රටට බරක් නොවීමට බුදුදහමේ මාර්ගෝපදේශන

99

ඉපදුන රටට අදහන ආගමට සෙට
 මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට
 පැටවුණ බරක් මෙන් ලංකා පොලව පිට
 පසුවන එක හොඳද සිංහල පුතෙකු හට

 ටිබෙට් ජාතික සීකිම් මහින්ද හිමියන්ගේ මෙම කවි පද සිහිපත් වූයේ වර්තමානයේ රට තුළින් ඇසෙන විවිධ කථා බහක් මුල් කරගෙනය.

 ලාංකීයයන් වන අපට අභිමානනීය උරුමයක් ඇත. ඒ බුදු දහමයි. බුදු දහම යනු සශ‍්‍රීකත්වයේ සංකේතයයි. බුදු දහම පුද්ගලාගේ ලෞකික දියුණුව, පාර ලෞකික දියුණුව, ලොකෝත්තර දියුණුව ස`දහා වූ ප‍්‍රතිපදාවකි. දර්ශනයකි. දහමකි. එවන් දහමක ඇසුර ලබන අප උපතේ සිට මේ බුදු දහමෙහි ස්පර්ශය ලබන අපේ සමාජය හොදි රස දත් දිව සේ නොවී හොදි රස නොදත් අජීවි හැ`දි සේ ධර්මය නොදැක වල් මත් වී ඇත. බුදු මඟ පසෙකලා වෙන වෙන නව මං තරණය කරන්නට ගොස් වර්තමානය තුළ අපි මහා අවාසනාවන්ත තත්වයට පත්ව වෙසෙමු. ආර්ථික දිළිඳු බව පමණක් නොව අධ්‍යාපන, දේශපාලන, සමාජ සංස්කෘතික, ආධ්‍යාත්මික හා ආගමික දිළිඳු භාවයෙන් අපි පෙළෙමු. මේ දිළිඳු බවින් මිදී නැගී සිටීමට නම් අප යළිත් බුදු මඟ දිවි මඟ කර ගත යුතුයි. අතීතයේ දිවි මඟ බුදු මඟ කළ ලාංකිකයා ස්වයං පෝෂිත ආර්ථිකයක උරුම කරුවා වූවාසේ ම අභිමාවත් අධ්‍යාපනයක, ආඩම්රණීය වූ දේශපාලනයක, ගෞරවණීය සමාජ සංස්කෘතික හා අසමසම ආධ්‍යාත්මික හා ආගමික උරුමයක් උරුම කරගත් බව අපි දනිමු. සම්බුදු හිමිගේ සිරිස දහම සුමුසු අධ්‍යාපනය තුළින් සත් ආකල්පයෙන් සපිරි සිරිලක පුරවැසියා අනෙක් සියලූ දෙයින් සුපෝෂිතව ස්වයංපෝෂිත ආර්ථිකයක උරුමකරුවා විය.

 රටේ පුර වැසියන් රටට බරක් නොවන්නට නම් ඔහුගේ වගකීම් සේ කාර්යයන් දෙකක නිරත විය යුතුයි. ඔහු බඹසර විසිය යුතුයි. ආර්ථික සංවර්ධනයට උපකාරි විය යුතුයි. බඹසර විසීම සිදුවිය යුත්තේ ලෞකික ජීවිතයේ සංවර්ධනයට අවශ්‍ය කරන ගුණ භාවය ලබන්නට හා ලෝකෝත්තර දිවියේ පරම නිෂ්ඨාව උදෙසා වෙයි. බඹසර යනු බ‍්‍රහ්ම හැසිරීමයි. අප මිනිසුන් වුව ද මිනිසුන් අතර විශිෂ්ට මිනිසුන් වන්නට බඹුන්ගේ හැසිරීම අප තුළ තිබිය යුතු වේ. බඹුන්ගේ සුවිශේෂි ගුණ නම් සතර බඹ විහරණයි. මෙත්තා , කරුණා, මුදිතා, උපේක්ෂා යනු එම ගුණයි. යම් පුද්ගලයකුට තමාට හා තමන් අවට වූ භෞතික, අභෞතික දේට අසීමිතව ආදරය කළ හැකිනම්, කරුණාව දැක්විය හැතිනම්, ඊර්ෂියා නොකර සතුටු විය හැකිනම්, සියල්ල කෙරෙහි මැදහත් දැක්මක් පවතීනම් ඔහු බ‍්‍රහ්ම හා සමාන වෙයි. මේ ගුණ දම් ඇති පුද්ගලයා ඔහු ගේ සමාජ භූමිකාව කුමක් වුවද ඔහු සමාජ හිතකාමි පුද්ගලයෙක් වෙයි.

 මෙසේ වූ විට ඔහු සමාජය හ`දුනයි. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප‍්‍රසංසා, සැප දුක් දනී. ඒවා හමුවේ අන්තයට ගොස් මැහත් වෙයි. ලාභය, යසස, ප‍්‍රශංසාව,සැප උදෙසා හෝ අලාභ, අයස, නින්දා, දුක් නිසා හෝ තමන්ට හෝ අනුන්ට හානියක් නොකරයි. හිංසාවක් නොකරයි. අටලෝ දහම ගැන ඇති අනවබෝධය නිසා සමාජය තුළ ආරවුල් පාපකාරි ක‍්‍රියා මතුව පවතී. සත්වඝාතනය, සොරකම, වැරදිකාමය, මදයට හා ප‍්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය, බොරු කේළාම්, පරුෂ වචන, හිස් වචන බිණීම, දැඩිලෝභය, අනුන් මැරීමේ පෙළීමේ චේතනාව, මිථ්‍යා දාෂ්ටි මත වාදයන් දැරීම, ආදී වූ දේ සිදු කරනුයේ අටලෝ දහමට මුහුණ දෙන අයුරු නොදන්නා කමයි. බඹසර වසන්නා සීලය සුරකියි. පව් නොකරයි. පව් කිරීම තමන්ට බරකි. සමාජයට බරකි. මේ භවයට බරකි. භව සංසාරයට බරකි. ගොනුගේ කුර පසුපස ගමන් කරන කරත්ත රෝදය මෙන් මේ පව් නමැති බර දරා සසර සරනු ලැබේ.

 රටට බරක් නොවන්නට නම් පුරවැසියා ඔහුගේ යුතුකම් හා වගකීම් හදුනාගත යුතුයි. සිල්වත් වූ විට තමා හදුනා ගනියි. තමා මේ සමාජය තුළ නියෝජනය කරන භූමිකාව හදුනා ගනියි. මවක, පියෙකු, දරුවෙකු, ගුරුවරයෙකු, ශිෂ්‍යයෙකු, මිතුරෙකු, පාලකයකු, පාලිතයකු, පූජ්‍ය‍යෙකු, පූජකයකු ආදී වූ එක් පුද්ගලයකු නිරූපනය කරන සමාජ භූමිකා රාශියකි. මෙම භූමිකාවන් සතු වගකීම් ද රාශියකි. මේ වගකීම් හදුනාගෙන එම වගකීම්වල නිරත වේනම් දේශපාලඥයා රටට බරක් නොවෙයි. රජයේ සේවකයා රටට බරක් නොවෙයි. පුරවැසියා රටට බරක් නොවෙයි. රටට බරක් නොවන්නට නම් තම වගකීම් හා යුතුකම් හදුනාගෙන එය ඉටු කළ යුතු වෙයි. එසේ ඉටු නොවේනම් ඔහු රටට බරකි.

 රටට බරක් නොවන්නට නම් සෑම පුද්ගලයකුම රුපියලක් හෝ ඉපයිය යුතුයි. යමක් උපයන්නේ නැතිව පරිභෝජනය පමණක් කරයි නම් ඔහු රටට බරකි. වැඩ කළ හැකි අවධියේ අලසව, නිද්‍රාශීලීව වැඩ නොකෙට වැඩ කළ නොහැකි අවධිය තුළ උරුම කර ගන්නේ පසුතැවිල්ලයි. මෙලොව පසු තැවිල්ල භව සංසාරයටම පසු තැවිල්ලකි. අප‍්‍රමාදීව, වීර්යවන්තව, සිල්වත්ව, ප‍්‍රඥාවෙන් යුතුව තම ආර්ථිකය සලසා ගත යුතුය. අතපය නොවෙහෙසා, දහඩිය නොවගුරුවා, අධාර්මිකව යමක් පරිභෝජනය කිරීම බුදු දහම අනුමත නොකරයි. එමෙන් ම තමන්ට ඇත්තේ තමන් පමණි. වෙන කිසිවෙකුගෙන් වත් පිහිට නොලැබේ. එහෙයින් තමන්ගේ ආර්ථික සංවර්ධනය තමන් ඇති කර ගත යුතුයි. පිටරටින් එන පිටි නැව්, හාල් නැව් ගැන බලා ඉදිමින් සුසුම්ලෑම බෞද්ධයා සතු කාර්ය භාරයක් නොවේ. ඒ බුදු දහමට කරන අපරාධයකි. එහෙයින් සැබෑ බෞද්ධයන් වශයෙන් අප අපගේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගත යුතුයි. ඒ සදහා අවශ්‍ය කරන මාර්ගෝපදේශනය බුදු දහම තුළ කොතෙකුත් දක්නට ලැබෙයි.

 බඹසර විසීමෙන්, ධනය රැුස් කර ගැනීමෙන් මේ දේශයෙහි වටිනාකම කෝටි එකසිය හැටක් නොව ඊට දෙගුණ, තෙගුණ, සිව්ගුණ ආදී වශයෙන් වැඩි වෙයි. මෙලොව දියුණුව ඇති වෙයි. ගෙහි ඇති දෙයක් විකුණා හෝ ණයට ගෙන හෝ දිවි මග සරි කර ගත යුතු නොවේ. තමනුත් අනුභව කොට ලෝකයටත් දිය හැකි ය. එහෙයින් මෙම බුදු වදන තම දිවි මගට ගෙන මෙලොව දියුණු වෙමු. පරලොව දියුණු වෙමු. නිවනින් සැනසෙමු.

 විල්ඔය පඤ්ඤාතිලක ස්ථවිර

 සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment