රටේ අනාගතය ගොඩනැඟිය හැක්කේ ජනපතිට පමණයි – රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න

49

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් හේවාහැට ආසනය සූදානම් කිරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා අධිකරණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගුරුදෙණිය එලිගන් රේන්ජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

“එක්ව ජයගමු – ජනපති දිනවමු” මැයෙන් සංවිධානය එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. වැටී තිබුණු රට අද තියෙන තත්ත්වයට ගෙනාවේ වෙන කවුරුත් නොවේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ඒ වෙනකොට රට භාර ගන්න කවුරුත් හිටියේ නෑ. හැමෝම වගකීමෙන් පැනලා ගියා. ජනතාව හොඳට ඒක දන්නවා. අද කතා වෙන් දිනන්න හදන කවුරුත් එදා වගකීමෙන් පැනලා ගියා. ඒ නිසා රටේ අනාගතය ගොඩ නඟන්න කිසිම පැකිලීමකින් තොරව ජනතාව එක් වෙනවා අපේ බලවේගය වටා. සියලු දෙනා පක්ෂ පාට නොබලා ඒ ගමනට දායකවෙමු යැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එළැඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සහයෝගය ලබාදීම සඳහා හේවාහැට ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභාපති යාපා බණ්ඩාර මහතා ඇතුළු සියලු මන්ත්‍රී මණ්ඩලය ද, පළාත් පාලන කොට්ඨාස අපේක්ෂක මහතුන්, එක්සත් ජාතික පක්ෂයේ හේවාහැට ආසනයේ ප්‍රධාන සංවිධායක ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ඇතුළු හිටපු මන්ත්‍රී මණ්ඩලය මේ සඳහා එක්ව සිටියහ.

මෙහිදී එළැඹෙන මැතිවරණ සඳහා යෝජිත රැස්වීම් මාලාව තීරණය කිරීම, ගෙයින් ගෙට ගොස් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දින වකවානුව වෙන් කර ඒ සඳහා අවශ්‍ය කණ්ඩායම් සූදානම් කර ගැනීම, හේවාහැට ආසනයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය සහ එක් ඡන්ද මධ්‍යස්ථානයක් ඉලක්ක කොට මැතිවරණ ප්‍රචාරණ කාර්යාලය ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment