රටට නොගැළපෙන පාසල් අධ්‍යාපනය

3631

අධ්‍යාපනය රටක් අභිවෘද්ධි කරා යන ගමනේ තීරණාත්මක සාධකය යි. රටක ජනතාවගේ සිතුවිලි රටා, හැසිරීම හා තීන්දු තීරණ ගැනීම පමණක් නොව සංස්කෘතික හර පද්ධතීන්ගේ පැවැත්ම හා තිරසාර ආර්ථික සංවර්ධනයද රඳා පවතින්නේ අධ්‍යාපනය මතයි. සරලවම කිවහොත් යම් රටක් සෞභාග්‍ය සම්පන්න රටක් බවට පත්වීමට රටේ පවතින අධ්‍යාපන ක‍්‍රමය සෘජුවම විශාල බලපෑමක් සිදුකරයි. වයස අවුරුදු පහේදී පාසලට ඇතුළුවන දරුවා පාසලෙන් පිටවන්නේ අවුරුදු 18 ක හෝ 19 ක යොවුන් වියේ පුරවැසියකු ලෙසයි.

පසුගිය දශක 4 ක පමණ කාලයක සිටම පාසලෙන් පිටවන තරුණ තරුණියන් පිළිබඳ බොහෝ විවේචන තිබේ. ප‍්‍රධාන වශයෙන්ම ඔවුන් තුළ පවතින යහ පැවැත්ම පිළිබඳ විවේචන බොහෝ ය. අවංකභාවය, සෘජුබව, සංවේදී බව, අන් අය ගැන, රට ගැන, පරිසරය ගැන සිතීම වැනි යහ ගුණ ධර්ම මිනිසුන් තුළින් ගිලිහී ගොස් ඇති බව පෙනේ. එපමණක් නොව රාජකාරියේදී තම වගකීම් ඉටු නොකිරීම, කැප නොවීම හා යාවත්කාලීන නොවීම පිළිබඳ ගැටලූ වර්තමානයේ පවතී. රාජ්‍ය දේපළ අවභාවිතය, වංචා සහගත ඉපැයීම් ඇතුළු විවිධ ආකාරයේ සොරකම් පිළිබඳ කරුණු හෙළි වේ. මේ තත්ත්වය රටකට ඉතා හානිකරය. එකී අයහපත් චර්යා සහිත මිනිසුන් බිහිවීමට ප‍්‍රධාන හේතුවක් වනුයේ අධ්‍යාපනයේ අන්තර්ගතය හා එහි උපායමාර්ගික ක‍්‍රමවේද පිළිබඳ දුර්වලතාය යි. එපමණක් නොව එකී අන්තර්ගතය බුද්ධිකලම්බනය වන අයුරින් සහ බහුවිධි බුද්ධීන් පුබුදුවාලන ආකාරයෙන් ලබා නොදීමයි. දරුවන් අතිශය විවිධ ය.

පන්ති කාමර තුළ සිටින දරුවන් 45 දෙනා 45 ආකාරයක් බව වටහා නොගැනීම අපගේ අධ්‍යාපන ක‍්‍රමවේදයේ තිබෙන විශාල හිඩැසකි. සියලූම දරුවන්ට සාධාරණය ඉටු කිරීමට මෙම සුවිසල් විවිධත්වය අවබෝධ කර ගත යුතුම ය. එසේම 5 ශ්‍රේණියේ සිටම පවතින විභාග පාදක ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රමය නිසා බෙහෝ විට බහුවිධි කුසලතා ඇති දරුවන් පමණක් නොව දෙමාපියන් ද ඉමහත් අසරණ තත්ත්වයට පත්වනු දැකිය හැකිය. බොහෝවිට දෙමාපියන් තම දරුවන් ආසා කරන මෙන්ම දක්ෂතා දක්වන විවිධ වූ ක්ෂේත‍්‍ර තිබුණ ද, ඒ සඳහා ඉතා දක්ෂ වුවද විභාගයට ඇත්තේ ලිඛිත ප‍්‍රශ්න පත‍්‍රයකට පිළිතුරු ලියා ලකුණු ලබා ගැනීමට බැවින් ඔවුන් සතු සියලූ කුසලතා යටපත් කොට කට පාඩම් කිරීමට දරුවන් යොමු කරති. මතකය හා ස්මරණය පමණක් මැන බැලීම මෙකී බොහෝ විභාගවල ස්වභාවයයි. දරුවන්ගේ බහු විධි බුද්ධීන්ගේ නිපුණතා මැනීමට සුදුසු ක‍්‍රමවේදයක් සැකසිය හැකි නම් කෙතරම් සහජ දක්ෂතා ඇති පිරිසක් බිහිවේවි ද? පාසල තුළදීම එක් එක් වෘත්තිය දක්ෂතා ඇති දරුවන් ද මින් හඳුනා ගැනීමට ඉඩ ලැබේ.

පාසලේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ඉහළම ලකුණු ලබාගත් දරුවන් ත්‍යාග හා සහතික ලබයි. එය අගය කළ යුතුය. එහෙත් ලකුණු 75 ට ඉහළින් ලබා ගත් ක‍්‍රීඩා, ගායන, නාට්‍ය වැනි බහු විධි දක්ෂතා මත වෙනත් බාහිර ජයග‍්‍රහණ ලබාගත් හා විවිධ වූ දක්ෂතා ඇති දරුවන්ට ද ඇගැයීමක් කළ හැකි නම් කෙතරම් වටීද? පන්තියේ ලකුණු 100 ලබාගත් දියණියට පමණක් විෂය ත්‍යාගය පිරිනැමීම සාධාරණ නොවේ. බාහිර කටයුතුවල යෙදෙමින් ලකුණු 100ක් ලබා ගත නොහැකි වුවද වැඩිම ලකුණක් ලබාගත් ශිෂ්‍යාවන්ටත් විෂය ත්‍යාග පිරිනැමිය හැකිය. සමබර පෞරුෂයකින් හෙබි දරුවකු සමාජගතකර ගැනීමට නම් පොත පතේ අධ්‍යාපනය මෙන්ම විෂය සමගාමී හා විෂය බාහිර ක‍්‍රියාකාරකම්වල නියැළීම ඉතාම වැදගත් වේ. පාසල් අධ්‍යාපනය තුළින් සමබර පෞරුෂයකින් යුත් තරුණ පරපුරක් බිහිවිය යුතුය. එලෙසම සාරධර්ම අධ්‍යාපනය දරුවන්ගේ ජීවිතවලට කුඩාකලම කාවැද්දිය යුතුයි. ඒ සඳහා ප‍්‍රශ්න පත‍්‍රයකට පිළිතුරු ලියා සාරධර්ම ප‍්‍රශ්න පත‍්‍රයට ලකුණු 100 න් 100 ගැනීම නොව, යහපත් මිනිසකු වීමට තම ජීවිතයට එකතු කරගත යුතු යහ ගුණ ධර්ම ප‍්‍රායෝගිකව අත්විඳීමට, ක‍්‍රියාවේ යෙදවීමට ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය අතරතුර මෙන්ම සමාජ ජීවිතයේ දී ද අවස්ථා ලබා දිය යුතුය.

එලෙසම වර්තමානයේ පාසල නිමකර හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකර සමාජගතවන තරුණ තරුණියන් බොහොමයකගේ සමාජ කුසලතා හා පුද්ගලික කුසලතා පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව පැවසේ. සන්නිවේදන කුසලතා බෙහෙවින් දුර්වල බවත්, බොහෝ විට මේ අය පුහුණුවේ පවා යෙදවිය නොහැකි බවට චෝදනා නැගේ. වර්තමාන රැුකියා වෙළඳපොළ ද මෙකී දුර්වලතා නිසා උපාධිධාරී තරුණ තරුණියන් පවා රැුකියාවලට බඳවා ගැනීම ප‍්‍රතික්ෂේප කරනු ලබයි. රැකියා වෙළෙඳපොළේ තිබෙන රැකියාවලට අපේ රටේ වර්තමාන අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහිවන තරුණ තරුණියන්ගේ නොගැළපීම ඔවුන්ගේ වරද නොව අපගේ අධ්‍යාපන ක‍්‍රමයේ ඇති අඩුපාඩුවකි. කටපාඩම් විභාග පාදක ඉගෙනුම් – ඉගැන්වීම් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන රටක් ලෙස දරුවන්ගේ කුසලතා හා ක‍්‍රියාකාරකම්වලට පංතිකාමරය තුළ ලැබෙන ඉඩකඩ ඉතාම අවම ය. මේ ක‍්‍රමය තුළ ක‍්‍රියාකාරකම් කරමින් නිර්මාණශීලී ඉගෙනුම් – ඉගැන්වීම් ක‍්‍රියාවලියට ඉඩකඩ නොලැබේ. වෘත්තීය අධ්‍යාපනයට පිවීසීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ ලැබෙන කුසලතා සංවර්ධනයට ඇති ඉඩකඩ සහ ඒ සඳහා සිදුකරන මාර්ගෝපදේශනය ද ඉතාම අවම ය.

අපේ දරුවෝ ප‍්‍රධාන පෙළේ පාසල්වල පළවන ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉංග‍්‍රීසි ඉගෙන ගනිති. අනෙකුත් සෑම පාසලකම 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉංග‍්‍රීසි භාෂාව විෂයයක් ලෙස උගන්වනු ලබයි. නමුත් පාසල හැර යන දරුවාට උසස් අධ්‍යාපනයට යොමු වීමට ඇවැසි ඉංග‍්‍රීසි භාෂා කුසලතාව හෝ ව්‍යාපාර ලෝකයේ රැුකියාවකට හෝ කුමන හෝ මානව සබඳතා පවත්වනු ලබන රැුකියාවකට ඉල්ලා සිටිනු ලබන මෙකී සන්නිවේදන කුසලතා ලැබී නැති බව පෙනී යයි. මේ නිසා දරුවන් සමාජයේ අතරමං වේ. මෙය තරුණ අසහනයට ද හේතු වී ඇත. එබැවින් අධ්‍යාපනයේ අන්තර්ගතය උක්ත ගැටලූ අවම වන ආකාරයට නවීකරණය කළ යුතු කාලය එළඹ තිබේ.

පාසල යනු දූ දරුවන්ගේ ජීවිත ආලෝකය ලබාදෙන ආයතනය විය යුතුයි. අද බොහෝ විට පාසල් දරුවෝ පාසල තුළ තමන්ට සිදුවූ අසාධාරණකම් පිළිබඳව කථා කරති. පාසල තුළ දී ලද පක්ෂාග‍්‍රාහී වැරදි තීන්දු නිසා තමා ජීවිතය බෙහෙවින් දුක්ඛදායක හා මන්දෝත්සාහී බවට පත්ව ඇති බව පවසන තරුණ දූ පුතුන් සිටිති. තම මවට පියාට ඇති මුදල් අගහිඟකම් නිසා තමන්ට පාසලේ හිමි විය යුතු නායක තනතුරු පවා අහිමි වූ බව කියන ඉතා දක්ෂ දූ පුතුන් මට ද හමු වී තිබේ. පාසලේ දෙවිවරුන් වන් ගුරුවරුන් අතර දරුවන්ගේ හිත් තලා පෙළා දමන නොමිනිසුන් ද සිටින බවට මාධ්‍ය හරහා තොරතුරු වාර්තා වේ. මේ නිසා අධ්‍යාපනයේ අන්තර්ගතය අප රටට ගැළපෙන ලෙස සකසනවා සේම අධ්‍යාපනයේ නියුක්ත වන ගුරුවරුන් ලෙස පත්වන සියලූ දෙනාට මෙන්ම විදුහල්පතිවරුන්ටත් ඉතා විශිෂ්ට ගුණාත්මක වෘත්තීය සංවර්ධනයක් ලබාගත හැකිවන පරිදි ගුරු හා විදුහල්පති අඛණ්ඩ වෘත්තීය සංවර්ධන හා පූර්වසේවා වෘත්තීය සංවර්ධන දිගුකාලීන පාඨමාලා සකස්විය යුතුයි. ළමා මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, අධ්‍යාපන දර්ශනය, ළමා හා මානව අයිතිවාසිකම් ආදී විෂය ධාරා එකී ගුරු පුහුණුවට එකතු කර දරුවාගේ සුන්දර බව වියැකී යානොදී පාසල තුළ රැුකබලා ගතයුතු ආකාරය එකී වෘත්තීය පුහුණුවේ දී ඒත්තු ගැන්විය යුතුයි. එසේම ක‍්‍රියාකාරකම් පාදක ඉගෙනුම් – ඉගැන්වීම් ක‍්‍රමවේද නව තාක්ෂණය හා බැඳුනු ඉගෙනුම් ක‍්‍රමවේද හා ඉංග‍්‍රීසි භාෂා නිපුණතා සංවර්ධනය පිළිබඳ මෙම පුහුණුව ඇතුළත් කළ යුතුයි. අවම වශයෙන් උපාධිය ලැබීමෙන් පසු හෝ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමෙන් පසු පුරා වසර 2 ක්වත් ගුරු හා විදුහල්පති පුහුණුවක් ලබා දිය යුතුයි. පළමු වසර නේවාසික පුහුණුවක් ලෙසත් දෙවන වසර පාසල තුළ විශිෂ්ට ගුරුවරුන් (mentor) ඇසුරෙහි අත්දැකීම් ලැබීමටත් ඉගැන්වීම් ක‍්‍රියාවලිය අත්දැකීමට අවස්ථා සලසා දීමත් කළ යුතුය. එපමණකින් නොනැවතී වසර 2 කට වරක් වත් වෘත්තීයේ යෙදෙන ගුරු හා විදුහල්පතිවරුන් සඳහා කෙටිකාලීන සේවාස්ථ වෘත්තීය සංවර්ධන පුහුණු සැසි පවත්වා ඔවුන්ගේ දැනුම හා කුසලතා හා ආකල්ප යාවත්කාලීන කළ යුතුයි. එසේ වුවහොත් දරුවාගේ මනස නොතලා සාධාරණ පරිසරයක් පාසල තුළ ඇතිකරමින් ක‍්‍රියාකාරකම් පාදක, නිපුණතා පාදක අධ්‍යාපන ක‍්‍රියාවලියක් සිදුකරන ආයතන බවට සියලූ පාසල් පත්වනු ඇත. එකී ගුණාත්මක පාසල තුළින් බිහිවන තරුණ තරුණියෝ ඉතා සුනම්‍ය ගුණධර්මවලින් හෙබි කුසලතා පිරිපුන් තරුණ තරුණියෝ වනු ඇත.

තවද රටට ගැළපෙන පරිදි විෂයය නිර්දේශයට නව විෂයයන් ඇතුළත් කළ යුතුය. එකී විෂයයන්හි අන්තර්ගතය ප‍්‍රායෝගික විය යුතුය. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ හැදෑරීමට පාසල තුළ විෂයයක් නොමැත. යම් කරුණු ප‍්‍රමාණයක් ඇතුළත් කර තිබුණත් සංචාරක කර්මාන්තය පුළුල් විෂයයක් බැවින් එය එක පාඩමකින් ඉගැන්විය නොහැකිය. සංචාරකයන් එටට පැමිණිය ද රට තුළට ගමන් කරන ප‍්‍රමාණය සාපේක්ෂව අඩුය. රටේ හිරු රශ්මිය ස්නානය කොට මුහුදු පරිසරය බුක්ති විඳීමෙන් අනතුරුව ඔවුන් පිටව යති. එය අපට විශාල පාඩුවකි. විදේශිකයන් රට අභ්‍යන්තරයට පැමිණීමේ අඩුවට හේතු බොහොමයක් බලපායි. මාර්ග පද්ධතියේ ගැටලූ, සන්නිවේදන කාර්යයට ඇති අපහසුව (Signal Coverage), ගුණාත්මක පොදු ප‍්‍රවාහන පද්ධතියක් නොමැති වීම, දීර්ඝ කාල වේලාවක් දුර ගමන් දුම්රිය හා බස් රථවලට නැගීමට බලා සිටීමට වීම එකී සංචාරක ස්ථානවල නැවතීමේ පහසුකම් අවම වීම හා දිගු පෝලිම්වල දීර්ඝකාලයක් රැඳී සිටීමට සිදුවීම වැනි කරුණු දැක්විය හැකිය. මේවා පාසල් අධ්‍යාපනයේ විෂයයක් හරහා සංචාරක කර්මාන්තයේ යෙදීමට ආසාවක් දක්වන දරුවන්ට අධ්‍යයනය කිරීමට අවස්ථා ලබා දිය යුතුය. එවිට රටේ තරුණ ව්‍යවසායකයන් උක්ත දුර්වලතා මඟ හරවා ගැනීමට අනාගතයේ හෝ සැලසුම් සකස් කරනු ඇත. එසේම සංචාරක කර්මාන්තය හා බැඳුණු සෘජු හා වක‍්‍ර ව්‍යාපාර බොහෝ ය. සිල්ලර පැණි රස අලෙවි කරන්නාගේ සිට මහා පරිමාණ හෝටල් හිමිකරුවා දක්වා එකී ජාලය දිව යයි. ප‍්‍රවාහනයේ දී ත‍්‍රීවීල් රියැදුරාගේ සිට අධි සුඛෝපභෝගී වාහන රියැදුරු දක්වා ද විහිදේ. සංචාරක මඟ පෙන්වන්නන් තවත් වෘත්තිකයන් පිරිසකි. මේ අයුරින් ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉතා පුළුල් විෂයයකි. මෙවැනි විෂයයක් ප‍්‍රායෝගිකව හැදෑරීමට විෂය මාලාවට ඇතුල් කළ හැකිය.

පාසලකට දරුවන් වෙනස් කළ හැකිය. ඔවුන් යහ ගුණ දහමින් පෝෂණය කළ හැකිය. කෙතරම් දක්ෂතා තිබුණත් මිනිස් ගුණ දහම් නොමැති නම් එකී දක්ෂතා රටකට ඵලදායක ලෙස යෙදෙවෙන්නේ නැත. ඒ සඳහා අපට බොහෝ සාක්ෂි ඇත. පාසලකින් දරුවන් මානව දහමින් පෝෂණය කරමින් ඔවුන්ගේ කුසලතා සංවර්ධනයට මඟ පෙන්වීමට ඉතා පහසුය. එසේ කරන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අතීතයේ සිටියහ. වර්තමානයේ ද දැකිය හැකිය. මේ අයුරින් හෝ රට රැකී ඇත්තේ එසේ බිහිවූ රටට ආදරය කරන, මිනිසාට හා පරිසරයට දැඩි ලෙස ආදරය කරන නායකයින් හා පුරවැසියන් මේ පුණ්‍ය භූමියේ තවමත් සිටින බැවිනි. ගැටලූව ඇත්තේ එකී ප‍්‍රමාණය අල්ප වීමයි.

රටට නොගැළපෙන පාසල් අධ්‍යාපනය

ජේ. සුමේධා ජයවීර
විදුහල්පති, ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය
මිලාගිරිය

advertistmentadvertistment
advertistmentadvertistment