැනීමට ඔබට අයිතියක් නැත”. මිහිඳු මහරහතන් වහන්සේ මේ බව කියන ලද්දේ රජතුමා විසින් මරා දමනු ලැබීම පිණිස පන්නාගෙන ගිය මුවා නිමිත්තෙනි. මේ ප්‍රකාශය අදටත් ගැළපේ. මේ රටේ දේශපාලනඥයන් සහ පාලකයන් සිතා සිටින්නේ මේ මාතෘභූමිය තමන්ට අයත් නිශ්චල දේපළක් ලෙසය. මෙහි ඇති ලොකුම විහිලුව නම් බලයේ සිටින මන්ත්‍රීවරුන් පමණක් නොව පැරදුනු මන්ත්‍රීවරුද එසේ සිතා සිටීමය. අප රටේ සිටින දේශපාලනඥයන් මේ රට උලා කන්නේ එය බූදල් නඩුවකින් ලැබුණු සින්නක්කර දේපළක් ලෙස සලකමිනි. මේ ආණ්ඩුව සිංහරාජ වනය මැදින් ලංකාගමට කැපූ පාර ගැන මෙහිදී මෙනෙහි කරමු. අලුත් පාරක් සෑදීම ඉතා හොඳ වැඩකි. එහෙත් පාර කැපීමේදී වනයකින් කොටසක් කා දැමීමට සිදුවන්නේ නම් එය ගින්දර කෑවා හා සමාන ක්‍රියාවකි. ගින්දර කෑ විට මළ වශයෙන් පිට කරන්නේ ගිනි අඟුරුය. එවිට දෙපැත්තේම තිබෙන කටවල් දෙක පිළිස්සී කර්පට් වී ඉදිරි අවුරුදු කීපය තුළම පාවිච්චි කිරීමට බැරිවන තරමට අබලන් වී යයි. බෞද්ධ දරුවන් සහ අන්‍යාගමික දරුවන් අතර විශාල වෙනසක් තිබේ. නූතන බෞද්ධ දරුවෝ සිය දහමේ සුල මුල ගැන කිසිත් නොදනිති. එහෙත් සෙසු සෑම ආගමක්ම අදහන දරුවෝ සිය දහමේ ඉතිහාසය ඉතා හොඳින් දනිති. උදාහරණයක් වශයෙන් කතෝලික සමය අදහන දරුවන් සහ ඉස්ලාමය අදහන දරුවන් දෙදනකු ගත හැකිය. මේ දරුවෝ ස්වකීය ආගමික ඉතිහාසය ඉතා හොඳින් දන්නවා පමණක් නොව ඒ ඔස්සේ ස්වකීය සංස්කෘතිය සමග බන්ධනයක් ද ගොඩනඟා ගනිති. ආගම සහ සංස්කෘතිය සමග මිනිසාට ඇති බැඳීම අපි මෙහි මුලින්ද විස්තර කර ඇත්තෙමු. බෞද්ධ දරුවා බෞද්ධ සංස්කෘතිය හා බැඳේ. සෙසු ආගමික දරුවෝ තම තමන් අදහන ආගම්වල සංස්කෘතිය හා බැඳෙති. සංස්කෘතියක් නොතිබෙන්නට මිනිසා සහ තිරිසනා අතර වැඩි වෙනසක් ඇති වන්නේ නැත. තිරිසනා ස්වකීය වර්ගයා බෝ කිරීම සඳහා මහ පාර තෝරා ගන්නේත් මනුෂ්‍යයා එම කටයුත්ත සඳහා ආවරණය කෙරුණු තැනක් තෝරා ගන්නේත් සංස්කෘතිය නිසාය. අප මේ කියන දෙය පිළිබඳ ඔබේ අදහස දැනගැනීමට අපි කැමැත්තෙමු. එය අප වෙත දන්වා එවන මෙන්ද ඔබෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment