රටේ ඉහළම හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කරුණු 200 ක චෝදනා පත්‍රයක්!

1339

● ජිනීවා සමුළුවට ගිය එක් ඇමතියකුගේ දිනක හෝටල් වියදම රුපියල් ලක්‍ෂ 2ක් ඉක්මවයි
● සමුළුවට සහභාගිවීම සඳහා ප්‍රසාද දීමනාවක් තානාපති කාර්යාලය පිරිනමයි
● ජිනීවාහිදී ඇමැතිවරුන්ට ස්විස් පොලිසියේ රැකවරණ

ජිනීවා සමුළුවෙන් ගිනස් වාර්තාවක්

කෝර් ගෲප් නමින් හඳුන්වාගත් රටවල් 7 ක් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොනු කළ සීරෝ ඩ්‍රාෆ්ට් රෙසලූෂන් නැමැති යෝජනාවේ අරමුණවූයේ හෙළි නොකළ සාක්කි සහිතව ශ්‍රී ලංකාව යුද අපරාධවලට වරදකරු කිරීමයි.

එම යෝජනාවෙන් 2024 දක්වා සාක්කි එකතු කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බලය පැවරේ. ඒ සඳහා මානව හිමිකම් කවුන්සිලය සාමාජික රටවලින් අරමුදල් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව වරදකරු කිරීමට උත්සාහ කරන්නේ කවුද?

ඒ යුද අපරාධ සිදුකළ ඇමරිකාව – කැනඩාව – බ්‍රිතාන්‍යය – ජර්මනිය – මලාවි – මැසිඩෝනියාව සහ මොන්ටිනීග්රෝ යන රටවල්ය.

එහෙත් ශ්‍රී ලංකා රජය මේ කිසිදු රටකට අභියෝග කළේ නැත. චීනය සහ ඉන්දියාව වැනි රටවලට මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ලවූ විට එම රටවල් අභියෝග කළේය. එසේ වුවත් ශ්‍රී ලංකාව අභියෝග නොකළේ නිවටකම නිසාය.

51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවට ගොනුවූ නව ජිනීවා යෝජනාවෙන් නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් 120,000ක් සාක්‍ෂි තිබියදී ඇයි තවදුරටත් සාක්‍ෂි එකතු කිරීමට වසර 2ක් ගතකරන්නේ මන්ද යන්නයි. මානව හිමිකම් කවුන්සිලය මෙතක් එම 120,000ක සාක්‍ෂිකරුවන් අනාවරණය කර නැත. එසේම ඔවුන් කුමන රටක සිටින්නේද යන්න වසන් කර ඇත. ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා නඟන 200ක් හිටපු කොටි ත්‍රස්තයන්ය.

2009 සිට දිගට ම ක්‍රියාත්මක වූ ජිනීවා යෝජනාවලට දැන් වසර 13ක් ගතවේ. එහෙත් මානව හිමිකම් කොමසාරිස්වරුන්ට සාක්‍ෂි ඔප්පු කරලීමට හැකියාවක් නැත. මේ හැර ස්වෛරී රටක හමුදාවට දඬුවම් කිරීමට මැන්ඩේට් බලයක් මානව හිමිකම් කවුන්සිලයට දුන්නේ කවුද?

රටේ ඉහළම හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කරුණු 200 ක චෝදනා පත්‍රයක්!
● ඇමැතිවරු නතරව සිටියේ ඉන්ටර්කන්ටි නෙන්ටල් හෝටලයේයි

මේ පසුබිම මැද මානව හිමිකම් කවුන්සිලය මුල්වරට මානව හිමිකම්වලට අමතරව ශ්‍රී ලංකා රජය මෙරට ආරක්‍ෂක ක්‍රියාදාමය සකස් වියයුතු අන්දම ගැන ද උපදෙස් දී ඇත. මෙහි දැක්වෙන්නේ එම උපදෙස්ය.

  1. ආරක්‍ෂක වැය අඩු කරනු
  2. උතුරු නැඟෙනහිර හමුදාකරණය නවත්වනු
  3. උතුරේ ඉඩම් ජනතාවට ලබාදෙනු
  4. හිටපු කොටි ක්‍රියාකාරීන් පිළිබඳව විමර්ශනය නතර කරනු
  1. උතුරු නැඟෙනහිරින් හමුදාව අඩුකරනු
  2. ජනපති සමාව දීමෙන් වළකිනු
  3. හිටපු හමුදා නිලධාරීන් උතුරේ තනතරුවලට පත්කිරීම නතර කරනු
  4. පාස්කු ප්‍රහාරයට හමුදාව සම්බන්ධදැයි පරීක්‍ෂණ කරනු
  5. උතුරේ සිදුකෙරෙන සෝදිසි කිරීම් නතර කරනු

මෙලෙස ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගොනුවන අවස්ථාවේ ඇමරිකානු සෙනෙට් සභිකයන් සිව්දෙනෙක් ශ්‍රී ලංකාවේ කටයුතුවලට ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුවිය යුතු බවට දක්වමින් එරට කොංග්‍රස් සභාවට තවත් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය. මේ යෝජනාව ගොනු කළේ එරට සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ ප්‍රධානි බොබ් මෙනෙන්ඩස් – චික් ඩර්බින් – පැට්රික් ලිහි සහ කොරි බෲකර්ය.

මේ යෝජනාවෙන් රාජපක්‍ෂ පවුලේ දුර්වල ආර්ථික පිළිවෙත ගැන පහර ගසා තිබුණි. එසේම හිටපු රජය ඇමෙරිකානු එම් සී සී ගිවිසුම තුළින් ප්‍රදානය කිරීමට උත්සාහ කළ ඩොලර් මිලියන 480ක ණය මුදල ප්‍රතික්‍ෂේප කිරීම නිසා ආර්ථිකය වැටුණ බවද පවසා ඇති අතර ඇමෙරිකාවේ ඉන්දීය සාගර කලාපයේ කුවෝඩ් සංවිධානයට ශ්‍රී ලංකාව ඇතුළත් කරගතයුතු ඉල්ලීමක් කෙරුණි. මෙම නව ජිනීවා යෝජනාවෙන් අරාබි වසන්තය ක්‍රියාත්මක වූ ටියුනිසියාව – ඊජිප්තුව, තායිලන්තය වැනි රටවල කලබලවලට සමානව මෙරට අරගලයට සහාය ද දක්වා ඇත. එහෙත් ඊජිප්තුවේ ඇතිවූ ඊජිප්තු වසන්තය හිටපු හමුදාපති සීසී හමුදාව යොදවා බරපතළ ලෙස මර්දනය කළ අවස්ථාවේ මානව හිමිකම් කවුන්සිලය නිහඬ විය. තායිලන්තය ද කහ කොඩි කාරයන්ගේ අරගලය හමුදාව යොදවා මර්දනය කළ අතර ඊටද එරෙහිවීමට මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාකළේ නැත. මෙම පසුබිම මැද යාපනය නගරාධිපති මනිවන්නන් සහ ටෙලෝ ප්‍රකාශක කොරුන්තුරන් සුරේන්තුරන් නමැත්තන් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් 58ක පිරිස ජාත්‍යන්තර අධිකරණයට යොමුකරන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත. එසේ නම් ටෙලෝ සංවිධානය සිදුකළ අපරාධ ගැනද එම සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලානන්දන් ඇතුළු ටෙලෝ ක්‍රියාකාරීන්ද ජාත්‍යන්තර අධිකරණය ඉදිරිපත් කළ යුතුය.

රටේ ඉහළම හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කරුණු 200 ක චෝදනා පත්‍රයක්!
● නව මහකොමසාරිස් වොල්කර් ටර්ක්

මෙවන් තත්ත්වයක් මතුවන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සතුරකු වූ කැනඩා මන්ත්‍රී ගැරී ආනන්ද සංගරී ප්‍රකාශයක් කරමින් උතුරු නැඟෙනහිරින් හමුදාව අඩුකළ යුතු බවත් බලය විමධ්‍යගත කළ යුතු බවත් පවසා ඇත. එහෙත් ගැරී ආනන්ද සංගරී කැනඩා පුරවැසියෙකි. ඔහුට මෙරට ආරක්‍ෂක කටයුතුවලට සම්බන්ධ විය නොහැක.

ශ්‍රී ලංකාවේ හමුදාව දෙමළ ජන සංහාරයක් කළ බවට කැනඩා පාර්ලිමේන්තුවට යේජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගත්තේ ගැරි ආනන්ද සංගරීයි. කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ශ්‍රී ලංකාවට එරෙහිව උපදෙස් ලබාගන්නේ ගැරී ආනන්ද සංගරී ගෙනි.

ශ්‍රී ලංකාවට මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයකට මුහුණදීමට සිදුවූයේ ඩොලර් සංචිතය අඩුවීමත් සමග ඩයස්පෝරාව ප්‍රමුඛ සතුරන් රටේ පාලනයට මැදිහත්වීම නිසාය.

මේ අතර ස්විට්සර්ලන්තය තුළද කොටි යුද අපරාධකරුවන් 200කට අධික සංඛ්‍යාවක් සිටියත් එරට සිටින ශ්‍රී ලාංකිකයන් සහ යුරෝපා රටවල සිටින ශ්‍රී ලාංකිකයන් එම යුද අපරාධකරුවන් අන්තර්ජාතික අධිකරණයට ගෙන එන ලෙසට අභියෝග කර නැත. මෙය ඉතාම ඛේදනීය තත්ත්වයකි. 2009 සිට ඩොලර් ලක්‍ෂ ගණනක් වැයකර ජිනීවාහිදී කොටින්ට එරෙහිව සටන් කළ දේශප්‍රේමීන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ කෙරේ විශ්වාසය පළකළත් ඔහු එම විශ්වාසය බිඳ දැමුවේය.

එහි ප්‍රතිඵලය දැන් ඇස්පනාපිට තහවුරුවී ඇත.

2009 දී වන්නි මෙහෙයුම ජය ලැබුවත් ජාත්‍යන්තරය තුළදී කොටි ජය ලබා ඇත. ඊට මූලික හේතුව කොටිඩයස්පෝරාව එක්ව ක්‍රියාකිරීමයි.

රටේ ඉහළම හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කරුණු 200 ක චෝදනා පත්‍රයක්!
● ජිනීවාහිදී විරෝධතා පැවැත්වීම

මේ අතර බ්‍රිතාන්‍යයේ සිටින කොටි හිතවාදී යස්මින් සුකා නමැත්තිය එරට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිත ජෙයරාජ් පලිහවඩන වෙත පැවරූ නඩුව සදහා ශ්‍රී ලංකා රජයේ සහාය නොලැබීම නිසා ඇය ජය ලබන බව වාර්තා වේ. නඩුව සමථයකට පත්කරගැනීමට නම් විශාල වන්දියක්ද නඩු ගාස්තුද ගෙවිය යුතු යැයි සුකා පවසා ඇත. මෙම නඩුව ගොනු කිරීමට සුකා ක්‍රියාකළේ ජෙයරාජ් පලිහවඩන ඇය කොටි හිතවාදිනියත් බව පැවසීම නිසාය. ජෙයරාජ් පලිහවඩන කළ ප්‍රකාශය සැබෑවකි. ඇය කොටි අරමුදල් මත ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව වාර්තා 90 කට අධික සංඛ්‍යාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත. එසේම මෙරට හමුදා නිලධාරීන් යුද අපරාධ සිදුකළ බවට කොටි හිතවාදීන් 200ක් ලවා මානව හිමිකම් සමුළුවලට සාක්කි ගොනු කළේද ඇය යි. මේ අතර මෙරට හමුදා නිලධාරීන් 58කට එරෙහිව ගොනුවී ඇති යුද අපරාධ චෝදනා ඉදිරි වසර 2කට ද බලපැවැත්වේ. ඒ නිසා ඔවුන්ට ගැලවීමක් නැත. එම හමුදා නිලධාරීන්ට පමණක් නොව ඔවුන්ගේ බිරියන්ට ද එකී යුද අපරාධ චෝදනා බල පවත්වනු ඇත. මෙරට ජිනීවා වාර්තාවේ දක්වා ඇත්තේ චෝදනා එල්ලවූ හමුදා නිලධාරීන්ගේ වත්කම්ද තහනම් කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් කීදෙනකුට විදේශ රටවල වත්කම් තිබේදැයි හෙළිවී නැතත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සහ රටවල්වලට එම තොරතුරු සොයාගත හැකිය. එසේම එම හමුදා නිලධාරීන් දූ දරුවන් විදේශ රටවල අධයාපනය ලබන අතර ඔවුන්ටද එය දැඩිලෙස බලපානු නියතයි.

මේ වනවිට ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ඔස්ට්‍රේලියාවට යෑමට නොහැකිය. චැගි ගාල්ලගේ සහ ප්‍රසන්න සිල්වාට බ්‍රිතාන්‍යයට යෑමටද නොහැකිය.

ඇමරිකානු රජය ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ බිරියට ඇමරිකාවට ඒම තහනම් කර තිබේ. එසේම හමුදා නිලධාරීන් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීම සඳහා සර්වලෝක අධිකණ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ නීතිරීති ලබාදීමටද මානව හිමිකම් කවුන්සිලය සූදානම්වී ඇත.

මෙයට අමතරව අන්තර්ජාතික අධිකරණය ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීම සඳහා සුදුසු අවස්ථාවක් එනතුරු බලාසිටින බව හෙළිවී ඇත. යුද අපරාධ චෝදනා එල්ලවූ හමුදා නිලධාරීන් 58 කට අදාළ සාක්කිද මේවනවිට ජාත්‍යන්තර අධිකරණයට යැවීමට හිටපු මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ක්‍රියාකර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර අධිකරණය බලා සිටින්නේ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ අවසරය ලැබෙන තුරුය. එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිෂේධ බලය ඇති කිසිදු රටක් මේ දක්වා තමන් ශ්‍රී ලංකාවට පක්‍ෂව කටයුතු කරන බවට පවසා නැතැයි හිටපු උතුරු පළාතේ මහ ඇමැති සී විග්නේශ්වරන්ද කියා සිටියි. එම තත්ත්වය මත ශ්‍රී ලංකාව බේරාගැනීමට නිෂේධ බලය භාවිත කරන්නේ විනය පමණකි. මේ අතර 51 වැනි ජිනීවා සමුළුව ඔක්තෝබර් 7 දා අවසන් වේ. ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඡන්දය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 7 දායි. මේ යෝජනාවේ ඇති බරපතළම වගන්තිය නම් මෙරට හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමට විශේෂ යාන්ත්‍රණයක් ගෙනඒමයි. මේ යාන්ත්‍රණය කුමක්දැයි මෙතෙක් හෙළිවී නැත. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය සහ රටවල් එම යාන්ත්‍රණය පසුබිමේ සිටින බව අනාවරණය වී තිබේ. මේ අතර නව මානව හිමිකම් කොමසාරිස් ලෙස ඔස්ට්‍රියානුවකුවූ වොල්කර් ටර්ක් පත්වී ඇත. එක්සත්ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරස් එම පත්වීම කර තිබේ. ඔහු අනුගමනය කරන්නේද කලින් සිටි නවි පිල්ලේ, සෙයිද්රාද් සහ මිචෙලි බැෂලේ අනුගමනය කළ පිළිවෙත බව පැහැදිලියි. එහෙත් ශ්‍රී ලංකාවේ ආණ්ඩු එදා සිට කොන්දක් නැති පිළිවෙතක් අනුගමනය කළේය. එහි ප්‍රතිඵලය දැන් තහවුරු වේ. මෙය පුදුමයක් නොවේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය රුසියාවේ මෙන් ගොර්බර්චේව් වැනි පාලකයකු බව මෙරට ඇමරිකානු තානාපති ජූලිචුන් පවසද්දී රජය ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

මෙම පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා මෙරටින් ජිනීවා ගිය අලි සබ්‍රි, විජයදාස රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමේ එක් අයකුගේ දිනක හෝටල් ගාස්තු වියදම ඩොලර් 567 ක් හෙවත් රුපියල් 210301ක යැයි හෙළිවිය. එයද උදේ ආහාරය නැතිවය.

මානව හිමිකම් කවුන්සිලය අසල චෙම් ඩී පිට්හි ඇති මෙම සුපිරි හෝටලයේ ශ්‍රී ලාංකික කණ්ඩායම සිටිනවිට ඔවුන්ට රැකවරණ සැපයුවේ ස්විස් පොලිසියයි.

ශ්‍රී ලංකා රජයේ කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා යළි මෙරටට සම්ප්‍රාප්ත විය. එහෙත් මොවුන්ගේ ජිනීවා ගමන නිෂ්ඵල විය. ඒ වනවිට බටහිර ගැති තානාපතිවරු එක්වී ජිනීවා යෝජනාව සම්මත කිරීමට තීරණයක් ගෙන තිබුණි.

ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනා ප්‍රතික්‍ෂේප කළත් හමුදා නිලධාරීන් දඬුවම් කිරීම දේපළ රාජය සන්තක කිරීම සහ වත්කම් තහනම් කිරීමට ද නව යෝජනාවෙන් තීරණය කර ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකාවට ගතහැකි පියවරක් නැත.

මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශවේන්ද්‍ර සිල්වාට චෝදනා 137ක් ද කමල් ගුණරත්නට චෝදනා 99 ක්ද ගොනු කර ඇත. මෙකී චෝදනා ගැන ශ්‍රී ලංකාවට වාර්තා වීමට පෙර කොටිඩයස්පෝරාවට හෙළිවී තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment