රජු සහ හිඟන්නා  – (දෙවන එසලිබත් රැජනගේ  අවමංගල්‍ය නිමිත්තෙනි)

1452

රාජාණ්ඩු සම්ප්‍රදායට අවුරුදු පන්දහසකට වැඩි ඉතිහාසයක් තිබේ. ආසියාවේත් යුරෝපයේත් නාම මාත්‍රික නොවන රාජාණ්ඩු සහ නාම මාත්‍රික වන රාජාණ්ඩු විශාල ප්‍රමාණයක් ඇත. තායිලන්තයේ රජ පවුල, භූතානයේ රජ පවුල, ඩෙන්මාර්කයේ රජ පවුල, අප්‍රිකානු රටවල රජ පවුල් යනාදිය ගැන ලෝකවාසී ජනතාවට ඇත්තේ සංඛේතාත්මක දැනුමක් පමණි. ඒ රටවල රජවරුන් සහ රජ කුමරියන් ගැනත්, බිසෝවරුන් ගැනත් ලෝකවාසී ජනතාවගෙන් වැඩි දෙනා කිසිම දෙයක් දන්නේ නැත. එහෙත් මෙලොව ජනතාවගෙන් 60% කට වැඩි පිරිසක් විසින් ආදරයෙන් හෝ උනන්දුවෙන් හෝ ද්වේශයෙන් හෝ සමරනු ලබන රැජනකුත්, රජ කුමරියකුත් වාසය කළහ. ඒ රජ කුමරිය වූකලී ඩයනා කුමරියයි. රැජනගේ නම දෙවැනි එලිසබත්ය. දෙවන එලිසබත් රැජන අවුරුදු 26 දී බි්‍රතාන්‍යයේ රජකමට පත්ව අවුරුදු 70 ක් ඒ රටේ මහ රැජනව සිට මියයන්නේ මීට දවස් 11 ට පමණ පෙරය. එම රැජනගේ ලේලිය වූද දැනට එක්සත් රාජධානියේ රජවී සිටින තුන්වන චාල්ස්ගේ හිටපු බිරිඳ වන ඩයනා කුමරිය ප්‍රංශයේ සිදුවූ භයානක රිය අනතුරකින් මීට දශක දෙකකට පමණ පෙර මිය ගියාය. අනතුරට පත්වීමෙන් පසු ඇගේ මළ සිරුර ඉතා නරක ලෙස විකෘති වී තිබිණ. ඩයනා කුමරියගේ මරණය මිනී මැරුමක් බවට තුන් කාලට ඔප්පු කෙරුණු කට කතා තිබේ. එළිසබත් රැජනගේ අභාවය සම්බන්ධයෙන් ලියන මේ කතුවැකියේදී එම සිද්ධිය විග්‍රහ කිරීමට අප අදහස් කරන්නේ නැත.

එළිසබත් රැජනගේ මරණය සම්බන්ධයෙන් මේ පුවත්පත ලියන දෙවන කතුවැකිය මෙය වේ. මේ රටේ ඇතැම් පුවත්පත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කර්තෘ වාක්‍යය ලිවීමෙන් වැළකී සිටි අවස්ථාද ඇත. අප මේ දෙවන කතුවැකිය ලිවීම ගැන දුර්මත හට ගැනීමට ඉඩ තිබේ. බි්‍රතාන්‍ය යනු අවසන් වරට මේ රට පාලනය කළ යටත්විජිතවාදියාය. පෘතුගීසීන් සහ ලන්දේසීන් මුහුදුකරයටත් එහි තිබූ සිංහල ජනාවාසවලටත් කළ භෞතික සහ ආධ්‍යාත්මික හානිය මෙන් සිය ගුණයක හානියක් දීර්ඝකාලීන යටත් විජිතවාදී ඉතිහාසය තුළ මහා බි්‍රතාන්‍ය විසින් අපට කරනු ලැබ ඇත. 1818 කැරැල්ලේදී එවකට මේ රටේ සිටි බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයා නියෝග කළේ පණ ඇති සහ පණ නැති සියලු දේ විනාශ කර කැරැල්ල මැඬ පවත්වන ලෙසය. පණ ඇති දේවල් නම් ළදරුවාගේ සිට මහල්ලා දක්වාද, කුකුල් පැටවාගේ සිට ගවයා දක්වාද වූ සියලු සත්වයෝද, කුඹුරු, වගා බිම්, ගෙඩි හැදෙන ගහ කොළ යනාදී සියල්ලද මෙකී පණ ඇති ශ්‍රේණියට අයත්ය. ගෙවල්, විහාරස්ථාන, ගෘහ භාණ්ඩ, ආහාර ගබඩා, වී බිස්ස, කුරහන් බිස්ස, අටු කොස් ඇට අටුව යනාදී සියල්ල පණ නැති ශ්‍රේණියට අයත්ය. දහ අටේ කැරැල්ලේදී බි්‍රතාන්‍ය හමුදාව පණ ඇති අය කැබලිවලට කපා ගලා යෑමට සැලැස්වූ ලේ ගංගාවෙන් පණ නැති සියල්ල යට වීමට සැලැස්වීය. මහා බි්‍රතාන්‍යය ඊට අමතරව අපේ පුරා වස්තුද විශාල වශයෙන් කොල්ලකන ලදී. හැබැයි ඒ පුරා වස්තු සියල්ලම අදටත් බි්‍රතාන්‍ය රාජකීය ලේඛනාගාරය සහ ලන්ඩන් කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබේ. එසේ නොවුණා නම් පහුගිය අවුරුදු විස්සක හෝ තිහක කාලය තුළ මේ රටේ නිධන් හෑරූ ආකාරයත් පුරා වස්තු සොරකම් කළ ආකාරයත් සලකා බලන විට ඒවා අවසානයේදී කොතනක තිබෙන්නේද යන්න පිළිබඳවත් සොයා ගැනීමට හැකි වන්නේ නැත. අඩු ගණනේ එම පුරාවස්තු සහ පුස්කොළ පොත් ලන්ඩනයේ අසුවල් – අසුවල් තන්හි තිබෙන බවවත් අපි අද දනිමු. දීර්ඝ කාලයක් යදම් වලින් බැඳී සිටින වහලා යදම්වලට පෙම් කරන බවද කිසියම් දවසක එම යදම්වලින් නිදහස් වූ පසුද ඒවා අත් පා වල ගැට ගසාගෙන සිටීමට ප්‍රිය කරන බවද කියනු ලැබේ. මහ රැජන පිළිබඳ මේ පුවත්පත මේ කතුවැකිය ලියන්නේ එවැනි මාන්දමකින් නොවේ. ගැහැනියක වශයෙන් අවුරුදු 70 ක් රටක් පාලනය කිරීමෙනුත් විචිත්‍ර චරිතයක් ලෙස ජීවත්වීමෙනුත් ඇය විසින් ලෝකයට පෙන්වන ලද විලාසිතාවට උපහාර කරනු පිණිසය.

දෙවැනි එලිසබත් රැජන කවදාවත් ඕනෑවට වඩා කතා කළේ නැත. ආසියාවේ සහ යුරෝපයේ ඇතැම් දේශපාලනඥයන් පැයක් පමණ කතා කරමින් දේශනාත්මක බයිලා ගායනාවල යෙදෙද්දී එලිසබත්  රැජන රාජාසන කතාව පවා කළේ විනාඩි 10 ක පමණ කාලයකි. ලෝකයේ හොඳම කතා නවකතා නොව කෙටි කතා බවට පවතින රැඩිකල් මතය මේ කාරණය සමග කොපමණ දුරට ගැළපේ දැයි අපි නොදන්නෙමු. මහා බි්‍රතාන්‍ය ජනතාව ඒ රටේ රාජාණ්ඩුව යොදාගත්තේ වන්දනාමාන කළයුතු පුරාවස්තුවක් ලෙසය. එංගලන්ත රජපවුලේ නඩත්තුවට එරෙහි අරාජිකවාදී බලවේගයක්ද ඒ රටේ තිබේ. මේ බලවේගය කියන්නේ රජ පවුල නඩත්තු කිරීම සඳහා යොදන විශාල මුදල පාවිච්චි කොට මාළු කෑම මිලට ගෙන ලන්ඩනයේ තේම්ස් ගඟට දැම්මොත් අඩු ගණනේ එම ගඟේ මාළු අස්වැන්නවත් වැඩි කරගත හැකි බවය. රජ පවුල නඩත්තු වන්නේ මහජන බදු මුදලෙනි. අපට දැනගන්නට ලැබී ඇති පරිදි සංචාරකයන්ට ලන්ඩනයේ රජ මාළිගාව පෙන්වීමෙන් පමණක්ම රජපවුල නඩත්තුව සඳහා යන වියදම මෙන් තුන්ගුණයක් ආණ්ඩුවට ලැබෙන බවය. ඒ අනුව රජ පවුල යනු ඇන්ටික් ප්‍රදර්ශන භාණ්ඩයකි. එහෙම හිතන්නේ අපය. එහෙත් එංගලන්තයේ බහුතර ජනයා හිතන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකටය. ඔවුන්ගේ අදහසට අනුව එංගලන්තයේ රාජ්‍යත්වය යනු ඒ රටේ ආධ්‍යාත්මය සමග බැඳී තිබෙන සදාකාලික සමරුවකි. ඒ සමරුවේ ප්‍රමුඛ පාර්ශ්වය වූ මහ රැජනගේ අභාවය සම්බන්ධයෙන් සතුටුවන අරාජිකවාදීන් ප්‍රමාණය සියයට 0.001 ට වඩා නැත.

එලිසබත් රැජන යනු එක්සත් රාජධානියේ වර්තමාන වැඩිහිටි පරම්පරාවේ ආගමික සංකේතයක් හා සමාන වස්තුවකි. ඒ වැඩිහිටි පරම්පරාව සලකන්නේ දෙවියන්ටත් මහ රැජනටත් රාජකීයත්වයටත් පමණි. මේ පුවත්පත රාජාණ්ඩු ක්‍රමයට පක්ෂපාත නැත. අපේ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙත් රාජාණ්ඩු ක්‍රමයට පක්ෂපාත බි්‍රතාන්‍ය අද වන විට ලෝකයේ බලවත්ම රටකි. එසේ නොවන, රැඩිකල් මතධාරී, ලිබරල් මුහුණක් ඇති අපි ලෝකයේ තිබෙන හිඟනම රටක් බවට පත්ව සිටින්නෙමු. මෙහි රහස කුමක් විය හැකිද?

advertistmentadvertistment
advertistmentadvertistment