රටට ඩොලර් ගෙනෙන්න කාබනික කෘෂි නිෂ්පාදන  කර්මාන්තයට සහන දෙන්න

212

රටටම කාබනික පොහොර ලබාදීමේ හැකියාව අපට මේ මොහොතේ ඇත. එසේම, කවර ගොවි මහතෙකු වුවද කුමන මොහොතක තමන්ගේ කැමැත්තෙන් කාබනික ගොවිතැනට පිවිසීම අපගේ අපේක්ෂාව වන අතර, ඒ සඳහා ඕනෑතරම් ගුණාත්මයෙන් උසස්, ප්‍රමිතිගත කාබනික පොහොර හා යෙදවුම් අප සතු බවත්, එසේ නිපදවන කාබනික කෘෂි නිෂ්පාදන අපනයනය කිරීමෙන් රටට ඩොලර් සපයා ගැනීම සඳහා එම ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන ඉහළ මිලකට අලෙවිකරදීම සඳහාද අප පියවර ගනිමින් සිටින බව පවසන්නේ මහත් ආඩම්බරයෙනි.

රටට ඩොලර් උපයා දෙන, ජනතාව වස විසෙන් ඈත්කර රට නිරෝගී ජන සමාජයක් බවට පරිවර්ථනය කරන වැදගත් ප්‍රතිපත්තිමය තීන්දුවකට පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලනය පියවර ගත්තේය. ඒ ශ්‍රී ලංකාවේ ගොවිතැන වස විස නැති කාබනික ගොවිතැනක් බවට ප්‍රකාශයට පත්කරමිනි. සියයට සියයක්ම රසායනික පොහොරවලින් තොර කෘෂිකර්මාන්තයක් ලෙස එකවර ප්‍රකාශයට පත්කිරීම තුළ හා රට ඒ සඳහා පෙර සූදානමක් නැතිව මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යෑමෙන් ගැටලුවක් ඇති වූ බව සත්‍ය නමුදු, මෙම තීන්දුවට ජාත්‍යන්තර වශයෙන් ලැබුණු සුවිශේෂී අවධානය, කීර්තිය හා ඩොලර් උපයාගැනීමට ඒ ඔස්සේ විවර වූ අවස්ථාව අප කිසි ලෙසකින්වත් අවතක්සේරු නොකළ යුතුය.

රටේ ගොවිතැන සඳහා අවශ්‍ය මූලික සාධක (පැළයක් හෝ බීජයක් රෝපණයට අවශ්‍ය මූලික සාධක) වන්නේ පස, උෂ්ණත්වය හා තෙතමනය බව අපි දනිමු. නමුත්, පැළයක් බවට පත්වී, ගසක් හෝ අස්වැන්න ලබාදෙන බෝගයක් බවට පත්වීමේදී ඒ සඳහා නිසි පෝෂණයක් අවශ්‍යය. මේ පෝෂණය ලබාදෙන්නේ බාහිර යෙදවුම් වශයෙනි. ඒ සඳහා ලෝකයේ කර්මාන්තයක් නොහොත් දැවැන්ත වෙළෙඳ ව්‍යාපාරයක් නිර්මාණය වී ඇත. මෙම කර්මාන්තය රසායනික හා කාබනික ලෙස දෙඅංශයක් ඔස්සේ විහිද යන අතර, රසායනික කෘෂිකර්මාන්තයේදී පස දිගින් දිගටම රසායනික ඉල්ලා සිටීම නිසා පස නිසරු වීමත්, ඒ ඔස්සේ පසට එකතුවන බැර ලෝහ අංශු ඇතුළු රසායන මගින් (වස විස) මිනිස් සිරුර හානියට ලක්වන නිසාත් රසායනික කෘෂිකර්මාන්තය සඳහා අද ලෝකයේ පවතින්නේ වැඩි අවධානමක් සහිත ඍණාත්මක සැලකිල්ලකි. එහි ප්‍රතිවිරුද්ධ සැලකිල්ල, නොහොත් ධනාත්මක හා ආකර්ශනීය සැලකිල්ල ලබන්නේ කාබනික, වස විස නැති ගොවිතැන බව අවිවාදිත කාරණයකි. නමුත්, වාණිජ කෘෂිකර්මාන්තයක් ගැන කතාකරන කෘෂි ආචාර්ය, මහාචාර්යවරු ඇතුළු රසායනික කෘෂි යෙදවුම් සම්පාදකවරු කිසි ලෙසකින්වත් රසායනික කෘෂිකර්මාන්තයෙන් පිට පැන කතා නොකරන අතර එහි ගුණ වයන්නෝ නොහොත් ඊට ආවඩන්නෝම වෙති. ඔවුහු කාබනික ගොවිතැනට එකඟ වන එකම අවස්ථාව නම් සුපර් මාර්කට් තුළට ගොස් තම දුවා දරුවන් ඇතුළු සමීප පවුලේ සාමාජිකයන්ට එළවළු, පලතුරු, කුළුබඩු, පශු නිෂ්පාදන මිලට ගන්නා අවස්ථාවය. ඔවුහු එහිදී වැඩි මිල ගෙවා කාබනික නිෂ්පාදනම මිලදී ගන්නට වගබලා ගන්නා අතර, ඒ සඳහා ඔවුහු වැය කරන්නේ රසායනික පොහොර, බෙහෙත් (කෘෂි රසායන) ප්‍රචලිත කිරීමේදී ලබාගන්නා ලාභාංශ වීම පුදුම උපදවන සුළුය. එය වෙනම කතාවකි. නමුත් ලෝකය පුරා වස විස නැති කාබනික කෘෂි නිෂ්පාදන ඉල්ලුම, සැපයුම හා වෙළෙඳාම සඳහා ඇති විභවයද එයම වේ. නොහොත්, ලොව පුරා ඇතිව තිබෙන කාබනික ආහාර ඉල්ලුමට සැපයුමද ඒ ඔස්සේ නිර්මාණය වේ. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයත් සමග රටට ලැබුණේ එවන් ඩොලර් උපයන සුවිශාල වාසියකි. ඩොලර් උපයන නිධානයකි.

කවුරුන් මොනවා කීවත් මේ තීන්දුවත් සමග රට වස විස නැති කාබනික වගාවකට සූදානම් වූ බවද නොරහසකි. පෙර කී පරිදි එකවර සියයට සියයක්ම රටේ ගොවිතැන කාබනික කරන්නට යෑමෙන් යම් යම් පසුබෑම් තිබුණත් මේ දක්වා 2021 මහ සහ 2022 යල ලෙස අඩුම තරමින් කන්න දෙකක් කාබනික ක්‍රමයට රටේ (වී හා එළවළු) වගාව මේ වන විට සිදුකර ඇත. ඊයේ – පෙරේදා ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට යූරියා මෙටි්‍රක් ටොන් 40,000 ක ප්‍රමාණයක් ගෙන එන තුරුම කන්න දෙකක් කාබනික ක්‍රමයට ගොවිතැන් කරන ලද අතර, ඒ ඔස්සේ සිදුවූවා යැයි කියන ගොවිතැන් පාඩුවක් වේනම් ඊට වඩා පසේ ක්ෂුද්‍රජීවීන් වර්ධනය වී සිදු වූ පසේ “ජීව සංවර්ධනය” කිසිලෙසකින්වත් මුදලින් තක්සේරු කළ හැකි නොවේ. අවම තරමින් මේ 2022 මහ කන්නයවත් එසේ කාබනික ක්‍රමයට කාබනික කෘෂි යෙදවුම් භාවිතයෙන් සිදුකරන්නට හැකිනම් ක්ෂුද්‍රජීවීන් හා පාංශු ජීවීන්ගේ සංයුතිය ඉහළ ගොස්, පසේ තව තවත් සිදුවන ජීවී සංවර්ධනය රටේ කෘෂිකර්මාන්තයට අතිශය ධනාත්මක තත්ත්වයක් ඇතිකරයි. මන්ද ගොවිතැන යනු පැහැදිලිවම ගුණාත්මක පසක් වන නිසාය. එසේම මේ කන්න දෙකේ පාංශු පෝෂණය ඉහළ දැමීම සඳහා පසුගිය දෙවසර පුරාම සුළු, මධ්‍යම හා මහා පරිමාණ පරිසර හිතකාමී පොහොර හා අනෙකුත් කෘෂි යෙදවුම් කර්මාන්තකරුවන් විසින් අත්කරගන්නා ලද තාක්ෂණික දියුණුව හා රට පුරා කාබනික පොහොර හා අනිකුත් යෙදවුම් සඳහා ඇතිකරන ලද බෙදාහැරීම් ජාලයේ සංවර්ධනය ද සුවිශාල හේතුවක් වූ බව අමතක නොකළ යුතුය. මේ කටයුතු සියල්ල ලහි ලහියේ නමුත්, ක්‍රමානුකූලව සමාජය තුළ පැතිර යමින් පවතින්නේ ගසක මූල පද්ධතියක් පස තුළ පැතිර යන ආකාරයෙන් හා ක්‍රමානුකූලවය. නැතහොත් අතු පතර විහිදී වැඩෙන රූස්ස ගසක් පරිද්දෙන් මෙම සැපයුම් සේවාව විහිදී වැඩෙන්නේ සමාජයට අඬබෙර වයමින් නොව, බොහෝ නිශ්ශබ්දවය.

එනම්, පරිසර හිතකාමී පොහොර ඇතුළු කාබනික කෘෂි යෙදවුම් නිෂ්පාදනය හා බෙදාහැරීමේ කර්මාන්තය වගා කන්න දෙකක් අවසන් වන මේ මොහොතේ සුවිශාල දියුණුවක් අත්කරගෙන ඇති අතර, මේ වන විට එම කර්මාන්තයේ මධ්‍ය හා මහා පරිමාණ නිෂ්පාදකයන් හා සැපයුම්කරුවන් 40 කට වැඩි පිරිසක් නීත්‍යනුකූලව ලියාපදිංචි වී කටයුතු කරන අතර, සුළු පරිමාණ ව්‍යවසායකයන් ඇතුළුව එම ප්‍රමාණය 250 ක් පමණ දක්වා වර්ධනය වී ඇත. මෙහි ඇති අනෙක් විශේෂත්වය නම්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය සහිතව මේ බහුතර නිෂ්පාදකයන් විසින් පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමය නමින් සංවිධානයක් පිහිටුවා ගනිමින් ජනතාවට වග කියන ප්‍රමිතිගත පොහොර හා කෘෂි යෙදවුම් නිෂ්පාදනය කර බෙදාහැරීමය. එනම්, ඇතැම් ව්‍යාජ කාබනික පොහොර හා කෘෂි යෙදවුම් නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරනු ලබන බාල, ව්‍යාජ නිෂ්පාදනවලට වැට බැඳ ගොවි ජනතාවට සැබෑ, ගුණාත්මක, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ලබාදීම සඳහාය. ඒ අනුව පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමය මේ වන විට සුවිශාල ජයග්‍රහණ රාශියක් අත්පත්කර ගනිමින් ජාතික පොහොර ලේකම් කාර්යාලය, කෘෂිකර්ම අමාත්‍යාංශය යන ආයතන හා එක්ව කටයුතු කරන අතර, පසු ගිය යල කන්නය සඳහා පමණක් කාණ්ඩ හතරක් යටතේ රුපියල් බිලියන 15 ක කාබනික පොහොර තොග ශ්‍රී ලංකාව පුරා බෙදාහැර ඇත. මේ සියල්ලම ජාතික පොහොර ලේකම් කාර්යාලය හරහා සිදුකරන ලද බෙදාහැරීම් වේ. එසේම, ලක්ෂයකට අධික පවුල් සංඛ්‍යාවක් කාබනික පොහොර හා යෙදවුම් ක්ෂේත්‍රයේ ඍජු හා වක්‍ර රැකියා වරම් හිමිකරගෙන සිටින අතර, ගොම පොහොර, කුකුල් පොහොර එකතු කිරීම, කර දහයියා, කොහු බත් නිෂ්පාදනය, නයිට්‍රජන් බහුල කොළ වර්ග සැපයීම වැනි ක්ෂේත්‍රයන් ඔස්සේ ද වක්‍ර රැකියා කරන්නෝ බොහෝය. කාබනික වගා ප්‍රතිපත්තිය සමග මෙම ක්ෂේත්‍රයේ සැපයුම්කරුවෝ තවත් වර්ධනය වෙමින් ස්වයංරැකියා අවස්ථා හිමිකර ගත්හ. මෙම සියල්ලන්ම අරක්‍ෂාවන්නේ සහ ආදායම් උපයාගන්නේ කාබනික පොහොර නිෂ්පාදනය චක්‍රයක් මෙන් නොකඩවා ක්‍රියාකිරීමෙනි. එම චක්‍රය ආරක්ෂා කිරීම රජයේ වගකීමකි.

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය මේ දක්වා වගා කන්න දෙකක් තුළ ලබාගෙන ඇති දියුණුව ඒ අනුව අති විශාලය. කුමන හෝ බලපෑමකට නතුව කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ආපසු හරවා ගන්නට රජය කටයුතු කරන ලද්දේ මෙසේ කාබනික කෘෂි යෙදවුම් කර්මාන්තය විශිෂ්ට දියුණුවක් කරා වේගයෙන් පියමන් කරමින් සිටින මොහොතකදීය. ඒ සඳහා බිලියන ගණන් මුදල් වියදම් කර ප්‍රචාරය දෙන්නට තරම් අපි මල්ටි නැෂනල් කොම්පැණි (බහු ජාතික සමාගම්) නොවූවෙමු. තනිකරම දේශීය මුදල්වලින් ගොඩනැඟූ දේශීය සමාගම් වූ අපිට රසායනික පොහොර මාෆියාව සමග ගැටෙන්නට තරම් අයෝමය ශක්තියක් නැතිවුණද, කාබනික වගාව පොළොවේ යථාර්ථයක් බවට පත්කළ සැබෑ වස විස නැති ගොවීන්ගේ, පරිසරවේදීන්ගේ, සත්‍ය ඒ අයුරින්ම ප්‍රකාශ කළ මාධ්‍යයේ හා කාබනික වගාව අත්හදා බලා ඉහළ ප්‍රතිඵල පෙන්වූ නවක ගොවි ප්‍රජාවද අපට මහා ශක්තියක් සපයන ලදී. මෙසේ පසුගිය කන්න දෙකේදී රජයේ හා රටේ කාබනික පොහොර අවශ්‍යතාව වෙනුවෙන් මෙන්ම රජයේ ඉල්ලීම පරිදි රුපියල් බිලියන 15 කට වැඩි වටිනාකමින් යුත් පොහොර රට පුරා බෙදාහැර ඇති අතර ඒ සඳහා සම්පූර්ණයෙන්ම වැය කර ඇත්තේ දේශීය මුදල් වන අතර, ඒ සියල්ලම පාහේ ආපසු රජය මගින් ලබාදේය යන විශ්වාසයෙන් ඉතා අපහසුවෙන් සපයාගෙන ආයෝජනය කරන ලද මුදල් වේ. එම මුදල් තවමත් අයකර ගැනීමට ඇති බැවින් අපගේ සාමාජිකයන් විශාල පිරිසක් දැඩි මුදල් අපහසුතාවකින් පසුවේ. ඇතැම් කාබනික පොහොර කර්මාන්ත ශාලා වසා දැමෙන තත්ත්වයකට පත්ව ඇත. එබැවින් ලැබිය යුතු හිඟ මුදල් රජය මගින් අප වෙත ලබාදීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා පොහොර ලේකම් කාර්යාලයේ සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අවධානය මේ මොහොතේ යොමුවීම අත්‍යවශ්‍යය.

රසායනික ගොවිතැන රට තුළ නැවත සිදුකිරීමට අපගේ විරුද්ධත්වයක් නැති නමුත් රසායනික හා කාබනික මිශ්‍ර ගොවිතැන් රටාවක් වෙනුවෙන් මෙන්ම වෙන වෙනම රසායනික හා කාබනික ගොවිතැන්වල සමාන අනුපාතයක් සඳහා අප පෙනී සිට ඉල්ලුම් කරන අතර, තනිකරම කාබනික වගාව ඔස්සේ සුවිශාල ඩොලර් උත්පාදනයක් සිදුකර නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සැලකිය යුතු අස්වැසිල්ලක් වීමට මේ අතර අප දැනටමත් ඉදිරි පියවර ගෙන තිබෙන බව සතුටින් රටට කියන්නට කැමතිය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සිදුකරන ලද සාකච්ඡා මල්ඵල දරමින් රටට ඩොලර් උත්පාදනය වෙනුවෙන් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අප සාමාජිකයන් පියවර ගෙන ඇත්තේ එළැඹෙන මාස් කන්නයේත්, ඉන් ඉදිරියටත් රටේ කාබනික ගොවිතැන නඟාසිටුවීම සඳහා විද්‍යාත්මකවත්, තාක්‍ෂණිවත්, ප්‍රමිතිගතවත් කාබනික පොහොර හා යෙදවුම් ගොවි ජනතාවට අඛණ්ඩව ලබාදෙමිනි. ඒ සඳහා අප සංගමයේ සාමාජිකයන්ට උපරිම හැකියාව ඇත. රටටම කාබනික පොහොර ලබාදීමේ හැකියාව අපට මේ මොහොතේ ඇත. එසේම, කවර ගොවි මහතෙකු වුවද කුමන මොහොතක තමන්ගේ කැමැත්තෙන් කාබනික ගොවිතැනට පිවිසීම අපගේ අපේක්ෂාව වන අතර, ඒ සඳහා ඕනෑතරම් ගුණාත්මයෙන් උසස්, ප්‍රමිතිගත කාබනික පොහොර හා යෙදවුම් අප සතු බවත්, එසේ නිපදවන කාබනික කෘෂි නිෂ්පාදන අපනයනය කිරීමෙන් රටට ඩොලර් සපයා ගැනීම සඳහා එම ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන ඉහළ මිලකට අලෙවිකරදීම සඳහාද අප පියවර ගනිමින් සිටින බව පවසන්නේ මහත් ආඩම්භරයෙනි.

පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමය කාබනික කෘෂි නිෂ්පාදන පිරටට අලෙවිකර වැඩි ඩොලර් ප්‍රමාණයක් ලබාගැනීමේ හැකියාව හඳුනාගෙන ඇති අතර, මේ මොහොතේ ඒ සඳහා සක්‍රීයව ක්‍රියාකරමින් සිටින බව රටට පවසන්නේ මහත් ආඩම්භරයෙනි. එනම්, එක අතකින් නැවුම් කාබනික එළවළු, පලතුරු, කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් සමග අදාළ භාණ්ඩ අපනයනය සඳහා එක්ව කටයුතු කරමින් සිටින අතර, තවත් අතකින් පිටරට කාබනික ගොවීන් ඉල්ලා සිටින කොහු බත්, කර දහයියා, පොල් ලෙලි, දියර පොහොර වැනි දෑ ඍජුවම අපනයන කර රටට ඩොලර් ගෙන ඒමේ කටයුත්තකට ද අපි යොමුවී සිටිමු.

නමුත් අපගේ සැබෑ බලාපොරොත්තුව නම් රටේ කාබනික වගා වපසරිය හා කාබනික ගොවීන්ගේ ප්‍රමාණය තවදුරටත් වැඩිකර ඒ ඔස්සේ රටේ ගොවිතැන වස විස නැති වගාවක් හා වස විස නැති පරිභෝජන රටාවක් දක්වා ගෙන ඒමය. මේ වන විට රටේ සමස්ත වී ගොවිතැන් වපසරිය රසායනික 70 ට හා කාබනික 30 දක්වා අනුපාතයකට සිදුකිරීමට රජය ඉකුත්දා තීරණය කර ඇති නමුත්, ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ නම් එය සියයට 50-50 දක්වාවත් මට්ටමකින් සිදුකළ යුතු වීමයි. අපගේ බලාපොරොත්තුව අනුව කාබනික වගාවෙන් ඩොලර් උපයන්නට අපට හැකි වන්නේ එවිටය. මන්ද ඒ සඳහා ප්‍රමාණවත් ගුණාත්මක, ප්‍රමිතිගත කාබනික පොහොර හා කාබනික කෘෂි යෙදවුම් නිෂ්පාදන හා බෙදාහැරීම අප විසින් දැනටමත් වර්ධනය කර තිබීමය. ඒ අනුව කාබනික ඝන පොහොර, කාබනික දියර පොහොර, ජෛව දියර පොහොර හා ජෛව ඝන පොහොර ලෙස ඉතා උසස් තාක්ෂණයෙන් යුත් පොහොර වර්ග හතරක් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ඉල්ලීම පරිදි ගතවූ කන්න දෙකේදී දිවයින පුරා තොග බෙදාහැරීම සිදුකර ඇත.

රට පමණක් නොව ලෝකයම ආර්ථික අර්බුදයක ගිලී ඇති මේ මොහොතේ තවදුරටත් ඩොලර් වැයකර යූරියා ඇතුළු රසායනික පොහොර හා කෘෂි රසායන ගෙන්වීම කොතරම් ප්‍රායෝගික කාර්යයක් වනු ඇත්දැයි අපි ප්‍රශ්න කරමු. එය ඉතා දුෂ්කර හා සිදුනොවිය හැකි කටයුත්තකි. එනිසා ගෑස් ලිපෙන් දර ලිපට ගියා මෙන්, පෙට්‍රල් යතුරුපැදියෙන් පාපැදියට ගියා මෙන් ගොවිතැනටද රසායනික ක්‍රමයෙන් කාබනික ක්‍රමයට යෑමට සිදුවීම හැර වෙන විකල්පයක් නැත. නොඑසේනම් කුමන හෝ පොහොරක් රට තුළම නිෂ්පාදනය කරගැනීම එකම විසඳුම වේ. එනිසා කාබනික පෝෂක අපිම නිෂ්පාදන කරගැනීමේ මේ විකල්පය අප හිස මුදුනෙන් පිළිගත යුතුව ඇත්තේ එය ආශීර්වාදයක් ලෙස සලකාය. මන්ද ඒ සඳහා ඉහළම හැකියාව රටක් ලෙස අපට තිබේ. සමස්ත මහා කන්නයේ වී වගා හෙක්ටයාර් අට ලක්ෂයක් පමණ දක්වා වුවද පොහොර සැපයීමේ හැකියාව අප දැන් අත්කරගෙන ඇත. එනිසා තවදුරටත් කාබනික ගොවිතැන මිස අන් විකල්පයක් රටට නැති අතර, ඩොලර් උපයන්නටද කාබනික ගොවිතැන් හා කාබනික සැපයුම් මිස අනිකක් නැති බව අප සංගමයක් ලෙස දැඩිසේ අවධාරණය කරන අතර, මේ සත්‍යය වටහාගෙන කාබනික කෘෂි ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමය වන අප සංගමයේ සාමාජිකයන් සඳහා රටේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ ඉහළ ස්ථානයක් වෙන්කරන ලෙස අප ජනාධිපතිතුමා, අගමැතිතුමා, කෘෂිකර්ම ඇමැතිතුමා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින අතර, කාබනික යෙදවුම් නිෂ්පාදනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ඇතුළු අප විසින් රජය හරහා අලෙවි කරන පොහොර හා යෙදවුම් සඳහා අයවිය යුතු මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දෙන ලෙසද සංගමයක් ලෙස අප ඉල්ලා සිටින්නේ ඩොලර් උපයාදෙන්නට මේ මොහොතේ අප ගෙන ඇති පියවරට උදව්වක් ලෙසිනි.

රටට ඩොලර් ගෙනෙන්න කාබනික කෘෂි නිෂ්පාදන  කර්මාන්තයට සහන දෙන්න

● ශම්මි කිරින්දේ – සභාපති
● චමින්ද හෙට්ටිකම්කානම්ගේ – ලේකම්
පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment