රටක ඉරණම් කතාව වෙනුවෙන් – අදම පෙරමං තනමු

72

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස මට වෙන්කර තිබූ මූල්‍ය ප‍්‍රතිපාදනවලින් සිදුකෙරෙන ව්‍යාපෘතිවල තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය සතියේ දින දෙකක් මම වෙන්කර ගතිමි. මා උපන් ගම් ප‍්‍රදේශය වන බේරුවල ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන එම ව්‍යාපෘති නිරීක්ෂණය සඳහා ඒ මුල් දින දෙක යොදා ගත්තෙමි. මෙහිදී මා මුදල් වෙන්කළ ව්‍යාපෘතිවලින් එකක් හැර අනෙක් සියලූම ව්‍යාපෘති අධ්‍යාපනය උදෙසා වන ව්‍යාපෘතීන්ය. අධ්‍යාපනය, රටක අනාගතය උදෙසා කළ හැකි ප‍්‍රමුඛතම ආයෝජනයක් ලෙස මම කල්පනා කරන්නෙමි.

ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් ඕනෑම අභියෝගයනට මුහුණ දිය හැකි පරපුරක් ලෙසින් අපේ අනාගත පරපුර සූදානම් කර ගැන්ම අපේ සමාජයේ වගකීම වේ. වේගයෙන් ඉදිරියට යමින් සිටින ලෝකයට මුහුණ දිය හැකි අනාගත පරපුරක් නිර්මාණය කර ගැන්ම අප අපේ ප‍්‍රමුඛ අභියෝගය ලෙස සැලකිය යුතුව ඇත.

මානව සංවර්ධනය අතින් ඉහළට යා හැකි පරපුරක් නිර්මාණය කිරීමට හැකිවන ආකාරයේ අනාගතයට සරිලන අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබාදිය යුතුව ඇත. අද අප ජීවත් වන්නේ හතරවන, පස්වන කාර්මික විප්ලවයන් ගැන කතාකරන යුගයකය.

Artificial Intelligence” Robotics” Blockchange” Nano teck වැනි දෑ අප අපේ දරුවන්ට හඳුන්වාදීම සඳහා සූදානම් විය යුතුව තිබුණේ දශකයකටත් කලිනි. තව වසර දහයකට, පහළොවකට මුහුණු දිය හැකි ලෙසින් අපේ දරුවන් පොහොසත් කිරීම සඳහා දුර දැක්මකින් ඊට සරිලන ආකාරයට අපේ අධ්‍යාපන ක‍්‍රමය හැඩගැසිය යුතුව ඇත. පොතේ ගුරුන් බිහිකරන ක‍්‍රමය වෙනුවට ප‍්‍රශ්න කරමින් දැනුමින් ඉදිරියට යන පරපුරක් සඳහා නිර්මාණශීලී ප‍්‍රවේශයකට අප අප‍්‍රමාදව ප‍්‍රවේශ විය යුතුව ඇත. STEAM අධ්‍යාපන ක‍්‍රමය කුඩා කාලයේ පටන් අපේ පාසල්වල ආරම්භ විය යුතුව ඇත. දරුවන් අධ්‍යාපනය සම්පූර්ණ කර එනවිට ඔවුන් අපේ රටේ සහ ලෝකයේ අවශ්‍යතාවනට ගැළපීමක් ඇති තත්ත්වයට ගෙන ඒම සඳහා වෙනස්කම්වලට අප යා යුතුව ඇත.

එමෙන් විශ්වවිද්‍යාල පාඨමාලා සහ විශ්වවිද්‍යාල තෝරා ගැනීම්වලදී දරුවන්ගේ හැකියාවන් මෙන්ම රුචිකත්වය අනුව ඒ තේරීම් කරගැන්මේ අවකාශය සලසන වාතාවරණයකට යා හැකිනම් එයා ඉතා වැදගත්වනු ඇත. ඒ තුළින් දරුවන්ට තමන්ට රුචි සහ තම හැකියාව ඇති පාඨමාලා තෝරාගැන්මේ අවකාශය මෙන්ම ලොව අනෙක් සරසවි හා සසඳන කළ වඩාත් යාවත්කාලීන වී ඇති සහ ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළ තැනක ඇති විශ්වවිද්‍යාල සඳහා ඔවුන්ගේ ආකර්ශනය වීමත් සිදුවනු ඇත. ඒ තුළින් සිසුන් වැඩි වශයෙන් තම විශ්වවිද්‍යාලයනට ආකර්ශනය කර ගැන්මට විශ්වවිද්‍යාල අතර ඇතිවන තරගය තුළින් අධ්‍යාපනය නවීකරණය වීම සහ ගුණාත්මක බව වේගත්වත් වීම අපේක්ෂා කළ හැක. මෙවැනි ඵලදායී වෙනස්කම් සඳහා යෑමට බලපෑම් කිරීම පීඩනයන් ඇති කිරීම සමාජය තුළින් සිදුවිය යුතුව ඇත.

අද එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, මැලේසියාව, සිංගප්පූරුව මෙන්ම ඉන්දියාව වැනි රටවල් අධ්‍යාපනය අතින් ලොව කේන්ද්‍රස්ථාන ලෙසින් ඉදිරියට යෑම දකින්නට ඇත. අනවශ්‍ය දේශපාලන සටන් පාඨ සහ මිථ්‍යාවන් මැද වල්මත්වීම නිසා ඒ තත්ත්වය උදාකර ගැන්මට තිබූ අවස්ථාවන් අපේ සමාජයට මගහැරී යෑම සැබැවින්ම අවාසනාවන්ත තත්ත්වයකි.

අප නිදහස් අධ්‍යාපනයේ උරුමය ගැන කතාකරන්නෙමු. එය නිදහස් අධ්‍යාපනය ලෙස හැඳින්වුවද, තවත් අතකින් අපේ සමාජය බදු ගෙවීම් තුළින් ඒ සඳහා දායක වන බව අප අමතක නොකළ යුතුය. අධ්‍යාපනයේ වැදගත්කම අප තේරුම් ගනිමින් අපේ අතීත නායකයන් මේ බදු මුදල් භාවිතා කිරීමේදී අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතාව සළකා කටයුතු කළ අයුරු නිදහස් අධ්‍යාපනය දායාද කිරීම තුළින් තේරුම් ගත හැක. එමෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ආයෝජනයද ඔවුන් ප‍්‍රමුඛව සළකා ඇත. මෙම නිවැරදි තීන්දු තීරණ නිසා අපේ කලාපයේ අනෙක් රටවලට වඩා අපි සාක්ෂරතාව අතින් ඉහළ තැනක සිටියෙමු. එහෙත් අද යුගයේ වඩාත් වැදගත් වී ඇත්තේ පරිගණක සාක්ෂරතාවයි. මාර්ගගත අධ්‍යාපනය හේතුවෙන් අවශ්‍ය පහසුකම් නොමැතිවීම නිසා නැතිබැරි පවුල්වල දරුවන් ප‍්‍රශ්න වලට මුහුණ දී සිටීම අපි දකින්නෙමු. මේ අතර පරිගණක නොමැති දරුවන් මේ සඳහා දුරකථනය පාවිච්චි කිරීම හේතුවෙන් ඊළඟ පරපුර අක්ෂි ආබාධවලට මුහුණදීමේ අවදානම ගැන අක්ෂි විශේෂඥයන් අදහස් පළකර ඇත. මේ අයුරින් සළකන කළ අද යුගයේ අධ්‍යාපනය අපේ සමාජයේ සෑම තරාතිරකටම ගෙනයෑමේ අභියෝගය ජයගැන්ම සඳහා ඉහළ ආයෝජනයක් කළ යුතුව ඇත. එදා යුගයේ දේශපාලන නායකයන් නිදහස් අධ්‍යාපනය උදෙසා ගත් නිවැරදි, එඩිතර තීරණ තීන්දු නිසා නැතිබැරි පවුල්වල දරුවන් උපාධිධාරීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, නීතිඥවරුන් බවට පත්ව ඒම සිදුවිණ. ඊට පසු යුගයේ සිටි දේශපාලන නායකයන් නිදහස් අධ්‍යාපනය වඩාත් අර්ථවත් කරමින්, විශ්වවිද්‍යාල සිසුන්ට නැවත නොගෙවන මූල්‍ය ආධාර දෙන මහපොළ ශිෂ්‍යත්ව, නොමිලේ පෙළපොත් ලබාදීම, දිවා ආහාරය, නිළ ඇඳුම් ලබාදීම වැනි ඉදිරි පියවරට යෑම සිදුකර ඇත. එමෙන්ම නිදහස් සෞඛ්‍යය සේවය සහ ඉන්පසු ආ නායකයන් එය වඩාත් අර්ථවත් කරමින් ගත් නොයෙකුත් ඉදිරි පියවරවල් හේතුවෙන් 40 දශකයේදී වයස අවුරුදු පනහකටත් අඩුවෙන් පරමායුෂ තිබූ සමාජයක් අද වයස අවුරුදු 77 ක පරමායුෂ ඇති සමාජයක් බවට පත්ව ඇත. අපේ අතීත නායකයන් ඔවුන්ගේ යුගයේදී කළ ඒ මෙහෙවර අපි අවත්කසේරු නොකළ යුතු වෙමු. ලොව සාම්ප‍්‍රදායික ආර්ථික බලවතුනට අභියෝග කරමින්, ආසියාව තුළින් මතුව ආ ජපානය, මැලේසියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව මෙන්ම අද චීනය සහ ඉන්දියාව වැනි රටවල්ද ඒ රටවල අනාගත පරපුරේ අධ්‍යාපනය උදෙසා ඉහළම ප‍්‍රමුඛතාව දෙමින් ආයෝජනයක යෙදීම අපි දකින්නෙමු. මේ රටවල් තම දරුවන්ට නවීන තාක්ෂණය, ඉහළ දැනුම ලබාදීම සඳහා ඒ ඒ ක්ෂේත‍්‍රයන් හි ඉහළින් සිටින බටහිර අධ්‍යාපනික කේන්ද්‍රස්ථානවලට ඔවුන් යවමින්, ඒ නවීන දැනුම උකහා ගැන්මට පහසුකම් සැලසීම, දිරිදීම සඳහා විශාල ආයෝජනයක් කරමින් සිටිති.

අපේ පාසල් මට්ටමින් මෙන්ම විශ්වවිද්‍යාල මට්ටමින් ගුරු වෘත්තිය සඳහා වඩාත් දක්ෂ කොටස් ආකර්ශනය කරගත හැකි තත්ත්වයක් අතිකරගත යුතු වෙමු. ඔවුන්ගේ පුහුණුව, වැඩිදුර අධ්‍යාපනය සහ පහසුකම් ආදිය ගැන ප‍්‍රමුඛ අවධානයක් යොමුකළ යුතුවෙමු. අපේ ඊළඟ පරපුර රටේ අනාගතයයි. හොඳම අධ්‍යාපනය ඔවුන්ට ලබාදීම, ඔවුන්ට දිය හැකි ලොකුම දායාදයයි. රටේ අනාගතය ගොඩනැඟීමෙහිලා එය ප‍්‍රමුඛතම ආයෝජනයක් කරගනිමු.

දැනුම බලය වේ සෑම සමාජයකම, සෑම පවුලකම ප‍්‍රගතියේ පදනම අධ්‍යාපනයයි.”
කොෆි අනන් –

advertistmentadvertistment
advertistmentadvertistment