රටක් බලා ඉන්න ව්‍යවස්ථාවට ආපු සංශෝධන…

106

ව්‍යවස්ථා දායක සභාවේ සංයුතිය

22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් පිහිටුවීමට අපේක්ෂිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය තරමක වෙනස් ස්වභාවයක් පෙන්නුම් කරයි. එනම් එහි සංයුතියට අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායක වරයා ඇතුළත් ය. තවද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වේ. එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය එකඟතාව මත නාම යෝජනා කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද, විරුද්ධ පක්ෂයේ නායක වරයා අයත් වන දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ එකඟතාව මත නාමයෝජනා කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේ. තවද අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂ නායකවරයා විමසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරය එකඟතාව මත කථානායකවරයා විසින් නාමයෝජනා කරනු ලබන තැනැත්තෙක් ද පත්කළ යුතුය. එකී සියලු පත් කිරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. තවද ආණ්ඩුව සහ විරුද්ධ පක්ෂ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයකට අයත් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත නාමයෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතුවේ.

ව්‍යවස්ථා දායක සභාවේ සංයුතිය 19 න් පිහිටුවා ලූ ව්‍යවස්ථා දායක සභාවේ සංයුතියට වඩා වෙනස් වන්නේ වෙනස් ද?

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් තෝරා පත් කරලීමේ බලය අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකයාවරයා වෙත ලබාදී තිබුණි. මෙහිදී පැන නැගුණු ප්‍රධානතම අර්බුදය වූයේ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එකී මන්ත්‍රීවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් යම් අවස්ථාවකදී එකඟතාවයක් ඇති නොවන විටක දී කුමක් සිදු කළ යුතුද යන්න පිළිබඳව පැවැති ගැටලුවයි. මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා’ සංශෝධනයේදී එම තත්ත්වය මඟහරවා ගැනීමට ක්‍රියා කර ඇත. එනම් ප්‍රධාන පක්ෂය, විපක්ෂය සහ කුඩා පක්ෂවල මන්ත්‍රීවරු පත් කිරීමේ බලය ඒ ඒ පක්ෂ වෙත ලබාදී ඇත. මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ අදහස් විමසීමක් අවශ්‍ය නොවේ. එම ක්‍රියාවලිය මුළුමනින්ම සිදුවන්නේකථානායකවරයාගේ අධීක්ෂණය යටතේ ය.

මහ බැංකු අධිපතිවරයාගේ පත්කිරීම.

දේශපාලන හිතවත්කම් මත මෙම තනතුරු සඳහා පත් කරනු ලැබූ විට එම තනතුරේ ක්‍රියාත්මක වීමේ දී මහ බැංකු අධිපතිවරයාට දේශපාලන වශයෙන් සිදුවුණ ඇඟිලි ගැසීම් ද බොහෝය. එනම් ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නොමැත. රටක මූල්‍ය විනය රටේ සංවර්ධනයට ඉමහත් ලෙස හේතු වන්නකි. එබැවින් මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් යම්කිසි විනිවිදභාවයක් පැවතිය යුතු බවට සමාජය තුළ පුළුල් කතිකාවතක් නිර්මාණය වී පැවතුණි. ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී මහ බැංකු අධිපතිවරයා පත්කිරීමට අදාළ ක්‍රියාවලිය පුළුල් වෙනස්කමකට භාජන වී ඇත. එනම් මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කළද ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගැනීමට සිදුවෙයි. එම තත්ත්වය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ පැවැතියේ නැත. එබැවින් මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ මහබැංකු අධිපතිවරයා ජනාධිපතිවරයා පත් කළ ද එසේ පත් කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්වය. මෙවන් වටපිටාවක් තුළ මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයාට හිතුමතේ පත් කිරීමට නොහැකි වනු ඇත. එමගින් සිය දේශපාලන හෙන්චයියන් පත් කර ගැනීමටද නොහැකි වනු ඇත. එය මෙරට මූල්‍ය කළමනාකරණය සහ විනයට ප්‍රබල ලෙස බලපෑ හැකි ආකාරයේ සාධනීය යෝජනාවකි.

මූල්‍ය මණ්ඩලය පත්වීම.

ඇතැම් සිවිල් සංවිධාන දක්වා සිටිනුයේ මහ බැංකු අධිපතිවරයා පමණක් නොව රටේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ද ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව පත් කළ යුතු බව ය. නමුදු අධිකරණ අමාත්‍යවරයා නම් දක්වා සිටින්නේ එය එසේ සිදු කිරීම අවශ්‍ය නොවන බව ය. මන්ද යත් 2002 මූල්‍ය පනත සංශෝධනය කිරීමේ දී මේ පිළිබඳව දැනටමත් අන්තර්ගතව පවතින බැවින් මූල්‍ය මණ්ඩලය පත්කිරීම සඳහා නැවතත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අවශ්‍ය වන බවට දැක්වීම අවශ්‍ය නොවන බවය. එබැවින් මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීමේදී ද දැනටමත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියක් ලබා ගැනීම සිදුවේ.

19 න් සහ 22න් ජනාධිපතිවරයා ට අමාත්‍යධූර දැරිය හැකිද?.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට අන්තර්කාලීනව අමාත්‍යාංශ 03ක් දැරීමේ බලය ලබාදී තිබිණි. එනම් ආරක්ෂක, මහවැලි හා පරිසර යන අමාත්‍යාංශය දැරීමේ බලය එමගින් පැවරුණි. නමුදු එකී ව්‍යවස්ථා සංශෝධනයේදී පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වීමෙන් පසු ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් දැරීමට හැකියාව නොලැබේ. නමුදු මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තත්ත්වය ඊට මඳක් වෙනස්ය. එනම් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශය දැරිය යුතුය. මේ පිළිබඳව අදහස් දක්වන අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ “රටක සේනාධිනායකයා වන්නේ ජනාධිපතිවරයාය. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම දක්වා ඇත. එබැවින් රටක සෙනාධිනායකවරයා විසින්ම ආරක්ෂක අමාත්‍යාංශය ද දැරිය යුතුය. මන්දයත් සේනාධිනායකයා නොවන අයකු ආරක්ෂක අමාත්‍ය ධුරය දරුවොත් එහිදී යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය විය හැකිය. ඒ සම්බන්ධයෙන් 2002 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසා කරනු ලැබූ නඩුවක දී ද පෙන්වා දී ඇති බව ඔහු වැඩිදුරටත් දැක්විය. එනම් ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍ය ධුරය දැරිය යුතු බවත් එසේ නොවුනහොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හෑල්ලුවට ලක්වන බවත් ඔහු පෙන්වා දුනි.” මෙම කරුණු පෙන්වා දීම යම්කිසි ආකාරයක සාධනීය වන බවට අපට බැලූ බැල්මටම පෙනී යන කරුණකි. කොහොමටත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම දැරිය යුත්තේ රටේ රාජ්‍ය නායකයා ඇතුළු ආණ්ඩුවය. නමුත් ගැටලුව වී ඇත්තේ ජනාධිපතිවරයාට සේනාධිනායක ධුරය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය යන දෙකම පැවැතිය දී වුවද රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට හරියාකාරව හැකියාව ලැබුණේ ද යන්නය.

පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය සොයා බැලීමෙන් බලය.

පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ලබන ඕනෑම පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය සොයාබැලීමේ අයිතිය ජනතාව සතුය. එනම් ඕනෑම පුරවැසියෙකුට යම් පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව අභියෝගයට ලක් කිරීමට හැකියාව පවතී. ඒ සඳහා ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් මත විමසුමක් ලබා ගැනීමට සිදුවෙයි. ඒ පිළිබඳව යම් පුරවැසියකු අභියෝග කරන්නේ නම් ඔහු දින 07ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කළ යුතුය. එලෙස ලබාදී ඇති එම දින 07ක කාලසීමාව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් දීර්ඝ කොට ඇත. එකී කාල සීමාව 14 ක් දක්වා වැඩි කර ඇත. මන්දයත් දින 7ක් වැනි කෙටි කාල සීමාවක් තුළ ප්‍රායෝගිකව ජනතාව වෙත පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව සොයා බැලීමට අදාළ කරුණු අධ්‍යයනය කොට ඒ පිළිබඳව නඩුව පැවරීම සඳහා වන කාල සීමාව ප්‍රමාණවත් නොවීමය. එබැවින් එකී සංශෝධනය මෙම 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉදිරිපත් කර ඇති සාධනීය පියවරකි.

දූෂණයට වැට බඳින්න හැකිවේද?

රටේ ඉදිරි ප්‍රගමනය සඳහා දූෂණ සඳහා වැට කඩුලු බැඳීම අනිවාර්ය වේ. එබැවින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ද මෙම දූෂණයන්ට එරෙහි වැරදි සම්බන්ධයෙන් මගහරවා ගැනීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගනු ලැබිණි. එබැවින් මෙම ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව දූෂණයට එරෙහිව නීති පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම අනිවාර්ය අවශ්‍යතාවකි. එබැවින් දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත අහෝසි කොට තොරතුරු සොයා ගැනීම කඩිනම් කිරීම සඳහා තාක්ෂණය ද ඇතුළත් කර නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මතුව පවතින බව අධිකරණ අමාත්‍යවරයා පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද ප්‍රකාශ කරනු ලැබිණි.

අමාත්‍යංශ ලේකම්වරුන්ට මොකද වෙන්නේ.

දැනට පවතින නීතිය අනුව අමාත්‍යවරුන් අමාත්‍යධූර දැරීම නතර වූ විට එම විෂයභාර අමාත්‍යාංශය වල ලේකම්වරුන්ගේද ධුරද අහෝසි වේ. මෙම තත්ත්වය රටේ පරිපාලන ව්‍යුහය මුළුමනින්ම ඇණ හිටිමක් සිදුවිය හැකිය. මන්දයත් ඕනෑම අමාත්‍යාංශයක දේශපාලන නායකත්වය අමාත්‍යවරයා දරනු ලැබූවද පරිපාලනමය නායකත්වය දරනු ලබන්නේ අමාත්‍යාංශයේ ලේකම්වරයාය. එබැවින් රටේ දේශපාලන ක්‍රියාවලිය නතර වුවද පරිපාලනමය ක්‍රියාවලිය නතර විය නොහැකිය.. එම දුර්වලතාව මඟ හරිමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී යම් අමාත්‍යවරයෙකු ධුර දැරීම නතර වුවද අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ කාර්යන්හි නියැළිය යුතුය. එනම් අමාත්‍යාංශය ලේකම්වරයාගේ ධුර කාලය අවසන් නොවේ.

කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම් පත් හිතුමතේ සංශෝධනයට අමාත්‍යවරුනට හැකිද.

22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ පැවති සාධනීය දේවල් ඉවත් නොකරන බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා දක්වා සිටියේය. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78(3) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් අමාත්‍යවරයකුට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන ඒමට’ පවතින අවකාශයන් සීමා කෙරිණි. එනම් අමාත්‍යවරයාට කාරක සභා අවස්ථාවේදී ඕනෑම ආකාරයකින් සංශෝධනයක් ඉදිරිපත් කිරීමට එමගින් නොහැකි විය. පහුගිය කාල සීමාවන්හිදී පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය පනත සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කළ මැදහත්වීම් බරපතළ දෝෂදර්ශනයට ලක් විය. එබැවින් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එයට යම් සීමාවක් පැනවිය. එනම් කාරක සභා අවස්ථාවේදී යම් අමාත්‍යවරයෙකු විසින් යම් සංශෝධනයක් ගෙන ඒමට හැකියාව පවතින්නේ එකී පනත් කෙටුම්පතේ මූලධර්මවලට සහ හරයට හානිදායක නොවන තත්ත්වයක් තුළදී පමණි.

ජනාධිපතිවරයාට නඩු පවරන්න පුළුවන්ද?

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ජනාධිපතිවරයාගේ මුක්තිය සම්බන්ධයෙන් වන කාරණා පිළිබඳව සීමා පැනවිණි. එනම් ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩු පැවරීමේ අයිතිය එමගින් ලබා දෙන ලදි. තවද 20 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙම විෂය ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කෙරිණි. එනම් ජනාධිපතිවරයා අමාත්‍යවරයකු වශයෙන් ගනු ලබන තීන්දු සම්බන්ධයෙන් වුවද රිට් ආඥාවක් ලබා

ගැනීමේ බලය එමගින් ලබා දුනි. එමඟින් ජනාධිපතිවරයා සතු අසීමිත විධායක බලතල යම්කිසි ආකාරයකට සංවරණ හා තුලනයකට (Check and Balances) යටත් කිරීමට එම සංශෝධනය ඉවහල් වුණි. එබැවින් මෙම 22 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයේ දී එම තත්ත්වය ඒ ආකාරයෙන්ම තබා ගැනීමට තවදුරටත් ක්‍රියා කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන් ගේ සංයුතියේ වෙනසක් නෑ.

එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කරනු ලැබීය. එනම් එතෙක් පැවති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 11 සිට 17 දක්වා ද අභියාචනාධිකරණ විනිසුරුවන් 12 සිට 20 දක්වා ද වැඩි කරනු ලැබීය. එය වඩාත් සාධනීය පියවරයකි.

නීතිඥා සංජීව එස්. බෝපෙආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment