රටට බරක් වුණු රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරන්න මුලපිරුවා

128

මුදල් උපයා නොගෙන සල්ලි අච්චු ගැසීමට ගියොත් අපට අනාගතයක් නෑ

පාර්ලිමේන්තුවේ ජාතික සභාව විසින් ළගඳීම ස්ථාපිත කරන ජන සභාව පාර්ලිමේන්තු ආංශික කමිටු ආදිය ඔස්සේ පැරැණි කෝන්තර අමතකකොට රට ගොඩනඟන පොදු වැඩපිළිවෙළකට එක්වන මෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) පැවසීය.

“පසුගිය සති කිහිපය තුළ එංගලන්තයේත්, ජපානයේත් කළ සංචාරයන්වලදී ලෝක රාජ්‍ය නායක නායිකාවන් ගණනාවක් සමග අදහස් හුවමාරු කර ගැනීමට මම අවස්ථාව සලසා ගත්තා.

පිලීපීනයේ දී ආසියානු සංවර්ධන බැංකුවට අයත් රටවල මුදල් අමාත්‍යවරු හමුවෙන්නටත් අවකාශ ලැබුණා. අප මුහුණදෙන උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ හමුවීම් සහ අදහස් හුවමාරු කරගැනීම් ඉතා වැදගත්.

අද අපේ රටේ ආර්ථිකය හා මූල්‍ය තත්ත්වය පවතින්නේ සාමාන්‍ය මට්ටමක නෙවෙයි. නමුත් සමහර දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තවමත් කටයුතු කරන්නේ සාමාන්‍ය තත්ත්වයක රට ඇති බව සිතාගෙනයි. ඔවුන් අදහස් දක්වන්නේ, විවේචන කරන්නේ, සාමාන්‍ය තත්ත්වයේ රට පවතින බව සිතාගෙනයි. මේ අය විසඳුම් යෝජනා කරන්නේත් එහෙම හිතාගෙනයි. ඉන්ධන පෝලිම් ඉවරවුණු පලියට අපට එහෙම හිතන්නට බැහැ.

මෑත ඉතිහාසයේ අපේ රට මුහුණදුන් බරපතළම ආර්ථික අර්බුදයටයි අපි මේ මුහුණ දෙන්නේ. මේ අර්බුදයෙන් ගොඩ ඒමේ සැලැස්ම ගැන මම අවස්ථා ගණනාවකදී කරුණු පැහැදිලි කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීම ජපානය, ඉන්දියාව සහ චීනය ආදී අපට ණය ලබාදුන් රටවල් සමගත්, පෞද්ගලික ණය හිමියන් සමගත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පොදු එකඟතාවයකට එළැඹීම. ඉන්පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලබාගෙන, මූල්‍ය අරමුදලෙන් සහ වෙනත් රටවලින් ණය ආධාර ලබාගෙන, ආර්ථිකය ස්ථාවර කරලීම. ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමෙන් පසු, සංවර්ධිත ආර්ථිකයක් දක්වා පොදු සැලැස්මක් ඔස්සේ රට ඔසවා තැබීමට කටයුතු කිරීම.

අප මෙන්න මේ කරුණු හතර ඉෂ්ට කරගැනීම සඳහා වෙහෙසිය යුතු බව මම මුල සිටම පෙන්වා දුන්නා. මොකද පළමුවෙනි පියවරේ සාර්ථකත්වය අනුව තමයි, දෙවැනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. දෙවැනි පියවර සාර්ථක කරගත්තාම තමයි තුන්වෙනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි පියවර සාර්ථක කරගෙන හතරවෙනි පියවරට යන්න පුළුවන්.

මම අගමැති ධුරයට පත්වීමට කලින් ඒ කරුණු පෙන්වා දුන්නා. අගමැති ධුරයට පත්වීමෙන් පසුවත් යළි ඒ බව අවධාරණය කළා. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේදීත් මම මේ බව පෙන්වා දුන්නා.

දැන් අපි පළමුවෙනි පියවර සාර්ථක කරගෙන තියෙනවා. දෙවැනි පියවර සාර්ථක කරගැනීම සඳහා පදනම සකස් කරගෙන යනවා. මෙවැනි පසුබිමකදී තමයි ලෝක රාජ්‍ය නායක නායිකාවන් සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව අප උදා කරගත්තේ. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල් 68කට සම්බන්ධ මුදල් ඇමතිවරුන් මැනිලා නුවරදී හමුවීමට අවකාශ අපට හිමිවුණා.

මේ අවස්ථාවන්හිදී සිංගප්පූරු අගමැති ලී ෂෙන් ලෝන් මහතා සමග සාකච්ඡා කරන්නත් අවස්ථාව මට ලැබුණා. සිංගප්පූරුව සමග අප අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පසුගිය කාලයේ නිසියාකාරව ක්‍රියාත්මක වුණේ නෑ. මේ ගිවිසුම් යළි පණ ගන්වා ගන්නට අපට හැකි වුණොත්, මේ අවස්ථාවේ රටට ලැබෙන වාසිය අතිවිශාලයි. ඒ වගේම අග්නිදිග ආසියාව සමග අපේ ආර්ථික සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරන්නටත් මේ ගිවිසුම් හේතු වෙනවා.

මේ ගිවිසුම ක්‍රියාත්මක කරලීම ඔස්සේ ශ්‍රී ලංකාව සමග ස්ථාවර ආර්ථික ප්‍රවේශයක් ලබා ගැනීමට හැකියාව උදාවන බවට සිංගප්පූරු අගමැතිතුමා විශ්වාසය පළකළා.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුවේ නියෝජිතයන් සමගත් මම සාකච්ඡා පැවැත්වුවා.

ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කරලීම උදෙසා මේ ආයතන දෙකේම සහයෝගය ලබාදෙන බව ඒ නියෝජිතයන් ප්‍රකාශ කළා. ජපාන අගමැති ෆුමියෝ කිෂිදා මහතා සමග මම සාකච්ඡා කළා. අපේ රටවල් දෙකට බලපාන වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අප එම සාකච්ඡාවේ දී අවධානය යොමුකළා. ඊට අමතරව ජපාන විදේශ ඇමැතිතුමා සමගත්, මුදල් ඇමතිතුමා සමගත් සාකච්ඡා පැවැත්වූවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ කටයුත්තේදී මැදිහත්කරුවකු ලෙස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරලීම සඳහා ජපානය එකඟවීම සුබ ලකුණක්.

මේ වනවිට අප චීනය සමගත් මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් පසු අප නැවතත් චීනය සමග සාකච්ඡා ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරන්නට ද ජපානය මැදිහත්වන බව ප්‍රකාශ කර තිබීම යහපත් දෙයක්.

ඉන්දියාව සමගත් අප සාකච්ඡා පවත්වමින් ඉන්නේ. ජපානයේදී මෝදි අගමැතිතුමා කෙටි වෙලාවකට හමුවූ අවස්ථාවේ මම අපේ වර්තමාන තත්ත්වය පිළිබඳව එතුමන්ව දැනුවත් කළා. මෝදි අගමැතිතුමාගේ සහයෝගය අපට හැමදාමත් ලැබුණා. පසුගිය අර්බුදකාරී කාලවකවානුවේදී ඉන්දියාව අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. මම අවස්ථා ගණනකදී ඔවුන්ට ඒ පිළිබඳ කෘතවේදීත්වය පළකර තියෙනවා. ශ්‍රී ලංකාව යළි නැඟී සිටීමේ ක්‍රියාවලියට ඉන්දියාවේ සහයෝගය ඉදිරියටත් ලැබෙනවා. දැනටමත් ඉන්දියාව ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එංගලන්තයේදීත්, ජපානයේදීත්, පිලිපීනයේදීත් අපේ රටට වැදගත් වන රාජ්‍ය නායකයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් මෙන්ම මුදල් ඇමැතිවරුන් මුණගැසීම හරහා අපේ රටට උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මම වෙහෙසුණා. ඒ නිසා විශාල පිරිසක් සමග වෙන් වෙන්ව අදහස් හුවමාරු කර ගැනීමට කාලය, මුදල් සහ ශ්‍රමය නොසෑහෙන සේ වැය කරන්න සිදු වෙනවා. නමුත් මේ අවස්ථාවේ ඒ සියලුදෙනා එකම තැනකදී, සීමිත කාල පරාසයන් තුළ හමුවීමට ලැබීම අපට ලැබුණු දුර්ලභ අවස්ථාවක්.

දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ජපානය, ඉන්දියාව සහ චීනය ප්‍රධාන අපට ණය ආධාර ලබා දෙන රටවල් සමග හැකි ඉක්මණින් පොදු එකඟතාවකට එළැඹීමයි. ණය ලබාදී ඇති අනෙකුත් රටවල් නියෝජනය කරන තානාපතිවරු සමග අප මේ වන විටත් සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ සියලුදෙනා සමග බහුපාර්ශ්වීය පොදු එකඟතාවකට පැමිණීම අපේ අපේක්ෂාවයි.

අපට ණය ලබාදුන් රටවල් සමග එකඟත්වයකට පැමිණීමෙන් පසු ලන්ඩන් ක්ලබ් වැනි පෞද්ගලික ණය හිමියන් සමග ද අප සාකච්ඡා පවත්වනවා. ණය ප්‍රතිව්‍යහුගත කිරීම සම්බන්ධව ඔවුන් සමගත් එකඟත්වයකට පැමිණීමට අපි බලාපොරොත්තු වෙනවා. ණය ලබාදුන් රටවල් හා පෞද්ගලික ණය හිමියන් සමග එකඟත්වයකට පැමිණීමෙන් අනතුරුව අපට අයි.එම්.එෆ්. සහතිකය ලබා ගන්න පුළුවන්. දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව අපට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ලබාදීමට කැමැත්ත පළකර තිබෙනවා.

පසුගිය අවුරුදු දෙක තුළ විචාරයකින් තොරව මුදල් අච්චු ගැසුවා. 2015 ආණ්ඩු සමයේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණය මෙන් දහතුන් ගුණයක් පමණ පසුගිය අවුරුදු දෙක තුළ අච්චු ගසා තිබෙනවා. ඊට සරිලන ලෙස නිෂ්පාදන වැඩි වුණේ නෑ. මෙය උද්ධමනය සියයට සියය දක්වා ඉහළ නැංවෙන තත්ත්වයක්. නමුත් පසුගිය මාස දෙක තුන තුළ අප ගත් යම් ක්‍රියාමාර්ග නිසා මේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 69.8ක රඳවා ගන්නට අපට පුළුවන් වුණා.

අතුරු අයවැය යෝජනා මගින් පෙන්වා දුන් පරිදි, අපි රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදුකළ යුතුයි. ඒ යටතේ රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට අප දැන් මුල පුරා තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ මේ ආයතනවල පාඩුව සෘජුව සහ වක්‍රව දැරුවේ මහජනතාව. රාජ්‍ය සම්පත් කියන ලේබලයට මුවා වී මේ ආයතනවල පාඩුව ජනතාව පිට පැටෙව්වා.

2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසන් වෙද්දී රාජ්‍ය ආයතන කිහිපයක් ලබා ඇති පාඩුවේ එකතුව මම සඳහන් කරන්නම්. ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩුව රු. බිලියන 1057යි. ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 261යි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩුව රු. බිලියන 791යි. මේ බර තවදුරටත් ජනතාව පිට පටවන්නට බැහැ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර, රටට බරක් නොවන තත්ත්වයකට අප ගෙන එනවා. පොහොර සම්බන්ධයෙන් අනුගමනය කෙරුණු අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනය කඩාවැටුණා. දැන් ආහාර උද්ධමනය සියයට 95කට කිට්ටුයි. මේක තමයි ඇත්ත. මෙවැනි උද්ධමනයක් ලෝක යුද්ධ කාලයකදීවත් අපේ රටේ තිබුණේ නෑ. මේක ඉතාම භයානක තත්ත්වයක්.

ආහාර නිෂ්පාදනය කඩා වැටීමේ ප්‍රතිඵලයක් හැටියට දේශීය වෙළෙඳ පොළේ බඩු මිල ඉහළ යනවා. උද්ධමනය ඉහළ යෑම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර අප පසුගිය මාස කිහිපය තුළ ක්‍රියාත්මක කළා. මේවා දවසෙන් දෙකෙන්, එක් රැයෙන් විසඳන්න පුළුවන් ගැටලු නෙවෙයි. අප අනුගමනය කළ කඩිනම් පියවර නිසා පසුගිය යල කන්නයේ අස්වැන්න අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ නංවාගන්න අපට පුළුවන් වුණා. ඉදිරි මහ කන්නයේ කරදරයකින් තොරව වගා කටයුතු කරන්න අවශ්‍ය පොහොර සහ බීජ ලබා දෙන්න සියල්ල සූදානම්.

නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව යහපත් පරිදි පවත්වාගෙන යන්නට නම් රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18ක් දක්වා නංවාගත යුතුයි. ඒ සඳහා මුදල් උපයා ගත යුත්තේ බදු ආදායමින්. එසේ නොමැතිව නැවත මුදල් අච්චු ගැසීමකට ගියොත් අපට අනාගතයක් නැහැ. ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, දිගු කාලීන මූල්‍ය සබඳතාවක් අපට නොතිබුණ නිසා ආදායම් අඩු වුණා. විදේශ වියදම් සහ ආදායම් අතර පරතරය වැඩි වුණ නිසා ,විදේශ විනිමය සංචිත කඩා වැටුණා. උද්ධමනය සීයට සීයකින් වැඩි වුණා. රුපියලේ අගය කඩා වැටුණා. පොලී අනුපාතය වැඩි වුණා නිසා සම්පූර්ණ පහර ගැසීමට අපට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා ඒ නිසා අපේ ආර්ථිකය හැකිලිලා තිබෙන්නේ. අපි හිතුවේ රාජ්‍ය සංස්ථා හා බැංකු පද්ධති තුළින් ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යන්නයි. දැන් ඒක අසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා මා දැනුවත් කළේ අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගෙන, ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලබාගෙන, බි්‍රජින් ෆිනෑන්ස් රටවලින් ආධාර ලබාගෙන ආර්ථිකය ගොඩනැගීමට ඊළඟ මාස දෙක තුනේදී පියවර ගන්නයි. ඒ සඳහා අපිට තියෙනවා අපේ නිෂ්පාදන වැඩි කරන්න ඕන.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment