රටට ඩොලර් ගේන සංචාරකයන්ගේ දුක හිතෙන කතාව…

1825

මේ දවස්වල ඇවිත් ඉන්න සුද්දො බලන්නේ අපෙන් කලා, බීලා ෆන් එකක් ගන්න…

ස්පා, සම්බාහන මධ්‍යස්ථාන සංචාරක කර්මාන්තයට පිළිලයක්, සමාජයට වසංගතයක්…

පිරිසිදු පොදු වැසිකිළි නැතිකම නිසා සංචාරකයන් අසරණ වෙනවා…

පෙරළි, පෙරළී හඬ නඟා පැමිණි රළ ගෙඩියක් මගේ දෙපා සෝදා ආපසු මුහුදට දිව ගියේ ය. ගතට, සිතට දැනෙමින් තිබූ විඩාව ද සිහින් සුළඟත් ඒ රළ පහරත් විසින් මුහුද ට ඇදගෙන ගියා සේ ය. දෙපා සිනිඳු වැල්ලේ රඳවා මම සිහිල් සුළං රැල්ලක් ආශ්වාස කරමින් පෙණහලූ පුරවා ගතිමි. ඉහළට ඇදගත් ඒ හුස්ම රැල්ල ආපසු හෙළීමි. පෙණහලූ කුඩා වී පුදුම සැහැල්ලූවකට පත්වන බව මට හැඟිණි. බෙන්තොට සුන්දර වෙරළ තීරය පුරා මම සැරිසරමි.

විදේශීය තරුණ, තරුණියන් අත්වැල් බැඳගෙන, ඇතැම්හු කිටි, කිටියේ තුරුලූ වෙමින් ද මුහුදේ කිමිදෙමින් සතුටු වෙති. ඒ අතර දේශීය සංචාරකයන් ද පවුල් පිටින් මුහුදේ බැස සතුටු වෙති. විදේශීය සංචාරකයන් රැගත් බෝට්ටු විදුලි මෙන් ඈත දියඹ ට දිවෙති. ඇතැම් විදේශිකයන් පාට, පාට කුඩ යට, මෙට්ට මත වැතිරි රිසි සේ ගිනි අව්වට සිරුර නිරාවරණය කරගෙන සිටිති. කොවිඞ් විසින් හුදෙකලා කර තිබුණු බෙන්තොට වෙරළ තීරය නැවතත් විදේශීය සංචාරකයන් ගෙන් පිරී තිබෙන අයුරු දැක මගේ සිත ද පිරිණි. එහෙත් කිසිදු විදේශීය සංචාරකයෙක් මුව ආවරණ පැළඳ නො සිටින අයුරු දකින විට නම් යටි සිත භීතියෙන් සලිත විය.

‘‘මෙහෙ විදේශිකයො අඩුයි. හික්කඩුව, උණවටුන විදේශීය සංචාරකයන් ගෙන් පිරිලා. යාල වන උද්‍යානය නැරඹීමටත් දවසකට විශාල සංචාරකයන් පිරිසක් යනවා. ඒත් හික්කඩුව උණවටුන ප‍්‍රදේශවල ඉන්න කිසිම විදේශිකයෙක් මුව ආවරණ පළඳින්නේ නෑ. පී.සී.ආර් පරීක්‍ෂණ කළාට වෛරස් එක ඇඟ ඇතුළේ තිබිලා පොසිටිව් නොවෙන අවස්ථා තියෙනවා. එහෙම පුද්ගලයන් මාස්ක් නොදා කඩ ගානෙ ඇවිද්ද ම වටේට ම කොරෝනා බෙදලා දානවා. සංචාරක පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කිසිම නිලධාරියෙක් මාස්ක් නැතුව ඉන්න සංචාරකයන්ට වචනයක් කියන්නෙ නෑ. අපේ මිනිස්සු සෑම මොහොතකම මුව ආවරණ පළඳිනවා. කන්න බොන්න විතරයි මාස්ක් එක පහත් කරන්නේ…’’ සංචාරක මඟපෙන්වන්නෙක් වූ ඉරෝෂ් චාමර මේ මොහොතේ අපට මඟපෙන්වන්නෙක් වී සිටින්නේ ය.

රටට ඩොලර් ගේන සංචාරකයන්ගේ දුක හිතෙන කතාව…

‘‘සංචාරකයො නොයෙන කාලේ අපි නන්නත්තාර වුණා. සමහර ගයිඞ්ස්ලා ධීවර බෝට්ටුවල මුහුදු ගියා. යතුරුපැදිවල පෙට්ටි බැඳගෙන මාළු විකුණපු අයත් හිටියා. එළවළු බිස්නස් කළා. තව පිරිසක් කුලී වැඩවලට ගියා. සංචාරක කලාපවල තිබුණු සියලූ පොඩි කඩ වැහිලා ගියා. සංචාරක ව්‍යාපාරයට වක‍්‍රාකාරයෙන් සම්බන්ධ වෙලා හිටපු ව්‍යාපාරිකයනුත් බිමට ම වැටුණා. සංචාරක කලාපවල මාළු වෙළෙන්දගේ ඉඳලා පොළේ එළවළු වෙළෙන්දා දක්වා සියලූ ම ව්‍යාපාරිකයන්ට දැඩිව බලපෑවා. සංචාරක කලාපවල හිඟන මිනිස්සුත් නැතිව ගියා. ඒ වගේ ම ගයිඞ්ස්ලා, සංචාරක කර්මාන්තයේ සුළු ව්‍යාපාරිකයන් ළඟ තිබුණු වාහන, රත්තරං බඩු සේරම සොච්චම් මුදලට විකුණුවා. සංචාරකයො ආවාත් වාහන නැති නිසා කර්මාන්තයට එන්න බැරි වෙච්ච අය ගොඩක් ඉන්නවා. දැන් තියෙන මිලත් එක්ක ෆිනෑස් දාලවත් වාහනයක් ගන්න බෑ. ඒ නිසා දැන් ගෙස්ට්ලා ටුවර් අරගෙන යන්නත් වාහන අඩුයි. ලොකු බස් හොයාගන්නවත් නෑ. වාහන අඩුකම දැන් කර්මාන්තය ට ලොකු ගැටලූවක් වෙලා තියෙනවා. ඒ වගේ ම සංචාරක කර්මාන්තයේ විශාල පිරිසකට කොවිඞ් හැදුණා. සැලකිය යුතු පිරිසක් කොවිඞ්වලින් මිය ගියා. කොවිඞ් අපිට විශාල හානියක් කළා…’’

‘‘මේ වෙනකොට නම් දිනපතා සැලකිය යුතු විදේශීය සංචාරකයන් පිරිසක් අපේ රටට එනවා. ඒ එන පිරිසෙන් බහුතරයක් එන්නේ දකුණු වෙරළ තීරයේ හෝටල් සහ ගෙවල්වල ට. දැන් ලංකාවට එන බොහෝ සංචාරකයන් කුලියට ගෙවල් අරගෙන ඉන්නේ. ගමන් බිමන් යන්න කැමැත්තක් දක්වන්නේ ස්කූටර්වල. දුර පළාත්වල ටුවර් යන්න වැඩි කැමැත්තක් දක්වන්නේ ම නෑ. දවසෙන් වැඩි කාලයක් මුහුදු වෙරළේ ඉන්න තමයි කැමැත්ත. ඒ වගේ ම යාලේ සතුන් බලන්න යන්න, ඖෂධ උයන්වල ඇවිඳින්න ගෙස්ට්ලා ගොඩක් කැමැතියි. හෝටල්වල තියෙන ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානවලට යන්නත් උනන්දු බවක් පේනවා…’’ චාමර ආයුර්වේද සම්බාහනය ගැන මතක් කළ ඇසිල්ලට අප අසල සිටි තවත් සංචාරක මඟපෙන්වන්නෙක් ගලාගෙන යන කතාවට අඩු වැඩි එකතු කළේය.

‘‘දැන් මට අවුරුදු පනස්පහ යි. මේ කර්මාන්තයට ආවේ අවුරුදු පහළොවේ දී. හතු පිපෙන ගාණට පාර අයින්වල විවෘත වෙන ස්පා, බෝඞ් එකට පමණක් ආයුර්වේද වෙච්ච සම්බාහන මධ්‍යස්ථාන සංචාරක කර්මාන්තයට විශාල පිළිලයක් වෙලා තියෙනවා. ඒ වගේ ම සමාජයට මහා වසංගතයක්. විදේශිකයො ඔය ගුබ්බෑයම් ඇතුළේ රිංගන්න යන්න නෑ. විදේශිකයො යන්නේ හෝටල් ඇතුළේ තියෙන සම්බාහන මධ්‍යස්ථානවලට විතරයි. පාර අයින්වල තියෙන සම්බාහන ගුබ්බෑයම්වලට රිංගන්නේ අපේ මිනිස්සු. ඒවා ඇතුළේ වෙන සම්බාහනයක් නෑ. වෙන, වෙන අමාරුකම් හොඳ කරලා එවනවා. දැන් ඒ තැන්වලට වැඩියෙන් ම යන්නේ පාසල් යන කොල්ලො. ඒවා ඇතුළේ ඉන්න ගෑනුත් පොඩි කොල්ලො එනවට හරි කැමැතියි. ඒ නිසා පොඩි කොල්ලො ආපු හැටියේ නැවත ගෙන්න ගන්න මායම් හැට හතරම දාලා, කොල්ලට උහුලගන්න බැරි විදිහට සතුටු කරනවා…’’

‘‘එතෙක් නොවිද්ද සතුටක්් විඳින්න ලැබුණු ඒ තරුණයො ඇන්ටි ට පිස්සු වැටෙනවා. ඒ උන්මාදයත් එක්ක ගෙවල්වල තියෙන සල්ලි හොරකරම් කරගෙන, සුද්දෙක් පස්සේ ගිහිල්ලා කීයක් හරි ඉල්ලගෙන දවස ගානෙ ස්පා යන පොඩි කොල්ලො ඉන්නවා. මහ ගෑනු එක්ක හුරතල් වෙලා යන ඒ කොල්ලො පෙම්වතියගෙනුත් ස්පා ඇන්ටිගෙන් ලැබුණු වින්දනය හොයනවා. එතකොට පාසල් යන ඒ ගෑනු ළමයි, කසාද බඳින්නත් පෙර ජීවිතයට වටිනා ම දේවල් නැති කර ගන්නවා. අලූත්ගම ඉඳලා දකුණු පළාතේ සංචාරක කලාප ආශ‍්‍රිත ඔය කියන ‘සම්බාහනය වෙනුවට අවලම්’ වැඩ කෙරෙන ගුබ්බෑයම් වැහි වැහිලා. මේ වෙනකොට ප‍්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගවලත් ජනාකීර්ණ ස්ථානවල සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. තැනක් නොතැනක් නෑ පන්සල් කිට්ටුවත් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන තියෙනවා. ආයුර්වේදය බෝඞ් එකට විතරයි. තෙල් ටිකක් ගලා ඇඟ පිරිමදින ඒ ගෑනුන්ට සල්ලි කීයක් හරි හැට්ටේ අස්සට ගැහුව ම කිසිම ප‍්‍රශ්නයක් නැතිව අහවල් වැඩෙත් කරගන්න පුළුවන්. සංචාරක කලාපයෙනුත් එපිට ගම්මාන ඇතුළේ මෙවැනි ගුබ්බෑයම් වැටුණ ම ගම් පිටින් විනාශ වෙනවා. ඒ නිසා විදේශීය සංචාරකයොත් නොයෙන මේ සම්බාහන කඩ විවෘත කිරීමට අවසර දෙන උන්ට දෙමවුපියො, බිරින්දෑවරු හෙණ ඉල්ලනවා. ඒ වගේ ම මේ ස්ථාන නියාමනය කරන්න, පරීක්‍ෂා කරන්න කිසිම නිලධාරියෙක් එන්නේ නෑ. පොලිසියේ සමහර අයත් ඒ තැන්වලට රිංගලා ඇෙඟ් අමාරුකම් හොඳ කරගෙන යන නිසා ඔවුන්ටත් නීතිය ක‍්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා බලධාරීන් හරි මේ සම්බන්ධයෙන් සොයා බලා විදේශීය සංචාරකයන් නො යන, අපේ කොල්ලො වැනසෙන ‘අවලම් කඩ’ වසා දාන්න කටයුතු කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා…’’ සම්බාහන දැන්වීම් පුවරුවට මුවා වී පවත්වාගෙන යන ලිංගික සන්තර්පණ ගුබ්බෑයම් ගැන ඔහු හොඳින් දැන සිටින්නෙකි. සංචාරක කලාප ගැන මෙන් ම සමාජය ගැන ද ඔහුට හොඳ අවබෝධයක් ඇත්තේය. එහෙයින් නම්, ගම් හෙළිදරව් කිරීමට බිය වූ ඔහු පැවසූ කරුණු කාරණා ගැන අදාළ බලධාරීන් අවධානය යොමු කරයි කියා අපි බලාපොරොත්තු වෙමු.

එමෙන් ම ඉරෝෂ් චමාරගේ කතාවේ දී හික්කඩුව, උණවටුන වෙරළ තීරය ගැන ඉස්මතු වූ බැවින් අපි එම ප‍්‍රදේශයට ගමන් කිරීමට ද අදහස් කළෙමු. අපේ ගමනට චාමර ද එකතුවීමට කැමැත්ත ප‍්‍රකාශ කළේය. මෝටර් රථය සෙමෙන් ඉදිරියට ගමන් කරන අතරේ අපි හොඳින් අවට විපරම් කෙළමු. මඟ දිගට විදේශීය සංචාරකයන් ය. ස්කූටර්වල ගමන් කරන විදේශීය සංචාරකයන් සුලබව ඇසගැටුණු බැවින් මම චාමරගෙන් ඒ ගැන විමසුවෙමු.

රටට ඩොලර් ගේන සංචාරකයන්ගේ දුක හිතෙන කතාව…

‘‘ගෙවල් කුලියට අරගෙන ඉන්න, ලයිසන් තියෙන ගෙස්ට්ලා එහෙට, මෙහෙට යන්න ස්කූටරයකුත් කුලියට ගන්නවා. දවසට ම දෙදහස් පන්සීය යි. තුන්දාහ යි. ඒක ඔවුන්ට ලාබයි. විදේශිකයන් ස්කූටර් පඳින්නත් හරි ම කැමැතියි. ඒ වගේ ම විදේශීය සංචාරකයන් ගමන් බිමන් යනකොට සනීපාරක්‍ෂක පහසුකම් ඉටුකර ගැනීමට පොදු වැසිකිළි, කැසිකිළි පහසුකම් නැතිව අනන්තවත් අසරණ වෙනවා. දැනට තියෙන ඒවාට ගියොත් නැවත සංචාරකයො ලංකාවට එන්නේ නෑ. ඒ තරම්ම පොදු වැසිකිළි අපිරිසිදුයි. ගුවන් තොටුපළේ ඉඳලා හයිවේ ස්ර්විස් ඒරියා එකේ තියෙන වැසිකිළි, කැසිකිළි විතරයි පිරිසිදු. ඒ හැර වෙන කිසිම තැනක පොදු වැසිකිළි, කැසිකිළියක් පිරිසිදු නෑ. සුපිරි වෙළෙඳසැල්වල, රෙස්ටුරන්ට්වල වැසිකිළි පිරිසිදුව තියෙනවා. ඒ ස්ථානවලට ගියා ම වතුර බෝතලයක් හරි ගන්න ඕනෑ. නිකං යන්න බෑ. ඒ වගේ ම පාර අයින්වල කුණු බක්කි නෑ. සමහර ප‍්‍රදේශවලට යනකොට කුණු බක්කියක් හොයාගෙන කිලෝ මීටර් ගණන් යනවා. මේ අඩුපාඩු ටික ඉක්මණින් සම්පූර්ණ කරන්න ඕනෑ. ගෙස්ට්ලා මේ ගැටලූ ගැන නිරන්තරයෙන්ම අප‍්‍රසාදය පළ කරනවා…’’

‘උඹගේ රටේ ටොයිලට්වත් හරියට හදාගන්න බැරි ද කියලා අපෙනුත් අහන අවස්ථා තියෙනවා…’ චමාරගේ කතාව පිට අපි හික්කඩුවට පැමිණ සිටින්නෙමු. හික්කඩුවේ පමණක් නොව, ගාලූ පාර දිග ට විවෘතව තිබෙන රෙස්ට්ටුරන්ට් විදේශීය සංචාරකයන් මෙන් ම දේශීය සංචාරකයන්ගෙන් පිරී තිබෙන අයුරු පෙනේ. එහෙත් හික්කඩුවේ දී අපට හමු වූ සංචාරක මඟපෙන්වන්නෙක් වෙනස් කතාවක් කීවේය.

‘‘ඉස්සර අපේ රටට ආපු වයසක විදේශිකයො දැන් එන්නේ නෑ. ආරංචි වෙන විදිහට ගොඩක් දෙනෙක් කොරෝනා හැදිලා නැති වෙලා. ඒ සුද්දො ලෝස් නැතිව වියදම් කළා. නැති බැරි මිනිසුන්ට ඇති වෙන්න උදව් කළා. දැන් එන සුද්දො පලතුරුවල ගණං අහලා තව කඬේකට යනවා. ඒ විදිහට පලතුරු කඩ තුන හතරකට ගිහින් තමයි පලතුරු ටික ගන්නේ. වියදම් කරන සුද්දො තවම ආවේ නෑ. දැනට ඇවිත් ඉන්න සුද්දො බලන්නේ අපෙන් කලා, බීලා ෆන් එකක් ගන්න…’’ එහෙම කියන්නේ ජීවක ය. වයස අවුරුදු හතළිහකි. ජීවිතයෙන් බාගයටත් වැඩි කාලයක් සංචාරක මඟපෙන්වන්නෙක් ලෙස රැකියාව කරගෙන යන ඔහු කොරෝනා වැළඳී මරණයෙන් ගැලවී ඇත්තේ පූරුවේ පිනකට බව අපට කීවේ ය. ඔහුට සමුදුන් අපි ගාලූ කොටුව බලා ගමන් ආරම්භ කළෙමු. ගාලූ කොටුවට යනෙන විට ඉර මුදුන් වී කොටු පවුර ගිනි ගෙන දැවෙමින් තිබිණී. එහෙත් විදේශීය සංචාරකයන් හිරුගේ වියරුව පයිසෙකට මායිම් නො කරනගානය. විදේශීය සංචාරකයන් දෙතුන්දෙනා මෙන් ම කණ්ඩායම් වශයෙන් ගාලූ කොටුව පුරා ඇවිදිමින් ජංගම දුරකථනවලින් සෙල්ෆි ෆෝටෝ ලබාගනිමින් සිරි නරඹති. ඒ කිසිදු සංචාරයෙක්ගේ මුහුණු ආවරණ නැත. තැන, තැන සිටින පොලිස් නිලධාරීන් ද දැක්කා නො දැක්කා සේ සිටිති.

හිරුගේ වියරුව අපට දරාගැනීමට නොහැකි වූ තැන සීතල බීම එකක් තොල ගෑමට කෑම කඩයකට ඇතුළු විය. කඬේ පුංචි වුව ද ඕනෑම කෑමක් බීමක් එහි තිබිණි. එහෙත් මිල ගණන් දුටු විට ඇඟ සීතල විය. පලතුරු බීම එකක් රුපියල් දෙසිය පනහකි. චිකන් ප‍්‍රයිඞ් රයිස් බාගය රුපියල් පන්සියකි.

‘‘මේ මිලටත් දෙන්න අමාරුයි. හැම දේම ගිනි ගණං. අද තියෙන මිල නෙමෙයි, හෙට තියෙන්නේ. මුහුදෙන් නිකං අල්ලගන්න මාළුත් දවසින්, දවස වැඩි වෙනවා. ඒත් කෑම, බීම මිල තව වැඩි කළොත් දේශීය සංචාරකයො විතරක් නෙමෙයි, විදේශීය සංචාරකයොත් එන්නේ නැතිව යනවා. ගෙස්ට්ලා දැන් රුපියලට ගණං බලනවා. ඒත් අපි උන්න විදිහට මේ හොඳට ම හොඳයි. ඉස්සර මේ කඩ සේරම වැහිලා තිබුණේ. සංචාරකයො එන්න අරගෙනත් ටික දවසක් ගියාට පස්සෙ තමයි කඩ විවෘත වුණේ. දැන් නම් දකුණු පළාතේ ම සංචාරක කලාපවලට හොඳයි. මිනිස්සුත් හරි ම සතුටින් ඉන්නවා…’’ ඔහු අරුණ ය. කාලයක සිට ගාලූ කොටුවේ කෑම කඩයක් කරගෙන යන ව්‍යාපාරිකයෙකි.

ගිනි මද්දහනේ ගාලූ කොටුවේ ඇවිදීමට නො හැකිය. එහෙයින් අපි අලූත්ගම ප‍්‍රදේශයට නැවත ගමන් කළෙමු. අප රැගත් මෝටර් රථය තරමක් වේගයෙන් පැමිණ බෙන්තොට රෙස්ටුරන්ට් එකක් අසල නතර කළේ ය. අවට දැවෙන ගින්දරට වඩා අපගේ කුස ගින්දර දරුණු වී තිබිණි. කෑම කා අහවර වූ පසු එම රෙස්ට්ටුරන්ට් එකේ අයිතිකාරිණිය සමග කෙටි කතාබහක නිරත විය. ඇය හර්ෂණි ද සිල්වා ය. වයස අවුරුදු තිස්අටක් වන ඇය දරුවන් ඇති මවකි. ව්‍යාපාරික කාන්තාවකි.

‘‘අපේ ට‍්‍රැවල් කොම්පැනිය අවුරුදු දෙකක් වහලා තිබුණා. වැඩ කරපු සේවකයන් පස්දෙනාගෙන් තුන්දෙනෙක් ම අයින් කළා. සංචාරකයො එන්න පටන් ගත්තට පස්සේ නැවත විවෘත කළා. ඒත් දැන් ඉන්නේ සේවකයො දෙන්නයි. හයර් ටිකක් තියෙනවා. වාහන අඩුයි. ගෙස්ට්ලා ඉල්ලන්නෙත් 2010 අවුරුද්දට මෙහා ඩිකිය තියෙන හොඳ වාහන විතරයි. ඒ වගේ ප‍්‍රශ්න ටිකක් තියෙනවා. අපේ රෙස්ට්ටුරන්ට් එකට එන ගෙස්ට්ලා නම් හොඳට කනවා, බොනවා. සල්ලි ගැන බලන්නේ නෑ…’’ නවීන පන්නයට අංගසම්පූර්ණ රෙස්ට්ටුරන්ට් එක සිත් ගන්නා සුලූ ය. විදේශිකයන් සුන්දර ස්ථානවලට කැමැතිය. පිරිසිදුව, පිළිවෙළට කෑම ටික ලබාදෙනවා නම් විදේශිකයන් මිල ගැන සැලකිලිමත් නොවන බව සැබෑය. එමෙන්ම ඕනෑ ම සමාජයක ජීවත්වන පුද්ගලයන් විවිධාකාර ය. උපරිමයෙන් වියදම් කර අසීමිත ලෙස සතුටු වන අය මෙන් ම අතේ තියෙන මුදල අරපිරිමැස්මෙන් වියදම් කර සරලව ජීවත්වන අය සිටිති. මෙරටට පැමිණෙන සංචරකයන් අතර ද ඔය දෙවර්ගය ම සිටිති. ඒ මිනිසුන්ට ඕනෑ විදිහට ජීවත්වීමට ඉඩ හරිනවා විනා විදේශීය සංචාරකයන්ගේ රිරීමාංශ උරා බීමට තැත් කිරීම මෙරට සංචාරක කර්මාන්තයට අයහපතකි. එසේ කිරීම මෙවර පැමිණි සංචාරකයන් නැවත ලංකාව දිහා නො බලන්නට ද ඉඩ හැරීමකි. එමෙන්ම දුර බැහැර යනවිට සනීපාරක්‍ෂක පහසුකම් සම්පූර්ණ කිරීම විදේශීය සංචාරකයන්ට පමණක් නොවේ, මෙරට ජනතාවට ද යහපතකි. පිරිමි ගැන නොව, කාන්තාවන් ගැන අවධානය යොමු කර ඒ අඩුපාඩු කඩිනමින් ඉටු කිරීම රජයේ වගකීමකි.

රටට ඩොලර් ගේන සංචාරකයන්ගේ දුක හිතෙන කතාව…

විදේශිය සංචාරකයන්ට එන්න කියා පමණක් ඵලක් නැත. නැවත ඔවුන්ව මෙරටට ගෙන්වාගැනීමට ඇවැසි පරිසරය නිර්මාණය කිරීමට උපදෙස් ලබාදීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment