රටට සල්ලි ගෙනෙන කවුද මේ ඩිජිටල් සංචාරකයෝ

826

ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය ලබා ගැනීමේ ක‍්‍රමයක් වශයෙන්, වෙනත් රටවලට සංචාරය කරමින් තොරතුරු තාක්ෂණ වෘත්තීන්හි නියැළෙන ”ඩිජිටල් සංචාරකයන්” වැඩි වැඩියෙන් ගෙන්වාගත යුතු බව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සංචාරකයන් ලෙස සැරිසරමින් ජීවිතය ගතකරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් ලෙස හඳුන්වනු ලැබේ.

පාසල් අධ්‍යාපනය හමාර කරන බොහෝ සිසුන් වැඩිදුර අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය හෝ පරිගණක මෘදුකාංග විද්‍යාව හැදෑරීමට කැමැත්තක් දක්වති. ඒ සඳහා ජාතික මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන රාශියක් ක‍්‍රියාත්මකව පවතී. මේ වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද කොතලාවල විශ්වවිද්‍යාලයට සමාජයේ යම් විරෝධයක් එල්ලවෙමින් පවතී. ඒ පිළිබඳව කතා කිරීම මෙම ලිපියේ අරමුණ නොවුණ ද කාටත් සාධාරණ, එක නීතියක් එක රටක්, කතාවට පමණක් සීමා නොවී, රටට ජාතියට හිතවත් කටයුතුවල පමණක් යෙදීම මගින් රජයට එල්ල වෙන ඔවැනි විරෝධතාවලින් පහසුවෙන් ගැලවිය හැක.

කෙසේ නමුත් ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනය, ශිල්පීය දැනුම, තාක්ෂණික සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම් සඳහා රජය යම් යම් වැඩ පිළිවෙළවල් දියත් කරමින් සිටී. පසුගිය අයවැයෙන් රජය රුපියල් බිලියන 126 මුදල් ප‍්‍රමාණයක් වෙන් කර ඇත්තේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය සහ ඒ සඳහා වන පහසුකම් වෙනුවෙනි. නව පාඨමාලා හඳුන්වා දීම, නව අධ්‍යාපන ආයතන ඇති කිරීම මෙන්ම අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ පවා ඉදිරිපත් කරමින් රජය දරුවන්ගේ ප‍්‍රාථමික, ද්විතීයික, විශ්වවිද්‍යාල අධ්‍යාපනය මෙන්ම වෘත්තිය කුසලතා වර්ධනය කරමින් සිටී.

අපි දැන් මෙම ලිපියේ මාතෘකාවට පිවිසෙමු. කවුද මේ ඩිජිටල් ටුවරිස්ලා කියන්නේ? ටුවරිස්ලා විවිධ වර්ගයේ අය සිටිති. සුඛෝපභෝගී ලෙස නිවාඩුව කිරීම සඳහා සිය පවුල් පිටින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන සල්ලිකාර සංචාරකයෝ දැකිය හැක. එසේම සාපේක්ෂව අඩුවෙන් මුදල් වියදම් කරමින් සිය නිවාඩුව ඉතා සතුටෙන් සහ සැහැල්ලූවෙන් ගත කරන තවත් බොහෝ සංචාරකයෝ සිටිති. ඔවුන් සිය රටේ තමන්ගේ ව්‍යාපාර කටයුතුවලින් හෝ රැකියාවෙන් උපයන මුදල් විනෝදාස්වාදය පිණිස මේ රටේ දී වියදම් කරති. මේ සියල්ලන්ගෙන්ම රටට විදේශ විනිමය ලැබේ.

ඔය අතර ලැප්ටොප් පරිගණකයක් කරේ දමාගෙන, යාමට සහ ඒමට ගුවන් ටිකට් පතක් අතැතිව, යාන්තමට සතියකට දෙකකට පමණක් වියදම් කිරීමට සෑහෙන මුදලක් අතැතිව ශ‍්‍රී ලංකාවට පැමිණෙන ”දුප්පත්” සංචාරකයන් පිරිසක් ද ඇත. ඔවුන් පැමිණෙන්නේ රටේ ”සංචාරය” කිරීමට නොවේ, රස්සාවක් කිරීමටයි. ඔවුන්ට සල්ලි ම අවශ්‍ය නැත. ඉන්න තැනක් සහ කන්න දෙයක් දුන් විට ඔවුන්ගෙන් බොහෝ වැඩ කරවා ගත හැක.

මෙවැන්නන් බේරුවල, අලූත්ගම, උණවටුන, හික්කඩුව, මීගමුව, පාසිකුඩා, ඇල්ල වැනි ප‍්‍රදේශවලදී මා හට හමු වී ඇත. මොවුන් බොහෝමයක් පැමිණෙන්නේ ඉන්දියාව, නේපාලය, බංගලාදේශය වැනි දකුණු ආසියානු රටවල් වලිනි. යුරෝපීය රටවල්වලින් පැමිණෙන මෙවැනි ආකාරයේ සංචාරකයන් සමහර අවස්ථාවලදී ටිකක් වැඩි පිළිගැනීමකට පවා ලක් වෙන අවස්ථා ද දැකිය හැක. මොවුන් කුඩා හෝටල්, අවන්හල්වල වෙබ් අඩවි සකස් කර දෙති. අය කරන්නේ ඉතාම අඩු මුදලකි. ඔවුන්ට හෝටලයේ ගරාජයේ හෝ නිදාගැනීමට ඇඳක් දමා කෑමට යමක් සපයන්නේ නම් වෙබ් අඩවි නිර්මාණයේ සිට ගරාජයේ වාහන සේදීම දක්වා සියලූම වැඩ කරවා ගත හැක. නාමල් ඇමැතිතුමා ”ඩිජිටල් ටුවරිස්ලා” යනුවෙන් අදහස් කරන්නේ මොවුන්ට ද?

අඩු මුදලට සේවයක් හෝ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අකමැති කවුද? මොවුන් වෙබ් අඩවි නිර්මාණය පමණක් නොව, පෝස්ටර් නිර්මාණය කිරීම, සමාජ මාධ්‍ය ජාලා යාවත්කාලීන කිරීම මෙන්ම කුඩා පරිමාණ සංචාරක ආයතන තුළ සියලූ දෑ කරමින් ව්‍යාපාර ප‍්‍රවර්ධන කටයුතුවල ද නියලෙනවා මම දැක ඇත්තෙමි.

එලෙස පැමිණෙන ”හිඟන” සංචාරකයන්ගෙන් රටට සෙතක් නැත. මොවුන් තමන්ගේ ජීවනෝපාය සඳහා මෙරටට සංචාරය කරති. මොවුන් බොහෝවි විට කරන්නේ ”ජීවත්වීම සඳහා රස්සාවක්” කිරීමයි. මොවුන්ට මුදල් ලැබෙන්නේ රට තුළිනි. ඒවා ඔවුන් මේ රට තුළම වියදම් කරති. මොවුන්ගේ ප‍්‍රධාන අරමුණ විවිධ දුෂ්කරතා සහිතව සිය රටේ ජීවත්වනවාට වඩා, ශ‍්‍රී ලංකාව වැනි රටකට හෝ ගොස් පහසුකම් සහිතව හොඳින් කා බී සැනසිල්ලේ ජීවත්වීමයි. වෙනත් බොහෝ රටවල බහුලව දැකිය හැකි මොවුන්ගේ අවශ්‍යතාවය කුමක් හෝ රැකියාවක් කරමින් කීයක් හෝ උපයා ගනිමින් ජීවත්වීමයි. මෙසේ අවුරුදු 4 – 5 ක් පමණ, සමහරවිට අවුරුදු 10 – 15 ක් රැකියාව කර යම් මුදලක් රැගෙන ආපසු සිය රට යති. මෙය ඒ ඒ රටවල්වල ශ‍්‍රම වෙළෙඳ පොළවල පවතින ගැටලූ මග හරවා ගැනීම සඳහා හොඳ විකල්පයකි. ලංකාවේ ශ‍්‍රම වෙළෙඳපොළේ යම්කිසි ඌනතාවයක් පවතී නම් එය ”ඩිජිටල් ටුවරිස්ලා” ගෙන් විසඳා ගත නොහැක.

රටට සල්ලි ගෙනෙන කවුද මේ ඩිජිටල් සංචාරකයෝ

මෙලෙස විදේශීය ශ‍්‍රමිකයන් පැමිණීමෙන් සිද්ධ වන්නේ අපේ රටේ දරුවන්ට ලැබෙන්න තිබෙන අවස්ථාවන් අහිමි වීමයි. මෙය පසුකාලීනව වෙනත් සමාජ ගැටලූවලට ද මුල පිරීමකි. සංචාරක කර්මාන්තයෙන් මේ වන විට උපයා ගත හැකි උපරිම මට්ටමට අපි ළඟා වී තිබෙනවා ද? තවත් සංචාරක ව්‍යාපාරය දියුණු කළ නොහැකිද? රජය එක පැත්තකින් අවුරුද්දකට බිලියන ගණනින් මුදල් වියදම් කරමින් අධ්‍යාපන ප‍්‍රවර්ධන කටයුතු සිදුකරන අතර අනිත් පැත්තෙන් තොරතුරු තාක්ෂණ රැකියා අවස්ථාවන් සඳහා විදේශිකයන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීමට උනන්දු කරවයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව ෆේල් ද?

ශ‍්‍රී ලංකාවේ පරිගණකවේදීන් වඩාත් සංකීර්ණය වූ තාර්කික පරිගණක වැඩසටහන්කරණය (programming) සඳහා අසාමාන්‍ය උද්යෝගයක් පෙන්නුම් කරන අතර ම, විසුරුණු පද්ධති (distributed system) ආශ‍්‍රිත අභියෝගවලට හොඳම විසඳුම් ලබා දීම සඳහා ලොව හොඳම ශ්‍රේණිගත කිරීම්වලට ඔවුන් පත්වූ බව සහ, සමස්ත සංවර්ධන කුසලතා ඇති හොඳම රටවල් 50 අතරට ශ්‍රේණිගත වී ඇති බව ද අපනයන සංවර්ධන මණ්ඩලය වෙබ් අඩවිය (srilankabusiness.com) සඳහන් කරයි. තල් සංවර්ධන මණ්ඩලයවත් පොල් සංවර්ධන මණ්ඩලයවත් නෙවෙයි කියන්නේ; අපනයන සංවර්ධන මණ්ඩලයයි කියන්නේ.

2020 පළමු මාස හයේදී ශ‍්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය 32% බව ද ඩිජිටල් සාක්ෂරතාවය 49.5% ක් බව ද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (statistics.gov.lk) පවසයි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය හරහා රජයට මහා පරිමාණයෙන් විදේශ විනිමය ගෙන්වාගත් හැකි ක‍්‍රම රාශියකි. මහා පරිමාණ තොරතුරු තාක්ෂණික කලාප ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපනය කළ හැක. සුළු හා මධ්‍ය පරිමාණ තොරතුරු තාක්ෂණ ශිල්පීන් හෝ ආයතන සඳහා ව්‍යාපෘති ගෙන්වාගත හැකියි. මාර්ගගත පද්ධති නිර්මාණය කළ හැක. දැනටමත් ලෝකෙ මෙවැනි පද්ධතීන් (Fiverr, Freelancer, Upwork, 99designs, Guru) ක‍්‍රියාත්මක වන අතර සමහර ශ‍්‍රී ලාංකික පුද්ගලයන්ද ඒවා සමග සම්බන්ධ වී විවිධ වෘත්තීන්හි නිරත වෙමින් ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය ද ගෙන්වා දෙති. එසේම ලොව ප‍්‍රධාන පෙළේ මෘදුකාංග නිෂ්පාදන බහුජාතික සමාගම් කීපයක් දැන්ටමත් සිය පර්යේෂණ සහ සංවර්ධනය මධ්‍යස්ථාන ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපනය කොට ඇත.

ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා තරුණ ප‍්‍රජාව ව්‍යාපාර කරා යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට තරුණ ව්‍යවසායකයින් 50,000 ක් බිහිකිරීමේ ”Hope 4 Sri Lanka” නවතම වැඩසටහන පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. ලාංකීය නිර්මාණශීලී තරුණ්‍යයට ව්‍යවසායකයින් ලෙස නැඟීසිටීමට මඟපෙන්වීම තුළින් ඔවුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සහ දළ ජාතික නිෂ්පාදනයට තරුණ්‍යයේ දායකත්වය මේ හරහා ලබා ගැනීම ද මෙමගින් අපේක්ෂා කරයි. මේ පැත්තෙන් මෙහෙම කරන නාමල් ඇමැතිතුමාට (හෝ ආණ්ඩුවට) අනෙක් පැත්තෙන් ඩිජිටල් ටුවරිස්ට්ලා ගෙන්නන්නැයි දිරච්ච ලණු දෙන්නේ කවුද?

ලංකාවේ දරුවන්ට විදේශීය රටවල ව්‍යාපෘති ගෙන්වා ගත හැකි ක‍්‍රමවේද රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව හෝ නැතිව හෝ සකස් කරන්න. උදේ 8.00 සිට සවස 5.00 දක්වා රැකියාවක් කරන මානසිකත්වයට වඩා තමාගේම ව්‍යාපාරයක්, ස්වයං රැකියාවක් ආරම්භ කරන්න දරුවන් උනන්දු කරවන්න. උගන්වන සෑම විෂය නිර්දේශයක් අතරටම ව්‍යවසායකයන් බිහිකිරීමේ ”මන්ත‍්‍ර” ඇතුළත් කරන්න. හැම දෙයක්ම පිටරටින් ගෙන්වීමේ මානසිකත්වයෙන් මිදෙන්න. පුළුවන් හැම දෙයක්ම මෙරට නිෂ්පාදනය කරන්න. මේ රට නැවත එකම වැඩබිමක් කරන්න.

ෂම්මි උයනගේ

advertistmentadvertistment
advertistmentadvertistment