රටකට වී ඇති හදියක්

921

රටේ ජනගහනයෙන් මිලියන 06 ක් තදින් මතට ඇබ්බැහිවූවන් බව අනාවරණය වී තිබේ. රටේ ජනගහනය මිලියන 22 ක් ලෙස සැලකුවහොත් මෙම ප‍්‍රමාණයේ සියයට අගය 27 (27%)කි. මෙය බරපතළ තත්ත්වයක් ද නැද්ද යන්න කාගෙන්වත් අසන්නට උවමනා කාරණයක් නොවන බව දැන් ඉතා පැහැදිලි බව අපි සිතන්නෙමු.

වසර 72 ක් පුරා බලයට පත්වූ හැම රජයක්ම මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කර ධර්මිෂ්ඨ රටක්, සමාජයක් හදන්නට කතා කළත්, මතින් තොර රටක් බිහිකරන්නට කතා කළත්, අවසානයට ඉතිරිවී ඇත්තේ තිතට මත්වූ සමාජයක් බව ඉහත සංඛ්‍යාලේඛන අපට කියා සිටී. මෙහි ඇති අනෙක් බරපතළම ඛේදවාචකයක් නම්, තිතට මත්වූ මේ මිලියන 6 න් එකකටත් වඩා පිරිස කාන්තාවන් බව හඳුනාගැනීමය.

මේ ගැන කතා කරන්නේ නම් අපට කියන්නට ඇත්තේ යුරෝපීයයන් මෙරටට ගොඩබසින්නට පෙර ශ‍්‍රී ලංකාව කොහොමට තිබුණු රටක්ද කියාය. එකල කටගොන්නක් බීගත් අය වේ නම් ඒ කුලයෙන් අඩු අය බව කියනු ලැබේ. නැතහොත් ගෙරිමස් කන, මත්වතුර බොන අය රජු විසින් අඩු කුලයට දාන්නට කටයුතු කළ බවද කියනු ලැබේ. පරදේශක්කාරයින් (පෘතුගීසීන්) මෙරටට ගොඩ බැස, පාන් කකා… වයින් බොනු දුටු කෝට්ටේ වැසියන් එදා හිතුවේ මොවුන් ලේ බිබී තිරිවාණා ගල් අනුභව කරන මහා භයානක ජාතියක් බවය. එදා රා හැරෙන්නට වයින්, විස්කි, බ‍්‍රැන්ඩි පිළිබඳව මෙලෝ හසරක් නොදැන සිටි සිංහලයා අවසානයේ එංගලන්ත ජාතික පර සුද්දන් මෙරට හැර යනවිට පදමට මත්වී, කුළල් කා ගන්නා ජාතියක් බවට පත්වී තිබිණි. කොටින්ම සිංහලේ අන්තිම රජු වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඇහැලේපොළ සමග ඇතිකරගත් කෝන්තරයට ඔහුගේ දරුවන් හා කුමාරිහාමි අමානුෂිකව මරා දැම්මේ බීමතින් පිස්සු කෙළිමින් බව කියනු ලැබේ.

සිංහලේ අන්තිම රජු බීමතින් පිස්සු කෙළියේ යැයි කියා තවත් කාට හෝ මත්වෙන්නට එය ආදර්ශයක් කරගන්නට නොහැකිය. නමුත් ඇත්ත නම්, සුද්දා මේ රට හැර ගියේ බොහෝ හොඳ මෙන්ම මෙරටේ මිනිස්සු හොඳටම බීමතට ඇද දමා වීමය. පිටරටින් ආනයනය කළ ජාතීන්ට හදා දුන් රේන්ද පොළවල් මෙන්ම රා තැබෑරුම් මේ බවට දෙස් දෙයි.

ඒ කෙසේ වෙතත් ශ‍්‍රී ලාංකිකයින් හොඳටම මත්වෙන ජාතියක් බව දැන් ඉතින් ප‍්‍රසිද්ධ කාරණයකි. එය අපවාදයක් මිස හොඳ නමක් නම් නොවේ යයි අපි අපිම තක්සේරු කරගත යුතු වෙමු. ගැහැනු දරුවකුගේ කොටහළු මඟුලේ සිට කසාද මඟුල, දරුවන්ගේ උපන් දින සාදය, තමන්ගේ උපන්දින සාදය පමණක් නොව අද අම්මා, තාත්තා මළත් මළගෙදරක යන්නේත් බොන්නට බලාගෙනය.

මෙහෙමත් ජාතියක් ලොව කොහේවත් නැති බව අපගේ හැඟීමයි. රට පුරා මෙතරම් බාර්, වයින් ස්ටෝර්ස් ඇති රටක් තවත් කොහේවත් නැති බව අපගේ විශ්වාසයයි. නමුත් හැබෑව නම්, මිලියන 6 ක් වන තදින් මතට ඇබ්බැහි වූවන්ගෙන් වැඩි හරිය අරක්කු, සිගරට් පමණක් බීමට ඇබ්බැහි වූවන් නොවන බවය. මේ අතර අබිං, හෙරොයින්, කංසා, අයිස්, මත් පෙති වර්ග යනාදී නොයෙකුත් ආකාරයේ විස හා භයානක මත්ද්‍රව්‍ය භාවිත කරන්නෝ සිටිති.

වසරක් පාසා ටොන් ගණන් අයිස්, හෙරොයින්, කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍ය රට වටෙන් හුවමාරු වීම නිසා ලංකාව මත්ද්‍රව්‍ය තිප්පළක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. නමුත් වැදගත් වන්නේ මේ භයානක රැුල්ලෙන් රටේ ජනතාව ආරක්ෂා කරගන්නේ කෙසේද යන්නය. සිංහල, බෞද්ධ රාජ්‍යයක් යැයි පුච්චානම් කිය කියා සිටියත් රට ඇත්තේ දැවැන්ත ගිනි කන්දක් මත බව මතට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාලේඛන අපට කියයි.

විශේෂයෙන්ම තරුණ ජනගහනයෙන් බහුතරය හා අම්මාවරුන්ගේ භූමිකාව අද මතට යටවන්නේ නම් වහාම මේ ගැටලූව කුමක්ද යන්න සොයා බලා පිළියම් යෙදීම රටේ පාලකයින්ගේ වගකීමය.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා කියන පරිදි, වහාම මතට ඇබ්බැහි වූ කාන්තාවන්ගේ සුබසාධනය (පුනරුත්ථාපනය) වෙනුවෙන් මධ්‍යස්ථානයක් ඉදිරි සති කිහිපය තුළ ඇරඹීමට අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් ලැබී ඇත. එසේම තවත් 8000 ක් දෙනා පියවර තුනකින් පුනරුත්ථාපන සඳහා වහා ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

ප‍්‍රශ්නය නම්, පුනරුත්ථාපනය සේම, මත්ද්‍රව්‍යවලට සමාජය ඇබ්බැහිවීම වළක්වා ගලවාගැනීමේ මෙහෙයුම ද ඒ අතර ක‍්‍රියාත්මක විය යුතු බවය. එනමුත් මත්ද්‍රව්‍ය පාලනයට සිටින මත්ද්‍රව්‍ය නාශක පොලිසිය (නාකොටික්ස්) පවා මත් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පසුගිය කාලයේ පත්වීම සහ කොළඹ නගරයේ 28 දෙනකු ඇතුළු බස්නාහිර පළාතේ සක‍්‍රීය රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් 37 දෙනකු තදින් කුඩුවලට ඇබ්බැහි වී සිටින්නන් බවට හඳුනාගැනීම අපට ඉඟි කරන්නේ මහා භයානක ඛේදවාචකයක් නොවන්නේද?

advertistmentadvertistment