රජ දවසේ නීතිය හා දඬුවම්

266

අතීතයේ රටේ ක්‍රමික පාලන නීති බොහොමයක් පැවැති නමුත් ඒවා වැඩි කොටසක් සිරිත් හා සම්ප්‍රදායයෝය. ඒවායින් :-

  1. රජයේ පොදු නීති
  2. ආරාම පාලන නීති
  3. වෙළෙඳ නීති රීති
  4. නින්දගම් පිළිබඳ නීති

යනුවෙන් කොටස් කළ හැක්කේ අපට හමුවන ලිපි අනුවයි. ධර්මාධිකරණ ගැනත් ආරාවුල් බේරුම් කිරීම පිළිබඳවත් සටහන් තවම සොයාගෙන නැත.

රාජ නීති අතර අයිතිය පිළිබඳ නීති, ගනුදෙනු පිළිබඳ නීති, කලකෝලාහල පිළිබඳ දිය යුතු දඬුවම් ගැන පැනවූ නීති රීති හා සේවකයන්ගේ යුතුකම් හා කළ යුතු දේ පිළිබඳ නීති ද පනවා තිබුණි. ඒ ලිපි කියවා තැනින් තැන ඇති වචන අහුලා

එක්රැස්කොට ගොනුකර ගත යුතුව ඇත. විහාරස්ථාන හා නිදහස් කළ නින්දගම්වලට අභය සොයා පැමිණියකු එහිදී හිරභාරයට ගැනීමට බලයක් රාජ සේවකයන්ට නොතිබුණේය. බොහෝ ගල්ලිපිවල මෙය අවධාරණයෙන්ම කියා ඇත. සමහර ලිපියක සඳහන් වන්නේ ඔවුන් එම ගමින් පිටත් කොට අල්ලාගත යුතු බවයි. සමහර ලිපියක සඳහන් පරිදි නම් මිනීමරුවකු වුව ද එබඳු අභයස්ථානයකට ඇතුළු වුවහොත් ඔහු සම්පූර්ණයෙන්ම නිදහස්ය.

එබඳු නින්දගමකින් හෝ විහාර ගමකින් හෝ අයබදු අය කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් කොට තිබේ. රජයේ සේවකයන්ට හෝ නිලධාරීන්ට හෝ විදේශීය අමුත්තන්ට හෝ එහි ඇතුළු විය නොහැක.

වැරදි කළවුන් ඇල්ලීමට එබඳු ගම්වලට ඇතුළු විය නොහැකි බව ඔප්පු කිරීමට ‘අඹගමු’ ලිපියෙන් වැකියක් මෙහි දැක්විය හැක.

“පස්මා දොසින් ඇතුළත් වරදක් කොට ගම්වන්න වුන් ඇත. ගම් හිම් පනවා දුන්මුත් ගම්වැද නොගන්නා කොට්…”

මෙයින් පෙනී යන්නේ එබඳු වරදකාරයන් ගමින් පිටමං කොට ගෙන අල්වා ගත යුතු බවයි. මේ ලිපියේ සඳහන් ‘පස්මා දොස්’ කුමක්දැයි අප්‍රකටය.

මේ මිනීමැරීම හොරකම ආදී පැරණි සම්මත වැරදි පහක් යැයි කියති. පඤ්චානන්තර්‍ය්‍ය කර්මය යැයි තවත් මතයකි. මේ යුගය වනවිට පඤ්චානන්තර්‍ය්‍ය කර්‍මයක් විය නොහැක. බුදුන් රහතුන් නොවූ නිසා.

වේවැල් කැටිය හා හෝපිටිගමුව ලිපිවල ද මෙබඳු නීති පනවා ඇත්තේය.

පෝය නිවාඩුව

සාමාන්‍යයෙන් පෝය දා වැඩ කිරීමත් වෙළහෙළඳාම් කිරීමත් අත්හැර තිබුණේය. එය නිවාඩු දිනයකි. පෝය දින වෙළඳාම් කිරීම නිසා දඩයක් ගැසීමට නියම කළ හැටියක් ‘බදුලු ලිපියේ’ සඳහන් වෙයි. මෙයම හෝපිටිගමු ලිපිය නමින් ද හඳුන්වති.

‘තිඹිරි වැව’ ලිපියේ ද මෙබඳුම සිද්ධියක් සඳහන් වේ.

‘තිරැකොට් ගත් දඩ් රද් කොලට් නො ගෙනැ පිරිවෙනට් දෙනු ඉස’

තිරකොට ගත් දඩ රජගෙට නොගෙන පිරිවෙනට දෙනු යන අදහස ඒ වැකියෙන් කියැවෙයි. රජයේ සේවය නියම දින වකවානු ඇතිව කළ බව ඉතා පැහැදිලියි. රජගෙදර නිලධාරීන් රාජකාර්‍ය්‍යයට ගිය වකවානු ලිපිවලම සඳහන් කොට තිබේ. පෝය දා කිසිම රාජකාර්‍ය්‍යයක් සඳහා ගිය බවක් නම් නොපෙනේ. ආගමික කටයුතු කිරීම සඳහා පෝය වෙන් කොටගෙන තිබුණේය. ඉතා මෑත යුගයේ 15 වැනි සියවසින් පසුව ආරාමවල කටයුතු රාජකාරි පෝයදාම කළ බවක් නම් පෙනේ.

අද පෝය දින සම්පූර්‍ණ නිවාඩු නො වුවද එදා ඒවා රජයේ නිවාඩු දින මෙන් සලකන්නට ඇතැයි සිතේ. පුදුමයකට මෙන් රජයේ නිලධාරීහු සෙල්ලිපි සිටුවීමට ගොස් ඇත්තේ 10 වැනිදාය. ලිපි සිය ගණනකම ‘දසපක් දවස්’ යන්න දක්නා ලැබේ. පෝයට වෙළෙඳාම් කිරීම අත්හැර තිබුණු බවත් යමකු වෙළෙඳාම් කළොත් දඩයක් නියම කළ බවත් ඉහත සඳහන් වේ.

එදා ගණන් ගත්තේ චන්ද්‍ර මාස ක්‍රමය නිසාත් දැන් මෙන් දිනදර්‍ශන නොතිබුණ නිසාත් පෝය දවස් නිවාඩු දින ලෙස ගැනීම පහසුය. එදා පාලනයේ ක්‍රමික බව මෙයින් ද වැටහෙයි. එදවස අල්ලස් ගැනීම සම්පූර්‍ණයෙන්ම තහනම් කොට තිබුණි.

මේ නීතිය බලපා ඇත්තේ රාජ සේවකයන්ට පමණක් නොවේ. විහාර ගම්වල සේවකයන්ට හා නිලධාරීන්ට ද අල්ලස් ගැනීම තහනම් කොට තිබේ. හෝපිටිගමු ලිපිය පිහිටුවීමට හේතුව වූයේ ද පෙර රජ කෙනකු කළ ව්‍යවස්ථා ඉක්ම දඩ ගැනීමත්, නොසිරිත් පඬුරු ගැනීමත්ය. මේ නොසිරිත් පඬුරුනම් අල්ලසයි. ‘කළ වෑවස්ථා ඉක්මැ අන්නෑයෙන් දඩ ගත්හ. නොසිරිත් පඬුරු ගත්හ’ යන වැකිය එකී ලිපියේ දක්නා ලැබේ. මේ නොසිරිත් පඬුරු ගැනීම නොකළ යුතු බව එහිම සඳහන් තවත් වැකියකින් හොඳටම තහවුරු වෙයි. මෙන්න ඒ වැකියත් ‘ගමට ආ රදොලන් රහමස් දී ගිතෙල් නොගන්නා ඉසා’ මෙහි රදොලන් නමින් දැක්වෙන්නේ රජගෙදර නිලධාරීහුය. මේ අදහස දැක්වෙන පාඨ තවත් ලිපිවල ද ඇත්තේය.

විහාරගම්වල සේවකයන් කෙරෙහි ද මේ නීතිය බලපා ඇත්තේය.

iv වැනි මිහිඳුගේ මිහින්තලා ලිපි පාඨයක් ඒ සඳහා උදාහරණයක් කොට දක්වමු.

‘වෙහෙරට් කැමින් ගිය කැමියන් හස්කරුවන් දෙන පෙර සිරිත් බිලි සාල් මුත් රටින් වැටුම් නොගත යුතු කුඩින්ගෙන් පඬුරු නොගත යුතු’

විහාරයේ කටයුත්තක් සඳහා ගිය රාජකාරි කාරයන් විසින් ගොවියන් පෙර පැවැති පිළිවෙළ අනුව දෙන බිලිහාල් (විහාර පංගුව) හැර රටින් පඩි නොගත යුතුයි යනු ඒ වැකියේ සාමාන්‍ය අදහසයි. අල්ලස් ගැනීම වැළැක්වීම පිණිස එදා ගත් උත්සාහය මෙයින් වටහා ගත හැකියි.

වෙළෙඳ නීති රීති

සර්‍වසම්පූර්‍ණ සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තියක් රටේ පැවැති බව හෝපිටිගමු ගල්ලිපිය බලන ඕනෑම කෙනකුට පෙනී යයි. මේ ලිපිය රැක තිබීම ඓතිහාසික තොරතුරු සොයාගන්නන්ගේ භාග්‍යයකි. බටහිර ජාතීන් ගල්ගුහාවල කාලය ගත කළ යුතයේ සිංහලයා ගතකළ ප්‍රෞඪ ජීවිතයේ විවිධ අවස්ථාවන් ගැන තොරතුරු අපේ පැරණි සෙල්ලිපි ගොලු බසින් කියන්නාක් වැනිය.

ලෝකයේ කවර සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තියකට වුවද නොදෙවෙනි වෙළෙඳ ප්‍රතිපත්තියක් මේ රටේ එදා පැවැත්තේය.

වෙළෙඳාම ක්‍රමවත් කිරීමටත්, හොර වෙළෙඳාම් මැඩ පාරිභෝගිකයන් සැනසීමටත් නිෂ්පාදකයන්ගේ යහපත පිණිස සාධාරණ වෙළෙඳ මිලක් තැබීමටත් වෙළෙන්දාට හා කඩ හිමියාට යුතුකම් ඉටු වීමටත් වග බලාගත් අයුරු හෝපිටිගමු වෙළෙඳ පොළේ නීති රීතිවලින් පැහැදිලි වේ. පදිය යනු වෙළෙඳ පොළයි.

මේ වෙළෙඳපොළේ කලින් ද නීති රීති පැවැත්තේය. ඒවා කඩා අයුතු සහගත අන්දමින් මිලමුදල් ගත් නිසාත් පාරිභෝගිකයන්ට කරදර ඇති වූ නිසාත් මේ නීති මාලාව සකස් කළ බව එහිම පැවසේ. මේ නීති ප්‍රතිසංවිධානයට හේතුව පැරණි නීති නොසලකා හැරීමයි.

අයුතුසහගතව දඩ ගැනීමත්, අල්ලස් ගැනීමත් දෙක මේ නීති පැනවීමෙහිලා ප්‍රධාන හේතුවක් වී ඇත.

‘මේ හෝපිටිගමු පදිලත් කෙනකුන් ගැත්තන්… පෙර සිරිත් දඩගනුන් මිස’ යන වැකියෙන් ඉතා වැදගත් කරුණක් මතුවෙයි. මේ වෙළඳපොළ වරින්වර බදු දෙන බව සිතීමට එය ඉඩ තිබේ. නින්දගමක් වශයෙන් ලැබුණා නම් ‘පදිලත් කෙනකුන්’ යැයි නොයෙදේ. එය වරින් වර බදු දුන් තැනක් විය හැක. මේ අද පවත්වන ඉරිදා පොළවල් වැනි වෙළඳ මධ්‍යස්ථානයකි. මෙහි ප්‍රධානම නීතිය නම් ‘පෙර පටන් සම්මත දඩයක් ගත යුතුය’ යනුයි. දඩයක් ගැනීමට තරම් කරුණක් ඇති වූ විට එය විසඳිය යුතු අය ගැන ද මෙහි සඳහන් කොට තිබේ. ඔවුන් විසින් නියම කරන ප්‍රමාණය අනුව දඩ ගත යුතුය. ‘ගම් වටා ගෙනැ දඩ නො එල්වනු ඉසා’ යනුත් එහිම සඳහන් පාඨයකි. මෙය ඉතා වැදගති. නුවර යුගයේදී වැළැක්මේ ලෑම නමින් පැවැති දඬුවම මෙහි ගෙතිරැගෙන යනුවෙන් පැවැත්තේය. දඩ නුදුන් අයගෙන් දඩ ලබා ගැනීම සඳහා ගම වටකොට ගෙයි සිරකොට දඩ නො ඉල්විය යුතු වග ඉන් පැවසේ.

ගම යන පදය වැඩිපුර යෙදුණේ ඉඩම් කඩම් යන අදහස දීමටයි. මෙයින් තේරුම් යන්නේ ගෙයි හිරකොට දඩ ලබැ ගැනීම එදා පැවැති බවයි.

සමහර අවස්ථාවල දඩ දිය යුතු ස්වාමියා පමණක් නොව ඔහුගේ දූදරුවන් ද වැළැක්වීමේ ලෑමක් තිබුණ බව තවත් මේ ලිපියක අනික් වගන්තිය කියයි. එහි සඳහන් වන්නේ අඹු දරුවන් වැළැක්මේ නොලෑ යුතු බවයි. එසේ නොකළ යුතු යයි තීරණය කළ බව මින් පෙනේ. ඉහත සඳහන් ලිපියේ වැදගත් තවත් වගන්තියක් ඇත. එහි අදහස ගමට පැමිණි රජගෙදර නිලධාරීන් රා මස් දී ගිතෙල් නොගත යුතුය යනුයි.

රටේ පැවැති අල්ලස් මැඩීමට මේ නීතිය බෙහෙවින් උපකාර වන්නට ඇති.

‘සොර වෙළඳාම් නොකළයුතුය’ යනු ද තවත් නීතියකි. ඒ සඳහා ලිපියේ සඳහන් පාඨ අපි නොදක්වමු. කියවන්නාට එයින් අනවශ්‍ය වෙහෙසක් ඇතිවිය හැකියි. පෝයදා වෙළෙඳාම් කළ යුතු තැනැත්තන්ගෙන් වෑ පුදට තෙල් පද්දක්/ මනාවක් ගත යුතුය. එයින් මියුගණු මහා විහාරයේ පහන් පූජා කළ යුතුය. එසේ නොලැබුණකුගෙන් පෙර සම්මත පරිදි දඩ ගත යුතුය. එහෙත් ‘බඩු රැගෙන ගමට පැමිණි ඒ අයගේ ගෝනි හෝ ගොනුන් හෝ නොගත යුතුය’ ඒ අදහස ‘බඩු ගෙන හම්වන් ගෝණ ගොන් නො ගන්නා ඉසා’ යන වැකියෙන් ප්‍රකාශ වෙයි. මේ වෙළඳපොළ භාරකාරයන් අපරාධයක් කරන බව රජුට කියා මේ නීති සකස් කරන්නට ඇත්තේ තහනම් දේ එදා වෙළඳපොළ භාර සේවකයන් කළ නිසා විය යුතුය. දඩ නුදුන් විට ගෝණිත් ගොනුනුත් උදුරා ගන්නට ඇති. එහි බරපතළ වරදකි. එදා එසේ වුවද අද නම් තහනම් ද්‍රව්‍ය ගෙනයන රථත් රාජසන්තක කරන තැනුත් ඇත්තේය. ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා අවශ්‍ය ගෝණිත් ගොනුනුත් තහනමට ගන්නට ඉඩ නුදුන්නේ භාණ්ඩ බෙදාහැරීම සම්බන්ධයෙන් ඒවායේ ඇති වැදගත්කම තේරුම් ගෙන සිටි නිසායි.

මේ ලිපියේ ප්‍රධාන කරුණු පමණක් මෙහි දක්වමු. මීළඟට වෙළෙඳ නීති කීපයක් සඳහන් වේ.

  1. ‘කඩ පොළට ගෙන එය බඩු පෙර මඟට ගොස් නොගත යුතුය.’

වෙළෙඳාම ගැන සලකන විට මෙහි ඇති වැදගත්කම ඉතා විශාලය. අදත් පොළවල මේ වරදම කරන්නෝ සිටිති. පොළට බඩු ගේන්නට පෙර, පෙරමඟට ගොස් රැක සිට අඩු මිලට බඩු ලබාගැනීම කපටි වෙළෙන්දන්ගේ සිරිතයි. මේ නිසා නිපදවන්නාට ප්‍රමාණවත් මුදලක් නොලැබී යයි. පාරිභෝගිකයාට වැඩි මුදලක් ගෙවන්නට සිදුවෙයි. වෙළෙන්දා විශාල ලාභයක් ලබාගනියි. වෙළඳපොළට ලැබිය යුතු අයබද්ද නැතිව යයි.

මේ නීතිය අද වුව ද පැනවිය යුතු තරම් වැදගත්ය. මේ අක්‍රමිකතාවය අදත් මේ රටේ ඇත. හොර සේරු භාවිතය වැළැක්වීම සඳහා ද නීතියක් පනවා ඇත්තේය. ඒ මෙසේය.

  1. ‘ගණ ලහස්සෙන් මිසෑ සෙසු ලහසියෙන් නොමනනු’

සම්මත ලාසුවෙන් මිස වෙන එකකින් නොමැනිය යුතුය. එදා සම්මත සේරු ක්‍රමයක් තිබුණේය. හොර සේරු ක්‍රමයක් ද තිබුණේය. හොර සේරු ක්‍රමය එදා මෙන්ම අද ද පවතියි. මෙය තවම ලෝකයෙන් තුරන් කළ නොහැකි වූ වරදකි. මෙය බුද්ධ කාලයේ ද පැවැති බව පාලි සාහිත්‍යයේ ද සඳහන් වී ඇත්තේය. හොර වෙළෙඳාම මැඩීම සඳහා යෙදූ ක්‍රමය අද ද භාවිතා වෙයි.

  1. ‘වෙළෙඳ පොළේදී වික්ක බඩුවලට මිස නොවිකිණි ගෙනයන බඩුවලින් ගාස්තු අය නොකළ යුතුය’ යනුත් තව නීතියකි. මෙයින් නිෂ්පාදකයාට යහපතක් සැලසේ. එදා වෙළඳපොළට බඩු ගෙනාවේ නිපදවන්නාමයි. මැදින් සිටින තැරැව්කාරයා නොවේ. විකුණන්නට බැරි වූ බඩුවලට ගෙවන්නට සිදුවුවහොත් එය ලොකු බරකි.
  2. ‘නිලධාරීන්ට නොපෙන්වා විකුණු බඩුවලට බඩු හිමියා කියන ප්‍රමාණයක් අය කළ යුතුය. කරදර නොකළ යුතුය’ යනු මේ සමගම ඇති අනික් නීතියයි. බඩු ප්‍රමාණය නොපෙන්නුව ද විකුණූ පසු කරදර නොකළ යුතුයි.
  3. ‘හොර තරාදි හොර පඩි භාවිතය වැළැක්වීම සඳහා ද නීතියක් පනවා ඇත්තේය. ‘නොපැළ මදිටියෙන් නොකිරණු’ යනු ඒ වැකියයි. මෙයින් හැඟෙන්නේ පඩි සීල් තබන සිරිත පැවැති බවයි.
  4. බඩු තබා විකිණිය යුතු තැන් ද නියම කොට තිබුණේය. නුසුදුසු තැන්වල තබාගෙන නොවිකිණිය යුතුය යනුත් නීතියකි. වෙළෙඳාම නොකළ යුතු තැනක සිට බඩු කිරීම ද නොකළ යුතුය. මෙයින් හැඟී යන්නේ කිරන බඩු එක ස්ථානයකත් මනින බඩු තව තැනකත් ක්‍රමිකව තබා වෙළෙඳාම් කළ බවයි. මේ ක්‍රමය නිසා පාලන පහසුවත් ක්‍රමානුකූල බවත් ඇතිවෙයි.

7.‘වෙළෙන්දන් මිස සෙස්සන් බඩු කිරීම් ආදිය නොකළ යුතුයි’ සම්මත කොට තිබේ. බුලත්, පුවක් විකිණීම සඳහා මැසි ගසා තිබුණි. ‘බුලත්, පුවක් මඬපයෙ තබා විකුණනු’ යනු එහිම එන වගන්තියයි. නුසුදුසු තැනක තබා විකුණනවා නම් රජයේ නිලධාරීන් යවා ඒ වරද කරන්නවුන් අල්වා ගත යුතුය.

මේ හැර තව වෙනත් නීති වගයක් ද මෙහි ඇතුළත් කොට ඇත්තේය. එයින් සමහරක් මතු විස්තර වෙයි.

ගමේ ගම්වැසියන්ගේ වියවුල් හබ රජගෙදර නිලධාරීන් විසින් වැළැක්විය යුතුය. දඬු මුගුරුවලින් පහර නොදිය යුතුය. පොලිසියේ නිලධාරීන් වරද කළවුන්ට අසුවූ තැනැදීම තළා පෙළා ඇටකටු කැඩීම අපේ රටේ එතරම් පුදුම ආරංචියක් නොවේ. එබඳු දෙයක් නොකළ යුතුය යනු අද සියලුදෙනාම පිළිගත් කරුණකි. මේ නීතිය එදාත් පනවා තිබීමෙන් පෙනී යන්නේ රජවරු කොපමණ සාධාරණ අන්දමින් ක්‍රියා කළාහු ද යන්නයි. නිලධාරීන්ගේ අනවශ්‍ය තාඩන පීඩනවලට රටවැසියා ගොදුරු වන්නට ඉඩ හැරීම දක්ෂ පාලකයකුගේ සිරිත නොවේ. ක්‍රමය ද නොවේ. රජයේ සේවකයන් හා නිලධාරීන් ලවා රටවැසියන්ට හිරිහැර කරවීම දුෂ්ට පාලකයන්ගේ සිරිතයි. එය ඒකාධිපති දරදඬුකමේ ලක්ෂණයකි. පැරණි පාලකයන් අතර එවැන්නන් සිටියේ කලාතුරකිනි. මේ හැර සතුන් මැරීම සම්පූර්ණයෙන්ම තහනම් කොට පැනවූ නීති ද ඇත්තේය.

දඬුවම්

පැරණි දෙතිස් වද ක්‍රමයක් පැවැති බව පොතපතේ සඳහන් වී ඇත්තේය. විශේෂයෙන් එය අංගුත්තර නිකායේ ඇතුළත් වී තිබේ. මේ වද සියල්ල ලංකාවේ තිබෙන්නට ඇතැයි බොහෝදෙනා සිතති. එහෙත් සෙල්ලිපිවල ඇත්තේ එයින් ඉතා ටිකකි.

නුවර යුගයේ අවසන් භාගයෙහි හිතුවක්කාර අන්දමින් නායක්කාර රජවරු මිනිසුන්ට වද දුන්හ. ඒවා මේ රටේ පැවැති සාධාරණ දඬුවම් ක්‍රමයැයි පෙන්වීමට ද වෑයමක් කොට තිබේ. ඇහැළෙපොල කුමාරිහාමි ලවා දරුවකු කෙටවීම එයින් ප්‍රධාන එකකි. එය සිංහල නීතිය යැයි කියා ඇතත් එබන්දක් ගැන සඳහන් වූ කිසි තැනක් නුදුටුවෙමු. ඒ දරුවන් කෙටවීමත්, ධාතුසේන රජුන් බිත්තියට තබා මැටි ගැසීමත්, රටේ සම්මත දඬුවම් ක්‍රමයක් අනුව කළ එකක් නොව හිතුවක්කාර ලෙස වද දීමකැයි සිතීමට ඉඩ තිබේ. සෙල්ලිපිවල සඳහන් වී ඇත්තේ මෙහි පහත දැක්වෙන දඬුවම් ක්‍රම පමණකි. ඒවායේ සඳහන් වී නොතිබුණු පමණකින් වෙන මොනම දඬුවම් ක්‍රමයක්වත් පැරණි මේ රටේ නොපැවැත්තේ යැයි කිව නොහැක.

  1. මැරීම (වේවැල් කැටිය)
  2. අතපය කැපීම (වේවැල් කැටිය)
  3. හංවඩු ගැසීම (වේවැල් කැටිය)
  4. රත් කළ යකඩ පාවහන් මත නැංවීම (වේවැල් කැටිය)
  5. පිටුවහල් කරවීම (වේවැල් කැටිය)
  6. ඉඩකඩම් රාජසන්තක කිරීම (දැදිගම් ලිපිය)
  7. දඩමුඩ ගැසීම (හෝපිටිගමු ලිපිය)
  8. දඬුවම් වශයෙන් නොමිලයේ වැඩ ගැනීම
  9. සේවයෙන් පහ කිරීම (අභයගිරි ලිපිය)
  10. වැළැක්මේ ලෑම (බදුලු ලිපිය)

ඒ ඒ තැන සඳහන් කරුණු එක්රැස් කොට ගත්විට මේ නිගමනයට බැසගන්නට හැකි විය. දැනට අපට කියවන්නට ලැබුණු ලිපිවල ඇත්තේ මේ දඬුවම් පමණකි. වෙළෙඳ නීති ගැන හෝපිටිගමු ලිපිය මෙන්ම දඬුවම් ගැන වේවැල් කැටිය ලිපිය ඉතා ප්‍රසිද්ධය. පාලනය පිළිබඳ ඉතා වැදගත් කරුණු ද ඇත්තේය.

මිනීමැරූ අය මරණයට යටත් කිරීම කවදත් පැවැති සිරිත යයි සිතමු. සොරකම් කිරීම ද මරණීය දඬුවම ලැබීමට තරම් බරපතළ වරදක් හැටියට සමහර කාලවලදී සලකන ලදී. මෙය ලෝකයේ නොයෙක් රටවලට සාධාරණ ය. වෙන රටවල ද මෙය පනවා තිබුණු හෙයිනි.

මරණීය දණ්ඩනය පොදු එකක් හැටියට ලෝක සම්මතය ලබා ඇතත් සෑම රටකම එය සිදුකරන ක්‍රමය ඒකාකාර නොවේ. රොබට් නොක්ස් මෙහි සිරකරුවකු ලෙස සිටි අවධියේ වරදකරුවන් උල තැබීමත්, හිටුවා පස්ගැහීමත් පැවතුණේය. කෝට්ටේ යුගයෙන් ඈත ඉතිහාසයෙහි මරණීය දඬුවම දුන් ක්‍රම කීපයක් තිබෙන්නට ඇත. කන්දකින් පහළට පෙරළීම ද එයින් එකකි. මේවා ගැන විස්තර සාහිත්‍ය පොත්වල ඇතත් සෙල්ලිපිවල නැත.

වේවැල්කැටියේ ලිපියේ මරණීය දඬුවම දිය යුතු බව කියා ඇතත් එය කරන පිළිවෙළ සඳහන් නොවේ. කෙනකු මැරීමේ හෝ මැරීම පිණිස අණ කිරීමේ බලය මණ්ඩලවලට ද පවරා තිබුණි. මිනී මරුවකු හෝ මංකොල්ල කෑ කෙනකු හෝ අල්වා මැරීමට හෝ පිටුවහල් කිරීමට හෝ වෙන ශාරීරික දඬුවමක් දීමට හෝ සම්පූර්ණ බලය දසගම් ඇත්තන් සතුවිය. එය වේවැල් කැටිය ලිපියේ දක්නා ලැබෙන මේ වැකිය අනුව තීරණය කළ හැකි විය.

‘කිහිවෙක මරා කෙ/ටුව/ කඩපලා සොරකම් කළ තිරැකොට් ගෙන දසගම් ඇත්තන් හින්ද විචාරා උපන් දැයට් පෑ හැකිසෙ ලියා තබා මැරුවෙහු මරා පට් වනු කොට් ඉසා’

දසගම්වල ප්‍රධානයන් එකතු වී මිනීමරුවාට මරණ දඬුවම දිය යුතු නම් එසේ කළ යුතුය. එහෙත් ප්‍රශ්නයක් මතුවුවහොත් දැක්විය හැකි පරිද්දෙන් ලියා තබා එසේ කළ යුතුය. එහි තේරුම නම් නඩුවේ වාර්තා පිරිසිදුව තැබිය යුතු බවයි. සොරකම් කළ කෙනකු නම් නඩුව අසා නියම කරන ප්‍රමාණයක් සොරුන්ගෙන් අයිතිකරුට දී සොරා ඒ ගමින් එළවීමට හෝ බලය තිබේ.

මේ ක්‍රමය නිසා ගම්වාසීහු මිනීමරුවා සඟවා ගැනීමට උත්සාහ නොකරති. කෙසේ හෝ ඔහු අල්වා දීමට තැත් කරති. අද අපේ රටේ ප්‍රසිද්ධ අපරාධකාරයෝ සිය ගණනක් සැඟවී සිටිති. අපරාධකාරයන්ට මහජනයා අනුබල දෙන නිසා ඔවුන්ට පහසුවෙන් සැඟවී සිටිය හැක. පැරණි පැවැති ක්‍රමය වැනි පිළිවෙළක් අනුගමනය කළ හොත් අද වුව ද අපරාධකාරයන් අල්වා ගැනීම පහසු වෙයි.

නොමරා තුවාල කළ කෙනකු වුවහොත් ඔහු අල්වා ජීවිත මිල වශයෙන් රත්‍රං පනස් කළඳක් දඩ ගැසිය යුතුය. (අයකර ගත යුතුය) ඒ අපරාධකරුවා අල්වා ගැනීමට අපොහොසත් වුවහොත් රත්‍රං කලං 50ක් රාජ භාණ්ඩාගාරයට දිය යුතුය.

‘නොමරා කෙටුව දිව් මිලැ පනස් කලන්‍දක් රන් ගන්නා කොට්’

යනු ඒ ලිපියේ සඳහන් එක් වැකියකි. මෙයින් හැඟෙන්නේ ජීවිත මිල රත්‍රං කලං 50ක් බවයි. මේ එදා සම්මත මිල විය යුතුය. මෙය අද ශරීර ඇපයට මඳක් සමානය. ශරීර ඇපය ආපසු ලැබෙතත් මේ රත්‍රං කලං 50 නම් ආපසු නොලැබෙයි. ඒවා දසගම් ඇත්තන් සතු වෙයි.

මරණයට පැමිණවීමත්, දඩ ගැසීමත් වෙන සුදුසු දඬුවම් දීමත් කිරීමට තරම් දසගම් ඇත්තන්ට බලය පවරා දී ඇත්තේය.

මිනීමැරුමට අනුබල දීම.

අද නම් මිනීමැරුමකට අනුබල දීම මරණීය දඬුවම ලැබීමට තරම් බරපතළ වරදකි. බෞද්ධ විනය ග්‍රන්ථවල සඳහන් වන්නේ ද මිනීමැරීම තරම් එය බරපතළ බවයි. එහෙත් මේ ලිපියේ සඳහන් ක්‍රමය අනුව තීරණය කළ හැක්කේ එය මරණීය තුවාල කිරීම තරම් බරපතළ එකක් බවයි. වෙන වචනවලින් කියනවා නම් මිනීමැරුමට අනුබල දෙන්නා මිනීමරුවකු ලෙස නොසලකයි. ඔහුට රත්‍රං කලං 50ක් දඩ ගැසිය හැකියි. එය සඳහන් කොට තිබෙන්නේ මෙසේය.

‘අත් පා වහලට් ගියාකුගෙන් දඩ් පනස් කලන්දක් රන් ගන්නා කොට්’

අත් පා වහලට යෑම නම් මිනී මැරුමට අනුබල දීමයි. උපකාර කිරීමයි. එබන්දෙකුට මරණීය දඬුවම දිය නොහැක. මේ එදා නීතියයි. මේ දඩය ගත නොහැකි නම් ඔහුගේ ගෙය අල්වා ගත යුතුය. එසේත් නැත්නම් අත් කැපිය යුතුය.

‘ගෙදඩ් නැත. අත් කපා පට්වනු කොට්’

ශරීර අවයව කැපීම සඳහන් වන ප්‍රධාන වගන්තිය මෙයයි. මේ අවයව කැපීමේ පුරුද්ද අපට ඉන්දියාවෙන් පුරුදු වූවක් විය යුතුය. මහනුවර යුගයේ අත පය පමණක් නොව කන් නාසා ද කැපූ බව සඳහන් වී තිබේ. රාවණගේ නැඟණිය ඉන්දියාවට ගිය අවස්ථාවේදී එබඳු දඬුවමක් දුන් බව කියති. ඇගේ කන් නාසා කපා එවූ නිසා රාවණා රාමයන්ගෙන් පලිගැනීමට පෙලඹුණේය.

බොරු කීමට දිව කැපීමත් දුටු දෙය නැතැයි කීම නිසා ඇස් ගැලවීමත් පැරණි ක්‍රමයයි. මිනීමැරීමට අත්උදව් දීම නිසා, අත් කැපීමත් ඒ ක්‍රමයම අනුගමනය කිරීමකි.

අතපය කැපීම ලංකාවේ බොහෝ කාලයක් තිස්සේ පැවැති දඬුවම් ක්‍රමයක් බව තවත් සෙල්ලිපියකින් ද පෙනී යයි. එ‘දැදිගම’ ලිපියයි. එහි සඳහන් වන්නේ අතපය නොකැපිය යුතුය කියායි. මේ ලිපිය බුවනෙකබාහු කෙනෙකුන්ගේය. මොහු ඩස වැනි පැරකුම්බාවන්ගේ පුතා විය යුතු යයි මතයකි. කෙසේ හෝ ඒ ලිපියේ අතපය නොකැපිය යුතු යැයි කියා ඇත්තේ ඇයි දැයි සෙවීම වටියි. ඒ රජුට විරුද්ධව කැරලි ගැසූ කැරලිකාරයන්ට සමාව දීම එහි අදහසයි.

‘මට එකුන් කළ අපරාධ මූලකව අර්ථ හානි අඞගහානි ජීවිත හානි නොකරනු’

යනු ඒ වැකියයි. අර්ථහානිය නම් ඉඩකඩම්, ගේ දොර, වස්තුව ගැනීමයි. ඒ පිළිබඳ කලින් විස්තරයක් කළ හෙයින් මෙහිදී යමක් කීම අවශ්‍ය නොවේ,

අඞගහානි නම් අතපය කැපීමයි. කන් නාසා කැපීමත් අඞගහානියයි. මෙහි එය පැහැදිලි කොට නැත. මැරීමත්, අතපය කැපීමත් නොකළ යුතුය. කීමෙන් තේරුම් යන්නේ එදා ඒ දඬුවම් පැවැති බවයි. පැරණි ලෝකයේ නොයෙක් රටවල මේ දඬුවම් ක්‍රමය පැවැත්තේය. ත්‍රිපිටකයේ ද මෙය සඳහන්ය.

මරණීය දඬුවම් දීමට සුදුසු තවත් වරද

10 වැනි සියවස වනවිට දකුණු ඉන්දියානු ආගම් මෙහි බලපාන්නට විය. ශිව භක්තිකයන් අතර ඒ නිසාම ගවයාට ලැබුණේ උසස් තැනකි. සෙසු සතුන්ට වඩා හරකුන් මැරීම මහා පාපයක් කොට තැකුවේ ඒ නිසයි. ඒ මතය අද දක්වාම අපේ සමාජයේ රැව් පිළිරැව් දෙමින් පවතී. අර්‍ය්‍ය සමාජයේ පැවැති මස් කෑමේ පුරුද්ද ආගම් නිසා විවිධ මුහුණුවරක් ගත්තේය. ශිවගේ වාහනය ගොනා නිසා ගවමස් කෑම පාපයක් කොට සලකන ලදී.

ගොවිතැන්බත් කර ගැනීම පිණිස ගවයාගෙන් ලැබෙන පිටිවහල සුළුපටු නොවේ. ඒ ප්‍රයෝජන ගැන සැලකූ විට සෙසු සතුන්ට වඩා හරකුන්ගේ වටිනාකම වැඩි බව පෙනී යයි.

‘මීහරකුන්, එළහරකුන් හා එළුවන් මැරීමත් මරණීය දඬුවම දීමට තරම් බරපතළ වරදක්’ වූයේ මේ නිසාය.

සතුන් මැරීම තහනම් කළ නීති පනවා ඇතත් එය මරණීය දඬුවම ලැබීමට තරම් වරදක් හැටියට සැලකූ වෙන ලිපි ලේඛන ආදියක් නොදිටුවෙමු. වේවැල් කැටියේ ලිපියේ එය මෙසේ සඳහන් කරයි. ගොවිතැන් කිරීමටත් නිපදවන භාණ්ඩ බෙදාහැරීමටත් තිබුණු අසහාය සහාය ගවයාය.

‘මිවුන් ගෙරිගොන් එළුවන් මැරූවන් මරා පට්වනු කොට් ඉසා’

මේ සතුන් මැරීමේ වරදට කෙළින්ම මරණීය දඬුවම නියම කොට ඇත්තේය. යම්කිසිවකු මේ සතුන් නොමරා සොරාගෙන යනු අසුවුවහොත් ඒ සොරුන් අල්වා කිහිල්ලේ හම්වඩු තබා යැවිය යුතු බව ද එහි සඳහන් වෙයි.

අසු නොවී පැන යන්නට උත්සාහ ගතහොත් තුවාල කිරීමට ද අවසර තිබේ. ගෙරිමස් කන්නන් රොඩී රැහැට දැමීම සමහර කාලවල සමාජ සිරිතයි. ගෙරිමස් කන්නෝත්, බෙර ගසන්නෝත් බෙරවායෝ යැයි ජාතකඅටුවා ගැටපදය කියයි. අදත් සමහර බෞද්ධයෝ ගෙරිමස් කෑම පිළිකුල් කරති. මෙයින් පෙනී යන්නේ මිනිසකුගේ ක්‍රියා දෝෂය කුලයෙන් පහත් කොට ලංකාවේ බෞද්ධයා සැලකූ බවයි.

තවත් දඬුවමක්

මේ නීති රීති කැඩීමේ වරදට දිය යුතු දඬුවම් ද මෙහි නියම කොට ඇත්තේය. වෙන කිසි ශිලාලේඛනයක මෙබඳු අණක් දුන් තැනක් අපි නොදුටුවෙමු.

“මේ නීති කැඩුවවුන් රත්කළ යකඩ පාවහන් මත සිටවනු”

යන්න මේ දඬුවමයි. ඒ සඳහා යොදා ඇත්තේ “යමරවැඩි” යන පදයයි. යකඩ මර වැඩිය රත්කොට වරදකරුවා ඒ මත නැංවිය යුතුය.

මේ නීතිය පිළිබඳ උගතුන්ගේ මතය ඒ වූ පරිදිම සඳහන් කෙළෙමු. මේ බරපතළ දඬුවම දිය යුත්තේ මෙකී නීතිය කැඩූවන්ට යැයි කියතත් අපේ අදහස එයට වඩා වෙන්සය. “අණමැකුවන්” යන පදයට දිය යුතු තේරුම “නීතිය කැඩුවන් නොව” “හණ මැකූ අය” යනුයි.

හරකුන් ඇඳින ගැනීමට හණ ගැසීම සිරිතයි. මේ හණම, අණ වීමට ඉඩ ඇත්තේය. අණ මැකීමේ වගන්තිය ඇත්තේ සෙසු නීති දක්වා අවසානයේ නොවේ. මේ වැකියට පහළින් තවත් නීති කීපයක් ඇත්තේය. ඒවානම් වැරදි සම්බන්ධ නීති නොවේ. වත් සිරිත් පිළිබඳ කොටසකි.

මේ අණ මැකුවන්ට දිය යුතු දඬුවම කියන වැකියට උඩින් ඇති වගන්තිය මෙසේය.

“බැහැරින් ඇරැ විකුණන මිවුන් ශෙරිගොන් එළුවන් හැඳිනැ ඇපගෙනැ ගන්නා කොට්”

එහි තේරුම පිටින් ගෙනවුත් විකුණන මීහරකුන්, හරකුන්, එළුවන් ඇඳින ඇපගෙන මිලයට ගත යුතුය යනුයි. හරකුන් නිකම්ම ඇඳිනගත නොහැක. ලකුණු තිබිය යුතුය. “අණ” නම් ඒ ලකුණුය.

වෙළෙඳාම් කරන්නා හැඳිනගෙන ඇපයක් ද ගෙන මිලදී ගත යුතු බව එයින් කියැවෙයි. සමහර විට හොරකම් කළ සතුන් විකිණීම වැළැක්වීමට මේ නීතිය පනවන්නට ඇති පුද්ගලයන් දැනගෙන ඇපයකුත් ගෙන තිබේ නම් හොරකම් කොට ගෙනා සතුන් නම් අල්වා ගැනීම ඉතා පහසුය. ලංකාව කෘෂිකර්මයෙන් ජීවත්වන රටක් නිසා සමාජ ජීවිතයට හරකා නැතිවම බැරි සතෙකි. හරකුන් පිළිබඳ නීති රීති දැඩි වන්නට ඇත්තේ ඒ නිසයි.

මතභේදයට හේතුවන වැකිය ද මේ සමගම යෙදී ඇත්තේය. අපේ අදහස නම් රත්කළ යකඩ සෙරෙප්පුවේ නැංවීමට නියම කර ඇත්තේ හරකුන්ගේ හැඳිනගැනීමට කළ ලකුණු මැකූවන්ය. එය හරකුන්ගේ ලකුණු මැකූවන්ට කළ දඬුවමකි.

මුලින් සඳහන් කළ නීති රීති සියල්ලම කැඩූ අයට දිය යුතු දඬුවම් එකක් එකක් පාසා ඒ ඒ තැන් නියම කොට ඇති නිසා මෙහි අමුතුවෙන් පොදු දඬුවමක් නියම කළ යුතු ද? නීති සියල්ලම දක්වා මේවා කඩන්නන්ට අසුවල් දඬුවම දිය යුතුයැයි කියතොත් එය සුදුසුය. මෙහි එවැන්නක් නොපෙනේ.

අපේ මතය තහවුරු කිරීමට ඉදිරිපත් කළ යුතුව ඇත්තේ එකම එක් කරුණක් පමණි. ඒ යුගයේ සතුන් හැඳින ගැනීමට “හණ” ගැසූ බව ඔප්පු කිරීමයි. අපි තවදුරටත් සොයමු. හරකුන් ඇඳින ගත යුතු යැයි දැක්වීමෙන් තේරුම යන්නේ ඔවුන් හැඳින ගැනීමට යම්කිසි ලකුණක් තිබුණු බවයි. මිනිසුන්ට දුන් දඬුවම් ක්‍රම සොයමු.

මේ ගම්වලට බැහැරින් කෙනකු පැමිණිය හොත් එහි වැසිය යුත්තේ ඇපයක් තැබීමෙන් පසුවයි. මෙය එහි එක් නීතියෙකි. මේ ලිපියේ පමණක් පැරණි පැවැති දඬුවම් ක්‍රමවලින් 5ක්ම සඳහන් ය.

  1. මැරීම
  2. අතපය කැපීම
  3. රත් යමර වැඩිවල නැංවීම
  4. පිටුවහල් කිරීම
  5. දඩ ගැසීම

යනු එයයි.

අපරාධ මැඩීමටත්, සාමය රැකීමටත්, අපරාධ කාරයන් අල්වා ගැනීමටත් ඉතා පහසු ක්‍රම අනුගමනය කර ඇති බව මින් තේරුම් ගත හැකියි. ප්‍රාදේශීය පාලනය ගෙනගියේ කෙසේදැයි වටහා ගැනීමට මෙය බොහෝ සෙයින් උපකාර වෙයි.

රජතුමා දී තිබුණ ඉඩකඩම් අහිමි කිරීමේ ක්‍රමයක් ද පැවැත්තේය. “දැදිගම” ලිපිය ඒ අතින් වැදගත්ය. රජුට විරුද්ධව නැගී සිට කැරැල්ලක් ගැසූ පිරිසට සමාව දීමත්, ඔවුන්ගේ ගම් බිම් අහිමි කිරීම පිණිසත්, ඒ ලිපිය කොටා ඇත්තේය.

රජ දවසේ නීතිය හා දඬුවම්

අපවත්වී වදාළ
බද්දේගම විමලවංශ අනුනාහිමි

චිත්‍රය – ප්‍රසන්න වීරක්කොඩි

උපුටා ගැන්ම ‘සෙල්ලිපි’ සමාජය (1959)

advertistmentadvertistment
advertistmentadvertistment