රටට ආදරය කළ උපාලි විජයවර්ධන නම් දේශපේ‍්‍රමියා

305

මෙම 13 වැනිදාට හෙටට යෙදෙන උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මැතිතුමන්ගේ 39 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.

දිවයින ඉරිදා සංග‍්‍රහය ආරම්භ වී මාස තුනක් ඉක්මයත්ම දිනපතා දිවයින පුවත්පත ආරම්භ කිරීමට පුවත් පතේ නිර්මාතෘවර උපාලි විජයවර්ධන මැතිතුමා නිගමනය කළේය. නව පුවත්පතක් ඇරඹීමට පෙර ඒ පිළිබඳව යම්කිසි නිර්ණායකයකට එළැඹීම වඩාත් නිවැරදි යැයිි නිගමනය කළ එතුමා බි‍්‍රතාන්‍යයේ එවකට සිටි සමීක්‍ෂණ කණ්ඩායමක් ගෙන්වා ගෙන කළ සමීක්‍ෂණයක ප‍්‍රතිඵල වශයෙන් ශ‍්‍රී ලංකාවේ අලූත් පුවත් පතකට ඇති උපරිම ඉල්ලූම පනස් දහසක් යැයි නිගමනය කර වාර්තාවක් ලබා දී තිබිණි. එහෙත් උපාලි විජයවර්ධන මහතා ශ‍්‍රී ලංකාව තුළ මෙතෙක් ලබා සිටි පිළිගැනීම කොතෙක් ඉහළ මට්ටමක පැවතියේ ද යන්න සමග අලූත් කාර්ය මණ්ඩලය සතු දක්‍ෂතා අවබෝධ කරගෙන සිටි පාඨකයෝ දිවයින ඉරිදා සංග‍්‍රහය දෙලක්‍ෂ පනස්දහසේ සීමාව ඉක්මවා පිටපත් සංඛ්‍යාවක් ඉල්ලූම් කරන්නට වූහ.

මෙකී සංසිද්ධිය උපාලි විජයවර්ධන මහතාගේ දින චර්යාව වෙනස් කර ලීමට ද එක් අතකින් බලාපෑවේය. හැම දිනකම වාගේ උදෑසනින්ම පුවත්පත් අලෙවි සැල් අසලට සිය මෝටර් රථයෙන් ගමන් ගන්නා ඔහු පේළි ගැසී සමහරක්විට පොරකමින් දිවයින මිලදී ගන්නා අයුරු දැක බලා ගත්තේය. මෙයට නිහතමානීව නිගමනයකට පැමිණි ඔහුට ඒත්තු ගියේ සමාජ අසාධාරණයට එරෙහිව මිනිසුන් තුළ ඇති දැඩි ආකල්පයට, පුවත්පත තමන් සමග ම එකට සිටින වගයි. මෙකී හේතු පාඨය ධාරණය කරගත් උපාලි විජයවර්ධන මැතිතුමා 1982 පෙබරවාරි 4 වැනිදා දිනපතා දිවයින නිකුත් කරන්නට ලිහි ලහියේ කටයුතු සම්පාදනය කළේය. දිවයින ඇරඹීමේ දී සිය කර්තෘ මාණ්ඩලිකයන් තෝරාගත් අයුරින් ම මේ කටයුත්ත ද සිදුවිය. එතෙක් විවිධ පුවත්පත් ආයතනව සේවය කළ පුවත්පත් කලාවේදීන් ගෙන්වා ගෙන ඔවුන් තෝරා ගැනීමේ කාර්යය දිවයින ප‍්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවර එඞ්මන්ඞ් රණසිංහ මහතා වෙත පැවරීය.

රටට ආදරය කළ උපාලි විජයවර්ධන නම් දේශපේ‍්‍රමියා
 
උපාලි විජයවර්ධන මැතිතුමා එදා උපාලි මෝටර් සමාගමේ නිෂ්පාදනය කළ මුල්ම ‘මැස්ඩා’ රථය කැලණි රජමහා විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ පූජ්‍ය තලේවෙල විජිත ධම්මරක්ඛිත නාහිමිපාණන්ට පිරිනැමූ අවස්ථාව.

මේ උපාලි විජයවර්ධන ශ‍්‍රීමතාණන්ගේ ජීවිතයේ අප පුවත්පත හා සබැඳි ඉතිහාස කතාවේ එක් පරිච්ෙඡ්දයක් පමණි. මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් වරෙක ඔහු පත් කෙරිණි. නිතර විදේශ ගමන් යෑමට සිදුවීමත්, ඒ හැම ගමනකදීම වේලාව ප‍්‍රමාද වීමත් කාලය අපතේ යෑමත් නිසා උපාලි විජයවර්ධන මහතාට තම කාලය නිකරුණේ වැයවන බවක් දැණින. ඇතැම් දිනවල දී වැඩ කරන්නට වැය වූ කාලයට වඩා නිකරුණේ ගත වූ කාලය වැඩි විය. මෙයට පිළියමක් ලෙස තම ගමන් සඳහා කාලය වෙනුවෙන් වෙනම ජේට් යානයක් ලබාගත යුතු යැයි අදහස් කළේය. ඒ අනුව ශෙස්නා සයිටේෂන් ගුවන් යානා උපාලි ගුවන් සමාගමට එක් විය. සිංගප්පූරුවේ සහ මැලේසියාවේ පැවැති වෙළෙඳ කටයුතු මේ කාලයේ තව තවත් රටවල්වලට ව්‍යාප්ත වී තිබිණ. ඔස්ටේ‍්‍රලියාවට හා මැලේසියාවට යා යුතු නිසා සහ වැඩ බහුල වීම නිසාත් මේ ජෙට් යානය ද තමාට ප‍්‍රමාණවත් නැතැයි විජයවර්ධන මහතාට සිතුණි. යානයට අල්ලන තෙල් ප‍්‍රමාණය මද වූ නිසා අතර මඟ කිහිප තැනක දී නතර කළ යුතු විය. වේගය ප‍්‍රමාණවත් නොවූ නිසා ගත වූ කාලය ද අධික විය. මෙයට ඇති එකම පිළියම නම් අධිවේගී ජෙට් යානයක් ගැනීම බව තීරණය කළ උපාලි ලියර් ජෙට් යානයක් මිල දී ගත්තේය.

ලියර් ජෙට් යානා වැඩිපුරම පාවිච්චි කළේ ලොව ඉහළම පෙළේ ධනවතුන්, රජවරුන්, සුල්තාන්වරුන් බදු පුද්ගලයන්ය. 1983 වසර මුල් භාගය වනවිට ලියර් ජෙට් යානා 422ක් ලොව ඉහළ ම පෙළේ ධනවත් පුද්ගලයන් සතුව පැවැතිණ.

ලියර් ජෙට් යානය ගැනීමත් සමග උපාලිගේ ගමන්වලට ලොකු පහසුවක් දැණින. මැලේසියාවට යෑමට ගත වූයේ පැය තුනහමාරක් පමණි. ඔස්ටේ‍්‍රලියාවට පැය එකොළහමාරකින් යා හැකි විය.

පුංචි ම අවධියේ සිට උපාලි, ගුවන් යානාවලට දැක් වූයේ දැඩි කැමැත්තකි. ගුවන් යානා පින්තූර එක් රැස් කරමින් පුංචි අවධියේ ප‍්‍රීතියට පත් වූ හෙතෙම පසුව එහි යන්ත‍්‍ර සූත‍්‍ර පිළිබඳ තොරතුරු එක්රැස් කළේය. ලංකාවේ මුලින්ම ගුවන් යානා සමාගමක් පිහිටුවිය යුතු බවත් ගුවන් යානා කොටස් ගෙන්වා මෙරට යානා නිෂ්පාදනය කළ යුතු බවටත් වූ ඒ අදහස බොහෝ දුරට ක‍්‍රියාත්මක වුවත් රජයෙන් ඉඩ නොල ද නිසා ඒ අදහස හරි ගියේ නැතත් පසුව

රටට ආදරය කළ උපාලි විජයවර්ධන නම් දේශපේ‍්‍රමියා

තමන්ගේම ගුවන් යානා මෙරට අහසේ පියාසර කරද්දී ඒ දෙස බලමින් උපාලි ලද සතුට මෙහි කිව යුතුමය.

මගීන් ගෙන යන උපාලි ගුවන් යානය රත්මලානේ සිට යාපනය බලා පිටත් වූයේ උදේ 7ට පමණය. හැමදා ම එම ගුවන් යානය කොළඹ පසුකර යද්දී උපාලි සිය නිවසේ සඳළු තලයට ගොස් දැඩි ප‍්‍රීතියට පත්වෙයි. මෙය හැමදා ම පුරුදු වූ විනෝදාංශයක් විය. ගුවන්යානය පාවී ගෙන දුරක් යනතුරු උඩු මහලට වී ඒ දෙස බලා සිටීමෙන් පසු එදින ගුවන් යානයෙන් මගීන් කී දෙනෙක් ගමන් ගත්තේ ද යන්න සොයා බැලීමත් සිරිතක් ද විය.

මාසයකින් හරි අඩකටත් වඩා මැලේසියා හෝ එංගලන්තයේ ගත කළ උපාලි ඒ හැම දිනකම එරට සිට දිනපතා කළ විමසීමක් නම් ගුවන් යානයෙන් කොතරම් මගීන් පිරිසක් ගියේ දැයි සොයා බැලීමය.

‘‘කැන්ඩොස් චොකලට්’’ යන නම් ක‍්‍රමයෙන් පිට රටවලට හුරුවන්නට පටන් ගන්නේ මැලේසියාවේ කම්හල ඇරඹීමත් සමග ය. ක‍්‍රමයෙන් කැන්ඩොස් චොකලට් ඉල්ලූම වැඩි විය. ලොව විවිධ රටවලින් ලද ඉල්ලූම අනුව කොකෝ බටර් සහ කොකෝ පවුඩර් නිෂ්පාදනය ද ඇති විය. තායිලන්තයේ උපාලි සමාගම චොකලට් නිෂ්පාදනය කරන්නට විය.

සිංගප්පූරුව් පිහිටි උපාලි සමාගමේ නිෂ්පාදන ප‍්‍රමාණය වැඩි වන්නට පටන් ගත්තේ කොකෝ නිෂ්පාදන ආයතන බිහි වීම නිසාය. අන් සියලූම තරගකරුවන්ට ඉහළින් සිටින්නට උපාලිට ශක්තිය ලැබිණ. මේ මගින් යුරෝපා, ඇමෙරිකා සහ ඔස්ටේ‍්‍රලියා වෙළෙඳ පොළට පහසුවෙන් පිවිසෙන්නට හැකි විය. විදේශ සමාගම් පිහිටුවීමත් සමග උපාලි තම පැරණි සේවකයන්ට අනු පිළිවෙළින් එතෙර ඇති තම සමාගම්වල රැකියා අවස්ථා ලබා දෙන්නට විය. කොළඹ පිහිටි උපාලි සමූහ ව්‍යාපාරය ආරම්භ කරද්දී තමා සමග සහයෝගය දැක් වූ සේවකයෝ එතෙර සමාගම්වලට කැඳවිණි. විදේශ සේවකයන්ට වඩා තම රටේ සේවක පිරිස ගැන ඔහු තුළ ප‍්‍රසාදයක් තිබිණි.

විදේශයන්හි උපාලි විජයවර්ධන යන නම ක‍්‍රමයෙන් පැතිර ගියේය. ශ‍්‍රී ලංකාවේ නම නොදත් අය පවා උපාලි යන නම දැනගන්න තරම් මේ ව්‍යාපාර ප‍්‍රචලිත විය. ලොව ප‍්‍රධාන පෙළේ කොකෝ ව්‍යාපාරිකයකු ලෙස ඔහු විශේෂ පුද්ගලයකු ලෙස සැලකුම් ලබන්නට විය.

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ අලූතින් ආරම්භ කළ මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස උපාලි පත්විය. මෙම ආර්ථික කොමිසමට පැවරුණ විශේෂ වගකීම වූයේ සුදුසු භූමිභාගයක් තෝරාගෙන එහි නිදහස් වෙළෙඳ කලාපයන් ඇරඹීමය. කටුනායක ප‍්‍රදේශය මෙයට ඉතාම සුදුසු යැයි පළමු රැස්වීමේදී ම උපාලි ප‍්‍රකාශ කළේය. එයට හේතු ලෙස දැක් වූයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමීපව මෙවැන්නක් තිබීමෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට නිදහස් වෙළෙඳ කලාපය පිළිබඳ විශාල බලපෑමක් කළ හැකි බවය. මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් වීමෙන් පසුව උපාලි සිය පෞද්ගලික ව්‍යාපාරවලට දක්වන ඇල්ම ක‍්‍රමයෙන් අත පසු කළේය. මුළු කාලයම යෙද වූයේ අලූතින් තමා වෙත පැවරුණු වගකීම ඉහළින්ම ඉටු කිරීමට ය. මුලදී ඩෙල්ටා ටොෆි ව්‍යාපාරය ඇරඹීමේ දී ඒ වෙනුවෙන් කළ මහන්සිය කැපවීම බඳු ක‍්‍රියාවලියක් මේ අලූත් තනතුර දැරීම සමග නිදහස් වෙළෙඳ කලාපය කෙරේ යොමුවිය. කලක් මුළුල්ලේ ලබන ලද ව්‍යාපාරික අවබෝධය එමෙන්ම ව්‍යාපාරික ආයෝජකයන් ගෙන්වා ගැනීමට මූලිකව අවශ්‍ය වූ ව්‍යාපාරික ලෝකයෙන් ලබා තිබුණු ඉහළම පිළිගැනීම යන කරුණු නිසා නිදහස් වෙළෙඳ කලාපය සාර්ථක කර ගැනීමට ඔහුට හැකි විය. බොහෝ ආයෝජකයන් ශ‍්‍රී ලංකාවට පැමිණියේ උපාලි පෞද්ගලිකව ලබා තිබූ විශේෂතා නිසා ය. 1978 වර්ෂයේ සිට 1982 වර්ෂය දක්වා කාලය තුළ දී විදේශ ආයෝජකයන් හතළිහක් පමණ ශ‍්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ කලාපයේ ව්‍යාපාර සඳහා ගෙන්වා

ගැනීමට උපාලි ට හැකි විය. මේ මගින් 15,000කට පමණ රැකියා අවස්ථා ලබාදීමටත් කෙමෙන් කෙමෙන් දෙගුණයක් පමණ දෙනාට නිදහස් වෙළෙඳ කලාපය නිසා ඇතිවන අමතර රැකියා සඳහා යෙදීමටත් හැකි විය.

ව්‍යාපාරික ලෝකය ජයගත් උපාලි ට අවශ්‍ය වූයේ දුක් විඳින ගම් පියසකට නව ලොවක් උදාකර දීමයි. ඒ හැර දේශපාලන බලවත්තු වීමට ඔහුට අවශ්‍ය නොවීය. එහෙත් විවිධ උපක‍්‍රම මගින් දේශපාලන ලෝකයට ඔහු ඇතුළු කිරීමට කිසියම් පිරිසක් ගත් සංවිධානාත්මක පිරිසකගේ අනිටු ප‍්‍රතිඵල විඳීමට ඔහුට සිදුවිය.

අවංකකම එකම දර්ශනය කොටගෙන සියදිවි ගමන ඇරඹූ උපාලි ඉතා චාම් දිවි පැවැත්මක් ගෙන ගිය කෙනෙකි. තමා ජන්මයෙන් ලද උත්සාහවන්ත බව තුළින් සිංහල දේශයේ ප‍්‍රමුඛ ව්‍යාපාරිකයා ලෙස පත්වීමට ඔහුට ගත වූයේ දශක දෙකක් පමණ වූ සුළු කාල වකවානුවකි. තමා ලද අත්දැකීම් මුළු රට පුරා ම ප‍්‍රචලිත කිරීම තුළින් නව යුගයකට ගැළපෙන නව සමාජයක් බිහිවෙතැයි ඔහු තුළ දැඩි අධිෂ්ඨානයක් විය. මුළු මහත් ප‍්‍රජාව ම දැනුවත් කොටගෙන තමා යා යුතු නව මඟට පිවිසීම උපාලිගේ අපේක්‍ෂාව විය. විවිධ බලවේගවලින් දූෂණ වූ මෙරට සමාජය වෙනස්කොට ජාතියට හිත වූ පරිසරයක් ගොඩනැඟීමට ඔහු ගත් පියවර වූයේ ජාතික පුවත් පත් ආයතනයක් බිහිකර ලීමය. බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේ මෙරට ප‍්‍රධාන පුවත්පත් ආයතන තුනක් තිබුණ ද විවිධ හේතු නිසා දවස ආයතනය සහ ටයිම්ස් ආයතනය වැසී ගොස් තිබුණි. එම පාලන කාලය තුළට මෙතෙක් පෞද්ගලික පුවත්පත් ආයතනයක් වූ ලේක් හවුසිය ද රජයට පවරා ගැනීම නිසා රාජ්‍ය පාක්‍ෂික තොරතුරු නව රටාවකට ජනතාව ඉදිරියට ගෙන ආ මේ පුවත්පත් මහජනතාව ආදරයෙන් වැළඳ ගත්හ. නව ප‍්‍රවේශයකට මෙරට ජනතාව යොමු කරන මේ පුදුම මිනිසා ජාතියේ ඉදිරි සංකේතය නොවේ දැයි ජනතාව තුළ විමතියක් විය. වෙළෙඳ ලෝකය මුළුමනින්ම ජයගත් උපාලි මේ වනවිට තම පෞද්ගලික විදේශ ගමන් සඳහා අති නවීණ ඩියර් ජෙට් ගුවන් යානයක් රැගෙන විත් තිබිණ. අක්කර දහහතර දහසක් පුරා පැතිරුණු මැලේසියාවේ කොකෝ වගාව ද පල දරමින් තිබිණ. ක‍්‍රමයෙන් ඉතා ඉහළ ඉල්ලූමක් ඇති කැන්ඩොස් චොකලට් සඳහා ආසියාව, යුරෝපය තුළින් ලැබෙන ඉල්ලූමට ගමන් නිතර යා යුතු වූයෙන් පැය තුනක් වැනි කෙටි වේලාවකින් කොළඹ සිට මැලේසියාවට යෑමට ඔහුට අවශ්‍යව තිබිණ. අධිවේගී මෙබඳු ලියර් ජේට් යානා පාවිච්චියට ගැනුණේ ලොව ඉහළ පෙලේ ධනවතුන්ය. උපාලිට අවශ්‍ය වූයේ ධනවත්කම ප‍්‍රදර්ශනය කිරීමට නොව, ව්‍යාපාර අංශයේ දී තමාගේ ගතවන එක් මිනිත්තුවකින් වුව ද යම් කටයුත්තක නිරත වීමටය. ගුවන් නියමුවකු වශයෙන් බලපත‍්‍රයක් ලබා සිටි උපාලි, එකල මෙරට මුදලින් රුපියල් දෙකෝටියක් වියදම්කොට නියමු පාලකයාට අමතරව පිටුපස බඳ කොටසේ තවත් පාලක යන්ත‍්‍රයක් එක් කළේය. නියමුවාට විවේකයක් අවශ්‍ය නම් පිටුපස සිටින්නාට ද ගුවන් යානය පාලනය කිරීමට මෙමගින් හැකි විය.

එදා හිරු නැගෙන්නට මත්තෙන් සිය උපන්දිනයට කොළඹ එන්නට සිටි උපාලි ගුවන් යානයක් එහි සිටි හය දෙනකුගෙන් යුත් තම සගයනුත් සමග අතුරුදහන් විය.

මෙයින් බලවත් ලෙස සිත් තැවුලට පත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඒ ගැන වහා සොයා බැලීමට ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලි මහතා ද මැලේසියාව බලා පිටත්කර යැවීය.

සියල්ල එසේ වුව ද එතුමන්ගේ නාමය අදත් හෙටත් සදා අමරණියව පවතින්නේය.

නන්දසේන සූරියආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment