රටද ගොඩදමාගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

845

උසස් පෙළ යනු දරුවන්ගේ කඩඉම් විභාගයයි. තමන්ගේ අනාගතය තීන්දු කෙරෙන උසස් පෙළ විභාගය සෑම දැරුවකුටම අතිශය තීරණාත්මකය. එනිසා අන් විභාගවලට සාපේක්‍ෂව උසස් පෙළ දින වකවානු නිශ්චිතව ප්‍රකාශ කළ හැකි නම් එය දරුවන්ට සහනයකි. තමන්ගේ අධ්‍යාපන කටයුතු සැලසුම් කර වඩා තිර අධිෂ්ඨානයකින් උසස් පෙළට මුහුණ දීමට මේ නිසා දරුවන්ට අවස්ථාව හිමිවනු ඇත.

මෙකී යථාර්ථවාදී සත්‍යයට ශක්තියක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උසස් පෙළ විභාගය පැවැත්වෙන මාසය නිශ්චිතව මෙන්ම නෛතිකව ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. එලෙස වෙන් කරන මාසය වෙනස් කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සැකසීමට පත්කර ඇති විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට එක්වෙමිනි.

අපොස උසස් පෙළ පමණක් නොව අනෙකුත් විභාග සඳහා ද නිශ්චිත දින වකවානු කලින් ප්‍රකාශ කළ හැකි නම් එය දරුවන්ගේ මානසික සුවය සඳහා අත්වැලක් වනු ඇත. අද වනවිට සාමාන්‍ය පෙළ පමණක් නොව පහ වසර ශිෂ්‍යත්වය පවා අතිශය තරගකාරී තත්ත්වයකට පත්ව ඇත. එය කිසිසේත් අමතක කළ හැකි තත්ත්වයක් නොවුණ ද මහ පොළොවේ පවතින යථාර්ථය එය බව රහසක් නොවේ. එනිසා දරුවන් පීඩනයට පත්නොවන ආකාරයට අධ්‍යාපන ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ප්‍රමාද නොවිය යුතුය.

ජාතික අධ්‍යාපන රාමුව සකස් කිරීමට පත්කර ඇති අමාත්‍ය කමිටුවට සහය වීම සඳහා පත්කර ඇති විශේෂඥ කමිටුව මගින් පූර්ව ළමාවිය සහ පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික අධ්‍යාපනය සහ ද්විතියික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු සහ තොරතුරු තාක්‍ෂණය යන ක්‍ෂේත්‍ර පහක් ඔස්සේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සොයා බලා එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරියේදී ලබාදීමට නියමිතය.

අප රටේ අධ්‍යාපනයට සහ ශ්‍රම වෙළෙඳපොළ අතර විශාල පරතරයක් පසුගිය කාලය පුරාවටම දැකිය හැකි විය. විශ්වවිද්‍යාලවලින් පිටවන විද්‍යාර්ථින්ගෙන් අප සමාජයට උකහා ගත හැකි දැනුම, කුසලතා නිශ්චිත ඉලක්කයන් ඔස්සේ මෙහෙයවන බවක්ද දක්නට නොලැබිණි. උපාධිධාරීන්ගේ පෝලිම් වැඩිවෙද්දී බොහෝ රජයන් කළේ උපාධිධාරීන් කුමන හෝ ආයතනයකට අනුයුක්ත කර රැකියාවක් ලබාදීමයි. කිසිවක් කර කියා ගත නොහැකිව අසරණ වන උපාධිධාරීන්ට කුමන හෝ රැකියාවක් ලැබීම ඔවුන්ගේ පැත්තෙන් යම් අස්වැසිල්ලක් බව ඇත්තකි. එහෙත් ඇත්ත කතාව වන්නේ උපාධිධාරීන් ලබාගන්නා දැනුමට සාපේක්‍ෂව ඔවුනට නිශ්චිත රැකියාවක් ලැබේ නම් එහි ඵලදායීතාව වැඩිය. විශේෂයෙන් මෙම ඉරණමට මුහුණ දෙන්නේ කලා උපාධිධාරීන්ය. එනිසා කළ යුත්තේ නවීන තාක්‍ෂණය, දැනුම සමග ඒකාබද්ධව උපාධි පාඨමාලා සංවර්ධනය කිරීම නොවේද? ඒ ගැන අදාළ විශේෂඥ කමිටුවේ අවදානය යොමුවනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

විශේෂඥ කමිටුව හමුවේ ජනපතිවරයා අවධාරණය කළ තවත් කාරණයක් ගැන අපගේ අවදානය යොමුවිය. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ රජයේ පාසල්වල මෙන්ම පෞද්ගලික පාසල්වලද අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවය. අද වනවිට පාසල් අධ්‍යාපනයේ බොහෝ ගුරුවරු දැනුම අතින් යාවත්කාලීන වී නැත. ගුරුවරුන් එසේ යාවත්කාලීන වී පාසල් අධ්‍යාපනය නිසි ලෙස ලබා දුන්නේ නම් රට පුරා ටියුෂන් පන්ති වැසි වසින්නේ නැත. ඇත්ත කතාව වන්නේ ගුරුවරුන්ගේ දරුවන්ට පවා තම දැනුම තරකර ගැනීම සඳහා ටියුෂන් නැතහොත් පෞද්ගලික පන්තිවල පිහිට පැතීමට සිදුවීමය. මේ කටුක යථාර්ථය තේරුම් ගැනීමකින් තොරව පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කළ නොහැක.

මේ වනවිට අප රටේ රජයේ පාසල්වලට අමතරව පෞද්ගලික පාසල් මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක්ද බිහිවී තිබේ. මෙම පාසල් හා විශ්වවිද්‍යාල මගින් ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව ද නියාමනය කිරීමට යම් වැඩපිළිවෙළක් තිබීම කාලෝචිතය. දෙමාපියන් විසින් මෙම පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගෙවන මුදල සාධාරණ ප්‍රතිලාභයක් දරුවන්ට ලැබේද යන්න සොයා බැලීම වඩා හොඳය.

මෙහිදී වඩාත් අවදානයක් යොමුවිය යුතු පිරිසක් සිටිති. ඒ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග අසමත්ව සමාජයට එක්වන දරුවන්ය. එම දරුවන්ගෙන් අප රටට වඩා ඵලදායී ලෙස යොදා ගැනීමට මෙතෙක් පැහැදිලි වැඩපිළිවෙළක් අප දකින්නේ නැත. මෙම පිරිසට නිසි වෘත්තීය පුහුණුවක් ලබා දුනහොත් අප ආර්ථික දේහයට ඵලදායී සේවයක් ඔවුන්ගෙන් ලබාගැනීමට පුළුවන. විශේෂයෙන් විදෙස් රැකියාවන්හි පවතින පුහුණු ශ්‍රම බළකායට ද මෙම පිරිස යොමුකිරීමේ යාන්ත්‍රණයක් සකස් කළ හැකි නම් අපට විදේශ විනිමය උපයන සම්පතක් බවට මෙම පිරිස පත්කර ගැනීමට පුළුවන.

අප රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම සඳහා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිදුකෙරෙන ප්‍රතිපත්තිමය වෙනස්කම් ද අතිශය වැදගත් වනු ඇත. එම ප්‍රතිපත්ති ගැටුමක් නොවී අප මහ පොළොව මත යථාර්ථයක් කිරීම සඳහා අනෙකුත් පාර්ශ්වයන්ගේ යෝජනා සහ අදහස් ලබා ගැනීම ද එකසේ වැදගත් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment