රටින් ගේන හයිබි‍්‍රඩ් මොකටද….? දැන් අපිම හදපු හයිබි‍්‍රඩ් පැපොල්

678

දෙමුහුම් බීජ මෙරට ගොවි ජනතාවට මේ වනවිට අලූත් අත්දැකීමක් නොවේ. පැරණි ශාක අභිජනන ක‍්‍රියාවලිය නව මාවතකට කැඳවාගෙන යමින් දෙමුහුම් තාක්ෂණය බිහිවිය. මෙහිදී තෝරාගත් ශාක මවුපිය දෙපලක් අතර මිනිසා විසින් අන්තරාභිජනනය සිදුකරවා බීජ අස්වැන්නක් ලබාගැනේ. එම පළමු පරම්පරාවේ බීජ දෙමුහුම් බීජ ලෙස හැඳින්වෙන්නේය. මින් උපදින ශාකවලට අතිරේක ජවයක් තිබේ. පළමු පරම්පරාවේදී උපරිමයෙන් පෙන්නුම් කෙරෙන මෙම ශක්තිය හැඳින්වෙන්නේ දෙමුහුම් දිරිය වශයෙනි. එය මේ අන්දමට තිබෙන්නේ පළමු පරම්පරාවේදී පමණය. පළමු පරපුරේ ශාක නිපදවන බීජ භාවිතා කරමින් තවදුරටත් ඉදිරියට වගා කරන්නට උත්සාහ ගැනීමේදී පෙනෙන්නේ මේ ජවය ක‍්‍රමයෙන් හීන වී යන බවයි. දෙමාපියන්ගෙන් උරුමව එක ජීවියෙක් තුළට ගොනුවී පළමු පරම්පරාවේදී ප‍්‍රකාශ වූ ආකර්ෂණීය දේහ ලක්ෂණයන්ද ක‍්‍රමයෙන් වෙන්ව යමින් වෙනස් රූපලක්ෂණ සහිත දරුවන් බිහිවීමටද පටන්ගනී. මේ නිසා දෙමුහුම් බීජ වගාකිරීමේ පිළිවෙත පළමු පරම්පරාවෙන් ඔබ්බට යෑම විද්‍යානුකූල වන්නේ නැත. ඇතැමුන් විසින් අසත්‍ය ලෙස කරුණු ඉදිරිපත් කරමින් දෙමුහුම් බීජ වෙතට නැති වැරදි පටවා තිබුණත් මේවා ආශ‍්‍රිත කෘෂිකර්මාන්තය වනාහී සොබාදහමේ මූලධර්මයන්ගේම එක් ශාඛා දාමයක් පමණි. මේ වනවිට බොහොමයක් එළවළු හා පලතුරු භෝගයන් වෙනුවෙන් දෙමුහුම් ප‍්‍රභේද ජනනය කිරීම ලොව පුරා සුලභව සිදුවෙන අතර චීනය වැනි රටවල් දෙමුහුම් වී ප‍්‍රභේද සමග පවා ඉදිරියට ගොස් සිටී. දෙමුහුම් තාක්ෂණය හරහා මෙරට පළමුව නිපදවනු ලැබුවේ තක්කාලි ප‍්‍රභේදයකි. මේ වනවිට වම්බටු, මාළුමිරිස්, අමුමිරිස් ආදී එළවළු වර්ග කීපයක් වෙතටම මෙය සාර්ථකව ව්‍යාප්තව ගොස් ඇත.

මෙරට වගාකරනු ලබන පලතුරු ප‍්‍රභේද අතරින් දෙමුහුම් බීජ වඩාත් සුලභව භාවිතා වන්නේ පැපොල් වගාවේදීය. ආනයනික දෙමුහුම් නොහොත් හයිබි‍්‍රඞ් පැපොල් ප‍්‍රභේද ගොවීන් අතර ගැවසීම මෑතක පටන් වැඩිවූ නිසා දේශීය පැරණි පැපොල් ප‍්‍රභේදයන්ගේ පැවැත්මට ද සැලකිය යුතු බලපෑමක් ඇතිවුණි.

”දෙමුහුම් ප‍්‍රභේදයන් සමග වාණිජ මට්ටමෙන් පැපොල් වගාව ප‍්‍රසාරණය උනාට පස්සේ රටපුරාම තිබුණු විවෘත පරාගනයෙන් පලදරන විවිධාකාර පැපොල් ප‍්‍රභේද සීග‍්‍රයෙන් වගාබිම්වලින් ඉවත් වුණා. ආකර්ෂණීය ලක්ෂණ හා ඉහළ අස්වැන්න හේතුවෙන් හැමෝම පුරුදු වුණේ ආනයනික දෙමුහුම් බීජවලට. මෙහෙ පරිසරයට හුරු නැති එම ප‍්‍රභේදයන් හරහා විවිධ ප‍්‍රශ්නවලටත් ඔවුන් මුහුණ දුන්නා. ඒ නිසා තමයි අපි තීරණය කෙරුවේ දේශීය දෙමාපියන් යුගලයක් තෝරාගෙන දේශීය දෙමුහුමක් හදන්න.”

රටින් ගේන හයිබි‍්‍රඩ් මොකටද....? දැන් අපිම හදපු හයිබි‍්‍රඩ් පැපොල්
අයි. කළුබෝවිල

‘හොරණ පැපොල් දෙමුහුම Horana Papaya Hybrid 1 යනුවෙන් නම් කළ පළමු දේශීය දෙමුහුම් පැපොල් ප‍්‍රභේදය බිහි කළ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) අයි. කළුබෝවිල මහත්මිය තම ක‍්‍රියාන්විතයට හේතු වූ නිමිත්ත ගැන පළ කෙරුවේ එවන් අදහසකි. ඇය ප‍්‍රථමයෙන්ම දේශීය ප‍්‍රභේදයන් පරීක්ෂා කරමින් හා ගුණනය කරමින් වැඩසටහන අවශ්‍ය දෙමාපිය දර්ශයන්හි නුමුහුම් පෙළපත් දෙකක් නිපදවාගෙන තිබේ. මින් එක ශාකයක් කලකට ඉහතදී මෙරට බහුලව වගා කළ රත්න පැපොල් හි ඥාතියෙකි. එම ද්විත්වය අතර කෙරුණු අන්තරාභිජනනය හරහා මෙම ප‍්‍රභේදය තෝරාගැනුණු අතර, ජාතික සම්බන්ධීකරණ ආදර්ශන, ප‍්‍රභේද අනුවර්ත්‍යතා ආදර්ශන වැනි සම්මත විශ්ලේෂණයන් පසුකරමින් ජාතික මට්ටමේ නිර්දේශයක් දක්වා නව ප‍්‍රභේදය රැුගෙනවිත් තිබේ. ඒ හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය තුළින්ය. මේ වනවිට නව ප‍්‍රභේදයේ බීජ, වගාකරුවන් වෙත අලෙවි කිරීමට සූදානමිනි. ගන්නෝරුවේ බීජ අලෙවිසලෙන් කුඩා ප‍්‍රමාණයන්ගෙන් මිලදී ගත හැකිය. තොග මිල කියනවා නම් බීජ කිලෝග‍්‍රෑමයක් රුපියල් ලක්ෂ හය හමාරකි. දල වශයෙන් එහි බීජ 50000 ක් තිබේ. එනම් එක පැපොල් බීජයක් රුපියල් 13 ක් පමණ වේ. දෙමුහුම් බීජයන්හි මිල ගණන් එසේය.

”මේ පැපොල් වර්ගයේ ගෙඩියක බර කිලෝග‍්‍රෑම් තුනක් පමණ දක්වා වුවත් වැඞීමේ විභවය තිබෙනවා. එහෙත් සාමාන්‍ය ප‍්‍රමාණය වෙන්නේ කිලෝග‍්‍රෑම් 1.2 – 1.5 අතර අගයක්. ගැහැනු මල් පිපෙන ගස්වල ගෙඩි රවුම් ඕවලාකාර හැඩයකට තමයි හැදෙන්නේ. ද්විලිංගික මල් හැදෙන ගස්වල ගෙඩි තරමක් දිගැටි හැඩයක් ගන්නවා. මදය තදරතු පාටයි. තරමක් මෘදුයි. හොඳ පැණි රසක් තිබෙනවා, සාමාන්‍යයෙන් පැපොල්වල බි‍්‍රක්ස් අගය විචල්‍ය වෙන්නේ 9 – 14 වගේ ගණනක් අතර. අපේ ප‍්‍රභේදයේ අගය 13 ක්.”

තමා විසින් නිපදවන ලද දෙමුහුම් පැපොල් ප‍්‍රභේදයේ ගති ලක්ෂණ පිළිබඳව කළුබෝවිල මහත්මය අදහස් දැක්වූයේ එලෙසිනි. බි‍්‍රක්ස් අගය මගින් නිරූපනය වන්නේ පැපොල් මදයේ තිබෙන සුක්‍රෝස් සීනි ඇතුළු ද්‍රාව්‍ය ඝන ද්‍රව්‍ය ප‍්‍රමාණයයි. එනම් වැඩි බි‍්‍රක්ස් අගයක් තිබෙනවා යනු එහි පැණිරස වැඩිය. ආහාර කර්මාන්තය උදෙසා භාවිතා කරන්නේ නම් පිටින් එකතු කළ යුතු සීනි ප‍්‍රමාණය ද මේ නිසා අඩුවේ. ඒ නිසා ඉහළ බි‍්‍රක්ස් අගයක් පෙන්වීම යම් ප‍්‍රභේදයක් තෝරාගැනීමට උපකාරී වන සාධාරණ මිනුම් දණ්ඩකි. කෙසේ නමුත් නව ප‍්‍රභේදය තුළ සුළු දුර්වලතාවයක් ද හඳුනාගෙන තිබේ. ලෙල්ලෙහි ඝනකම අඩුවීම නිසාවෙන් දින 4-5 ක් ඇතුළත මෙම පැපොල් ගෙඩි ඉදෙන්නේය. එබැවින් ගෙඩියේ අග පෙදෙස යන්තමින් කහපැහැ ගන්නාවිට අස්වැන්න නෙළීමත්, ප‍්‍රවාහනයේදී වඩාත් සැලකිලිමත් වීමත් අවශ්‍යතාවයකි.

විදෙස් පරිසර තත්ත්වයන්ට ගැලපෙන ආකාරයට එතෙරදී බිහිකරන ලද දෙමුහුම් බීජ, විදේශ විනිමය ගෙවා මෙහි ගෙන්වාගෙන වගාකිරීමට පුරුදු වූ ලාංකික ගොවියාට, දේශීය දෙමුහුම් ප‍්‍රභේදයක් සැපයීම හරහා ලැබෙන්නේ සුළුපටු සහනයක් නොවේ. ප‍්‍රභේදය බිහිකරන්නට දායකවූ දෙමාපිය දර්ශයන් මෙරට පාරිසරික තත්ත්වයන් දරාගනිමින් සොබාදහමේ තෝරාගැනීම මත ඉදිරියට පැමිණි ඒවා වන බැවින්, ඒ යටතේ බිහිවෙන දරු පරපුරද දේශීය ගොවිබිම් තුළ සාර්ථකව ස්ථාපනය වන්නේ වගාකරුවාගේ ආර්ථිකයට ද මැනවින් සම්මාදම් වෙමිනි. අප දේශීය දෙමුහුම් තවදුරටත් ඉදිරියට රැුගෙන යායුත්තේ එබැවිනි.

සනත් එම්. බණ්ඩාර
[email protected]

රටින් ගේන හයිබි‍්‍රඩ් මොකටද....? දැන් අපිම හදපු හයිබි‍්‍රඩ් පැපොල්
advertistmentadvertistment
advertistmentadvertistment