රටම රිම් එකෙන්… දේශපාලකයන්ට මිලියනයක රක්ෂණාවරණයක්!

337

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණ මුදල 500% වැඩි කිරීම සම්බන්ධයෙන් (එනම් රක්ෂණාවරණය රුපියල් ලක්ෂ 2 සිට රුපියල් මිලියනක් දක්වා ඉහළ දැමීමට) කටයුතු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධනට හැකියාව ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් කටයුතු කරන ගෘහ කාරක සභාවේ බහුතරය ආණ්ඩු පක්ෂයට හිමි හෙයින් විපක්ෂයට කථානායකවරයාගේ එම යෝජනාව වැළැක්වීමට අවස්ථාවක් නොමැති බව සමගි ජනබලවේගයේ ප්‍රබලයකු වන ලක්ෂමන් කිරිඇල්ල පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍යවරයා නිවැරදිය. විපක්ෂයට කළ හැකි කිසිවක් නැත. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයක් තිබේද යන ප්‍රශ්නයද නිතැතින්ම නැගේ. සැබෑ විපක්ෂය ජනතාව බව මෑතකදී අවධාරණය වූයේ මිලියන 6.9 ක ඡන්දයෙන් 2019 නොවැම්බර් 16 දින පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂට ජනතා විරෝධය හේතුවෙන් ඉල්ලා අස්වීමට සිදුවීමෙනි. හිටපු ජනාධිපතිවරයාගේ පැඟිරිවත්ත, මිරිහානේ පෞද්ගලික නිවාසය ඉදිරියේ පිපිරී ගිය ජනතා විරෝධය ඇත්ත වශයෙන්ම එවකට එම ධුරයේ සිටි විධායක ජනාධිපතිවරයාට පමණක් නොවේ. එම තත්ත්වය ඇති වීමට හේතු වූ කරුණු කාරණා විමසා බැලිය යුතු වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සම්බන්ධයෙන් වගකීම සහ වගවීම අවධානයට ලක් කිරීමෙනි.

එබැවින් මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය අදහාගත නොහැකි ආකාරයට වැඩි කිරීමේ යෝජනාව ගෘහ කාරක සභාවේ වගකීමක් නොවිය යුතුය. ශ්‍රී ලංකාව බංකොලොත් බව අමතක කර කටයුතු කිරීමට ව්‍යවස්ථාදායකයට කිසිසේත් නොහැකිය. හිටපු ඇමැති නීතිඥ කිරිඇල්ල පවසන ආකාරයට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සහ සම්මත කර ගැනීම සම්බන්ධයෙන් කථානායකවරයා සහ ගෘහ කාරක සභාවට පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළ අවස්ථාව තිබිය හැක. එහි කිසිදු වරදක් නැත. නමුත් ලක්ෂ 220 ජනගහනයෙන් අති බහුතරයක් අන්ත අසරණ වී ඇති මොහොතක මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය මිලියනයක් දක්වා වැඩි කිරීමට යෝජනා කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.

හැන්ද ඇති එකා තමුන්ටම බෙදා ගන්නවා යැයි කතාවක් ඇත. බිල නොගෙවීම නිසා විදුලි කප්පාදුවකට මුහුණ දුන් රිජ්වේ ආර්යා ළමා රෝහල අත්‍යවශ්‍ය බෙහෙත් හිඟයකින් ද අපහසුවට පත්වී ඇති බව රහසක් නොවේ. රට බංකොලොත් වීමේ තත්ත්වය තුළ සමස්ත රෝහල් පද්ධතිය බරපතල අර්බුදයක බව අමුතුවෙන් කිවයුතු නැත. හිතක් පපුවක් ඇති මහජන නියෝජිතයින්ට කවුරු යෝජනා කළත් වෛද්‍ය රක්ෂණය 500% කින් තියා රුපියලකින් වත් වැඩිකරගැනීමට නොහැකිය. මැති ඇමැතිවරුන්ට ලජ්ජාවක් තිබිය යුතුමය.

රුපියල බාල්දු වී ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි සියලු දෙනා පිළිගත යුතු බවත් කුමන තනතුරක් දැරුවත් ජනතාවට යථාර්ථය පැවසිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෑතකදී අවධාරණය කළේය. ඒ සමස්ත ලංකා හාබර් සහ ඩොක් කම්කරු සමිතියේ 77 වන සංවත්සර මහා සභාව කොළඹ දී අමතමිණි. රුපියල බාල්දු වූ අවස්ථාවක ඇතිවන ආර්ථික පසුබැස්මේ අවාසිය ජනතාවට සෘජුව දැරීමට සිදුව තිබේ. මේ නිසාම යම් යම් යෝජනා නැවත සලකා බලා වෙනසකට භාජනය කළ යුතු කාලය දැන් එළැඹ තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයේ ඔහු සඳහන් කල යෝජනා මොනවාදැයි සඳහන් කර තිබුණේ නැත. නමුත් මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියනයක වෛද්‍ය රක්ෂණාවරණයක් මෙම අවස්ථාවේ ලබාදීම සුදුසුදැයි පාර්ලිමේන්තුව විමසා බැලිය යුතුය. ජනතාව කුපිත වීමට / කරවීමට අවස්ථාවක් ලබා දිය යුතු නැත.

ගරු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණාවරණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ රජයේ රෝහල් පද්ධතියට දරා ගත නොහැකි ආකාරයට රෝගීන් වැඩිවීමට ඇති අවස්ථාව තීව්ර වෙමින් පවතින අවදියකය. ඒ පෞද්ගලික රෝහල් ගාස්තු අදහාගත නොහැකි ආකාරයට ඉහළ ගොස් ඇති අවස්ථාවකය. බෙහෙත් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හිඟය නිසා රජයේ රෝහල් බරපතල අර්බුදයකට මුහුණ දී ඇත. පෞද්ගලික අංශයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් ජනතාව ද රජයේ රෝහල්වල පිහිට පැතීම දැඩි අර්බුදයක් නිර්මාණය කරනු ඇත. ඊට මුහුණ දීමට ආණ්ඩුවට ශක්තියක් නැත.

දැනටම මුදල් අයකරන රජයේ රෝහල්වල එම අංශය වඩාත් පුළුල් කිරීම වර්තමාන අර්බුදයට යම් පිළියමක් බව සුව අමාත්‍යංශයේ අදහසයි. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙම අදහස ජනතාව ඉදිරියේ තබා ඇත. ඒ දැනටම පෞද්ගලික රෝහල් පද්ධතියෙන් යම් රෝගීන් ප්‍රමාණයක් රජයේ රෝහල් වෙත යොමු වී ඇති බව සුව අමාත්‍යවරයාම ප්‍රකාශ කර ඇති පසුබිමකය. කෙසේ වෙතත් පීඩාවට පත් වී ඇති ජනතාවට රජය ඉදිරිපත් කරන පිළියම ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වගේ යැයි යන ප්‍රස්ථා පිරුළ සිහියට නංවයි.

රට බංකොලොත් තත්ත්වයෙන් ගලවා ගැනීමට නම් පක්ෂ දේශපාලනයෙන් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ කටයුතු කළ යුතුය. වර්තමාන පාර්ලිමේන්තුව පක්ෂ 15 ක් නියෝජනය කරයි. පාර්ලිමේන්තුව පිළිගත් එම 15 තුළ තවත් බොහෝ පක්ෂ නියෝජනය වන අතර සමස්ත පක්ෂ දේශපාලන ව්‍යුහයම අවුල් ය. පසුගිය මහා මැතිවරණයේදී (2020 අගෝස්තු) ආසන 145 ක් (ජාතික ලැයිස්තු ආසන 17) ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සීසිකඩ වී ඇත. තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ක්‍රියාත්මක කණ්ඩායම තුළ ද තීරණාත්මක කරුණු කාරණා සම්බන්ධයෙන් එකඟතාවයක් නැත. මහජන නියෝජිතයින්ට ‘පට්ට’ වෛද්‍ය රක්ෂාවරණයක් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ස්ථාවරය කුමක්ද.

සමගි ජන බලවේගයට ආසන 54 (ජාතික ලැයිස්තු ආසන 07), ඉලංකෙයි තමිල් අරසු කච්චි ආසන 10 ( ජා. ලැ. ආ 01), ජාතික ජන බලවේගය ආසන 03 (ජා. ලැ. ආ 01), අහිලා ඉලංකෙයි තමිල් කොංග්‍රස් ආසන 01 (ජා. ලැ. ආ 01) සහ තවත් පක්ෂ 10 ක් අතර ඉතිරි ආසන බෙදී ගොස් ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 15 අතර පක්ෂ 9 ක් ම මැති සබයේ නියෝජනය කරන්නේ එක මන්ත්‍රීවරයකු බැගිනි. පාර්ලිමේන්තුව අවුල්ය. ජනතාවගේ අවශ්‍යතා පරයා මහජන නියෝජිතයින්ගේ අවශ්‍යතා ඉදිරියට පැමිණි ඇත. වෛද්‍ය රක්ෂාවරණය ද එවැනි අවශ්‍යතාවයකි. නීති සම්පාදකයින්ගේ අවශ්‍යතා පිරිමැසීම ඇත්ත වශයෙන්ම අභියෝගයකි. රට බංකොලොත් වූ විට තත්ත්වය වඩාත් තීරණාත්මකය. සෑම මහමැතිවරණයකින් පසුව මන්ත්‍රීවරුන් 225 ටම හිමිවන තීරු බදු රහිත වාහනයක් ආනයනය කිරීමේ අවස්ථාව මහජන නියෝජිතයින්ට වරප්‍රසාදයකි. නමුත් රටට උහුලා ගත නොහැකි බරකි, ආර්ථික අපරාධයකි. ඊට හේතුව තීරු බදු රහිත වාහනයක් මන්ත්‍රී වරප්‍රසාද යටතේ ආනයනය කිරීම නොවේ. එසේ ආනයනය කරන රථයක් නියමිත තීරු බදු ගෙවා සැප වාහනයක් මිලදී ගැනීමට වත්කමක් ඇති පුද්ගලයින්ට විකිණීමයි. එමගින් රටට හිමි බදු මුදල් අහිමි කිරීමයි. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මෙම ක්‍රියාදාමය රටේ ඉහළම අධිකරණයේ අභියෝගයට ලක් කළේය. හිටපු රේගු නිලධාරියකු වූ ඔහුගේ උත්සාහය අසාර්ථක විය. ආනයනය කළ වාහනය මන්ත්‍රීවරයා ගේ නමට ලියාපදිංචි කළ දිනම තුන්වන පාර්ශ්වයකට විකිණීම කිසිසේත් සාධාරණීය කළ නොහැක. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ රජයට හිමි බදු මුදල් අහිමි කිරීම කිසිදු චකිතයකින් තොරව කළ හැක. කොවිඩ් ව්‍යසනය ආරම්භයේ රටේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ විය. ඒ 2020 පළමුවන කාර්තුවයි. දෙවැනි කාර්තුවේදී මුදල් අමාත්‍යාංශය මන්ත්‍රීවරු 225 ටම තීරු බදු රහිත වාහන ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කළේය. නමුත් මාධ්‍ය ප්‍රහාර හමුවේ වාහන ආනයනය අත හැරියේය.

ජනතා විමුක්ති පෙරමුණ හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ තීරු බදු වාහන ආනයනය ව්‍යාපාරයක් කර ඇත. තීරු බදු වාහන බලපත්‍රය සමස්ත ‘ඩීල්’ දේශපාලනයේම කොටසකි. තීරු බදු රහිතව ආනයනය කළ අලුත්ම සැප වාහනයක් තුන්වන පාර්ශ්වයකට අලෙවි නොකළ මන්ත්‍රීවරයකු වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිය නොහැක.

තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම (2015 දී) රුපියල් ලක්ෂ 300 කට අධික විය. ජනතා විමුක්ති පෙරමුණ හැර වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල මන්ත්‍රීවරු තම වාහනය විකුණා දැමීය. ඒ කාලයේ වැඩියෙන්ම ඉල්ලුම මිට්සුබිෂි මොන්ටෙරෝ රථයට විය. ආනයනය කළ සමස්ත වාහන ප්‍රමාණයෙන් 100 කට වැඩි ප්‍රමාණයක් මිට්සුබිෂි මොන්ටෙරෝ විය. තීරු බදු වාහන කෙළිය ආර්ථිකයට කරන හානිය අතිශය බරපතලය. මහජන නියෝජිතයින්ට අමතරව තීරු බදු රහිත වාහන ආනයනය කිරීමට හිමිකම් ඇති සියලුම අංශ එම වරප්‍රසාදය අවභාවිත කරන බව සක්සුදක්සේ පැහැදිලිය. කොරෝනා අර්බුදය හේතුවෙන් තීරු බදු සහිත වාහන ආනයනය තහනම් කළත් එවැනි වාහන 300 අධික ප්‍රමාණයක් 2020 ලංකාවට ගොඩ බැවේය. ආණ්ඩුවේ තහනම නොතකා බැංකු ණයවර ලිපි විවෘත කළේය. ඒ වාහන මන්ත්‍රීවරු සඳහා නොවේ.

බංකොලොත් ශ්‍රී ලංකාවේ වරප්‍රසාද භුක්ති විඳින කණ්ඩායම නීති සම්පාදකයින් පමණක් නොවේ. දේශපාලන මැදිහත්වීම තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශය තුළ අදහාගත නොහැකි විෂමතා නිර්මාණය කර ඇත. සමස්ත වරප්‍රසාද ගොන්න පිළිබඳව නැවත විමසා බැලීමක් කළ යුතුව ඇත. මහජන නියෝජිතයින්ට රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් මේ අවස්ථාවේ ලබා දීම සුදුසුද? විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද සම්බන්ධයෙන් පසු විපරමක් කළ යුතු නොවේද?

විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ (2005-2015) සහ මෛත්‍රිපාල සිරිසේන (2015-2019) නැවත පාර්ලිමේන්තුව නියෝජනය කරන අවස්ථාවේ සමස්ත වරප්‍රසාද සහ පහසුකම් පිළිබඳව සොයාබැලිය යුතු නොවේද? මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස තමන් විසූ පැජට් පාරේ පිහිටි නිල නිවාසය විශ්‍රාමික ජනාධිපතිවරයා ලෙස ද රැඳී සිටීම අධිකරණයේ අභියෝගයට ලක්විය. ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ගත් අධිකරණ ක්‍රියාමාර්ගය තුළ හිටපු ජනාධිපතිවරයාට යහපාලන කැබිනට් මණ්ඩලය පිරිනැමූ නිවාසය අහිමි විය. නමුත් ගෝඨාභය රාජපක්ෂ රජය මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රීවරයාට (පොහොට්ටු පක්ෂය, පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන) ඔහුට නව නිවසක් ලබා දුනි. ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයකු ලෙස විජේරාම මාවතේ පිහිටි රජයේ බංගලාව පාවිච්චි කරයි.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ හේමා ප්‍රේමදාසගේ නිවාසයද රජය නඩත්තු කරයි. හිටපු ජනාධිපතිවරයකුගේ බිරිඳක් ලෙස ඇයට එම පහසුකම් හිමිය. පළාත් ආණ්ඩුකාරවරු, මහා ඇමැතිවරු, ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ඇතුළු සමස්ත දේශපාලන ව්‍යුහයම නඩත්තු කිරීම ශ්‍රී ලංකාවට කළ හැකිද? ගිරව් මෙන් ‘සිස්ටම් චේන්ජ්’ ඇති කරන බවට පොරොන්දු දෙන බොහෝ පුද්ගලයින් බංකොලොත් ලංකාවේ ක්‍රියාත්මක වරප්‍රසාද අපූරුවට විඳිති. ජනතාවට පටි තද කරගැනීමට කියති.

රාජ්‍ය නිලධාරින්ද මෙම අපරාධයේ කොටස්කරුවන්ය. තෝරාගත් නිලධාරීන් කොටසක් උපරිම සැප විඳිති. තානාපති පත්වීම් ද සමස්ත වරප්‍රසාද ගොන්නට අයත්ය. විධායකයට, ව්‍යවස්ථාදායකයට, අධිකරණයට, ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම්, සුරාබදු, මාධ්‍යයට, පෞද්ගලික ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍රයන්ට හිමි සමස්ත වරප්‍රසාද පද්ධතිය පසු විපරමක් කළ යුතුමය. ව්‍යවස්ථාදායකය සහ විධායකය මූලිකව බංකොලොත් කළ රට නැවත යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කළ යුතු වන්නේ සමස්ත වරප්‍රසාද පද්ධතිය අදට ගැලපෙන පරිදි වෙනස් කිරීමෙනි. නීති සම්පාදකයින්ට දැනට හිමි වෛද්‍ය රක්ෂණාවරණය 500% කින් වැඩිකිරීමට සාකච්ඡාවක් ඇති වීමෙන් පෙනීයන්නේ බංකොලොත් රට තවමත් වැරදි පාරේ බවයි.

වරප්‍රසාද මතම ඉදිරියට යන ශ්‍රී ලංකා දේශපාලන වෙනස් විය යුතුමය. වරප්‍රසාද පැලැන්තිය නඩත්තු කිරීම තවදුරටත් කළ නොහැකිය. ලෝකයටම බරක් වී ඇති ශ්‍රී ලංකාවේ වරප්‍රසාද පැලැන්තියට කිසිදු ලජ්ජාවක් නැත. බංකොලොත් රටට විදේශීය ආණ්ඩු සහ සංවිධානවලින් නොමිලේ ලබා දෙන ආහාරපාන, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය භාර ගැනීමට බටහිර ඇඳුමින් සැරසී කරන විකාරය ශ්‍රී ලංකාවට ලජ්ජාවකි. ඉන්දියානු ණය සහනාධාර යටතේ සහ තමිල්නාඩු ප්‍රාන්තයෙන් ලබා දුන් බඩු බාහිරාදිය භාර ගැනීම සහ බෙදාහැරීම කළ ආකාරය සම්බන්ධයෙන් වරප්‍රසාද පැලැන්තිය ලජ්ජා විය යුතුය. විදේශීය බදු ගෙවන්නන් ශ්‍රී ලාංකික ජනතාවට දීමට ලබා දෙන සහනාධාරවලට පවා වරප්‍රසාද පැලැන්තිය ලකුණු දමා ගනිති. ඇත්තවශයෙන්ම මහත් පුදුමය වසර 30 ක ත්‍රස්තවාදී යුද්ධයකට පැටලී සිටි ශ්‍රී ලංකාව මීට වසර ගණනාවකට පෙර බංකොලොත් නොවී සිටියේ කෙලෙසද බවයි. (මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට ශ්‍රී ලංකා ආණ්ඩු පැතූ බව අවධාරණය කරමින් අවසන් වැකිය ලියා ඇත.)

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment