රටෙන් සීයයට 85ක් ණය කාරයෝ…අපි නොවෙයි කියන්නේ මහ බැංකුව

187

සියයට 68ක් බත්පත අඩුකරලා

සියයට 40 ක් සෞඛ්‍ය වියදම කප්පාදු කරලා

2022 වර්ෂයේ ළමා මන්දපෝෂණය වැඩි දකුණු ආසියාවේ දෙවැනි රට

අවුරුදු 04කට පසු වී අස්වැන්නෙන් තුනෙන් එකක් අඩුවෙලා

මේ වනවිට භාණ්ඩ හා සේවා මිල ගණන්වල යම්කිසි අඩුවීමක් වාර්තා වුවද ආර්ථික අර්බුදය හමුවේ රට්ටුන් මත එල්ලවී ඇති පීඩනය තවමත් අඩුවී නැත. උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ මෙරට වැසියන්ගේ සුභසාධනය මත ඇති කළ පීඩනය ද සුළු පටු නොවේ. කොටින්ම කිවහොත් පවතින ආර්ථික අර්බුදය හමුවේ රට්ටුන් දැඩි ආර්ථික ගැටලුවලට ලක්වෙමින් දිවිගෙවති. ජීවන මාර්ග අහිමිවීම, උද්ධමනය ඉහළ යෑම, විවිධ පැතිකඩ හරහා සමාජයේ අවදානමට ලක්විය හැකි ජනගහනයේ ජීවන තත්ත්වය බොහෝදුරට පිරිහී ඇත. ඒ විතරක් නොව ඇතමුන්ට සිය ආදායම් මාර්ග අහිමිවී ගොස් ඇත්තේය. පවුලේ ආදායම් මාර්ග අහිමිවීමෙන් පවුල් අතර ආර්ථික හා සාමාජීය වශයෙන් ගැටලු රැසක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කරණු ලැබූ වාර්ෂික වාර්තාවේ සඳහන් පරිදි ශ්‍රී ලංකාව සඳහා යාවත්කාලීන කරනු ලැබූ ජාතික දරිද්‍රතා රේඛාවේ සියයට 74ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් 2022 වර්ෂයේදී රුපියල් 13,777ක් දක්වා ඉහළ ගොස් ඇත. එක් පුද්ගලයකු සඳහා වැයවන අවම මාසික වියදම ඉහළ නංවමින් මූලික ආහාර, ඇඳුම්, පැළදුම් හා අත්‍යවශ්‍ය භාණ්ඩවල පිරිවැය වැඩිවී ඇත. මෙකී ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනගහනයෙන් සියයට 85ක් මුදල් ණයට ගැනීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වූ වියදම් අඩුකිරීම, ඉතුරුම් වියදම් කිරීම හා ගෙවීමට ඇති ණය මුදල් කල්දැමීම වැනි ජීවනෝපාය මත පදනම් වූ විකල්ප ආර්ථික උපායමාර්ග වෙත යොමුවී ඇත. මෙම තොරතුරු අනාවරණය වන්නේ. ලෝක ආහාර වැඩසටහනේ දුරස්ථ, ගෘහස්ථ, ආහාර සුරක්ෂිතතා, සමීක්ෂණයට අනුවය.

එම සමීක්ෂණයට අනුව 2022 වර්ෂය අවසානය වන විට මෙරට ජනගහනයෙන් සියයට 68ක් පමණ ආහාර ගන්නා ප්‍රමාණය අඩුකිරීම, ආහාර වේල් ගණන අඩුකිරීම, අඩු රුචිකත්වයක් දක්වන ආහාරමත යැපීම වැනි විකල්ප ආහාර උපායමාර්ග වෙත යොමුවී ඇති බව මෙකී වාර්තාව මගින් පෙන්වා දී ඇත. මේ අතර ජනගහනයෙන් සියයට 40ක් පමණ අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වූ වියදම් කපාහැරීම වැනි ක්‍රියාමාර්ග හරහා විකල්ප උපායමාර්ග වෙත යොමුවී ඇත. එමෙන්ම සේවා නියුක්තියෙන් වැඩිකොටසක් අවිධිමත් අංශයේ රැකියාවල නිරතව සිටින බවද මෙම සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇත. ජනගහනයෙන් සියයට 14.3ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වීම තුළ ආර්ථික අර්බුදයේ පීඩනය වඩාත් උග්‍රවිය හැකි අතර එය ජනතාවගෙන් විශාල පිරිසක් දරිද්‍රතාවයට ඇද දැමීමට හේතුවිය හැකි බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

වර්තමාන ආර්ථික අර්බුදය පරම්පරාවෙන්, පරම්පරාවට දුප්පත්කම වර්ධනය කරමින් ජනගහනයේ කොටස් අතර සමාජ, ආර්ථික විෂමතාවයන් පුළුල්වීමට හේතු වී ඇත. ඒ විතරක් නොව උදාහරණයක් වශයෙන් ගතහොත් පවුල් ඒකකයන් දුප්පත්කමින් පෙළෙනවිට රැස්කළ හැකි ආදායම අවමවීම හේතුවෙන් එකී පවුල් ඒකක සඳහා ලබාගත හැකි අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන්ට අහිතකර ලෙස බලපා ඇත. මෙවන් පසුබිමක් තුළ රජය මගින් පවතින, සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන යටතේ අවදානමට ලක්ව ඇති පවුල් ආරක්ෂාකර ගැනීම සඳහා විවිධ ව්‍යාපෘති දියත්කොට ඇත. මෙකී ව්‍යාපෘති යටතේ රජය මගින් විදේශීය මූල්‍ය ආයතනවල සහයෝගය ඇතිව මුදල් හා ප්‍රදාන ලබාදීම තුළින් ජනගහනයේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කිරීමට විවිධ පියවරයන් ගෙන ඇත. එහෙත් එම වැඩසටහන්වල දුර්වල ඉලක්ක කිරීම හේතුවෙන් එවායෙහි කාර්යක්ෂමතාවය අභියෝගයට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. රටේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් මෙන්ම, දරිද්‍රතා මට්ටමට ආසන්නයේ සිටින කණ්ඩායම් පිළිබඳ විශ්වාසනීය හා යාවත්කාලීන කරනු ලැබූ දත්ත පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් රජයේ ආධාර බෙදාහැරීමේ දී විවිධ අක්‍රමිකතාවයන් සිදුවී ඇත. ඒ විතරක් නොව මෙකී ආධාර මුදල් නුසුදුසු පුද්ගලයන් වෙත පත්වෙන බවට වාර්තා වී ඇත.

රටෙන් සීයයට 85ක් ණය කාරයෝ…අපි නොවෙයි කියන්නේ මහ බැංකුව

අනික් කාරණය වන්නේ ආර්ථික අර්බුදයත් සමග රට තුළ ඇති වී තිබෙන ළමා මන්දපෝෂණයයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් ප්‍රකාශිත මන්දපෝෂණයට අදාළ සංකල්පයට අනුව මන්දපෝෂණයට ප්‍රධාන හේතුව ආර්ථික සාධක බවට හඳුනාගෙන ඇත. ආර්ථික අර්බුදයත් සමග ජනතාවගේ ආදායම් මාර්ග ඇහිරී යෑම හරහා ජනතාවට පෝෂණීය ආහාර වේලක් ලබා ගැනීමට ඇති හැකියාව නැතිවී තිබේ. ඒ විතරක් නොව අවදානමට ලක්විය හැකි පවුල් පෝෂණ තත්ත්වයෙන් අඩු ආහාර සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත. එය පුද්ගලයන්ගේ ආහාර වේලෙහි ගුණාත්මකභාවය පිරිහීමට ද හේතුවන කරුණකි. මෙහි අවසාන ප්‍රථිපලය වන්නේ මන්දපෝෂණය ඉහළ යෑමයි. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු ආර්ථික අවපාතය හමුවේ ජනගහනයේ පෝෂණ යහපැවැත්මට දැඩි බලපෑමක් එල්ලවී ඇත.

අවුරුදු පහට අඩු දරුවන් අතර උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සැලකීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ වඩාත් බලපෑමට ලක්වූ රටවල් අතර දෙවන ස්ථානයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. විශේෂයෙන් පරම්පරා ගණනාවකට බලපෑම් ඇතිකරන ළමා මන්දපෝෂණය ඉහළ යෑම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇත. මේ වනවිට රට තුළ යම් ආකාරයකින් ආහාර ද්‍රව්‍යවල මිල පාලනය වෙමින් තිබේ. ඒ කොයිහැටි වුවද ජනතාවගේ කරමත එල්ලවී ඇති ආර්ථික පීඩනය තවමත් ජනතාවට දරාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. 2022 වර්ෂය තුළ මෙරට ආහාර මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පැවතුණි. මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ආහාර උද්ධමනය වාර්තා විය. එය සියයට 94.9කි.

2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී අවුරුදු පහට අඩු දරුවන්ගේ පෝෂණ මට්ටම පිළිබඳ සිදුකරනු ලැබූ නවතම නිල සමීක්ෂණයට අනුව ළමුන්ගේ පෝෂණ මට්ටම දැඩි ලෙස පිරිහීමට ලක්ව ඇත. 2022 වර්ෂය තුළ මෙරට අවුරුදු පහට අඩු ළමුන් අතර අඩුබර ළමුන්ගේ ප්‍රතිශතය සියයට 15.3 දක්වා වැඩිවී ඇත. එය 2021 වර්ෂයේදී සියයට 12.2ක්ව පැවතුණි. මේ අතර 2022 වර්ෂය තුළදී අවුරුදු පහට අඩු ළමුන් අතර වයසට සරිලන උස නොමැති හා උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය පිළිවෙළින් සියයට 9.2ක් සහ සියයට 10.1 දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. 2021 වර්ෂය තුළ අවුරුදු පහට අඩු ළමුන් අතර වයසට සරිලන උස නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 7.4කි. උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 8.2කි.

ආර්ථික ගැටලු හේතුවෙන් මෙරට ළමා මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වී ඇති අතර බොහෝ දිස්ත්‍රික්කවල ළමා මන්දපෝෂණ තත්ත්වය අයහපත් ලෙස වර්ධනය වී ඇති බවද මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වර්තාවේ සඳහන් වේ. අවුරුදු පහට අඩු දරුවන් අතර ඉහළම අඩුබර ළමුන් ප්‍රතිශතය වූ සියයට 23.9 නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ. අඩුබර ළමුන්ගේ අඩුම ප්‍රතිශතය වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය සියයට 9.8කි. ළමුන් අතර වයසට සරිලන උස නොමැති ළමුන්ගේ වැඩිම ප්‍රතිශතයක් වාර්තාවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එය සියයට 22.8කි. එහි අඩුම ප්‍රතිශතය වන සියයට 5.1 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ. පෝෂණ විෂමතා මැඩලීම සඳහා ඒකාබද්ධ උත්සාහයක් නොගතහොත් ආර්ථික අර්බුදය හමුවේ මෙම විෂමතාවයන් තවදුරටත් උග්‍රවනු ඇති බවද මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂිත වාර්තාවේ සඳහන් වේ.

පොහොර හිඟය, යෙදවුම් මිල ඉහළ යෑම ඇතුළු හේතු නිසා ඉකුත් වර්ෂය තුළ මෙරට ආහාර නිෂ්පාදනය ද සැලකිය යුතු ලෙස අඩුවිය. පොහොර හිඟය ඇතුළු සැපයුම් අංශයේ දැඩි අවහිරතා හේතුවෙන් වසර හයකට පමණ පසු මෙරට අඩුම වී නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2022) වාර්තා වී ඇති අතර වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 3.4 ක් දක්වා සියයට 34.1කින් පහළ ගොස් තිබුණි.

2017 වර්ෂයෙන් පසු එහි අඩුම වාර්ෂික වී නිෂ්පාදනය වාර්තා කරමින් රටේ සමස්ත වී නිෂ්පාදනය 2022 වර්ෂයේ දී සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවද මහ බැංකුව මගින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. 2021/2022 මහ කන්නයේ දී මෙරට වී අස්වැන්න සියයට 36.9කින් පහළ ගිය අතර 2022 යල කන්නයේදී වී අස්වැන්න සියයට 30.0කින් පහළ යනු ලැබීය.

පොහොර සහ යෙදවුම්වල හිඟය හේතුවෙන් වී නිෂ්පාදනයේ සාමාන්‍ය පලදාව 2021 වර්ෂයේ දී වාර්තා වූ හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 4571ට සාපේක්ෂව 2022 වර්ෂයේදී හෙක්ටයාර එකකට කිලෝ ග්‍රෑම් 3,045 දක්වා පහළ ගොස් තිබුණි. 2022 වර්ෂයේ සමස්ත වී නිෂ්පාදනය සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.1කට සමාන වී ඇති අතර එය ගෘහස්ථ සහල් ඉල්ලුමෙන් මාස 11ක් සඳහා ප්‍රමාණවත් වනු ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

පොහොර සහ අනිකුත් කෘෂි රසායන ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කළද එම තහනමේ බලපෑම මෙන්ම අවශ්‍ය පරිදි පොහොර ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැතිවීම ආදි හේතු නිසා රට තුළ උග්‍ර පොහොර හිඟයක් නිර්මාණය වීම නිසා වී නිෂ්පාදනය සඳහා සැලකිය යුතු බලපෑමක්’ එල්ලවූ බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. ඒ විතරක් නොව 2022 වර්ෂයේදී මෙරට එළවළු නිෂ්පාදනයද සියයට 4.9කින් පහළ යනු ලැබීය. මහ බැංකු වාර්තාවට අනුව මෙරට සමස්ත පළතුරු නිෂ්පාදනය 2022 වර්ෂයේ දී සියයට 26.9කින් පහළ ගොස් තිබුණි. ඒ විතරක් නොව මෙරට බිත්තර නිෂ්පාදනය ද ඉකුත් වර්ෂය තුළදී සියයට 5.4කින් පහළ ගියේය. මෙම තත්ත්වයන්ද ළමුන්ගේ පෝෂණ ඌණතාවයට හේතුවිය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment