රටවටේ කුණු කඳු මදිවට ඉන්දියාවේ කුණුත් අපේ රටට

328

කොරෝනා නිසා කඩා වැටුණු ජන ජීවිත තවමත් යථාවත් වී නැත. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමත් සමඟ මහ සයුරත් ඒ අවට ජලජ ශාක හා සත්ත්ව සංහතියත් ඇවිලී ගියේ ජනතාවගේ ජීවිත ද යළිත් අවදානමේ බවට රතු එළි දල්වමිනි. කාලයෙන් කාලයට ගොඩගැහෙන කුණු කඳු ප‍්‍රශ්නයෙන් මිදීමට ලංකාවට තවමත් හැකියාවක් නැත. පොලිතීන්” ප්ලාස්ටික් විෂ රසායන ආදී බොහෝ දෑ නිසා මේ වන විටත් මෙරට පරිසර පද්ධතිය හා සමුද්‍ර පරිසර පද්ධතිය අවදානමට ලක්ව තිබේ.
 
 කොරෝනා ඇතුළු ගැටලූ රාශියකට විසඳුම් සෙවිය යුතුව ඇති කාලයක අසල්වාසී රටවලින් මෙරටට ගසාගෙන එන ”කුණු”වලට ද විසඳුම් සෙවීමට සිදුවීම මහත් ගැටලූවකි.
 
 කැළිකසළ ප‍්‍රශ්නයේ අලූත්ම කතාව වූයේ පසුගිය දිනයක යාපනය පුන්කුඩතිව් කූරිකඞ්ඩුවාන්” නයිනතීව් සහ නෙඩුන්තීව් මුහුදු වෙරළට සායනික අපද්‍රව්‍ය තොගයක් ගොඩ ගසා තිබීමය. රෝහල්වලින් ඉවතලන එන්නත් කටු” සේලයින් බෝතල්” රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ” ඖෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බවට තොරතුරු සොයා බැලීමේදී අපට වාර්තා විය.
 
 මේවා යාපනයේ රෝහල්වලින් ඉවත දැමූ අපද්‍රව්‍ය නොවන බවත් ඉන්දියාව හෝ වෙනත් රටක රෝහල් අපද්‍රව්‍ය වන්නට ඇතැයි යාපනය ප‍්‍රදේශවාසීන් සැක පළ කර තිබුණි.
 
 මෙහි සැබෑ තත්ත්වය විමසා බැලීමට පරිසර අධිකාරිය සහ සමුද්‍රීය පරිසර අධිකාරියේ මහත්ම මහත්මීන් කිහිප දෙනෙකු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අපට හැකි විය.
 
 ”අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගිය 12 දා මේ ස්ථානයට ගිහින් මේ ගැටලූව පිළිබඳව සොයා බැලූවා. අදාළ රෝහල් අපද්‍රව්‍ය එකින් එක පරීක්ෂාවට ලක් කළා. මේ අපද්‍රව්‍යවල වැඩිපුරම තිබුණේ ප්ලාස්ටික්. එතනදි සිරිංජර් හතරක්” වැක්සින් බෝතල් දෙකක්” ඉන්හෙලර් මැෂින් පහක්” ඇස්වලට දාන බෙහෙත් බෝතල් දෙකක් හඳුනාගන්න පුළුවන් වුණා. නිරිතදිග මෝසම් සුළං එක්ක මේ අපද්‍රව්‍ය අපේ වෙරළට ගොඩ ගහන්න ඇති කියලා අපි උපකල්පනය කරනවා. මේ කිසිම දෙයක් ඉන්දියාවෙන් මේ රටට ආවා කියලා අපිට තවම ස්ථීරවම කියන්න බෑ. මොකද ඒ උපකරණවල හඳුනා ගැනීමේ ලේබල් පවා මැකිලා තිබුණේ. අනික ඒ අපද්‍රව්‍ය කාලයක් පරණ ඒවා කියලා තමයි බැලූ බැල්මට පේන්නේ” පරිසර අධිකාරියේ උතුරු පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂක සුබෝහරන් මහතා එලෙස පැවසීය.
 
 ඔහු පවසන ආකාරයට මෙම අපද්‍රව්‍ය වෙනත් රටකින් මුහුදට විසි කර මෙරටට ගසාගෙන ආ අපද්‍රව්‍ය ද” එසේත් නැතිනම් යාපනය රෝහලකින් ඉවත් කළ අපද්‍රව්‍ය ද යන්න තවමත් ස්ථීරවම සොයාගෙන නැත.
 
 නිරිතදිග මෝසම් සුළං කාලයට යාපනය අවට වෙරළ තීරයට මෙවැනි අපද්‍රව්‍ය එකතු වීම සාමාන්‍ය සිදුවීමක් බව යාපනය පුන්කුඩුතිව් ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී කේ. ප‍්‍රියලක්ෂන් මහතා පවසයි.
 
 කෙසේ වෙතත් මෙම රෝහල් අපද්‍රව්‍ය ගසාගෙන ඒම නිසා ධීවරයන්ට තම රැකියාවල නිරත වන්නට බියක් ඇති බව යාපනය වෙරළ තීරය අවට මිනිසුන් පවසයි. වරින් වර මතුවන මෙවැනි කැළි කසළ නිසා සමුද්‍ර ජීවීන්ට මෙන්ම සමුද්‍රය ආශ‍්‍රිතව ජීවිකාව පවත්වාගෙන යන පිරිසටද අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබේ.
 
 එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමත් සමඟ ලංකාවේ ධීවර කර්මාන්තය අර්බුදයකට ලක්විය. ප්ලාස්ටික් ඇතුළු විස රසායනික ද්‍රව්‍ය වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශ පුරා පැතිර යෑම සහ මත්ස්‍යයන් විශාල ප‍්‍රමාණයක් මියයාමත් සමඟ ධීවරයන්ට තමන්ගේ රැකියාව හුරු පුරුදු ලෙසින් කරගෙන යාමට තිබූ අවස්ථාව අහිමි විය. මිනිසුන් මාළු මිලදී ගැනීමට පවා බියක් දැක්වූ අතර ඒත් සමඟම ධීවරයන්ගේ ආර්ථිකය කඩා වැටුණි. එම සිද්ධියෙන් දින කිහිපයකට පසුව මෙලෙස යාපනයේ ප‍්‍රදේශයේ වෙරළ තීරයට රෝහල් අපද්‍රව්‍ය ගසා ගෙන ඒමත් සමඟ නැවතත් ධීවර කර්මාන්තය අර්බුදයට ලක්ව තිබේ.
 
 එම ප‍්‍රදේශය අවට ධීවරයන් පවසන්නේ විස රසායනික ද්‍රව්‍ය මසුන්ගේ සිරුරු තුළ තැන්පත් වුවහොත් ඒවා ආහාරයට ගන්නා පුද්ගලයින්ට පවා විවිධ රෝග වැලඳීමේ අවදානම ඇති නිසා මිනිසුන් මාළු මිලදී ගැනීමට පසුබට වන බවයි.
 
 එමෙන්ම විදේශ රටවලට මත්ස්‍යයන් යවමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ ව්‍යාපාර මෙවැනි ගැටලූ සමඟ අතරමග නවතින බවටද ධීවරයන් පවසයි. බොහෝ රටවල් කැළිකසළ බැහැර කිරීමට ඇති පහසුම ක‍්‍රමවේදය ලෙස ජලාශවලට හෝ මුහුදට ඒවා මුදා හැරීම සිදු කළද එයින් අදාළ රට තුළ මෙන්ම අනෙක් රටවල පරිසර හා සමුද්‍රීය පරිසර පද්ධතියටත්” ජනතාවගේ සෞඛ්‍යයටත් සිදු වන හානිය මිල කළ නොහැකි තරම් ය.
 
 කල් ඉකුත් වූ” භාවිත නොකළ විස රසායනික ද්‍රව්‍ය ජලාශවලට එකතු වූ විට ඇති වන ගැටලූ අමුතුවෙන් විස්තර කළ යුතු නැත. කාලයක් තිස්සේ මුහුදේ පා වෙමින් තිබී ගොඩ ගසන ඇතැම් ප්ලාස්ටික්” වීදුරු බෝතල් වෙරළේ වැලි යට සැඟවෙමින් වෙරළ තීරය වනසා දමයි. කිසිදු හේතුවකට වෙරළට ගොඩ නොගසන බොහෝ අපද්‍රව්‍ය මුහුදු පතුලේ සැඟව යන්නේ මත්ස්‍ය හා කොරල් පර ඇතුළු වටිනා ජෛව පද්ධතිය විනාශ කරමිනි. එමෙන්ම මෙම අපද්‍රව්‍ය නිසා බෝවන රෝග මෙන්ම විකිරණශීලී ද්‍රව්‍ය නිසා ජාන විකෘතිවීම් පවා ඇති විය හැකිය.
 
 යාපනය වෙරළ තීරයට ගොඩ ගසා තිබූ සායනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා මෙලෙස අදහස් දැක්වීය.
 
 ”කිසියම් රටක වෙරළ සහ සාගරය දූෂණය වීමට බලපාන්නේ ඒ රටේ ගොඩබිම් දූෂණය. කැළි කසළ බැහැර කිරීමේ ක‍්‍රමවේද ක‍්‍රමවත් නොවීම හේතුවෙන් ජල මාර්ගවලට එක්වන අපද්‍රව්‍ය මඟින් සාගරය දූෂණය වෙනවා. මීට කලිනුත් විදෙස් රටවලින් අපේ රටට ආ කසළ නිරීක්ෂණය කර තිබුණා. විශේෂයෙන්ම නැගෙනහිර ප‍්‍රදේශයේ මඩකලපුව” අම්පාර” කිරින්ද වගේ ප‍්‍රදේශවලින් පසුගිය වසර කිහිපය තුළ වෙනත් රටවලින් ගසාගෙන ආ අපද්‍රව්‍ය හමු වුණා. ඒවා මියන්මාරය” ඉන්දියාව” තායිලන්තය” ඉන්දුනීසියාව සහ බංගලාදේශය වැනි රටවලින් පැමිණි බව පරීක්ෂණවලින් තහවුරු වුණා. එක් රටකින් මුහුදට එකතුවන අපද්‍රව්‍ය මුහුදු රළ එක්ක වෙනත් රටවලට ගසාගෙන ඒම සාමාන්‍ය දෙයක්. ඒක කාටවත්ම නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ තත්ත්වය පාලනය කරන්න නම් හැම රටක්ම කැළිකසළ මුහුදට” ජලාශවලට නොදා නිසි ලෙස බැහැර කරන ක‍්‍රමවේද හදා ගත යුතුයි.”
 
 කෙසේ වෙතත් මේ ප‍්‍රශ්නය පිළිබඳව අන්තර්ජාතික සමුළුවලදී සාකච්ඡාවට ගන්නා බවත් දැනට මේ සඳහා ඉන්දියාව හෝ වෙනත් රටකට එරෙහිව නීතිමය පියවර ගත නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි. එලෙස නීතිමය පියවර ගත නොහැකි වීමට හේතුව ලෙස ඔහු පැවසුවේ මෙවන් අදහසකි. ”මේ කුණු ලංකාවේ වෙරළටම ගොඩ ගහන්න කියලා හිතාගෙන දාපුවා නෙමෙයි. සමහරවිට තව කොටසක් වෙන රටකට පාවෙලා ගිහින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ වෙද්දිත් මුහුදේ පාවෙවී තියෙන්නත් පුළුවන්.”
 
 මෙලෙස වරින්වර ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධතිය විනාශ වීම සාමාන්‍ය කාරණාවක් ලෙස සැලකුණ ද එයට විසඳුමක් නොවුණහොත් බරපතළ පාරිසරික ගැටලූවලට සහ සෞඛ්‍ය ගැටලූවලට පිළිතුරු සෙවීමට ද අපට සිදුවන බව නොඅනුමානය.
 
 ”අපි මේ සිද්ධිය ගැන ගැඹුරින් හොයලා බැලූවා. ඇත්තටම මහා විශාල කැළිකසළ ප‍්‍රමාණයක් දකින්න තිබුණේ නෑ. අපි අදාළ පුද්ගලයින් යොදවලා ඒ අවට ප‍්‍රදේශය පිරිසිදු කරලා දැම්මා. අපේ රට තුළත් මිනිස්සුන්ට කැළිකසළ බැහැර කිරීම පිළිබඳව කොයිතරම් කියලා දුන්නත් ඔවුන් මේ දේවල් හරියට පිළිපදින්නේ නෑ. ඉන්දියාවත් එහෙමයි. ඉන්දියාවේ ගංගාවලට කැළිකසළ වගේම මෘත දේහ පවා මුදා හරිනවා.
 
 හැම රටකටම තමන්ගේ රටේ කැළිකසළ නිසි ලෙස බැහැර කිරීමේ ක‍්‍රමවේදයක් තිබිය යුතුමයි. තම තමන්ගේ වගකීම තම තමන් දරනවා නම් මේ වගේ ගැටලූවලට මුහුණපාන්න සිද්ධ වෙන්නෙ නෑ. ඇත්තම කතාව ගෙදරින් අපිට වත්තකට” වත්තෙන් ගමකට” ගමකින් රටට” රටකින් තවත් රටකට කැළිකසළ බැහැර උනාට ඒ කිසිම දෙයක් ලෝකෙන් පිටට යන්නේ නෑ. ඒවා ආයෙත් රටවල් අතර ම කරකැවෙනවා. ඒ නිසා මිනිස්සු කරන්න ඕනේ තම තමන්ගේ වගකීම තම තමන් දරන එක. එහෙම වුණොත් රටක් විදියටත් සමස්ත ලෝකයක් විදියටත් මේ දරුණු කැළිකසළ අර්බුදයට විසඳුම් හොයන්න පුළුවන්.” ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.
 
 පරිසර දූෂණය වීම තවත් එක් ගැටලූවක් පමණක් නොවේ. ඒ බොහෝ ගැටලූවලට හේතුවයි. රටක ජනතාව වසංගත රෝගවලට ගොදුරු වීම” ජනතාවගේ එදිනෙදා ක‍්‍රියාකාරකම් අඩාල වීම” සංචාරක කර්මාන්තය” ධීවර කර්මාන්තය ඇතුළු රැකියා අර්බුදයකට ලක් වීම” ආර්ථිකය කඩා වැටීමත් සමඟ රටේ දේශපාලන සමාජීය ආගමික යන සියලූ අංශයන් කඩාවැටීම ආදී තත්ත්වයන් පරිසර දූෂණයත් සමඟ ඇති විය හැකි ප‍්‍රබල ගැටලූය.
 
 ලොව ඕනෑම රටකට තමන්ගේ රටේ කැළිකසළ බැහැර කිරීමට ක‍්‍රමවත් වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. ඒවා ජලාශවලට හෝ මුහුදට එකතු කිරීම හෝ වෙනත් රටකට ගෙන ගොස් දැමීම කැළිකසළ බැහැර කිරීමේ නිසි ක‍්‍රමවේදය නොවන බව මේ සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන් අදාළ රටවලට පහදා දිය යුතුය. අන් රටවලින් ලැබෙන ප‍්‍රතිලාභ නිසා හෝ කාරණයක් නිසා මෙවැනි ගැටලූ සහගත තත්ත්වයන් නොසලකා හැරියහොත් නොබෝ දිනකින් ලාංකේය සුන්දරත්වය පිළිබිඹු කරන වෙරළ පද්ධතිය හා පරිසර පද්ධතිය විනාශ වී යෑම කිසිවකුට නතර කළ නොහැකිය. එමෙන්ම කොරෝනාවෙන් නොනැවතී තවත් බරපතල වසංගත රැසකට මුහුණදීමට ද ලාංකිකයන් වන අපට සිදුවනු ඇත.

 – නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment