විදුලිය කප්පාදුවෙන් හෙම්බත්ව සිටි රටේ ජනතාවට තාවකාලික සහනයක් අත්කර දෙමින් ආරම්භ වූ අධ්‍යයන පොදුසහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දැන් අවසන්ය. එනිසා රට වැසියන්ට සිදුව ඇත්තේ යළි විදුලි කප්පාදුව ඇරඹී ඇති නිසා අඳුරේ අතපත ගාමින් දවසේ පැය කිහිපයක් ගෙවා දමන්නටය. සැබැවින්ම නිමාවක් නැති මේ විදුලි කප්පාදුවට කුමක් හේතු වී තිබේද? මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙය රටටම පෙන්වා දී ඇතැත් අලුත් විදුලි ඇමැති කංචන විජේසේකරටද එය යළි කියවා බැලීම සඳහා නැවත සටහන් කරන්නට අපි කල්පනා කළෙමු.
● මණ්ඩලය සහ ඉංජිනේරුවෝ
මේ රටේ විදුලිබල මණ්ඩලය යනු ලෝකය හා සසඳන කල හරිම අරුම පුදුම තැනකි. උපරිම කාර්ය බහුල වේලාවන්ද ඇතුළත්ව මෙරට සමස්ත විදුලි ඉල්ලුම පවතින්නේ දිනකට මෙගාවොට් 2500 පමණ සිමාවේය.
මේ මොගවොට් 2500 රටට ලබා දෙන්නට අද දවසේ ලංකා විදුලිබල මණ්ඩලය තුළ රාජකාරි කරනු ලබන විදුලි ඉංජිනේරුවන් ගණන දහසකට අධිකය. සාමාන්‍යයක් ලෙස සටහන් කළහොත් රටේ සමස්ත විදුලි ඉල්ලුමෙන් මෙගවොට් 2.5 එක් අයකු බැගින් විදුලි ඉංජිf්රුවෝ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරති.
එම තත්ත්වයට අනුව නම් මේ රටේ විදුලි සැපයුම යන්න තිබිය යුත්තේ ලොව සුපිරිම රටක විදුලිය සැපයීම පවතින තැනකය. වෙනත් ආකාරයකට කිවහොත් විදුලිය යොදාගෙන තව්තිසාව වැන්නක් කෘතිමව රටේ තනන්නට අපට හැකිවිය යුතුය. එහෙත් පඳුරකට පයින් ගැසූ විට වීසි වන තරමට විදුලි ඉංජිනේරුවන් විදුලිබල මණ්ඩලයේ සිටියදී හැමදාමත් මේ රටේ ජනතාවට සිදුවූයේ කුමක්ද?
වාර්ෂිකව ඇතිවන විදුලිය අර්බුදයක් හමුවේ විදුලිය කප්පාදු වෙද්දී පැය කිහිපයක් අවීචි මහා නරකාදියට ඇද වැටුනාක් මෙන් දහදිය පෙරාගෙන මදුරුවන් තලමින් අඬන කිරිදරුවන් නලවන අතරේ දුකසේ ජීවිත ගෙවා දමන්නටය. මෙලෙස විදුලිය කපා දැමෙන වේලාවන්හි අධ්‍යාපනය ලබන රටේ දරුවන්ට පොතපතක වැඩක් කළ නොහැකිය. ගත දාහය නිවා ගන්නට ඇති නිවසේ විදුලි පංකාව කැරකෙන්නේ නැත. පිහිටට ඇත්තේ කුප්පි ලාම්පු, ඉටි පන්දම්, විදුල පන්දම්ය.
පිස ගත් අහර වේල පවුලේ අය සමඟ එකට එක්ව අනුභව කිරීමට අවස්ථාවක් නැත. කෙටියෙන් කිවහොත් විදුලිය කැපෙන පැය ගණනට සියල්ල අඩාලය. එවන් තත්ත්වයකට පත්වීම නරකාදියට ඇද වැටීමක් නොවන්නේද?
● විදුලි අර්බුදය නිර්මාණය කිරීම
මේ අන්දමට රටේ ජනතාව දුකට පත්කෙරෙන අයුරින් වාර්ෂිකව විදුලිය අර්බුදය රට තුළ නිර්මාණය වන්නේ කෙසේද? එයට කුමක් හේතු වී තිබේද? දහසකට අධික විදුලි ඉංජිනේරුවන් පිරිසක් මසකට රුපියල් ලක්ෂ ගණනින් වැටුප් ලබමින් ලංකා විදුලිබල මණ්ඩලයේ රාජකාරි මේ රට තුළ කාලාන්තරයක සිට සිදුවන දෙයක්ද ඇත.
සාමාන්‍යයෙන් මෙරට විදුලි ඉල්ලුම සපුරා ගන්නේ ජල විදුලිය උත්පාදනයෙන්, ඩීසල් විදුලි බලාගාරවලින් සහ නොරොච්චෝලේ ගල් අඟරු බලාගාරය මගිනි. මෙහිදී මෙගාවොට් නවසියයක ධාරිතාවක් ඇති නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම ක්‍රියාත්මක වුවහොත් සාමාන්‍යයෙන් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලිය ප්‍රමාණය මෙගවොට් හත්සියයක් පමණ වේ. සමස්ත විදුලි ඉල්ලුමට අනුව ඉතිරි මෙගවොට් ප්‍රමාණයෙන් කොටසක් ජල විදුලිය මඟින් උත්පාදනය කෙරෙන අතර ඉතිරිය ලබා ගන්නේ ඩීසල් බලාගාරවලිනි. රටේ විදුලිය අර්බුදයක් ඇති නොවන අයුරින් සියල්ල පවත්වාගෙන යෑමට නම් මෙහිදී මේ සියල්ල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතුය.
සාමාන්‍යයෙන් වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාසවල සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයක් බව අප කවුරුත් දැන සිටින කරුණකි. රට තුළ විදුලි අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණය සෑම වසරකම සිදු කෙරෙන්නේ මෙකී කාලයට මාස කිහිපයකට පෙරය. එහිදී ක්‍රියාත්මක උපක්‍රමය බවට පත්ව තිබෙන්නේ ජලවිදුලිය උත්පාදනය කෙරෙන ජලාශවල ඇති ජලය හැකිතාක් අවසන් වන තැනට කටයුතු සිදු කිරීමය.
මේ අතරේ ඇතැම්විට නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍රයක් දෙකක් හදිසි බිඳවැටීම්වලට ගොදුරු වීමද සාමාන්‍යයෙන් සිදුවන්නකි. එමඟිනුත් සිදු කෙරෙන්නේ ජලාශවල පිරී තිබෙන ජලය සිඳ දැමීය. අපට හුරු පුරුදු රටම එකතැන නතර කරන ආකාරයේ හදිසි විදුලි බිඳවැටීම් සිදු වන්නේද මේ කාලයටය.
● මේවා සිදු කරන්නෝ කවුරහුද?
අපි නොබියව කියන්නෙමු. අද දවසේ ගෝනියේ පුවක් ආකාරයට විදුලිබල මණ්ඩලයේ සිටින ඉංජිනේරු මාෆියාවේ ඇතැමුන් එකී අමනකම් සිදු කරන්නෝ වන්නාහ. මේ වන විට රට තුළ ඇතිවී තිබෙන විදුලි අර්බුදය ආරම්භ වූ පසුගිය කාලයේ එසේ ජලාශ සිඳී යද්දී සහ හදිසි විදුලිය බිඳ වැටීම් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වූ අන්දම කාට කාටත් මතක තිබෙනවා ඇත.
එහිදී ඒවාට සම්බන්ධ කාකප්පල්කාරීන් හෙවත් ඉංජිනේරු ත්රස්තවාදීහු කවුරුන්දැයි අපි ආණ්ඩුවේ ඇහැට ඇඟිල්ලෙන්ම ඇණ පෙන්වා දුන්නෙමු. එහෙත් අයාලේ ගිය රාජ්‍ය පාලනයක් හමුවේ ඒ අරබයා සිදු කළ සහ කෙරුණු දෙයක් නම් නොවීය.
● ලක්ෂ ගණන් සල්ලි උනන කොමිස් ගැහිල්ල
ත්රස්තවාදයක් බඳු විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාව මේ අන්දමට රට තුළ කෘතිම විදුලි අර්බුදයක් වාර්ෂිකව නිර්මාණය කරනුයේ කුමක් නිසාද? ඒ පසුපස තිබෙන එකම කාරණය වී තිබෙන්නේ වාර්ෂිකව මාස කිහිපයක් විදුලි සැපයුම වෙනුවෙන් හදිසි විදුලි මිලදී ගැනීම් වෙත රට තල්ලු කිරීමය. මෙහිදී හදිසි විදුලිය මිලදී ගැනීම් සිදු කරනුයේ පෞද්ගලික විදුලි බලාගාරවලිනි.
මේ කියන පෞද්ගලික විදුලි බලාගාරවල ඉහළ පුටු හොබවන්නෝ ලංකා විදුලිබල මණ්ඩලයේම සේවය කර ඇති තරම් ඒ සූරා කෑමෙන් පසු විශ්‍රාම ගොස් සැඳෑ සමය ගතකරන විදුලි ඉංජිනේරුවෝමය. මෙසේ හදිසි මිලදී ගැනීම් වෙත රට තල්ලු වෙද්දී පෞද්ගලික බලාගාරවලින් මිලදී ගන්නා විදුලිය වෙනුවෙන් එක් ඒකකයකට ගෙවන මිල සාමාන්‍යයෙන් පවතින්නේ රුපියල් 32 සිට 40 දක්වා වූ සීමාවකය. මේ අන්දමට හදිසි විදුලිය මිලදී ගැනීම්වලදී පවතින ඉල්ලුම අනුව ඒකක ලක්ෂ ගණනාවක් මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. විදුලි අර්බුදයක් රට තුළ නිර්මාණය කර හදිසි විදුලිය මිලදී ගැනීමේ තත්ත්වයක් දක්වා රට තල්ලු කළ අපතයන්ගේ කල්ලමරේ වන්නේ මෙහිදීය. එසේ කළවුන්ට විදුලිබල මණ්ඩලයට සපයන එක් විදුලි ඒකකයකින් රුපියල් හතරක් පහක් වෙන් කරන්නට පැන්ෂන් ගිය විදුලිබල මණ්ඩලයේම සිටි ඉංජිනේරුවන් රජයන පෞද්ගලික සැපයම්කරුවෝ මැලි නොවන්නාහ.
මේ අන්දමට විදුලිබල මණ්ඩලය මාස දෙක තුනක් හදිසි විදුලිය මිලදී ගැනීම් ලෙස ඒකක ලක්ෂ ගණනාවක් ලබා ගනිද්දී එක් ඒකකයක් සඳහා රුපියල් තුන හතර ලෙස ලැබෙන කොමිස් මුදලින් කුමන්ත්‍රණයට සම්බන්ධ මණ්ඩලයේ ඉංජිනේරුවෝ පරම්පරා ගණනාවකට හරිහම්බ කරගන්නාහ.
කලින් කලට මතුවන මේ රටේ විදුලි අර්බුදය තුළ තිබෙන තිත්ත ඇත්ත පවතින්නේ මෙතැනය. කෙසේ වෙතත් මෙවර විදුලි අර්බුදයක් නිර්මාණය කෙරුවද හදිසි විදුලිය මිලදී ගැනීම් දක්වා ගමන් කරන්නට ඉඩ නොලැබුණි. කොරෝනා වසංගත තත්ත්වය සහ රට තුළ ඇතිවූ ආර්ථික අර්බුදය එයට හේතු විය. එසේ නොවුණේ නම් හදිසි විදුලිය මිලදී ගැනීම් වෙත ගමන් කිරීමට විදුලිබල මණ්ඩලයට ආණ්ඩුව අවස්ථාව ලබා දෙන නිසා අද රටේ ජනතාව මුහුණ දෙන විදුලිය කප්පාදුව සිදුවන්නේද නැත.
● අලුත්ම කතාව සහ විදුලි බිල
මේ අප හෙළි කරනු ලැබුවේ විදුලිබල මණ්ඩලයේ ඇතැම් විදුලි ඉංජිනේරු ත්රස්තවාදීන් කාලයක සිට රටේ විදුලි අර්බුදයක් නිර්මාණය කරනු ලබන ආකාරය සහ මණ්ඩලය සූරාකමින් එය සමාදානයේ සතපවන්නට සිදු කරන ජඩවැඩ පිළිබඳ සරල යථාර්ථය ය. මේ රටේ විදුලිය ඉල්ලුම අනුව පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රම වෙත යොමු වන්නට රට පාලනය කළ විවිධ කණ්ඩායම් ප්රයත්න දරද්දී හැමදාමත් එකී ව්‍යාපෘති යෝජනා හමස් පෙට්ටියට දමා ඇණ ගැසුවෝද මෙකී ඉංජිනේරු ත්රස්තවාදීහුමය.පුනර්ජනනීය විදුලි උත්පාදන ක්‍රියාවලියට අනුව සූර්ය පැනල ක්‍රම වෙත යොමු වීමට රට සූදානම් වෙද්දී විදුලිබල මණ්ඩල පනතේ වගන්ති සහ ජාතික පද්ධතියේ හිල් පෙන්නමින් මේ මොහොතේත් එය කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේද මොවුන්මය.
දිගින් දිගටම එසේ කෙරෙනුයේ හැමදාමත් ජලාශ සිඳ, නොරොච්චෝලේ සමතලා කරමින් හදිසි විදුලිය මිලදී ගැනීම් කියන නිධානය ගොඩ දැමීමට මේ කපටි නරි තුළ ඇති නොතිත් ආශාව නිසාම විය හැකිය. අද වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ වැසිකිළි සේදීම හැර අනකෙුත් කුදු මහත් සියලු තැන් පාලනය කරනුයේද මෙකී විදුලි ඉංජිනේරු මාෆියාවමය. එහෙත් රටේ විදුලිය උත්පාදනයේ දියුණුව වෙනුවෙන් මොවුන් කර ඇති අටමගලයක් තිබේද? අකතා දෙකක් නැත. රටක ජනතාවගේ බදු මුදලින් යැපෙමින් ඒ ජනතාවටම වින කරන අතරේ හිත්පිත් නොමැතිව ජාතික සම්පතක් වූ විදුලිබල මණ්ඩලය මේ ආකාරයෙන් වනසන මොවුන්ගේ ඉදිරි භවය අපාගත එකක් වීම නම් හොඳටෝම ෂුවර්ය. මන්ද සිදුකරන විනාශය සහ අමනකම් ඒ තරමටම අජූතය.
● ඇමැතිගේ කතාව
අද දවසේ විදුලිබල මණ්ඩලයේ යථාර්ථවාදී කතාව එසේ වී තිබියදී ඉකුත් දිනක මාධ්‍ය ඉදරියට පැමිණි ඇමැති කංචන විජේසේකර තවත් අපූරු ප්‍රකාශයක් කරන අන්දම අපි දුටුවෙමු. මෙතෙක් කලක් රටේ ජනතාවට නිතර අසන්නට දකින්නට ලැබුණේ තෙල් සංස්ථාව පාඩුයි, ඒ නිසා තෙල් මිල ඉහළ දැමිය යුතුයැයි ඇමැතිවරු හොටු පෙරාගෙන කියන අන්දමය. එහෙත් ඒ සම්ප්රදාය මඳක් වෙනස් කළ කංචන විජේසේකර ඇමැතිවරයා මාධ්‍ය ඉදිරියට පැමිණ කියන්නට වූයේ විදුලිබල මණ්ඩලයත් පාඩුයි එනිසා විදුලි බිල ඉහළ දැමිය යුතු යැයි කියාය. එහිදී මෙතෙක් ඇමැතිවරයාගේ යෝජනාව වී තිබෙන්නේ ඉහළ ව්‍යාපාරවලට බලපාන පරිදි විදුලි බිල ඉහළ දැමිය යුතු යැයි යන්නය. අද රට තුළ පවතින්නේ ඇමැතිවරයා කියන පරිදි ව්‍යාපාරික ආයතනයක හෝ විදුලි බිල ඉහළ දැමිය යුතු තත්ත්වයක්ද?
ඇමැතිවරු හැටහුටාමාරක් විදුලිබල මණ්ඩලය භාර ගත්තද ඒ කිසිවකුටත් විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක විදුලි ඉංජිනේරු මාෆියාව බිඳ දමන්නට නොහැකි විය. කංචන විජේසේකර ඇමැතිතුමනි මේ උදා වී තිබෙන්නේ ඔබේ වාරය ය. මහින්ද විජේසේකරයන්ගේ පුත්‍රයා ලෙස නිර්භීතව ඒ තීරණය ගන්නට ඔබ සූදානම් නම් දෑතින්ම පහ පහ දහයක්ම දමා උපරිම සහයෝගය ඔබට දෙන්නට අප සූදානම්ය. එසේ නොකළහොත් ජනතාව දෙස බලා අපට කියන්නට සිදුවන්නේ ඒ ඇමැතිත් විදුලිබල මණ්ඩලය භාරගෙන වැඩ බැරි චරිතයකට පණ දුන්නේ යැයි කියාය.
සමන් ගමගේ