රටම දුප්පත් මිනිස්සු පොහොසත්?

486
ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණදී සිටින අර්බුදයට විවිධ පාර්ශ්ව විසින් විවිධ යෝජනා හා සැලසුම් ඉදිරිපත් කරනු දකින්නට ලැබෙයි. එහෙත් ඒ සියලුදෙනාම පාහේ දැන හෝ නොදැන නොතකා හරිනු ලබන අතිශය වැදගත් කාරණය නම් බිඳ වැටී ඇති ජනතා විශ්වාසය යළි ගොඩනඟන්නේ කෙසේද, යන්නයි? සමාජයේ ඉහළ ස්ථරයේ සිට පහළ ස්ථරය දක්වාම යමක් කිරීමට උත්සාහ දරන විටදීම අවදානම සමග වරක් දෙවරක් නොව අනේක වාරයක් සිතන්නට සිදුව ඇත්තේ ඒ නිසාය. එදා මෙදාතුර පැවති රජයන් ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් සැබෑ ලෙස ක්‍රියා නොකිරීම නිසාම කුමන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්නට ගියද, එය සද්භාවයෙන් කරනු ලබන්නක්ද, යන සැකය නිරන්තරයෙන් ජනතාව තුළ හටගනී. මෙම අවිශ්වාසය වර්ධනය වන්නට කොවිඩ් ව්‍යසනය සහ ආර්ථික අර්බුදයද, දැඩි සේ හේතු විය. මෙම අවස්ථා දෙකෙහිදීම, නිසි ප්‍රතිඵලයක් හෝ රැකවරණයක් ජනතාවට නොමැති බව තහවුරු වීම ඊට හේතුවයි.

මෙවැනි පසුබිමක වත්මන්හි සියලුදෙනාම පාහේ යම් ද්විතීයික ආධාරකයක් (back up) පවත්වාගෙන යෑමට උත්සාහ දරනු දැකිය හැකිය. මෙම තත්ත්වය අධ්‍යාපනය, බලශක්තිය, රැකියා ආදී බොහෝ ක්ෂේත්‍රයන්හි දකින්නට ලැබෙයි. පහේ ශිෂ්‍යත්වයේ සිට උසස් අධ්‍යාපනය දක්වා සැලකීමේදී පැවති විශ්වාසය හා පිළිවෙළ වෙනුවට අද වනවිට අ.පො.ස ( සා/පෙ) විභාගයෙන් පසු උසස් පෙළට පෙනී නොසිට පුද්ගලික විශ්වවිද්‍යාල හරහා උපාධියට යොමුවීම සිදුවේ. නවකවදය, විශ්වවිද්‍යාල වැසීම ආදිය නිසා කාලය අපතේ යෑම, ආරක්ෂාවක් නොමැති කම ආදී හේතු සාධකද, ඊට බලපායි. බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කිරීමේදීද, බොහෝ දෙනකු කුඩා විදුලි ජනක යන්ත්‍ර, බැටරි, සූර්ය පැනල ආදියට යොමුවී ඇත. රැකියා ක්ෂේත්‍රයේදී වඩාත් තීරණාත්මක වී ඇත්තේ වෘත්තිකයන් රට හැරයාමය. මෑතකදී අප දන්නා හඳුනන බොහෝ විද්වතුන් කියා සිටියේ තම දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් තමන් විදෙස් රටකට සංක්‍රමණය වන්නට තීරණය කළ බවයි. ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් තීව්‍ර විය. එහෙත් ගැඹුරින් නිරීක්ෂණය කළ විට කිව හැක්කේ මේ සියල්ලට හේතුව මෙරට තුළ ස්ථාවරත්වයක් පිළිබඳ විශ්වාසයක් නොමැතිවීම නිසා ඔවුන් විකල්පයක් කෙරෙහි යොමුව ඇති බවය.

මෙරටින් විදේශයන්ට සංක්‍රමණය වී දිවි ගෙවන බොහෝ දෙනා ඇතැම්විට මෙරට ජීවත්ව සිටි සමාජ තත්ත්වය මෙන්ම රැකියාවේ මට්ටමද, පහළට ඇද දමාගෙන එකී රටවල ඉන්ධන පිරවුම්හල් වල තෙල් ගැසීම, යතුරු පැදිවල ආහාර බෙදාහැරීම වැනි වෘත්තීන් වල නිරතවන බැව් පෙනී යයි. මෙරටදී ගත නොහැකි අවදානමක් නොදන්නා රටකදී ගැනීමට තරම් ඔවුන් පොළඹවන ලද සාධකය කුමක් විය හැකිද? සැබවින්ම ඒ විශ්වාසය නොමැතිකම නොවේ නම් වෙන කුමක්ද?

රටේ ආණ්ඩු බලය කවුරුන් විසින් මෙහෙයවනු ලැබුවද, ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා කවුරුන් කුමන උපාය මාර්ග අනුගමනය කළද, රටේ පොදු යහපත වෙනුවෙන්, පිරිසිදු හැඟීමෙන් ක්‍රියා කරන කිසිවෙකු හඳුනාගත නොහැකිය. ඒ සියලුම දෙනා තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර මත පිහිටා ක්‍රියා කරනවා සේම ජනමාධ්‍යයට, ප්‍රසිද්ධ වේදිකාවේ කුමක් ප්‍රකාශ කළද, සැබවින්ම ක්‍රියා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස්වය. රටේ පුරවැසියන් ඔවුන්ගේ මෙම දෙබිඩි පිළිවෙත ගැන හොඳින් දන්නා නිසාම ඔවුන් කිසිවෙකු විශ්වාස නොකරයි. එහෙත් රටක දියුණුවට එය ඉතා අහිතකර අන්දමින් බලපායි. පවතින දූෂණ, අක්‍රමිකතා හා අපරාධ රැල්ල මෙන්ම ඊට දේශපාලන බලවතුන්ගේ පවත්නා සම්බන්ධය ඊට කදිම නිදසුනකි. අරගලය සමයේ ප්‍රකෝප වූ ජන කණ්ඩායම් විසින් දේශපාලනඥයන්ගේ ගෙවල් දොරවල් ගිනි තැබීමේ සිදුවීමෙන් පසුව පවා එකී සියලු දෙනා තමාට රිසි ලෙස වන්දි ලබාගෙන හානි පූරණය කරගෙන තිබේ. අවසානයේ ඒ සියල්ලටම ගෙවන්නට සිදුවූයේද, පීඩිත ජනතාවටමය. මේ තත්ත්වය නිසාම නීතිය හා සාධාරණත්වය යනු ද, ධනය හා බලය තිබෙන අයට පමණක් සාක්ෂාත් කරගත හැකි යමක් විනා පොදු ජනතාවට සමානාත්මතාවයෙන් ලැබෙන දෙයක් නොවන බැව් සක්සුදක් සේ පැහැදිලිය.

මේ අයුරින් ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය රටේ ප්‍රමුඛතම ආයතන ත්‍රිත්වය කෙරෙහි විශ්වාසය පළුදුවී තිබේ. 2048 වන විට අප සංවර්ධනය වන රටක් බවට පත්වනු ඇති බවට දේශපාලන වේදිකාවල පුරාජේරු කියනු දක්නට ලැබුණද, ඒ කිසිම අවස්ථාවක සංවර්ධිත රටවල් එවැනි ඉලක්ක වෙනුවෙන් ක්‍රියා කර ඇත්තේ කෙසේද, යන්න නොකියයි. ඒ සඳහා පවත්නා වැඩපිළිවෙළක් නොදක්වයි.

චීනය, සිංගප්පූරුව වැනි සංවර්ධිත රටවල් 99%ක්ම පාහේ රාජ්‍ය ආයතන ව්‍යුහයෙන්, මූල්‍යමය වශයෙන්, මෙන්ම ස්ථිරසාර වැඩපිළිවෙළකින් පොහොසත්ය. ඊට සාපේක්ෂව ජනතාවට හිතු මනාපෙට ක්‍රියා කළ නොහැකි ලෙස යම් යම් සීමා බන්ධනයන්ට නතු කර තිබේ. තීන්දු ගැනීමේ අයිතිය හා බලය රජය සතුය. ජනතාවගේ නිවාස සෑදීම, රැකි රක්ෂා, දේපළ රැස් කිරීම ආදී සියල්ල සීමා කර ඇත. නිදසුනක් ලෙස චීන ජනයාට සිය නිවස සාදාගත හැක්කේ වර්ග අඩි 900-1500ට යටත්ව පමණි. කෙතරම් මුදල් තිබුණද, රටේ ඉහළ තනතුරු දැරුවද, ඒ සීමාව ඉක්මවා නිවසක් සාදා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැත. නිසි ලෙස බදු ගෙවිය යුතුය. නීති කඩ කරන්නේ නම් තරාතිරම නොබලා දඬුවම් හිමිවන අතර රජය විසින් ජනතා සුබ සිද්ධිය සඳහා බදු මුදලින් උපයන ධනය වැය කරන අන්දම විනිවිදභාවයකින් යුතුව තහවුරු කරනු ලබයි. මේ නිසාම පවත්නා රජය හා ජනතාව අතර විශ්වාසය පළුදු නොවී පවතියි.

එහෙත් ලංකාවේ දකින්නට ඇත්තේ මෙහි පරස්පරයයි. මෙරට ඇතැම් ධනවතුන්ගේ නිවාස සුඛෝපභෝගී හෝටල් පරයා යන අවස්ථා දක්නට ලැබෙයි. විදේශයන්හි රැකියා කරන අය සතියක් රාජකාරි නොකළහොත් ඉතාම අපහසුතාවට පත් වේ. ඔවුන් විනෝද චාරිකාවක් යන්නේ වසරකට වරකි. ඔවුන් අනිවාර්යයෙන් සිය රාජකාරිය මනාව ඉටු කළ යුතුය. එහෙත් මෙරට සුළු මුදලක් අත ඉතිරි කරගත් පමණින්, ඕනෑම අවස්ථාවක විනෝද චාරිකාවක් යා හැකිය. ඇතැම්විට පරම්පාරවෙන් ලැබුණු ධනයක්, නිවසක්, යාන වාහන, ඉඩකඩම් තිබිය හැකි අයෙකුට එම ඉඩමක් විකුණා එකී මුදලින් වසරක්, දෙකක් කිසිදු රැකියාවක් නොකොට කා බී විනෝදයෙන් ගත කළ හැකිය. සංවර්ධිත රටවල බැංකු පොලිය ඉතාමත් පහළ අගයක් ගන්නා නිසාම ඉතුරුම් තුළින් ජීවත්වන්නට කිසිවෙකුත් උත්සාහ නොකරයි. එහෙත් මෙරට දකින්නට ඇත්තේ එහි ප්‍රතිවිරෝධයයි. ඒ නිසාම තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතයන් සොයනා නිසාම ඇතැම්විට නීති විරෝධී මූල්‍ය ආයතන හෝ මුදල් පොලීකරුවන් මත යැපෙන තත්ත්වයන්ද, එහිම ප්‍රතිඵලයක් ලෙස වෙහෙස මහන්සිවී උපයා ගන්නා මුදල් විනාශ කරගන්නා අන්දමද, දැකිය හැකිය.

රජයේ සේවකයන් සම්බන්ධයෙන්ද, මේ තත්ත්වය වෙනස් නොවේ. රාජ්‍ය සේවකයා මාසික වැටුපක් උපයා ගත්තද, එය ඔහුගේ/ඇයගේ කාර්ය සාධනය (KPI) මත පදනම්ව ලැබෙන්නක් නොවේ. ඒ නිසාම රාජකාරි නිසි ලෙස ඉටු කළද, නොකළද, එම වැටුප ස්ථීරවම ලැබෙයි. මෑත යුගයේ අඛණ්ඩව වැඩවර්ජන හා වෘත්තීය ක්‍රියාමාර්ග දියත් වූ අතර සාමාන්‍ය තත්ත්වයේදීවත්, රාජ්‍ය සේවකයා නිසි ලෙස රාජකාරි නොකරන තත්ත්වයක් තුළ එවැනි සුවිශේෂී අවස්ථාවක රාජකාරි ඉටු නොකිරීම සම්බන්ධයෙන් කිසිදු විවාදයක් තිබිය නොහැකිය.

මේ අයුරින් සැසඳීමේදී පෙනී යන්නේ ශ්‍රී ලංකා රජය මූල්‍යමය වශයෙන්, පරිපාලනමය වශයෙන් දිළිඳු බවය. ඊට සාපේක්ෂව මහජනයා පොහොසත් බවය. පවතින රජයට විදේශ අධාර හා ණය වලින් යැපීම හැර තීරණ ගැනීමේ අයිතිය හෝ ශක්තිය පවා නොමැති බව කනගාටුවෙන් වුවද, සිහිපත් කළ යුතුය. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයන් පවා පුද්ගලිකව කියන්නේ, ‘අපි දුප්පත් වුණාට අපේ රට පොහොසත්. කියාය. ‘ උඹලා පොහොසත් උඹලගෙ රට දුප්පත්“ කියාය. විදේශ ණය ගැනීම සඳහා අපගේ නියෝජිතයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවන්ට සහභාගි වූ පසු එරට රැස්වීම් ශාලාව මෙන්ම එම නියෝජතයන් මෙරටට සංචාරයේ යෙදී සාකච්ඡා කරන විට මෙහි රැස්වීම් ශාලාව කෙබඳුදැයි සංසන්දනය කිරීමෙන් පමණක් මෙම වෙනස පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.

එබැවින් මේ මොහොතේ අත්‍යවශයෙන්ම කළ යුත්තේ ණය, ආධාර, පොලී අනුපාත, ආර්ථික සංඛ්‍යා දත්ත විජ්ජා පෙන්වීම වෙනුවට රාජ්‍ය තන්ත්‍රය හා මහජනතාව අතර විශ්වාසය යළි තහවුරු කිරීමය. අවශ්‍ය වන්නේ ඒ සඳහා වූ තිරසාර වැඩපිළිවෙළකි.

රටම දුප්පත් මිනිස්සු පොහොසත්?
  • ආචාර්ය රංග ජයකොඩි
advertistmentadvertistment
advertistmentadvertistment