රටට සහ ජනතාවට ඉදිරියට යෑමට ආර්ථික, දේශපාලන, සමාජ දේහයන්හි නව පරිවර්තනයක් අවශ්‍යයි

57

අනුර පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සුහද හමුවේ දේශනය පවත්වමින් කියයි

අපේ රට මේ ආකාරයෙන් තවදුරටත් ගියොත් අපට, අපේ රටට, ජනතාවට ඉදිරියට යෑමට බැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේ රට වෙනසකට පරිවර්තනය කළ යුතුමය යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සුහද හමුවේ දේශනය පවත්වමින් ඒ මහතා මේ බව කීය.

වැඩිදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේද පැවසීය.

අපි සියලු දෙනාම විවිධ අරමුණුවල සිටියත්, අපේ රට පිළිබඳවත්, ජනතාව පිළිබඳවත් තිබෙන්නේ පොදු හැඟීමක්. මේ ආකාරයෙන් තවදුරටත් ගියොත් අපට අපේ රටට, ජනතාවට ඉදිරියට යෑමට බැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේ රට වෙනසකට පරිවර්තනය කළ යුතුමයි. ඒ පිළිබඳ අපි අතර මත ගැටුමක් නැහැ. එය වෙනස් කළ යුතු යැයි අපි හැමදෙනාම පිළිගන්නවා. තවදුරටත් මේ ආකාරයට ඉස්සරහට යා නොහැකි බව අපි මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයෙන් පෙන්නුම් කර තිබෙනවා.

දෙවැනි කරුණ මේ වගේ දේශපාලන අධිකාරිත්වයන්ගෙන් ඉදිරියට යන්න බැරි බව ගොඩනැගී තිබෙන දේශපාලන සංස්කෘතියෙන් පෙන්නුම් කරනවා. අපේ රටේ එදිනෙදා සිදුවෙන සමාජ ඛේදවාචකයන්ගෙන් පෙන්නුම් කරනවා, සමාජයක් හැටියට අපට ඉස්සරහට යා නොහැකි බව. ඒ නිසාම ආර්ථික දේහයේත්, දේශපාලන දේහයේත්, සමාජ දේහයේත් නව පරිවර්තනයක් අපට අවශ්‍යයි. මේ ප්‍රශ්නය තිබෙන්නේ ආර්ථික තලයේ පමණක් නොවෙයි. ආර්ථික සාධකය දේශපාලන සාධකයටත්, දේශපාලන සිදුවීම් සමාජයටත් බලපානවා. මේ ප්‍රශ්න තුන එකිනෙකට වෙළී රටක් හැටියට, සමාජයක් හැටියට ප්‍රපාතයට ගමන් කරමින් තිබෙනවා. මේ ගමන් කරන මාවතෙන් අපේ රට මුදාගෙන සුබ දිසාවකට පරිවර්තනය කිරීම සඳහා දේශපාලනයක් අපට අවශ්‍යයි.

අපි කවුරුත් මුහුණ දී තිබෙන ගැඹුරුතම ප්‍රශ්නය ආර්ථිකය අර්බුදය. ආර්ථික අර්බුදය ආකාර දෙකකින් ප්‍රකාශයට පත්වෙමින් තිබෙනවා. එකක් තමයි රටට වසරකට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය රට උපයන්නේ නැතිවීම. ආණ්ඩුවට අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය, ආණ්ඩුව උපයන්නේ නැති වීම. අපට ලෝකයේ හුදකලා වී ජීවත් විය නොහැකියි. ලෝකය නිෂ්පාදන දාමයකින්

ගැටගැසී තිබෙනවා. ලෝකයත් සමග එකට යනවා නම් අනිවාර්යයෙන්ම ලෝකයේ නිෂ්පාදන දාමයත් සමග සම්බන්ධ විය යුතුයි. ලෝකයේ සෑම රටකම ආනයනය, අපනයනය කියන්නේ යථාර්ථයක්. එය විකෘතියක් නොවෙයි. ඒ ගනුදෙනු සඳහා අපට ඩොලර් අවශ්‍යයි. එම ගනුදෙනුවලින් ඩොලර් උපයා ගත යුතුයි. අපි මුහුණ දී තිබෙව දැවැන්තම අර්බුදය තමයි, වසරකට අපට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය උපයා ගැනීමට අපි සමත් වෙලා නැහැ. දෙවන කරුණ ලෙසට, ආණ්ඩුවක් හැටියට වසරකට ආණ්ඩුවට වියදම් කිරීම සඳහා අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය ඉපයීමට සමත් වී නැහැ.

අපි ඩොලර් ප්‍රමාණයක් උපයා ගන්නේ කොහොමද? ඩොලර් උපයා ගැනීම සඳහා විදේශීය වෙළඳපොළේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනවලින් පංගුවක් අපි අත්පත් කර ගත යුතුයි. එසේ නොමැතිව ඩොලර් ඉපයීම කළ නොහැකියි. 1977 සිට මේ දක්වා බැලුවොත් ලෝක වෙළඳපොළේ අපේ පංගුව හැකිළුණා. 1977 ලෝක වෙළඳපොළේ අපේ පංගුව 0.5%යි. ඒ කියන්නේ ඩොලර් 200ක වෙළඳාමක් සිදුවුණා නම් ඩොලර් එකක් ගලාගෙන ආවා. අද ලෝක වෙළඳපොළේ අපේ පංගුව 0.05%යි. ලෝකය සමග ඩොලර් 2000ක වෙළඳාමක් සිදුකළහොත් අපට ඩොලර් 01ක් ගලාගෙන එනවා. සිදුවුණේ මොකක්ද? අපේ රටේ ලෝක වෙළඳපොළේ පංගුව, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ක්‍රමානුකූලව හැකිළෙන්න පටන් ගත්තා. මේක තමයි අපි මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්නය. අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගන්න අපි සමත් වුණේ නැහැ. ඒකෙත් විශේෂත්වයක් තිබෙනවා. ලෝක වෙළඳපොළ අපට අත්පත් කර ගන්න හැකියාව තිබෙන්නේ ඒ මොහොතේ ඒකට අවතීර්ණ වුණොත් පමණයි. එසේ නොමැතිව වෙළඳපොළ බෙදිලා, වෙළඳපොළේ විශාල සන්නාම හැදී තිබෙන වෙලාවක ඒ මාර්කට් එකට අවතීර්ණ විය නොහැකියි.

මෑතකදී අපට මහ බැංකුවෙන් වාර්තාවක් ආවා, ජනගහනයෙන් 68%ක්. තමන්ගේ කන වේල් ප්‍රමාණය අඩුකර තිබෙනවා. එහෙම නැතිනම් වේලට ගන්න ආහාර ප්‍රමාණය අඩුකර හෝ වේල් තුනම රුචි නොවන ආහාර ගන්නවා. ඒ කියන්නේ මූලිකවම අවශ්‍ය වන ආහාර 68%කට සපයා ගන්න නොහැකි වෙලා තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ජනගහනයෙන් 40%ක් තම දරුවන්ගේ අධ්‍යාපන වියදම් කපා හැර තිබෙනවා. අද ගුරුවරු පවසනවා පාසලට පැමිණෙන ළමයින්ගේ ප්‍රමාණය අඩුවෙලා තිබෙන බව. ටියුෂන් පන්තියට ළමයින්ගේ පැමිණීම අඩුවී තිබෙනවා. සමහර දෙමව්පියන්ට තම දරුවන්, පෞද්ගලික පංතියටත් පාසලටත් දෙකටම යැවීමට නොහැකි නිසා පෞද්ගලික පංතියට පමණක් යවනවා. මෙයින් පෙනෙන්නේ ග්‍රාමීය දුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලබාගත නොහැකි වෙලා තිබෙන බව. ජනතාවගෙන් 40%කට සෞඛ්‍ය වියදම් කපා හැරීමට සිදුවීම නිසා ජනතාව මියැදෙනවා. අපට දුප්පත්භාවය පිළිබඳ ගැඹුරු ප්‍රශ්නයක් තිබෙනවා. මේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට, අපට නව ආර්ථික සැලැස්මක් අවශ්‍ය වෙනවා.

නීතිය හා සාමය ආරක්ෂා කරන පොලීසියේ ඉහළින්ම සිටින පස්දෙනාටම නඩු. හය, හතට නඩු නැහැ. නැවතත් අටවැන්නාගේ සිට නඩු. මහා ගරු බුහුමන් ලබන, නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතන. මුදල් මත හඹා යාම නිසා මෙ පද්ධතිය ඇතුලේ තවදුරටත් ඒවා ආරක්ෂා වෙන්නේ නැහැ. දෙමව්පියන් සහ දරුවන් අතර, ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර, සබඳතාවය බිඳ වැටෙන්න පටන් ගත්තා. පොදු ප්‍රවාහනය පාවිච්චි කරන කාන්තාවන්ගෙන් 74%ක් බස් එකේදි හෝ කෝච්චියේදි එක වරක් හෝ ලිංගික හිංසනයට පත්වෙලා තිබෙනවා. තමන්ගේ නැගණියක්, සොහොයුරියක්, දියණියක් දෙස බලනවා වෙනුවට තමන්ට ඩැහැගන්න පුළුවන් ගොදුරක් දෙස බලන සමාජයක් නිර්මාණය කර තිබෙනවා. සහකම්පනය නැති සමාජයක් ඇති වෙලා. ඇස්වල පෙනීම දුර්වල නිසා නුවරඑළියේ රෝහලට ප්‍රතිකාර ගන්න ගිය අයගෙන් දහදෙනෙක් අන්ධභාවයට පත්වෙලා. කිසිවෙකුට කම්පනයක් නැහැ. කෙහෙලිය රඹුක්වැල්ල කියනවා ඇස් අන්ධ වුණු අයට වන්දි ගෙවන බව. වන්දියක් නොවෙයි ඒ අයට අවශ්‍ය. ඇස්වලට පෙනීමයි අවශ්‍ය. නිර්වින්දන බෙහෙත් ලබාදීමෙන් තරුණිය මිය යනවා. එය ප්‍රවෘත්තියක් පමණක් බවට පත්වෙලා. කිසිවෙකු තුළ කම්පනයක් නැහැ. මෙවැනි සමාජයකට ඉස්සරටහට යා හැකිද?
ලලන්ත වන්නිආරච්චි- පේරාදෙනිය-

advertistmentadvertistment
advertistmentadvertistment