රටට ජාත්‍යන්තර සම්මානයක් දිනා දීම සතුටක් – නිශාදි රුවන්මලී

158

Tokyo Docs 2022 අන්තර්ජාතික වාර්තාමය කෙටි චිත්‍රපට සම්මාන උළෙල ඉකුත් 18 වැනි දින ජපානයේ ටෝකියෝ නුවරදී පවත්වන ලදී. එහිදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් මෙන්ම ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් වන නිශාදී රුවන්මලී විසින් ඉදිරිපත් කරන ලද ‘පාර කියන අත්තම්මා’ වාර්තාමය කෙටි චිත්‍රපටය සම්මානයට පාත්‍රවිය. ශ්‍රී ලාංකිකයකු විසින් එම සම්මානය දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ. පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් නිශාදි රුවන්මලී සමග සිදුකළ සාකච්ඡාවකි.

● Tokyo Docs අන්තර්ජාතික සම්මාන උළෙල පිළිබඳ කෙටි හැඳින්වීමක් සහිතව මේ කතාබහ ආරම්භ කරනවා නම්

Tokyo Docs කියන්නෙ ජාත්‍යන්තර වැඩසටහන් හා සෙසු නිර්මාණ ආදිය සඳහා සහාය දැක්වීමේ අරමුණින් ජපානයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර සම්මාන උළෙලක්. කෙටි වාර්තා වැඩසටහන්, ඒ වගේම කෙටි චිත්‍රපට සහ වෙනත් වෙනත් නිර්මාණාත්මක වැඩසටහන් විකාශනය කිරීම, බෙදාහැරීම සහ නිෂ්පාදනය පිණිස එම ආයතනය විසින් සහාය දක්වනවා. ඒ වගේම එවැනි වැඩසටහන් පිණිස වසරකට වරක් සම්මාන ප්‍රදානයක් සිදු කරනවා. මෙහි තිබෙන විශේෂත්වය තමයි ජපානය ඇතුළු ආසියාතික රටවල තරුණ නිර්මාණකරුවන්ට ඒ සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව හිමිව තිබීම.

රටට ජාත්‍යන්තර සම්මානයක් දිනා දීම සතුටක් - නිශාදි රුවන්මලී

● එවැනි අන්තර්ජාතික සම්මාන උළෙලක් සඳහා නිර්මාණයක් යොමු කිරීම පිණිස ඔබ තුළ උනන්දුවක් ඇතිවන්නෙ කොහොමද?

මීට බොහෝ කලකට පෙර ජාතික රූපවාහිනිය විසින් සංවිධානය කළ වැඩමුළුවක් පිණිස මා සහභාගි වෙනවා. රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස එම වැඩමුළුව මගේ විෂය පථයට අයත් නොවූවත් ඊට සහභාගිවීමට මා තුළ ලොකු කැමැත්තක් තිබුණා. ඇත්තටම එය වැඩසටහන් නිෂ්පාදනය පිණිස දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානයවූවක්. එම වැඩමුළුව මෙහෙයවනු ලබන්නේ ප්‍රංශ ජාතික ත්‍රුා කියන මහත්මයෙක්. ඔහු තමයි මාව ප්‍රවෘත්තිවලින් ඔබ්බට ගොස් වාර්තා වැඩසටහන් නිෂ්පාදනය පිණිස යොමු කළේ. එතැන් සිට ඒ සඳහා මා තුළ ලොකු ඇල්මක් කැමැත්තක් ඇතිවෙනවා. ඒ අනුව තමයි කෙටි වාර්තා වැඩසටහන් නිෂ්පාදනය පිණිස මා වැඩි වැඩියෙන් යොමු වෙන්නේ. “පාර කියන අත්තම්මා” කියන කෙටි වාර්තා චිත්‍රපටය හැදෙන්නෙත් ඒ පසුබිම තුළයි.

රටට ජාත්‍යන්තර සම්මානයක් දිනා දීම සතුටක් - නිශාදි රුවන්මලී

● සම්මානයට පාත්‍ර වූ ඔබේ නිර්මාණය ගැන යමක් සඳහන් කරනවා නම්

පසුගිය මාර්තු මස 08 වැනි දිනට යෙදී තිබුණ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මා විසින් නිර්මාණයක් කරනවා. එය නම් කරන්නෙ “පාර කියන අත්තම්මා” නමින්. 5 ශ්‍රේණිය සිංහල පෙළ පොතෙහි සඳහන් පාඩමක් පසුබිම් කර ගනිමින් තමයි මේ නිර්මාණය කරන්නේ. එක්තරා ආච්චි අම්මා කෙනෙක් පිළිබඳව තමයි මේ වාර්තා වැඩසටහනින් කියවෙන්නේ. ඇය ජීවත් වෙන්නෙ කෑගල්ල පරගම්මන කියන ගමේ. මේක සත්‍ය කතාවක්. මේ ආච්චි අම්මගෙ ස්වාමි පුරුෂයා රිය අනතුරක් හේතුවෙන් මිය යනවා. ඒ වෙනකොට මේ දෙන්නට පුංචි දුවක් ඉන්නවා. දුවගෙ තාත්තා මියගියාට පස්සෙ මේ අම්මා කරන්නෙ තමන්ගෙ දුවත් රැගෙන හැමදාම ඉස්කෝලෙ ළඟට එනවා. දුවව පන්තියට දාල මෙයා කරන්නෙ රථවාහන හසුරුවන එක. ඉස්කෝලෙ ඇරුණට පස්සෙ නැවත දුවත් අරන් ගෙදර යනවා. මෙන්න මේ කතාව පසුබිම් කරගෙන තමයි ඒ ආච්චි අම්මා කරන සේවය අගයන්න සහ ඒ පිළිබඳව ලෝකයට කියන්න මේ වාර්තා වැඩසටහන මම කරන්නෙ.

● ඔබ මීට පෙරත් මෙවැනි ජාත්‍යන්තර ඇගයීම් ආදියට ලක්වෙනවාද?

ඔව්. මීට පෙර රුසියාවෙ දෙතෙක්තිව් ගෙස්ට් සම්මාන උළෙල සඳහා මම නිර්මාණයක් ඉදිරිපත් කරනවා. එය ඇගයීමට ලක්වෙනවා. ඒ වගේම ඔස්ටේ්‍රලියාවේ ෆෝචූන් ඉන් ඇබිලිටි සම්මාන උළෙලේදී ආබාධිත දරුවන් සම්බන්ධයෙන් මා නිර්මාණය කළ කෙටි වැඩසටහනක් අවසන් වටය නියෝජනය කරනවා. ඒ වගේම මෙවර සම්මානයට පාත්‍ර වූ “පාර කියන අත්තම්මා” මීට ටික කලකට පෙර ජපානයේ මියුනිච්වල පැවැති අන්තර්ජාතික සම්මාන උළෙලක් නියෝජනය කරමින් ප්‍රබන්ධ නොවන අංශය යටතේ අවසන් වටය දක්වා පැමිණෙනවා.

● Tokyo Docs අන්තර්ජාතික සම්මාන උළෙල පිණිස නිර්මාණ කොපමණ ප්‍රමාණයක් මෙවර ඉදිරිපත් කර තිබුණාද?

ජපානය ඇතුළු ආසියාවේ අනෙකුත් රටවල් ිනියෝජනය කරමින් නිර්මාණ 150 ක් පමණ මෙවර සම්මානය පිණිස යොමු වී තිබුණ බව දැනගන්න ලැබුණා. ඒ අතරින් අවසන් වටය සඳහා නිර්මාණ අටක් නිර්දේශ වෙනවා.

මගේ නිර්මාණයත් ඊට ඇතුළත් වෙනවා. ඉන් අනතුරුව කරන ලද දීර්ඝ වාචික පරීක්ෂණයකින් අනතුරුව තමයි මගේ නිර්මාණය සම්මානයට පාත්‍ර වෙන්නේ. ඊට අමතරව ජපන් ජාතිකයන් දෙදෙනෙක් විසින් නිර්මාණය කළ තවත් වාර්තා වැඩසටහන් දෙකක් එහිදී සම්මාන දිනා ගන්නවා.

● මෙම සම්මානය ශ්‍රී ලංකාවට සුවිශේෂී වන්නේ ඇයි?

එකක් තමයි අපේ රටට මේ සම්මානය මුලවරට හිමිවීම. ඊට අමතරව සිංහල භාෂාවෙන් කරන ලද මෙම නිර්මාණය ජපන් භාෂාවට පරිවර්තනය කරමින් එරට පාසල් දරුවන්ට හා ජනතාවට දැකබලා ගැනීමට සැලැස්වීම. ජපන් පාසල් පෙළ පොත්වල අපේ රටේ මැරතන් කරූ සම්බන්ධ පාඩමක් තිබෙනවා. ඉන් අනතුරුව අපේ රටේ කෙනෙක් පිළිබඳ එවැනි දෙයක් කළ පළමු අවස්ථාව මෙය වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

● ඔබේ හැකියාවන් දේශීය වශයෙන් ඇගයීමට ලක්වූ අවස්ථාවන් තිබෙනවාද?

නැහැ. මේ අංශය යටතේ තවමත් එවැනි ඇගයීමක් ලැබිලා නැහැ. ඊට හේතුව තමයි මෙවැනි සම්මාන උළෙලවල් අපේ රටේ පවත්වන්නෙ හරිම අඩුවෙන්. නමුත් දේශීයව අවස්ථා කීපයකදී මම සම්මානයට පාත්‍ර වෙනවා. එක් අවස්ථාවක ජනාධිපති සම්මානලාභී ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසත් තවත් අවස්ථාවක ජනාධිපති රන් සම්මානලාභී රූපවාහිනි පාරිසරික නිවේදිකාවක ලෙසත් මා සම්මානයට පාත්‍ර වෙනවා.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ යමක් සඳහන් කරනවා නම්

මගේ නිර්මාණ හරහා වැඩිපුරම කතා කරන්නෙ අපේ රටේ දරුවන් හා කාන්තාවන් සම්බන්ධවයි. මම විශ්වාස කරනවා කාන්තාවක් ලෙස එය කළ යුතුයි කියලා. ඇත්තටම එවැනි දෙයක් කිරීම තුළ තමයි මම ජාත්‍යන්තර සම්මානයක් දිනා ගන්නේ. ඒ ඇගයීම මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්, ආශිර්වාදයක්. ඒ හැඟීමත් එක්ක තව තවත් නිර්මාණ කරමින් ඉදිරියට යන එක තමයි දැන් මගේ අරමුණ.

රුවන් ජයවර්ධන

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment